ආණ්ඩුව ඉවරද?

 ඡායාරූපය:

ආණ්ඩුව ඉවරද?

'මිත්‍රවරුනි, ඔබ කොන්ග්‍රස් පක්ෂයට අවුරුදු හැටක් දුන්නට කමක් නෑ. හැබැයි මට මාස හැටක් දෙන්න. මම ඉන්දියාව හදලා පෙන්වන්නම්'
මෙහෙම කීවේ මෝඩිය. අවුරුදු දහයක් ඉන්දියාව එක දිගට පාලනය කළ,  ගාන්ධි - නේරු පවුලේ කොංග්‍රස් පක්ෂයට විරුද්ධව මෝඩි මැතිවරණ සටනට බැස්සේ එහෙමය. ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු දශක පහක් පමණ වරින්වර රට පාලනය කළ කොංග්‍රසයේ සෝනියා, ප්‍රියංකා, රාහුල් ඇතුළු ගාන්ධි පවුලම මෝඩිට පහර දුන්හ. ප්‍රියංකා වරක් මෝඩිට කීවේ  "නීචී රාජ්නිති" කියලාය. අප්‍රමාණ ගර්හාවලට මෝඩි දුන්නේ වචන පහ හයක උත්තරය. ඒ මෝඩිය. මෝඩි දුන්නේ එහෙම උත්තරය. දේශප්‍රේමය ගැන වහසිබස් දෙඩූ ගාන්ධිලා ආවැඩුවේ බටහිරට බව මෝඩි පුන පුනා කීවේ නැත.සෝනියා ගාන්ධි ඉතාලි සම්භවයක් ඇත්තියක බව ඔහු කිය කියා ගියේ නැත. ඒ වෙනුවට ඔහු ප්‍රතිවාදියා නිරුත්තර වෙන උත්තරයක් දුන්නේය. උත්තර් ප්‍රදේශයේ බහුජන සමාජ පක්‍ෂයේ ප්‍රධානී හිටපු මහඇමැතිනී මායාවතී මෝඩිට නිග්‍රහ කළාය. බටහිර බෙංගාලයේ මහ ඇමැතිනි මමතා බැනර්ජි කීවේ මෝඩි වඳුරෙක් කියාය. අන්තිමට සියල්ල සිදුවුණේ මෝඩි අගමැති කරමින්ය.
 "මම තේ වික්‌කා තමයි. නමුත් රට වික්‌කේ නැහැ"
2014 මැයි 26 මෝඩිගේ තරම ගාන්ධිලාට පෙනුණි. බහුතර බලය ඇති රජයක් පිහිටුවීමට ආසන 272ක් උවමනාය.'තේ හදන කොල්ලා' ආසන 337ක්ම දිනා ගත්තේ ගාන්ධිලාට උන්හිටි තැන් අමතක කරමින්ය. මෝඩිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉන්දිය ඉතිහාසය 'අලුතින්' ලීවේ එහෙමය.
එහෙම දිනූ මෝඩි මුල් අවුරුදු දෙකේදී 'මැජික්' පෙන්නුවේ නැත. ඔහු එතෙක් අන්ත දූෂිත තැනක තිබූ රට ගොඩනැගීමට නව ප්‍රතිසංස්කරණ ගෙනාවේය.
'මෝඩි මොනවද මේ කරන්නේ, මිනිස්සුන්ට කන්න බොන්න දෙනවා වෙනුවට මහ ලොකු ප්‍රතිසංස්කරණ කරනවා' සමහරු කීවේ එහෙමය.
'මෝඩිට බෑ, තව ටික දවසකින් මෝඩි ගෙදර'
විරුද්ධවාදීන් කීවේ එහෙමය.
'මෝඩිගේ අසාර්ථක බව බලාගන්න පුලුවන් දිල්ලි මැතිවරණයේදී'
ඒ කොංග්‍රසයේ සමහරු කී කතාය.
මැතිවරණයට යන්න මෝඩි බයවුණේ නැත.ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, ආර්ථික ප්‍රතිසංස්කරණ වැනි බොහෝ දේ සිදුකරමින් සිටි නිසා තමන්ගේ ජය නියත බව මෝඩි විශ්වාස කළේය.
2013 තිබූ දිල්ලි මැතිවරණයෙන් ජයගෙන සිටියේ මෝඩිගේ භාරතීය ජනතා පක්ෂයයි. ඔවුන් ආසන 31ක් දිනා සිටියේය. කෙජ්‍රිවාල්ගේ ආමි පක්ෂය ආසන 28කි. කොන්ග්‍රසය ආසන 8කි. ගාන්ධිලාගේ කොන්ග්‍රසය තුනට ඇද දමා මෝඩිගේ පක්ෂය බලය ගත්තේය. මහ මැතිවරණයේ දී විශිෂ්ඨ ජයක් ලැබීමෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ භාරතීය ජනතා පක්ෂයේ ශක්තිය උරගා බලන ප්‍රථම අවස්ථාව මෙයයි. නමුත් වසර දෙකකට පසු කෙජ්‍රිවාල්ගේ ආමි අද්මාම් පක්ෂය ආසන 66ක් ලබාගෙන මෝඩිගේ පක්ෂය ආසන 4ට බස්සවන්නේය.
