ටිරාන් මැරුණෙ නැහැ ආයිමත් එනවා : ඇන්ඩෲ පුල්ලේ | ඇස පාදන රැස


ටිරාන් මැරුණෙ නැහැ ආයිමත් එනවා : ඇන්ඩෲ පුල්ලේ

 ඡායාරූපය:

ටිරාන් මැරුණෙ නැහැ ආයිමත් එනවා : ඇන්ඩෲ පුල්ලේ

කූඹියෝ කියන්නෙ ලංකාවේ ටෙලිනාට්‍ය කලාව එක්තරා රැල්ලක් බවට පත් කළ ටෙලිනාට්‍ය නිර්මාණයක්. ලක්මාල් ධර්මරත්නගේ අධ්‍යක්ෂණයක් සහ අසංග දොඩන්තැන්නගේ නිෂ්පාදනයක් වුණ "කූඹියෝ" ටෙලිනාට්‍යයේ "ටිරාන්"ගේ චරිතය මේ වන විට කා අතරත් කතාබහට ලක්වන චරිතයක් වී හමාරයි. එයට හේතුව පසුගිය සතියේ විකාශය වුණ කූඹියෝ අවසන් කතාංගයේ සිදුවූ සිදුවීම් සමඟ. එම නිසා කූඹියෝ ටෙලිනාට්‍යයේ "ටිරාන්"ගේ චරිතයට පණ පොවන ඇන්ඩෲ පුල්ලේව අපි කතාබහකට එකතු කරගත්තා.

ඇන්ඩෲ , "ටිරාන්ට" මොකද වුණේ?
ටිරාන් ඉතින් මැරුණා. ඒත් ටිරාන් ඇත්තටම මැරුණේ නැහැ. ටිරාන් ආයිමත් එනවා. කූඹියෝ කියන්නෙ වෙනස් ආරක් ගත්ත ටෙලිනාට්‍යයක්. ඉතින් ඒ වෙනස ඇතුළෙ ටෙලිනාට්‍යයේ පටන්ගැන්මේ සිටම බොහෝදෙනා පුදුම කරවන සිදුවීම් වුණා. මේකත් ඒ වගේ එක අවස්ථාවක්. පුදුම කරන්න පටන්ගත්තෙ ජෙහාන්ගෙ චරිතෙන්. මේ ටිරාන් මැරුණු තැන කූඹියෝ ටෙලිනාට්‍යයේ එක හැරවුම් ලක්ෂයක් විතරයි. කතාවේ ඉදිරි කොටස් මීට වඩා ප්‍රේක්ෂකයෝ පුදුමයට පත් කරයි. කතාවේ හැම චරිතයක්ම අවසානයේ පුදුමකරවනසුළුයි. 

ඇන්ඩෲට ටිරාන්ගෙ චරිතෙ ලැබෙන්නෙ කොහොම ද?
ඒක ඇත්තටම අහම්බයක්. ජගත් මනුවර්ණ මගෙ හොඳම යාළුවෙක්. මම මීට කලින් ජගත් එක්ක චිත්‍රපටයක් කළා. ඒ චිත්‍රපටයෙත් මගේ චරිතය ටිරාන්ගේ චරිතයට ටිකක් සමානයි. ඒ චිත්‍රපටය තාම ප්‍රදර්ශනය කරලා නැහැ. නමුත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්න ඒකේ පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් කළා. කූඹියෝ අධ්‍යක්ෂවරයා වෙන ලක්මාල් ධර්මරත්න ඒකෙන් මාව දැකලා තමයි මට මේ ටිරාන්ගේ චර්තයට ආරාධනා කළේ.

ඊටපස්සෙ ඇන්ඩෲ ටිරාන් වුණා?
නැහැ. පලවෙනි හමුවීමෙන්ම මම කැමති වුණේ නැහැ. මේ චරිතෙ රඟපාන්න මට එක ගැටලුවක් තිබුණා. ඒක තමයි මගේ භාෂා ප්‍රශ්නය. මම ක්‍රිස්තියානි භක්තික දමිල ජාතිකයෙක්. ඉතින් සිංහල භාෂාව මට හසුරුවන්න පුළුවන් යම් මට්ටමකට පමණයි. ඒත් ඒ සියල්ලම ලක්මාල්ගේ දක්ෂතාවය නිසා මඟහරවා ගන්න පුළුවන් වුණා. ඒ වගේම මම කැමතියි ලක්මාල්ගේ Style එකට. ඒ වගේම මේ කතාව හරිම නැවුම්. ඒ නිසා මම "ටිරන්" වුණා. 

