මහරගම රජ කරන සල්ලි මාෆියාව "ඩේලි කලෙක්ෂන්"

 ඡායාරූපය:

මහරගම රජ කරන සල්ලි මාෆියාව "ඩේලි කලෙක්ෂන්"

“ගන්න නෝනා! ගන්න! සීයට තුනයි! කොහෙවත් නෑ. කවුරුත් දෙන්නෙ නෑ!”  

ඒ මහරගම නගරයයි. එහි ජනාකීර්ණත්වය දෙවෙනි වන්නේ කොළඹ කොටුවට පමණි. එය සාධාරණ මිලට හරි හම්බ කරගෙන ජීවත් වෙන කච්ඡපුටලා මෙන්ම කට්ට කෛරාටික සේරිවාණිජලා පිරුණු පුරවරයකි. මා පෙර අසා දැනගත් පරිදි මහරගම බහුතරයක් සුළු පරිමාණයේ වෙළෙඳුන් තම ව්‍යාපාරය සඳහා මූල්‍යමය ප්‍රාග්ධනය යොදවනු ලබන්නේ දවස් පතා ගෙවීමේ ක්‍රමයට පොලියට මුදල් දීමටය. එය මහරගම නගරයටම සුවිශේෂී වූ එක්තරා මුදල් ගනුදෙනු ක්‍රමයකි. දවසේ විවේකී කාලයෙන් වැඩි වේලාවක් ඉතිරි වූ නිසාවෙන් මහරගම මේ සිදු වන අමුතු මුදල් ගනුදෙනුව ගැන වංහුං හොයන්නට වීමි.  

සැබැවින්ම මහරගම නගරයේ වෙළෙඳුන් මුදල් පොලියට දීම සඳහා අනුගමනය කරන්නේ වෙනත් ක්‍රමවේදයකි. මේ ඒ ගැන පමුණුවේ රෙදිපිළි අලෙවි කරන වෙළෙඳුන් කීප දෙනෙකු පැවසූ අදහස්ය. අප හා ප්‍රථමයෙන් කථා කළේ ඩබ්ලිව්. කාන්තිය. ඇය පන්නිපිටිය ප්‍රදේශයේ ජීවත් වන, කාලාන්තරයක් තිස්සේ දවස් පතා ගෙවීමේ ක්‍රමයට පොලියට මුදල් යොදවා වෙළෙඳාම කරන්නියකි:  

“ඩේලි අරගෙන තමයි අපි මේවා කරගෙන යන්නේ. එහෙමවත් නැත්නම් අපිට ජීවත් වෙන්න හැටියක් නැහැ. වෙන තැන්වලින් ණයට, පොලියට ගන්නවාට වඩා අපිට මේක නම්බුයි.” ඇගේ වචන පෙළට අත්වැල් දෙන්නට අසල රෙදි තට්ටුවක කාන්තාවක්ද එක් වුණි.   

“අපි දැන් අවුරුදු ගාණක් තිස්සෙ මේවා කරනවා. අඩුම තරමේ අපිට රජයෙන්වත් කිසිම දීමනාවක් නැහැ. හම්බු කරගෙන අපි ජීවත් වෙනවා. ඩේලි අරන් ඒවයින් බඩු අරන් තමයි ජීවිතේ ගැටගහගන්නෙ.හැබැයි ඩේලි ගන්නවා වගේ නෙමෙයි ගෙවන්න ගියාම. බඩු වික්කත් නැතත් ඩේලි කලෙක්ෂන් එක ගෙවන්න ඕනේ. ඩේලි එකතු කරන අයට ඕනේ සල්ලි තමයි ඉතින්"   

