ජපානෙට හදන පළමු නැව

 ඡායාරූපය:

ජපානෙට හදන පළමු නැව

ශ්‍රී ලංකාවේ සංවර්ධන, තාක්ෂණික හා ඉදිකිරීම් ව්‍යාපෘති බොහෝමයක් විදේශීය රටවල් විසින් මෙහෙයවන වකවානුවක ශ්‍රී ලංකාව විදේශීය රටක ව්‍යාපෘතියක් මෙහෙයවනු ලබන බවට පුවතක් පසුගිය දා අපට වාර්තා වුණි. ඒ ජපානයේ නැව් සමාගමක් සඳහා ප්‍රථමවරට කොළඹ ඩොක්යාඩ් පොදු සමාගම විසින් නෞකාවක් නිර්මාණය කිරීමට සූදානම් වන පුවතකි.
මෙම ව්‍යාපෘතිය ජපානයේ කොකු-සායි රැහැන් නෞකා සමාගම සඳහා කරනු ලබන්නකි.
සිංගප්පූරුව, මැලේසියාව හා ජපානයේ අනෙකුත් ප්‍රචලිත නෞකා සමාගම් සමඟ තරඟකොට කොළඹ ඩොක්යාඩ් පොදු සමාගමට මෙම රැහැන්ගත නෞකාව තැනීමේ ව්‍යාපෘතිය ජපානයෙ කොකු - සායි රැහැන් නෞකා සමාගම පිරිනමන ලදි.
1974 වර්ෂයේ සිට වසර 40කට අධික කාලයක් ඩොක්යාඩ් සමාගම විසින් නෞකා තනන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියට, නාවික හමුදාවට මෙන්ම මැලේසියාව, මාලදිවයින, ඩුබායි, ඉන්දියාව වැනි රටවල් සඳහා මීට පෙර නෞකා නිර්මාණය කොට ඇති නමුත් ලොව ප්‍රබල රටක් සඳහා නෞකා නිර්මාණය කරනු ලබන ප්‍රථම අවස්ථාව වේ.
ලෝකයේ මේ වනවිට බොහෝ රටවල ප්‍රචලිත නෞකා විශේෂයක් ලෙස රැහැන්ගත නෞකා හැඳින්විය හැකිය. රටක සිට තවත් රටකට ගැඹුරු මුහුදේ බලශක්ති රැහැන් හා අන්තර්ජාල රැහැන් තැන්පත් කිරීමේ කර්තව්‍යය සඳහා භාවිතා කරනු ලබන නෞකා රැහැන් ගත නෞකා වේ. සාගරය මධ්‍යයේ පවතින්නා වූ සුළං ආධාරයෙන් නිපදවන බලශක්ති නිපදවන බලාගාරවල නිපදවනු ලබන බලශක්තිය සාගරය මධ්‍යයේ සිට ගොඩබිමට ස්ථානගත කරනුයේ මෙම රැහැන් ගත නෞකා විසිනි. එමෙන්ම එක් රටක සිට තවත් රටකට අන්තර්ජාලය සම්ප්‍රේෂණය කරනු ලබන මහා පරිමාණයේ රැහැන් ද ගැඹුරු මුහුදේ තැම්පත් කරනු ලබන්නේ මෙම රැහැන් නෞකා විසිනි. එමෙන්ම ගැඹුරු මුහුදේ තැන්පත් කළ එම රැහැන් නැවත අලුත්වැඩියා කටයුතු කිරීම සඳහා ද මෙම නෞකා භාවිතා කරනු ලබයි. මෙම ක්‍රියාවලිය යුරෝපය, ජපානය හා ඇමරිකාව වැනි තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කරන රටවල් භාවිතා කරන අතර මීට පෙර ලංකාවට ද ඉන්දියාවේ සිට අන්තර්ජාල සම්ප්‍රේෂණය රැහැන් මෙම නෞකා ඔස්සේ ස්ථානගත කොට ඇත. 
කොළඹ ඩොක්යාඩ් පොදු සමාගම මීට පෙර ඛනිජ තෙල් සහ ගෑස් කර්මාන්ත සඳහා නෞකා තනන අතර ඛනිජ තෙල් වෙළඳපළ කඩාවැටීමත් සමඟම ඩොක්යාඩ් සමාගමේ නැව් සඳහා පැමිණි ඇණවුම් අත්හිටවුණි. මේ සඳහා පිළියමක් වශයෙන් වෙනත් වෙළඳපොළක් වෙත අවධානය යොමු කරන්නට තීරණය කළ ඩොක්යාඩ් සමාගම මේ රැහැන්(කේබල්) නෞකා සඳහා අනාගතයේදී ලෝකේ රටවල් තුළ විශාල ස්ථානයක් නිර්මාණය වන බව පසක් කරගන්නා ලදි. එමෙන්ම අනාගතයේදී වන තාක්ෂණික විප්ලවයත් සමඟ තාක්ෂණය අතින් ඉහළ වටිනාකමකින් යුක්ත නෞකා තැනීම පිළිබඳව ඩොක්යාඩ් සමාගමේ අවධානය යොමු විය. ඒ අනුව මෙම රැහැන් ගත නෞකා තැනීම ප්‍රථමවරට ඩොක්යාඩ් සමාගම විසින් ආරම්භ කරණ ලදී. එහි පළමු පියවර වන්නේ ජපානයේ කොකු -සායි නෞකා සමාගම මඟින් ලබාගත් ව්‍යාපෘතියයි. 
මෙම නෞකාව තැනීමේ මූලිකත්වය දරන්නේ කොළඹ ඩොක්යාඩ් පොදු සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ඩී. වී අබේසිංහ මහතා විසිනි. එමෙන්ම මෙම ව්‍යාපෘතියෙහි කළමනාකාරිත්වය දරන්නේ එස්.ඩී ගිල්බට් මහතාය. 