ඇන්ඩෲ ටිරාන්ගේ චරිතෙට පෙර සූදානමක් වුණා ද?
මම කොහොමත් හිටියෙ තට්ටෙ ගාලා. ඒ නිසා විශේෂයෙන් සකස් කරන්න ඕනේ වුණේ නැහැ. ඒත් ලක්මාල් ඒක පොඩ්ඩක් style කළා. පලවෙනි වතාවේ රැවුලත් එක්ක ටිරාන්ව හැදුවා. ඊටපස්සෙ දෙවෙනි වතාවෙ රට ගිහින් ආපු ටිරාන්ව පොඩි කට් එකක් එක්ක වෙනස් කළා. ඒ වගේම ටිරාන්ගේ චරිතෙ ඇඳුම් ලක්මාල්ට ඕනේ විදිහට වෙනස් කළා.

ඇත්තටම ටිරාන්ලා වගේ චරිත ඉන්නවා ද?
ඔව් ඉන්නවා. ටිරාන්, ලක්මාල්ගෙ නිර්මාණයක්. ඒ චරිතේ ගොඩනැඋවෙ ලක්මාල්. ඒත් ලක්මාල් කියපු විදිහට ඇත්තටම මේ වගේ කට්ටියක් ඉන්නවා. හැමදාම දකින මැරයො වගේ බුලත් කාගෙන, සරම් ඇඳගෙන නෙමෙයි එයලා ටිකක් වැදගත් විදිහට ඉන්නෙ. හැබැයි එයාලා මැරයො.

ටිරාන් වගේ මැර චරිතයකට හදපු උන්මාදය ගැන සතුටක් තියනවාද? 
ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා මම ගැන. දැන් හැමෝම මට කතා කරන්නෙ ටිරාන් කියලා. ඒ වගේම මට දැන ගන්න ලැබුණු විදිහට සමහරු ටිරාන්ව අනුකරණය කරනවා. ඒ චර්තයට මොකක්හරි trend එකක් හැඳිලා නම් එයට හේතුව ඒ චරිතය හසුරුවන්නාගෙ දක්ෂතාවය සහ රංගන ශිල්පියාගේ දක්ෂතාව. මට ලොකු ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්නවා. එයාලා මට විවිධාකාර ප්‍රතිචාර දක්වනවා. විශේෂයෙන් facebook ඔස්සේ. නමුත් ඇත්තටම මට  කිසිම දෙයක් කියවගන්න් බැහැ මම සිංහල දන්නෙ නැති නිසා. 

ටිරාන් මැරුණාට පස්සෙ ඒ ප්‍රතිචාර වැඩි වෙන්න ඇති?
ඔව්. මම වෙන්නැති මේ දවස් ටිකේ මැරුණ එකම මනුස්සයා. ඒ වගේම ජීවත් වෙලා ඉද්දි හැමෝම මරණ දැන්වීම් හදපු මනුස්සයත් මම වෙන්නැති. දකින දකින හැම තැනම මගේ මරණ දැන්වීම්. ඒ තරමට ඒ සිදුවීමෙන් පස්සෙ ගොඩක් අය ටිරාන් ගැන කතා කරනවා. අධ්‍යක්ෂවරයා වෙන ලක්මාල් ඒ අවස්තාව සංස්කරණ කරපු විදිහ දැකලා මමත් පුදුම වුණා. ඇත්තටම ටිරාන්ට වුණ දේ මටවත් හිතා ගන්න බැහැ. ජෙහාන්ට ආදරේ කරපු අය දැන් ටිරාන්ට ආදරේ කරන්න පටන් අරන්. 

චරිතාංග රංගන ශිල්පීන් රාශියක් එක්ක සහ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න්ල් ලැබුණු අත්දැකීම කොහොම ද?
ඒක ලොකු අත්දැකීමක්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ ඔස්ටින් අයියාව. එහෙම නැත්තන් සේනමක ටයිටස් මහත්මයාව. ඔහු ටිරාන්ගෙ චරිතෙ සාර්ථකව ගොඩනගන්න මට ගොඩක් උදව් කළා. ඒ වගේ තුමිදු දොඩන්තැන්න, කළණ ගුණසේකර මේ දෙපල එක්ක වැඩ කරද්දි ඒකත් මට ලොකු අත්දැකීමක් වුණා. විශේෂයෙන් තුමිදු වෘත්තියෙන් රංගා ආචාර්යවරයෙක් නිසා මට අපහසු තැන්වලදි මට උදව් වුණා. ඒ වග මේ චරිතය ගොඩනගන්නෙ ලක්මාල්. ලක්මාල්ගෙ හිතේ හිටපු ටිරාන්ට තමයි මම පණදුන්නෙ. මගේ භාෂා ප්‍රශ්නය ගැටළුවක් නොකරගෙන මට සාර්ථකව චරිතය ගොඩනගන්න මේ හැමෝම ලොකු උදව්වක් වුණා. 

