බණ්ඩාරනායක යුවළ මධු සමය ගෙවූ, ලෝ පරසිදු බෙලිහුල්ඔය

 ඡායාරූපය:

බණ්ඩාරනායක යුවළ මධු සමය ගෙවූ, ලෝ පරසිදු බෙලිහුල්ඔය

බෙලිහුල්ඔයේ ගල් සෙවලය     ලිස්සනවා
හිරිකටු ඔයේ හෙල වැහැලා බොර           එනවා
ඉහින් කණින් කූඩැල්ලන් ලේ       බොනවා
දුප්පත්කම නිසා රස්සාවට        යනවා 

අවුරුදු හැට හැත්තෑවකට ඉහතදී මේ කවිය කීවේ ගම්සභා මැම්බර් කෙනෙකුද වූ විලියම් අප්පුහාමි කවියාය. බෙලිහුල්ඔය කඩමණ්ඩියේ ජීවත් වන අද මැදිවියද පසු කර සිටින ජයරත්න බණ්ඩාර මහතාගේ මතකය නොවන්නට, ඒ අපූරු කවිය කාලයේ වැලි තලාවෙන් වැසී මැකී යන්නට ඉඩ තිබිණි. විලියම් අප්පුහාමි කවියා, ජයරත්න බණ්ඩාර මහතාගේ පොඩි සීයාය. “අපේ පොඩි සීයයි මේරිස් අප්පුහාමි සීයයි (එයා තමයි මගේ තාත්තගේ අප්පච්චි) ඒ කාලේ හැටියට තරමක් දැන උගත් මිනිස්සු. සුද්දො එහෙම හුඟක් ආශ්‍රය කළා. ඒ කාලේ මෙහාට හරියට සුද්දො ආවා.”  ඔහු අතීත බෙලිහුල්ඔය පිළිබඳ මතක අවදිකරමින් පැවසුවේය

බෙලිහුල්ඔය කියූ සැණින් මතකයට එන්නේ සනීපදායක හා සුරම්‍ය පරිසරයකින් හෙබි නිකේතනයකි. එදවස මෙන් බොහෝ ගණනක් සුද්දන් නොආවද දෙස් විදෙස් සංචාරකයින් අතර නිදහසේ සුව විඳිය හැකි තැනක් ලෙස බෙලිහුල්ඔය ප්‍රකටය. බෙලිහුල්ඔය නමින් ඇති කුඩා හන්දිය නැතිනම් කඩමණ්ඩිය නාමකරණය වී ඇත්තේ එනමින් ඇති ඔය නිසාය. වළවේ ගඟෙහි අතු ගංගාවක් වන එය හොර්ටන් තැන්නෙන් ඇරඹී සුනිමල සීතල දිය දහරාවන් දරාගෙන ගල්පරවලින් ගහන ඉතාමත් විචිත්‍ර දර්ශනයක් මවාලමින් ගලා බසියි. ලොකු කුඩා කඩ කිහිපයකින්, තැපැල් කන්තෝරුව, සමූපකාරය මෙන්ම තැබෑරුමකින්ද සමන්විත එතරම් ජනාකීර්ණ නොවූ බෙලිහුල්ඔයට සියල් සිරිය මෙන්ම සම්පත්ද ලැබ දෙන්නේ මේ දියදහරාවන්මය.

බෙලිහුල්ඔයට නම දුන්නේ දිය බෙල්ලෝ

“කොහොමත් මේ පළාත වතුරෙන් පොහොසත්. ඉහත්තාවෙ පේන කඳු හොර්ටන් තැන්න. එක පැත්තකින් බෙලිහුල්ඔය ගලන කොට අනෙක් පැත්තෙන් හිරිකටු ඔය. හිරිකටු ඔය කියන්නේ හිරිගඩු පිපෙන තරම් සීතල වතුර තිබුණු නිසා. අදටත් ඒක හරිම සීතල වතුර තියෙන ඔයක්. මේ බෙලිහුල්ඔයට නම දෙන්න ඇත්තෙ බෙල්ලො. ඔයේ හරියට ගල්පර. ඒවායේ ලිස්සන දිය සෙවල පිරිලා තිබ්බ නිසා බෙල්ලොත් ගොඩක් හිටියා. ඉස්සර මිනිස්සු මේ බෙලිකටු එකතු කරල පුලුස්සලා හුණු ගත්ත කියනවා විට කන්න.” ඒ ජයරත්න බණ්ඩාර මහතාගේ මතක මඩිස්සලය විවර වුණු අන්දමය.