'මෝඩි ගෙදර යන්න ලෑස්ති වෙන්න'
විපක්ෂය කීවේ එහෙමය.
'මෝඩිගේ ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ භාණ්ඩයක්. ඔහුගේ කයිවාරු විතරයි. දිල්ලියෙන් පැරදුණා කියන්නේ මෝඩි ගෙදර යන්න ඕනා'
එහෙම කතාද මෝඩිට අසන්නට සිදුවිය.
ආණ්ඩුව යන ගමන ගැන මෝඩි හරියට හිතන්නට පටන් ගන්නේ ඊට පස්සේය. කඩිනමින් මෝඩි නව වැඩපිළිවලක් සැකසුවේය. ජනතා අවශ්‍යතා වෙනුවෙන් වැඩපිළිවෙල වේගවත් කළේය. 'රැඩිකල්' වෙනස්කම්වලට මුල පිරුවේය. මෝඩි ඊළඟ ඡන්දෙට ගියේ 'අලුත් වැඩ' ගොඩක් එක්කය.
මැතිවරණය තිබ්බේ ගුජරාටියේය. මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 99ක් දිනා ගන්නකොට කොන්ග්‍රසය දිනා ගත්තේ ආසන 77ක්ය.
මෝඩි ඉවරයි කීව අය තුෂ්නීම්භූත වූයේ ප්‍රතිපලය ආවමය. ලංකාවේ වෙලා තියෙන්නෙත් එහෙම දෙයක්ය.
පසුගියදා ලංකාවේ තිබ්බේ පුංචි මැතිවරණයය. එහෙමත් නැත්නම් ප්‍රාදේශීය සභා මැතිවරණයය.
'ආණ්ඩුව ඉවරයි'
සමහරු එහෙම කියයි.
'දැන් ආණ්ඩුව ගෙදර යන්න ඕනා.' මහින්ද පිල එහෙම කියයි.
පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධුර 3369ක් ලබාගෙන ඇත. ප්‍රකාශිත ඡන්දවලින් එම පක්ෂය ලබාගෙන ඇති ප්‍රතිශතය සියයට 44.65කි. ඔවුන් දිනුම්ය. හැබැයි ටිකක් තර්කානුකූලව බැලුවම ලැබෙන උත්තරය වෙනස්ය. 2015 ජනාධිපතිවරණට එක් වූ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැතිවරණයේ දී ලබාගත් මන්ත්‍රීධුර සංඛ්‍යාව 3417කි. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 46.01 කි. 2015 මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයාට ලැබුණු ඡන්දවල ප්‍රතිශතය සියයට 47.58කි. එය මේ වනවිට සියයට 44.65 දක්වා අඩු වී ඇත. 2005 වසරේදී හිටපු ජනාධිපතිවරයා ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 50.29කි. එය මේ වනවිට සියයට 44.65 දක්වා අඩු වෙමින් අඛණ්ඩව ඡන්ද ප්‍රතිශතය අඩුවීමේ ලක්ෂණයක් දක්නට ඇත.
අනෙක් අතට ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව එක්සත් ජාතික පක්ෂයට එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තරඟ කරන්නේ ශ්‍රී ලංකා ඡන්ද මල්ලක් තියාගෙන නොවේය. ඔහු ඡන්දෙට එන්නේ හිස් මල්ලක් අරගෙනය. හැබැයි ඔහු මැතිවරණය දිනන්නේය. ඊට පසුව ඔහු නැවත ශ්‍රීලනිපය බාරගන්නකොට මහින්දලා පලුවක් ගලවාගෙන ගියහ. එහෙම බැලුවම මෛත්‍රී මෙවර ඡන්දෙට එන්නේ බිංදුවේ ඉඳලාය. හැබැයි ඔහු ඡන්ද ලක්ෂ පහළොවක් එකතු කරගන්නේය. එජාපය ලක්ෂ තිස් හයක් ගන්නකොට, එදා මෛත්‍රී සමඟ සිටි ටී.එන් .ඒ ඡන්ද ලක්ෂ තුනකට කිට්ටුව ලබා ගන්නේය. එහෙම බැලුවම පොහොට්ටුවට 'ලොකු ඡන්දයක්' දිනන එක සෑහෙන දුර සිහිනයක්ය.
වසරින් දෙකින් ආණ්ඩු පෙරලනවා නම් ඒක 'අපූරු' විහිලුවක්ය.1947 මහ මැතිවරණයේදී කිසිම පක්‍ෂයක්‌ පැහැදිලි බහුතරයක්‌ ගත්තේ නැත. 1952 මාර්තු මාසයේ  අගමැති ධුරයට පත් නව අගමැති ඩඩ්ලි සේනානායක මහතා මසක්‌ ඇතුළත මහා මැතිවරණයක්‌ පවත්වා තුනෙන් දෙකේ බහුතරයක්‌ ලබාගත්තේය. එහෙත් ආණ්‌ඩුවේ පාර්ලිමේන්තු කණ්‌ඩායම ඇතුළත නොයෙකුත් ආරවුල් ඇති විය. 1953 දී ඩඩ්ලි  ඉල්ලා අස්‌වීම නිසා සර් ජෝන් කොතලාවල අගමැති ධුරයට පත්විය. 56 ඒක පෙරළුණේය. 1956 ආණ්ඩුව 60 පෙරළුණේය. රාජාසන කතාව පැරදුන නිසා 60 නැවත මැතිවරණයක් තිබ්බේය.