ජපානයේ කොකු- සායි නැව් සමාගම විසින් මෙම රැහැන්ගත නෞකාව සඳහා කොන්ත්‍රාත්තුව 2017 අප්‍රේල් මස 07 වනදා ඩොක් යාඩ් සමාගම වෙත භාර දුන් අතර ඉන්පසු ගත වූ මාස හයක කාලය නෞකාවේ ආකෘතිය නිර්මාණය කිරීම සඳහා ගත කරන ලදී. 2017 සැප්තැම්බර් මාසයේ මේ නෞකාව තැනීම සඳහා කීල්ලයින්ග් cඑරෙමොන්ය් හෙවත් සමාරම්භක උත්සවය පැවැත් විණි. 2019 මාර්තු මස මෙම නෞකා ජපන් සමාගම වෙත භාරදීමට නියමිතය. මෙම නෞකාවේ නම මේවනවිට තීරණය කර නොමැති අතර ජපන් සමාගම විසින් ඉදිරියේදී එය නම් කිරීමට නියමිතය. 
ප්‍රථමවරට ලංකාවේදී නිර්මාණය කරනු ලබන මෙම නෞකාවේ දිග මීටර 113.1 ක් වන අතර පළල මීටර් 21.5 කි. නෞකාවේ ගැඹුර මීටර් 8.8කි. එහි උපරිම ධාරිතාව වන්නේ 5300 ඪ්Vඨ් වේ. මෙම රැහැන්ගත නෞකාවේ උපරිම වේගය පැයට නාවික සැතපුම් 14.5ක් වන අතර එහි එක් තැනක සිට තවත් තැනකට නොකඩවා ගමන් කිරීමේ හැකියාව පැයට නාවික සැතපුම් 1000කි. නෞකාවෙහි තෙල් ගබඩා කිරීමේ ධාරිතාව ඝණමීටර් 1400ක්වන අතර ජලය ගබඩා කිරීමේ ධාරිතාව ඝණමීටර් 600කි. නෞකාවේ එක්වර පුද්ගලයන් 80කට නවාතැන් ගැනීම සඳහා නිදන කාමර 80කින් යුක්ත වේ. එමෙන්ම කාර්යයන් පහසු කරගැනීම සඳහා නෞකාවේ විවිධ ප්‍රමාණයන් අනුව ක්‍රේන් සවි කිරීමට නියමිතය.
ඩොක්යාඩ් සමාගම මේ වනවිට නිර්මාණය කරමින් පවතින මෙම රැහැන්ගත නෞකාව ඒකක 120කට වෙන්කොට නිර්මාණය කිරිමේ කටයුතු කරනු ලබයි. ඒ වන විට නෞකාවේ කොටස් 10ක් නිර්මාණය කොට අවසන් වී ඇත. නෞකාව නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය එන්ජිම, අවරපෙති, ජෙනරේටර, තාක්ෂණික පද්ධති, රේඩාර් පද්ධති තවමත් තැනීමට තරම් දියුණු තාක්ෂණයක් ලංකාව තුළ නොමැති බැවින් විදේශයන්ගෙන් ආනයනය කිරීමට නියමිතය. මේ වන විට නෞකාවේ බඳ නිර්මාණය කරමින් පවතින අතර ඒ සඳහා ඩොක්යාඩ් සමාගමේ ලෝහ තහඩු අංශයේ 200 දෙනෙකුගේ ශ්‍රමය භාවිතා වේ. ඉන්පසු තාක්ෂණික වැඩකටයුතු ඇරඹීමට නියමිතය. මේ සඳහා යොඳවා ඇති මුළු සේවකයන් ප්‍රමාණය 1500කි. 
මෙම ව්‍යාපෘතිය මගින් විශාල විදේශ විනිමයක් ලංකාව වෙත ලැබෙන බව ඩොක්යාඩ් සමාගමේ ප්‍රධාන අලෙවි විධායක ප්‍රින්ස් ලයි මහතා විසින් ප්‍රකාශ කරන ලදී. ඩොලර් මිලියන 55ක මුදලක් මෙම ව්‍යාපෘතිය මඟින් උපයා ගැනීමට නියමිතය. මීට පෙර ඉන්දියාව සඳහා මඟී ප්‍රවාහන නෞකා දෙකක් නිර්මාණය කර ඇති අතර එහි එක් නෞකාවම ආදායම ඩොලර් මිලියන 20කි. ඉන්පසුව ඉන්දියාව සඳහාම මඟී ප්‍රවාහන නෞකා ද්විත්වයක් ඩොක්යාඩ් පොදු සමාගම විසින් නිර්මාණය කොට ඇති අතර මඟීන් 400ක් සඳහා වන එම එක් නෞකාවක ආදායම ඩොලර් මිලියන 30කි. මෙය ඩොක් යාඩ් ආයතනය විසින් ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් එය ලංකාවට ආඩම්බරයක් ගෙන දෙන්නක් බවත් ලංකාවෙන් ජපානයට නිර්මාණය කරන ප්‍රථම නෞකාව බැවින් මෙය ඉතිහාසගත ජයග්‍රහණයක් බවත් අප සමඟ පැවසුවේය. 
ලංකාවේ මුල්වරට අරම්භ කොට ඇති මෙම රැහැන් ගත නෞකා තැනීමේ ව්‍යාපෘතිය මඟින් විශාල විදේශ විනිමයක් ලැබීමට නියමිත බැවින් ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වීමට එය ඉදිරියේදී විශාල රුකුලක් වනු ඇත. 

මාතෘකා