බෙලිහුල්ඔය අවට පරිසරය බෙහෙවින් සුන්දරය. හෝර්ටන් තැන්නෙන් ඇරඹී ගලන මේ දිය දහරාවන් බේකර්ස් ඇල්ල මෙන්ම එතරම් ප්‍රචලිත නොවූ තවත් දිය ඇල්ලක් වන කැතිගාන ඇල්ලටද පණ දෙයි. “ඉස්සර මේ හැම එකේම අදට වඩා වතුර තිබ්බා. අපේ මේ කඩමණ්ඩිය මැදින් ගලන්නේ මැද කඳුර ඔය, නැගෙනහිර පැත්තෙන් ගලන්නෙ පුවක්ගස් ඇල්ල ආර. ඉස්සර මේවයෙ හරියට හිටියා මාලුවෝ.”

ඒ මාලුන් අතර ආඳන්, හොරපොලයි හා අල්ලක් තරම් ලොකු නිල් කලු ගල් ඉස්සෝද වූහ. ඉස්සන් දඩයම කොල්ලන් අතර ජනප්‍රිය වූවකි. එය බොහෝ හුරුබුහුටි කමක් වුවමනා කරන දඩයමකි. කිතුල් පිත්තක අග්ගිස්සට  කිතුල් කෙන්දකින් තනා අමුණා ගන්නා තොණ්ඩුවක් සහිත බිලිපිත්තක් ඉස්සන් දඩයමට වුවමනාය. ඇම සුණුසහල්ය. කොල්ලෝ ඉස්සන් ගැවසෙන ඉවුරු හෝ ගල්පර අතරට සුණුසහල් ඉස බලා සිටිති. ඉස්සා සුණු සහල් ඇට වෙත පිහිනා එන කල ඉදිරියෙන් තොණ්ඩුව තබා ඌ එතුළින් රිංගා සිරවෙන්නට සැලසීම දඩයම් උපක්‍රමයයි. ජයරත්න බණ්ඩාර මාමා ඉස්සන් අල්ලා සිය මුත්තණුවන්ගෙන් ගුටිමුරද ලබා තිබේ.

ගාලෙ ගොනුන් ලිහුවේ මෙහි වෙද රාළේ

අද බදුල්ල කොළඹ මහා මාර්ගයේ කිලෝමීටර් 170ක් පමණ පැමිණි පසු හමුවන කදිම නිකේතනයක් වන බෙලිහුල්ඔය වසර සියයකට එකසිය පනහකට පමණ ඉහතදීත් සනීපදායක ගිමන්පොළක් ලෙස ප්‍රකටව තිබුණි. ඒ සුද්දන් වතු වැවූ හල්දුම්මුල්ල, හපුතල ප්‍රදේශවලට කරත්තවලින් බඩු ප්‍රවාහනය කළ යුගයයි. කළුතරින් පාරුවලට පටවා ගෙනෙන බඩු රත්නපුර මහ සමන් දේවාලයට නුදුරෙන් බාගෙන කරත්තවලට පටවන්නේ මේ වෙහෙසකර ගමන යෑම සඳහායි. ඒ අතර තැන තැන ගිමන්හල් විය. එවැනි එක් නැවතුම් පලක් වූයේ ඉඹුල්පේය. කරත්ත එහි නැවතූ පසු බෙලිහුල්ඔය දක්වා පයින් එන පයිංඩකාරයෙක් මෙපමණ කරත්ත ගණනක් මිනිසුන් හා ගොනුන් පිරිසක් උඩත්තාවට එන බව දැනුම් දෙයි. විලියම් අප්පුහාමිගේ ගාලේ කඩේ පිරිස සඳහා කෑම පිළියෙල වෙයි. පැමිණෙන ගැල්කරුවන් ගොනුන් ලිහා සාත්තු කර බෙලිහුල්ඔයෙන්, මැද කඳුරෙන් සිත්සේ සනීපෙට නා ගෙන ඉස්මුරුත්තාවට එනතුරු කන්නේ ගාලෙ කඩයෙනි. ඔවුන්ට නිදන්නට සිංහල උළු හෙවිල්ලූ අම්බලමක් පාරේ අද්දරට වන්නට තිබුණි. පස්සේ කාලෙක ප්‍රාදේශීය සභාව සංරක්ෂණය කළ යුතු අම්බලම කඩා දමා එතැන වැසිකිළියක් හැදූ බව ප්‍රදේශවාසීහු පවසති. කොහොම වෙතත් මේ ගැල් සාත්තුවලට සාත්තු සප්පායම් කිරීමේ කටයුතුම මෙතැන පුංචි ටවුමක් හදා තිබේ.

