පුංචි ඡන්දෙන් වාර්තා තැබූ තරුණියෝ

 ඡායාරූපය:

පුංචි ඡන්දෙන් වාර්තා තැබූ තරුණියෝ

පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ අපේක්ෂිකාවන් ගණන මෙන්ම අතිරේක ලැයිස්තුවෙන් තේරී පත් වීමට නියමිත අපේක්ෂකයන් ගණනද ඉතිහාසයේ වැඩිම අගයක් ගැනීමට නියමිතය. මේ අතර මෙවර කොට්ඨාස ජයග්‍රහණය කරමින් වාර්තා පොත්වලට එක් වූ කාන්තාවන් කිහිප දෙනෙක් ගැන නන්දෙසින් අසන්නට ලැබිණ.  ඒ අතුරින් ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රථම ආදිවාසි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සහ මෙවර තේරී පත්වූ ළාබාලම නාගරික මන්ත්‍රීවරිය පිළිබඳව අපි සොයා බැලුවෙමු.  

දෙහිඅත්තකණ්ඩිය යනු කෘෂිකර්මාන්තය මූලික කොට ජීවිකාව සරි කරනා පිරිසක් ජීවත්වන ප්‍රදේශයකි. හේනානිගල ආදිවාසී ජනතාවට, දිවයිනේ සෙසු ප්‍රදේශවල ආදිවාසීන්ට මෙන්ම විශේෂිත වූ ගැටලු ගණනාවක් ඇත. ආදීවාසී වීම නිසාම මුහුණ දීමට සිදුව පවතින ගැටළුවලට අමතරව පොදුවේ ප්‍රදේශයේ ජනතාව එදිනෙදා මුහුණ පාන ගැටලු රැසක් විසඳාගැනීමටත් ඔවුන්ට සිදුව ඇත. වැදිනායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ප්‍රකාශ කරන ආකාරයට 'මහ හූරලා ඇත්තන් සහ මහ මෑණිලා ඇත්තන්' හට මෙතුවක් කල් ඉදිරිපත් කළ බොහෝ ගැටළු තවමත් එලෙසම නොවිසඳී පවතී. එබැවින් තම "රැහේ කැකුළියක්' මෙලෙස පළාත් පාලන මැතිවරණය ජය ගැනීම ගැන රැහේ මහ හූරා ලෙස ඔහු සතුටු වෙයි. 
මෙලෙස හේනානිගල උතුරු සහ දකුණ බහු කොට්ඨාසයෙන් තරඟ කර දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාවට තේරී පත් වූ ආදිවාසි කාන්තාවක් වන ඩබ්.එම්. ශිරෝමාලා, මෙරට ඉතිහාසයේ පළාත් පාලන ආයතනයන් නියෝජනය කිරීමට වරම් ලද ප්‍රථම ආදිවාසී කාන්තාව බවට පත් වේ. 
ඇය තිදරු මවක් වන අතර, අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා උගෙන ඇත. ඔවුන්ගේ කොට්ඨාසය තුළ පමණක් ආදිවාසී පවුල් 900ක් පමණ ජීවත් වන අතර, එම කොට්ඨාසයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 4000කට ආසන්නය. ඒ අතුරින් ඡන්ද 1369ක් ලබා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජය ලබාගෙන ඇති අතර, ඇය කොට්ඨාසය නියෝජනය කරමින් තේරී පත් වී ඇත. 
තම දේශපාලන ආගමනය ගැන ඇය මෙසේ පැවසුවාය.
"මගේ තාත්තා ඌරුවරිගෙ පුංචි බණ්ඩා. අම්ම විජේසේකර මුදියන්සේලාගේ පේමවතී. අපේ පවු‍ලේ සහෝදර සහෝදරියන් නව දෙනයි. අම්මයි තාත්තයි නීතියෙන් විවාහ වී තිබුණේ නැති නිසා අපි අට දෙනකුටම දාලා තිබුණේ අම්මාගේ වාසගමයි. අපේ පවුල ජීවත් වුණේ දඹානේ ගුරුකුඹුර වැදි ගම්මානයේ. වර්තමාන ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නියල ඇත්තෝ මගේ මාමණ්ඩිය වෙනවා. හේනානිගල වැදි නායක ගුණබණ්ඩාත් මගේ මාමණ්ඩි කෙනෙක්. මහවැලියෙ ඉඩම් ලැබුණට පස්සේ අපේ පවුල් කිහිපයක්ම හේනානිගල පදිංචියට ආවා. 