මීට පෙර ඔබ රංගනයෙන් සම්බන්ධ වුණ නිර්මාණ ගැන කිව්වොත්?
මම පාසල කාලෙ අවසන් වුණාට පස්සෙ මෝස්තර නිරූපන ශිල්පියෙක් ලෙස වැඩ කලා. ඒ අතරවාරයේ sky entertainer කියන ආයතනයෙන් කරපු සංගීත වීඩියෝවක හිටියා. ඒක භාතිය - සන්තුෂ්ගෙ ගීතයක්. ඒක ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ධ වුණා. ඒ වගේම තව "සිහිනේ" කියලා සංගීත වීඩියෝවකත් මම හිටියා. 

ඔබ වෘත්තිය රංගන ශිල්පියෙක් නෙමෙයි. ඔබේ වෘත්තිය ගැන කිව්වොත්?
මම වෘත්තිය වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂවරයෙක්. මම මාසෙකට වෙළඳ දැන්වීම් 5ක් වගේ ඉතාම සීමිත සංඛ්‍යාවක් කරන්නෙ. ඒ වගේම මම සීමිත සන්නාම කීපයක් සඳහා විතරයි දැන්වීම් හඳන්නෙ. ඒත් ඒ සියල්ලම ලංකාවේ ප්‍රමිතිගත සන්නාම.

චිත්‍රපටයක් අධ්‍යක්ෂණ කරන්න අදහසක් නැද්ද?
චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් තියනවා. ඒක මම තනියම කරන වැඩක් නෙමෙයි. නාමල් ජයසිංහ, ලක්මාල් ධර්මරත්න, ජගත් මනුවර්ණ මේ හැමෝම එකතු වෙලා කරන වැඩක් ඒක. අපි මේක 2012 ඉඳන් සැලසුම් කරනවා. ඉදිරියේදි ඒ සැලසුම චිත්‍රපටයක් හැටියට දකින්න ලැබෙයි. ඒත් ඒ චිත්‍රපටය හරියමට මොකද්ද කියලා දැන්මම කියන්නෙ නැහැ. 2020දි හැමෝටම ඒක එළිදකිවි. 

ජගත්,නාමල්,ලක්මාල්,ඇන්ඩෲ... මේ එකතුවෙ "කල්ට්" එකක් තියෙනවා නේද?
ඔව් අපිට කල්ට් එකක් තියනවා. ඒත් අපි ඒක කියන්නෙවත් ප්‍රදර්ශනය කරන්නෙවත් නැහැ. ඒක අපිටම වෙන් වෙච්ච අනන්‍යතාවයක්. මේ ඔක්කොම අධ්‍යක්ෂවරු. අපි හැමෝම එක්තරා කෝනයකින් බලන අය. ඒ වගේම අපි හැමෝම එක්තරා වර්ගයක චිත්‍රපටි බලන අය. ඇත්තම මේක චිත්‍රපටි නිසා හැඳුණු කල්ට් එකක්. 

ඇන්ඩෲගෙ පෞද්ගලික තොරතුරු කිව්වොත්?
අම්මයි තාත්තයි ඉන්නවා. ඒ වගේම මට අයියා කෙනෙක් ඉන්නවා. මම තාම අවිවාහකයි. 

ඇන්ඩෲගේ ප්‍රේක්ෂකයන්ට මොනාහරි කියන්න තියනවා ද?
ටිරාන්ට ආදරේ කරන සියලුම ප්‍රේක්ෂකයන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එයාලට විශේෂයෙන් කියන්න ඕනේ. එයාලා මට ගොඩක් ප්‍රතිචාර දක්වනවා අන්තර්ජාලයෙන්. ඒ කිසිම දෙයක් සිංහල බැරි නිසා මට කියව ගන්න බැහැ. ඒ නිසා ඒ දේවල්වලට ප්‍රතිචාර දක්වන්න බැරි වුනාට සමාව ඉල්ලනවා.

මාතෘකා