ලෝ ප්‍රකට තානායම්පල

ලංකාවේ කරත්තකරුවන් මෙතැන සනීපදායක ගිමන්පොළක් කරගන්නා විට වැවිලිකාර සුදු මහත්තුරුන්ට වුවමනා කළේ ඉස්තරම් තානායමක් තැනීමයි. රමණීය බෙලිහුල්ඔය ඉවුරේ මාර්ගය අද්දරට වෙන්නට යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඔවුන් තැනූ තානායමට අස්හලක්ද ඇතුළත් විය. එහි මිදුලේ වැවූ පාරෙ මාර යැයි ව්‍යවහාරයේ හඳුන්වන ඇල්බීසියා ලෙබෙක් ගස අද වනවිට වසර එකසිය පණහක්වත් පැරණි අති දැවැන්ත වෘක්ෂ රාජයෙකි. එය නඩත්තු කිරීම පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අනුදැනුම ඇතිව සිදුවේ. රසවත් භෝජන සංග්‍රයන්ටද නමගිය මේ තානායම එංගලන්තයේ රාජකීය උදවිය පවා ගිමන් හළ තැනකැයි ජන ව්‍යවහාරයේ සඳහන් වේ. එය කෙසේ වෙතත් සිරිමාවෝ රත්වත්තේ මෙනවිය හා තරුණ බණ්ඩාරනායක මහතා මෙහි මධුසමයට ආහ. එදා ඔවුන් සිටවූ අඹ පැලය අද දැවැන්ත වෘක්ෂයකි.  “එදා බෙලිහුල්ඔය විලියම් අප්පුහාමි තමයි ඒ දෙපළ පිළිගන්න ගොක්කොළ තොරණ ගැහුවේ. තොරණෙ කවියක් ලියලා තිබ්බා තැඹිලි මල් අලවලා.” ඒ ජන මතකයයි.

අසිරිමත් ජනමතකයේ  අද ඊයේ වගේ රැඳුණු තවත් සිද්ධියක් නම් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශය චිත්‍රපටය රූපගත කිරීමයි. “එතකොට මං පොඩි කොල්ලෙක්. අපේ මාමලා මාව කරේ තියන් ගිහින් ටිකක් උඩහට වෙන්න තැනක චිත්‍රපටය හදනවා පෙන්නුවේ. යම්තම් මතකයි මාමා ගාමිණී මහත්තයාව එහෙම පෙන්නනවා. සමහර දර්ශන කළේ නැග්රැක් නන්පෙරියල් පැත්තට යන පාරෙ. කරත්තෙ යන ගමන් කියන සිංදුව තියෙන්නෙ මුත්තෙට්ටුවගම පාරේ. ටිකක් උඩහට වෙන්න බලකොටුව තිබ්බෙ. ඒක පුපුරුවනවනේ. මේ චිත්‍රපටයට අස්සයො ගෙනල්ල හිටියා. අපි උන්ට බය වුණා. මොකද ඌ හරි තේජවන්ත ලොකු සතෙක්නේ.” ඒ ජයරත්න බණ්ඩාර මහතාගේ මතකයයි. එකල සුරතලී චිත්‍රපටය සඳහාද මෙහි සිට තරමක් දුරින්  වූ දිය ඇල්ලක රූප පෙළක් යොදා ගැනුණි. අදද ඒ දිය ඇල්ල හඳුන්වන්නේ සුරතලී ඇල්ල නමිනි.