මගේ දැන් වයස අවුරුදු 37යි. මම විවාහකයි. සාමාන්‍ය පෙළ දක්වා  ඉස්කෝලෙ ගියා.
පසුගිය සභාවටත් අපේ ආදිවාසී අයෙක් තේරී පත්ව සිටියා. ඒ තලා වරිගෙ පේමරත්න. ඔහු ජයග්‍රහණය කළේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. ඒ නිසා ප්‍රධාන පක්ෂවල නියෝජිතයන් සමඟ වාද විවාද කරල අපේ ගැටලු ඉදිරිපත් කරල ඒවාට සාර්ථක විසඳුම් ලබා ගැනීමට ඔහු ගත් උත්සාහයන් එතරම් සාර්ථක වුණෙත් නැහැ. නමුත් ඔහු ගත් උත්සාහයන් තවත් ජවසම්පන්නව ඉදිරියට ගෙනයාම මගේ කාර්යයේ ප්‍රධාන කොටසක් වෙනවා." 
ආදීවාසි ජනතාව ක්‍රමයෙන් සෙසු සමාජයේ සංස්කෘතියට අවශෝෂණය වෙමින් ඇතත්, තවමත් ඔවුන්ගේ සංස්කෘතික උරුමයන් රැක ගැනීමේ අසීරු කර්තව්‍යයට මුහුණ දෙමින් සිටිති. නමුත් ඔවුන්ට සෙසු සමාජයෙන් තවමත් එල්ල වෙන කෙ‍ෙනහිලි හේතුවෙන් ඔවුන්ට ඔවුන්වම අහිමි කරන ආකාරය පිළිබඳව ඇය මෙසේ අදහස් පැවසුවාය. 
" වැදි ළමයි කියලා අපේ දරු දැරියන්ට පාසල්වලදී තවමත් කෙනෙහිලිකම් කරනවා. සුදුසුකම් ඇතත් අපේ තරුණ තරුණියන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී දක්වන නොසැලකිලිමත් බව, අපේ අනු පවුල්වලට බෙදාදිය යුතු ඉඩම් පිට පළාත්වල අයට ලබාදීම, ජලාශවල ධීවර කර්මාන්තයේ යෙදෙන අපේ අයට විවිධ තහංචි දැමීම, මීපැණි මෙන්ම වන ඔසු සොයා වනගතවීමේදී බාධා එල්ල කිරීම්, ලබාදී ඇති ඉඩම්වලට මෙතෙක්  නීත්‍යානුකූල බලපත් ලබා නොදීම්, අපේ පාරම්පරික සංස්කෘතික කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා පහසුකම් සලසා නොතිබීම වැනි ගැටලු පිළිබඳව හඬක් නගා පිළියම් ලබා ගැනීමට උත්සාහ කරනවා" 
ශිරෝමාලා තම දේශපාලන ගමන අරඹා ඇත්තේ ප්‍රාදේශීය මන්ත්‍රීවරියක් ලෙසින් වුවත් ඇයගේ ඉලක්ක ස්ථානගත වී ඇත්තේ ජාතික දේශපාලනය ඇසුරු කොට බව ඇයගේ කතා බහෙන් අපට හැඟී යයි. සාමාන්‍යයෙන් ආසියානු කාන්තාව කුටුම්බ රක්ෂණය තම ජීවිතය කර ගැනීමට කැමති පිරිසක් ලෙස ප්‍රකටය. ශ්‍රී ලාංකීය කාන්තාව අතරින් ආදිවාසී කාන්තාව වඩාත් ප්‍රකටව ඇත්තේ තම පවුල සහ රැහෙන් පිටත අය සමඟ අවම සම්බන්ධතා ඇති පිරිසක් ලෙසය. එවන් පසුබිමක ශිරෝමාලා මේ තබා ඇත්ති දැවැන්ත පියවර ජාතික දේශපාලනය දක්වා ගෙන යෑම ඇගේ අභිප්‍රාය වී ඇත.

 

 

 

 

රජරට ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට දැඩි බලපෑම් කළ කලාපයකි. එසේම රටේ සංස්කෘතික උරුමයන් බොහොමයක් පිහිටා ඇති ප්‍රදේශයකි. කෘෂිකර්මාන්තය මූලික කොට ගත් ආර්ථිකයත්, බෞද්ධ සංස්කෘතිය මූලික කොට ගත් සමාජයත් රජරට දේශපාලනය පිළිබඳ තීන්දු තීරණවලට එල්ල කරන බලපෑම අති විශාලය. වැව් බැඳි රාජ්‍යයේ අගනුවර වන අනුරාධපුරයේ නව යොවුන් වියේ තරුණියක් මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජයගත් ළාබලම නාගරික මන්ත්‍රීවරිය බවට පත් වූවාය. 