මුදල් දවසේ පොලියට ගැනීම මොවුන් හඳුන්වන්නේ "ඩේලි" යනුවෙන්ය. දිනපතා ගෙවීමට සිදු වන නිසා ඔවුහු එසේ හඳුන්වති. මහරගම උදේ පාන්දරින්ම මේ "ඩේලි" හෙවත් මුදල් පොලියට දෙන නියෝජිතයෝ තැනින් තැන සිටිති. උදෑසන රෙදි පිළි තොග වශයෙන් අලෙවි කරන්නන් පැමිණි විට වෙළෙන්දෝ එ් නියෝජිතයන්ගෙන් ණය ගනුදෙනු කර රෙදි මිලට ගනිති. එය දවස් පතා ගෙවීමේ ක්‍රමයකි. කෙසේ වුවද දවස අවසානයේ අදාළ මුදල ගෙවිය යුතුමය. එහෙත් මේ මුදල් ගනුදෙනු ක්‍රමවේදය මට උභතෝකෝටිකයකි. එනිසා ඒ පිළිබඳව මම තවදුරටත් විමසුවෙමි. එය මා වෙත නිසියාකාරව පැහැදිලි කළේ පදික වේදිකාවේ එක් පසෙක රෙදි අතුරා එතනම ඇණ තියා වාඩි වී සිටින තවත් කාන්තාවකි. ඇය චිත්‍රානි සොයිසාය.   

“රු.10,000ක් පොලියට ගත්තොත් දවසට රු.200 ගානෙ දවස් 60න් ගෙවලා ඉවර කරන්න ඕනේ. ගෙවලා ඉවර වෙද්දි රු.12,000ක් ගෙවලා. ඒ වගේම තමයි රු20,000 ගත්තොත් දවසට රු400 ගානෙ ගෙවන්න ඕන‍. රු30,000ක් ගත්තොත් දවසට රු.600 ගානෙ ගෙවන්න ඕනේ. 10% පොළියට මාස දෙකන් ගෙවන්න ඕනේ. ලක්ෂයක් ගත්තොත් දවසට රු.1000 ගානේ මාස 2 ගෙවලා ඉවර වෙද්දි රු.120,000ක් ගෙවලා. අපි නිසා එයාලා හම්බ කරනවා. එයාලා නිසා අපි හම්බ කරනවා. පොලිය වැඩි වුණත් හදිස්සියට අපිට ඩේලි ගන්න එක තමයි ලේසි."   

රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල පවා ප්‍රාථමික කර්මාන්ත සඳහා වාර්ෂික ණය පොලී අනුපාතයන් සියයට 5.5 සිට සියයට 10 දක්වා වන වකවානුවක මෙම අවිධිමත් මුදල් ගනුදෙනු ක්‍රමය මගින් මාස දෙකක් සඳහා සියයට 10ක් වැනි අධික පොලී මුදලක් අය කරයි. එසේ වුවද ලේසියත්, පහසුවත් කරණකොට ණය ගනු ලබන වෙළෙන්දෝ මේ ‘ඩේලි කලෙක්ශන්’ ක්‍රමය අනුගමනය කරති.   

මහරගම වැළඳගෙන ඇති මේ අවිධිමත් මුදල් ගනුදෙනු ක්‍රමයේ වංහුං හොයාගෙන යන අතරතුර මහරගම ‘එකමුතු වෙළෙන්දන්ගේ සංගමයේ’ ලේකම් නන්දන ධර්මසිරි මහතා අහම්බයෙන් මුණගැසුණා. මේ, ඔහුගේ කතාවයි:   
“මෙහෙමයි මිස්, මේක සමහරු වැරදියට තේරුම් ගන්නවා. ඒත් දුප්පත් වෙළෙන්දාට පිහිට වෙන්නෙ ඩේලි දෙන අය තමයි. ගමේ මිනිස්සුම තමයි ඩේලි දෙන්නෙත්. එයාලාට ගොඩක් සල්ලි තියෙනවා. එයාලා සල්ලි බලෙන් දෙන්නෙ නෑ. අපි අපේ වුවමනාවටනේ ගන්නෙ. මේ මහරගම ඩේලි නොගත්ත වෙළෙන්දෙක් නැති තරම්.”   