ජාතික-ආගමික සංහිඳියාව

බෙලිහුල්ඔයෙහි විසුවේ ගොවීන්ය. මේ කඩ මණ්ඩියේ වෙළෙඳාම් කළ අයද ගොවිතැනක් බතක් කළ උදවියයි. කරවල, තෙල්, ලුණු පමණක් ඔවුන් පිටින් බලාපොරොත්තු වුණු දේ අතර විය. පසුකාලීනව සමනළ වැවෙහි දියවරට යට වුණු ගම්වල පවුල් ගණනාවක්ද මෙහි විත් පදිංචි විය. බෙලිහුල්ඔය බහුතරය ජාතියෙන් සිංහලය. ආගමෙන් බෞද්ධය. දෙමළ-හින්දු ජනයා මෙන්ම කතෝලික ආගම අදහන ජනයාද වෙති. බෙලිහුල්ඔයේ කතෝලිකයෙකු වන ටයිටස් සිල්වාට අනුව පරම්පරා හතරකවත් තිස්සේ කතොලිකයෝ මෙහි වෙසෙති. “1900 ඉඳලා විතර මෙහේ පල්ලියක් තිබ්බා. ඔය බේරුවල මග්ගොන පැත්තේ ඉඳලා කළු ගඟේ පාරුවල වෙළඳාමට ආපු මිනිස්සු තමයි අපේ පැරැණියො. ඔය ජෝකිනූ මුදලාලිලා එහෙම කරවල, ලුණු නන්පෙරියල් හපුතල වතුවලට ඇද්දා, සුද්දගෙ කාලෙ. 1860දී බලංගොඩ පල්ලිය හදලා තියෙන්නේ...” මෙහි වෙසෙන කතෝලික හා බොදුනු පවුල් අතර ඇත්තේ දැඩි සහෝදර බැඳීමකි. පල්ලියේ පෙරහැරට බොදුනුවන්ගේ උපහාරය හිමිවන අතර පන්සල් තැනීමේදි ගල් ගඩොල් කඳු උඩට කර බරින් අදින්නට කිතුනුවන් සහය දී තිබේ. නන්පෙරියල් නැග්රැක් හි දෙමළ වතු ජනයාටද ආසන්න සරුම කඩපල මෙන්ම තැබෑරුමක්ද ඇත්තේ මෙහි බැවින් ඔවුන්ද ගැවසෙන්නේ බෙලිහුල්ඔයමය.  

එහෙත් 83 කලු ජූලිය සමයේ දෙමළ ජනයාට යම් යම් සැහැසි කම් වලට මුහුණ දෙන්නට සිදුවූ අත්දැකීම්ද තිබේ. එවැනි දේ වලට හවුල් වූ විජේරත්න පවසන්නේ තමන් දැන් ඒ ගැන පසුතැවිලි වන බවයි. “මං එතකොට නන්පෙරියල් වත්තෙ ඔපිසර කෙනෙක්. මාත් මිනිස්සුන්ට හිරිහැර කළා. ඒ සින්නදොරේගෙ කීම අහලා නොමග ගිහිල්ලා. දැන් මං ඒ දේවල් ගැන පසුතැවිලි වෙනවා. ඒකෙන් අපිට බොහෝ දේවල් අහිමි වුණා. හැබෑ වීරකම කියන්නේ ජාතිවාදය නෙවෙයි. දැන් සමාජෙ ඊට වඩා දියුණුයි.”    

ඒ පරිච්ඡේදයට පසු තවම බෙලිහුල්ඔය සංහිඳියාව සුරක්ෂිතය. එහෙත් දැන් ඔවුන් විස්සෝප වන්නේ අහිමි වන රමණීය පරිසරය ගැනය. කඳුකරයේ වැවූ ෆයිනස් හා ගඟ දිගට ඉදි කර ඇති විදුලි බලාගාර දියවර උදුරාගෙනය. දැන් ඉස්සන් සහ බොහෝ මාලුන්ද, නිදහසේ පියෑඹූ බොහෝ සමනළුන් හා කුරුල්ලන්ද සමුගෙන ගොස්ය. රසායනික ගොවිතැන නිසා වක්කඩට කට තබා දිය බොන්නට නොහැකිය. එහෙත් බෙලිහුල්ඔය තවමත් සුන්දරය.    -

[ලසන්ත ද සිල්වා]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?