ඇය නමින් සචිනි කාරියවසම්ය. පසුගිය අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ඇය, එයින් සමත්ව ගණිත අංශයෙන් විශ්වවිද්‍යාල වරම් ලබා සිටින්නීය. මෙවර පළාත් පාලන මැතිවරණයේදී සිරිමෙවන් කොට්ඨාසය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වැදුණු ඇය අනුරාධපුර මහ නගර සභාවට තේරී පත් වූවාය.  
ඇයගේ දේශපාලන ආගමනය ගැන අදහස් පළ කරමින් ඇය මෙසේ පැවසුවාය.  
"මගේ අම්මා බොහෝ කලක තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු එක්ක සම්බන්ධයි. මගේ තාත්තා පොලිස් නිළධාරියෙක්. අම්මගේ දේශපාලන වටපිටාව අපිට තදින්ම බලපෑවා. මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනකොට මුලින්ම මට චකිතයක් දැනුණා. ඒත් අම්මයි තාත්තයි ගමේ හිතවතුන් එක්ක තිබුණු සුහද සම්බන්ධය නිසා නාමයෝජනා දුන්නට පස්සේ අපේ නිවසට සහය දක්වන්න ආපු හිතවතුන්, අසල්වාසීන් පිරිස දැක්කහම මට ලොකු ධෛර්යක් ලැබුණා"  
සචිනි උසස් පෙළ දක්වාම අධ්‍යාපනය ලබා ඇත්තේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේය. එහිදී ශිෂ්‍ය නායිකාවක ලෙස කටයුතු කිරීම නායකත්වය පිළිබඳ හැඟීමක් ජනිත කළ බව ඇය පවසන්නීය.  
"මම මේ ඡන්දෙට ඉදිරිපත් වුණේ ගමට කිසිම වැඩක් කරලා නෙමේ. ඒත් මේ ප්‍රදේශයේ ජනතාව මා ගැන විශ්වාස කරලා මාව පත් කරගන්න කටයුතු කළා. ඉදිරියේදී ප්‍රදේශයට වැඩ කරලා, ප්‍රදේශවාසීන් ඒ ගැන සතුටු නම් ඉදිරියට දේශපාලන කටයුතු වල යෙදෙනවා" ඇය තම ඉදිරි දේශපාලන කටයුතු ගැන එලෙස ඉඟි පළ කළාය.  
තමන් නියෝජනය කරන කොට්ඨාසය සහ අනුරාධපුර මහ නගර සභා ප්‍රදේශයේ සංවර්ධනය සම්බන්ධව ඇගේ අදහස පළ කිරීමටද ඇය අමතක නොකළාය.  
"අපේ ප්‍රදේශයේ වීදි පහන් නඩත්තුව හරියට කෙරෙන්නේ නෑ. බොහෝ මාවත් අඳුරේ තියෙන්නේ. ඒ වගේම කාණු පද්ධතිය නිසිලෙස සකස් වෙලා නෑ. වැස්සට බොහෝ ප්‍රදේශ ඉක්මනින් යට වෙනවා. කඩිනම් විසඳුමක් ලෙස කාණු  පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම ප්‍රදේශයේ ප්‍රධාන සහ අතුරු මාවත් දෙපස පැළ සිටුවා අලංකාර කිරීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය පහසුකම් නැංවීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන පහසුකම් වැඩි කරන්න කටයුතු කරනවා"  
විසි වෙනි වියට පා තබන යොවුන් තරුණියක් වන ඇය තම ප්‍රදේශය ජනතාවගේ සුභ සාධනය පිළිබඳව බලාපොරොත්තු රාශියක් සහිතව සිටින්නීය. 

 

 

රටේ ජනගහණයෙන් අඩකට වඩා කාන්තාවන් සිටින ලංකාවේ මහජනතාවට එදිනෙදා කටයුතුවලදී වඩාත් ළඟින් වැඩ කරන රාජ්‍ය ආයතනය වන පළාත් පාලන ආයතන තුළ පෙර පැවති කාන්තා නියෝජනය ඉතාම අවම විය.
නව පනත් සංශෝධනය තුළ 25%ක අවම කාන්තා නියෝජනයක් සහිත විය යුතු බව
සඳහන් වී තිබේ. මෙහි ප්‍රායෝගික ගැටලු පැන නගින බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇතත්, කාන්තා නියෝජනය වැඩි කළ යුතු බව සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල අදහස වී ඇත. එවන් ආරම්භයකදී මෙවැනි කාන්තා දේශපාලන චරිත සක්‍රිය දේශපාලනයට සම්බන්ධ වීම පාට පක්ෂ කෙසේ වෙතත් සුබ පෙර මග සළකුණු සනිටුවහන් කරන බව නම්, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියල්ලන්ගේම අදහස වන බව නොඅනුමානය.  

මාතෘකා