77 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එනතුරුම තිබ්බේ අස්ථාවර ආණ්ඩුය. ආණ්ඩුවකට වසර 5ක් දෙන්නේ ජනතාවය. ඒ වසර පහ වෙනස් කිරීමට පෙළඹීම සාධාරණ වන්නේ නැත.
දේශපාලනය ගතිකය. ඒ ගැන සැකයක් නැත. මහ මැතිවරණයකදීත් නොපෙන්වූ උනන්දුවක් මේ මැතිවරණයේදී ජනතාව පෙන්වූයේ ඒ ගතික බව නිසාමය. වෙනදා නම් මෙහෙම මැතිවරණවලින් දෙන සංඥා ආණ්ඩුවට ටොකු අනින වර්ගයේ ඒවාය. හැබැයි මෙවර දීලා තිබ්බෙන්නේ කණ හරහා සැර පහරක් ය. ඒ ගැන ආණ්ඩුව හිතන එක හොඳය.
දිල්ලි පරාජයෙන් පස්සේ ගමන වෙනස් කළ මෝඩි ඊට පස්සේ  මැතිවරණවලදී පෙරට ආවේය. මේ ආණ්ඩුවට ලැබුණු අනපේක්ෂිත පරාජය ගැනත් නිවැරදි කියවීමක් කළොත් එය ජයග්‍රහණයක් බවට පත් කරගන්නට අමාරු නැත. සරලව කීවොත් වැරදුණු පාර හරිගස්සා ගන්නට අවුරුදු දෙකක් හොඳටම ඇතිය. දේශපාලනයේ සතියක් යනු දිගු කලක් බව 1964දී විල්සන් චර්චිල් කීවේය. ඔහු මහමැතිවරණය දිනුවේ නූලෙනි. එහෙම බැලුවොත් 'මේ ආණ්ඩුවට මියෙනවාද රැකෙනවාද' යන්න තෝරා ගන්නට වසර දෙකක්ම තිබේ. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරණයට මුහුණ දෙමින් සිටි අවධියේ දිනෙක ඔහුගේ නමට ආ ලිපි අතර කුඩා දැරියකගේ ලිපියක්‌ තිබිණි. ඒබ්‍රහම් ලින්කන් ඒ ලිපිය දෙතුන් වරක්‌ කියෙව්වේය.
වෙස්‌ට්‌ පීල්ඩ් ඉල්
නිව්යෝර්ක්‌
1860 ඔක්‌තෝබර් 15
ගරු. ඒ. ලින්කන්
ප්‍රිය මහත්මයාණනි, 
ඔබ ඇමරිකාවේ ජනාධිපති වනවාට කැමැති අය අතර මමත් ඉන්නවා. හැබැයි මම තාමත් අවුරුදු 11 ක පුංචි ගැහැනු ළමයෙක්‌. මම ඔබට කැමැතියි. මං මේ විදිහට ලියනවට ඔබ මාත් එක්‌ක තරහා වෙන්න එපා මම ඔබේ එක අඩුපාඩුවක්‌ දැක්‌කා. ඔබේ මුහුණ හැකිලිලා. හකු ඇතුළට ගිලිලා. කිසිම ප්‍රාණවත් ගතියක්‌ නැහැ. ජනාධිපති කෙනකුට හොඳ පෙනුමක්‌ තියෙන්න ඕනෑ. මම ඔබට හොඳ උපදෙසක්‌ දෙන්නම්. ඔබ රැවුල වවන්න. එතකොට මුහුණට අමුතුම පෙනුමක්‌ ලැබෙනවා. හැම අඩුපාඩුවක්‌ම වැහිලා යනවා. 
මගේ සහෝදරයෝ හතර දෙනෙක්‌ ඉන්නවා. එයාලගෙන් දෙන්නෙක්‌ ඔබ ජනාධිපති වෙනවට හුඟක්‌ කැමැතියි. ඒත් අනෙක්‌ දෙන්නා තවමත් ඒ ගැන තීරණයක්‌ අරගෙන නැහැ. ඔබතුමා රැවුල වැව්වොත් මට පුළුවන් අනෙක්‌ සහෝදරයෝ දෙන්නට කියන්න ඔබට ඡන්දය දෙන්න කියලා. මට කරන්න පුළුවන් ලොකුම දේ ඒකයි. ඔබට ජය.
මෙයට 
ග්‍රේස්‌ බෙඩෙල්
දැරියගේ උපදෙසින් ලින්කන් දිනුවේය. මේ මොහොතේ ආණුඩුවට වඩා වටින්නේ හරි දේ හරියට තෝරාගැනීමය.
මාතෘකා