ඔහුගේ කතාව අනුව මට සිතුණේ එතරම් විශාල වෙළෙදුන් පිරිසක් මුදල් පොලියට ගන්නේ නම් ෙකතරම් මුදල් ප්‍රමාණයකින් මේ පොලී දෙන්නන්ගේ සාක්කු පිරෙන්නට ඇත්ද කියාය. කෙසේ වුවද ඔවුන්ගේ කතා විලාසයෙන් වැටහෙන්නේ "ඩේලි" ක්‍රමයට මුදල් ගැනීමට ඇබ්බැහි වී ඇති සෙයකි.   

“සල්ලි නැති මිනිස්සුන්ට මේක හොඳයි. බැංකුවකට ගියා නම් දාහක් දේවල් කියලා අපිව රස්තියාදු කරවනවා. ඇපකාරයො ගේන්න කියයි. ඉඩම් ඔප්පු ඉල්ලයි. බිස්නස් එක ලියාපදිංචි කරලාද අහයි. ලයිට් බිල් ගේන්න කියයි. මේ හැමදේමත් කරලා ණය පාස් වෙන්න මාස ගාණක් යනවා. කොච්චර අඩු පොලියකට ණය දුන්නත් මේ අසරණ මිනිස්සුන්ට එච්චර කල් ඉන්න බැහැ. ඩේලි අරගෙන තමයි බිස්නස් එක ගොඩදාන්නෙ.”   

පමුණුවේ රේල් පාර පසෙක රෙදි වෙළඳාම් කරන රුවන් රාජමන්ත්‍රී එසේ කීවේ මෙහි තවත් එක් පැතිකඩක් හෙළි කරමිනි. මෙවැනි ව්‍යාපාර සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල කොතරම් ණය ක්‍රම හඳුන්වා දුන්නද ඒ සඳහා කාලයක් ගතවේ. එහෙත් මෙහිදී ලියකියවිලි පිළිබඳ දැනුම අඩු වෙළෙන්ෙදා් කිසිදු ලියවිල්ලක් නැතිවම ඩේලි ක්‍රමයට මුදල් පොලියට ගනිති. ඒ සඳහා ගත වන සීමිත කාලය හා පහසුව නිසාම ඔවුහු කාලාන්තරයක් තිස්සේ එය අනුගමනය කරති. වසර 20කට ආසන්න කාලයක් පමුණුව රජ කළ මේ ඩේලි ක්‍රමය ගැන මරදානේ අමල් ජයසිංහ කියන්නේ මෙවැනි කතාවකි.   

“ඩේලි ගන්න එක නරක නැහැ. හැබැයි ඒක හරියට ගෙවන්න ඕනේ. නොගෙව්වොත් කරන බලපෑම්වලට කාටවත් වග කියන්න බැහැ. මොකද සල්ලි ඒ අයගෙනෙ. ඒ අතින් ඩේලි දෙන අය සාධාරණයි. ඩේලි අරන් බිස්නස් එකට සල්ලි දාලා ආයිමත් බඩු අඩු වෙද්දි වෙළෙන්දො ආයිමත් ඩේලි අරන් බඩු ගන්නවා. මේකෙන් කාලා ඇඳලා බිස්නස් එකත් කරගෙන ඉන්නවා විතරයි. ඉතුරුවක් නැහැ.”   

මහරගම පමුණුවේ පමණක් නොව වෙනත් සුළු පරිමාණික ව්‍යාපාර සඳහාද වෙළෙඳුන් මේ ඩේලි හෙවත් දවස් පතා පොලි ගෙවීමේ ණය ක්‍රමයට ඇබ්බැහි වී ඇති සෙයකි. මහරගම ඔරලෝසු කණුවට වම් පසින් පිහිටි කඩපෙළට මා ගොඩවැඳුණේ එහි අග මුල සොයන්නටය. මේ, මහරගම පැරණි වෙළඳ සංකීර්ණයේ පලතුරු වෙළඳසැල හිමිකාරිය පතිරගොඩ එම්.පුෂ්පලතා පවසන දෑය:   

“ඩේලි ක්‍රමය නිසා වුණු අකරතැබ්බ බොහෝමයි. ඩේලි ගන්නවා නම් හරියට ගෙවන්න ඕනේ. ඩේලි දෙන අය අතර හොඳ අය වගේම අපිව හූරං කන්න බලන් ඉන්න අයත් ඉන්නවා. අවුරුදු තුනකට කලින් මම කෙනෙක්ගෙන් පොලියට ලක්ෂ 10ක් ගත්තා. අන්තිමට ලක්ෂ 28ක් ගෙවන්න වුණා. මොකද මේක කිසිම ලියවිල්ලක් අරං නෙමෙයි වෙන්නෙ. අන්තිමට මරණ තර්ජනත් ආවා. පොලීසියට ගිහිනුයි මේක විසඳගත්තෙ.”   

මහරගම බෝගහ අසල ඔරලෝසු කඩේ ආර්.ඩී. එම්. මංජුල මේ ගනුදෙනු ක්‍රමයේ කවුරුත් නොදකින පැත්තක් හෙළි කළේය:   

“මහරගම ඩේලි දෙන අය 20ක් විතර ඉන්නවා. බැංකුවල දුර්වලතාව නිසා තමයි අසරණ මිනිස්සු ඩේලි ගන්නෙ. ඩේලි දෙන අය ගෙවන්න තියෙන දවස් ගාණට වැඩියෙන් තව දවස් කීපයකුත් දෙනවා. ඒ, මිනිස්සු අසරණ කරන්න බැරි කමට. ඒ විතරක් නෙමෙයි, මේකෙන් සල්ලි පොලියට දෙන අයටත් කෝටි ගාණක පොලු තියපු අයත් ඉන්නවා.”   

කෙසේ වුව ද මේ අවිධිමත් මුදල් ගනුදෙනුව මුදල් ආඥා පනතට අනුව සමාගමක් ලෙස සංස්ථාපිත කොට නැති බැවින් නීති විරෝධී වේ. එහෙත් ග්‍රාමීය මට්ටමෙන් පවා තවමත් මෙවැනි මුදල් පොලියට දීමේ ක්‍රම පවතී. පොලී මුදල් නිසියාකාරව නොගෙව්වහොත් මේ සඳහා ලියවිලි භාවිතයක් නැති බැවින් පොලියට දෙන නියෝජිතයාට මුදල් පොලියට දුන් බව ඔප්පු කිරීමට සාක්ෂි නැත. එමෙන්ම මුදල් පමා වීම නිසා වන තාඩන පීඩන දරා ගැනීමටද මුදල් ගන්නා පාර්ශ්වයට සිදු වේ. මහරගම වසර විස්සකට ආසන්න කාලයක් සිදු වන මේ "කළු සල්ලි ගනුදෙනුව" බැලූ බැල්මට අසරණ වෙළෙන්දාට පහසුය. එහෙත් සියයට 10 හෝ ඊට වඩා පොලියක් මාස දෙකක් වැනි කෙටි කාලයකින් ගෙවීම ඔවුනට දරා ගැනීම අපහසුය. විශේෂයෙන් පමුණුව වැනි විශාල වශයෙන් මුදල් ගනුදෙනු වන ස්ථානවල සුළු ව්‍යාපාර කරන්නන්ට එය දරුණු බලපෑමක් කරයි. ඉදින් මේ වූකලී බලධාරීන්ගේ ඇස් යොමු විය යුතු කතාවකි. වෙසෙසින් සුළු පරිමාණ ව්‍යාපාර සඳහා ණය පහසුකම් ලබාදීමේදී රාජ්‍ය මට්ටමින් හෝ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. නොඑසේ  නම් අසරණ වෙළෙඳුන්ගේ ජීවිතය තවත් අසරණ වනු ඇත.   

මාතෘකා