වචන විසිපහකින් ජීවිතය අහුලන යහන්ගල පාමුල මිනිස්සු | ඇස පාදන රැස


වචන විසිපහකින් ජීවිතය අහුලන යහන්ගල පාමුල මිනිස්සු

 ඡායාරූපය:

වචන විසිපහකින් ජීවිතය අහුලන යහන්ගල පාමුල මිනිස්සු

වර්ග කිලෝමීටර හැටපන්දහස් හයසිය දහයක් පමණ විශාල  ශ්‍රීලංකාව පෙරදිග ලෝකයේ 'මුතු ඇටය' කියලා හඳුන්වන්ව. චිංගීස් අයිත්මාතව් කියන්නේ ඉංදියාව නැමති මවගේ පියයුරෙන් වැටෙන 'කිරි බිංදුව' ලංකාව කියලයි.

අපි කතා කරන්නේ එහෙව් රටක ගම්මාන 14000ක් ඉක්මවා තිබෙන රටක, එක්තරා ගමක් ගැනයි. ගමක් 'අරුම පුදුම' වෙන්න හේතුවක් තියෙන්නෙ කොහොමද? ඔව්, මේ කියන ගමේ අරුමයක් තියෙනව.

නුහුරු නුපුරුදු සුන්දර ගම්මානයක තතු විත්ති හොයාගෙන අපි ගමන ආරම්භ කළේ ඉර  කන්ද කපාගෙන එළියට පාත් වෙන්නටත් පෙරාතුවමයි. නුවරින් මිදී ඉදිරියට යද්දී, නිල් අහසට යටින් පෙනුණේ එක යායට හරිත යායයි.

" අපි මේ යන්නේ ගම්මානෙකට විතරක් නෙවෙයි, ලංකාවේ දැනට තියෙන අති දුෂ්කරම ගම්මානෙට ".

ගමේ නම උඩගලදෙබොක්ක.!

උඩගල දෙබොක්ක ගම්මානය අයිතිවෙන්නේ මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, තෙල්දෙනියේ හසලක ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයට. මහනුවර කටුගස්තොට පසුකොට දිගන හරහා මහියංගණ පාරට සේන්දු වුණු අපි තෙල්දෙනිය මොරගහමුල පාරෙ හුන්නස්ගිරියෙන් උඩදුම්බරට ආව. දහඅට වංගුව පහුකරද්දි අපිට හුරුපුරුදු වංගු ගණං කිරීම මෙවර අපෙන් මඟ හැරිල තිබුණෙ අපිටත් නොදැනුවත්වම. ඒ තරමට මේ ගමන ගැන හිතේ තිබුණෙ උනන්දුවයි කුතුහලයයි.

අපිට මේ හුදකලා ගම්මානය හොයාගන්න උදවු කළේ උඩගලදෙබොක්ක ගමේ පාසලේ විදුහල්පතිතුමා.

"තව දුරද" කියලා අප අහද්දි ඔහු හිනාවුණේ අපි අසරණකරන බැල්මකින්. ඒ බැල්ම අපිට දුර පිළිබඳ ඉඟියක් දෙන්නට සමත්. මේ අතිශය දුෂ්කර ගමේ පාසැලේ විදුහල්පතිවරයා තරුණයෙක්. ඔහු කලක් තිස්සේ පාසැල භාරව කටයුතු කරනව.

ගමේ අයට අනුව ඔහු 'දිලිප් සර්'. මිනුවන්ගොඩ පදිංචිකරුවෙක්.

රට පුරා පාරවල් 'කාපට්' වෙලා තිබුණත්, මේ ගමට හරිහමන් පාරක්වත් නෑ. පාර වෙනුවට තිබුණේ ලොකු වළවල්.  

" මේ පාරෙ බස් එකකුත් යනවා".විදුහල්පතිවරයා එහෙම කිව්වෙ අපි දිහා බලන ගමන්.

තවත් කිලෝමීටර් පහ හයක් අපි ඉදිරියට යද්දි වාහනයකින් යා හැකි උපරිම දුර අවසන් උනා.

යහන්ගලට දකුණු පසින් තිබෙන කදු ගැටය පෙන්වූ දිලිප් සර් කීවේ

'හරියටම අර කන්දේ තුන්කාලක් විතර උඩට නගින්න ඕනෙ' කියල. ගමන සිතු තරම් පහසු නැති බව දැනෙද්දි හිතට ආවේ පොඩි තිගැස්මක්. මිනුවන්ගොඩ ඉඳන් හැමදාම උඩගලදෙබොක්කට එන එක ඔහුගෙ දිනචරියාවෙ කොටසක් කියල දැනගත්තම දැනුණේ පුදුම හැඟීමක්.

ගමන ආරම්භයේ ඇවිද යා හැකි, පාරක් යැයි කිව හැකි සලකුණු තිබූ කැඩුණ බිඳුණ පාර අවසන් විය. ඉන් ඔබ්බේ වූයේ අලුතින් කැපූ මැටි පාරය. ගෙන්දගම් පොළොවේ දහස් ගණනක් මින්සුන් එක්ක එකට අඩි තියද්දි දැනෙන තනිකම, මේ ගැමියන් දෙතුන් දෙනා සමග යද්දී අපට දැනුණේ නැත. අප සමග ගමනට අතරමගදී එක්තු වුණ වයසක අත්තම්මා කෙනෙක්,  තමන් සතියකට දෙතුන් වතාවක් මේ කන්ද නගින, බසින බව අප සමග පැවසුවාය.

ඈතින් පෙනෙන අපූරු කඳුවැටිය පොරවගෙන තිබුණු මීදුම්වලා, දහවලෙත් නොවෙනස්ව තියෙද්දි කාලය ගතවෙනවා අපිට දැනුණේ නැති තරම්ය. නිල්ල ගහන කුඹුරු යායවල් අතරින් යන මේ ගමනේ එකදු පියස්සක් හෝ දකින්නට නොලැබීම පුදුමයට කරුණක් වුණි.  ඈතින් ගල්වැටි අස්සෙන් පෙනෙන කහ පාටින් තීන්ත ආලේප කළ තනි ගොඩනැල්ල ප්‍රජා ශාලාවක් වෙන්ට ඇතැයි අපි අනුමාන කළෙමු.

"ඒ පේන්නේ අපේ ඉස්කෝලේ".

බිංදුවට වැටුණු පුංචි පාසැල

එයට පාසලක් යැයි කිව හැකිදැයි මම මේ වනතුරුත් නොදනිමි. ටකරන් සෙවිලි කළ වහලයක් සහ එක් ප්‍රධාන දොරටුවකින් හෙබි පාසල එම ගම්මානයේ දුෂ්කරතාවයේ සංකේතය යැයි මට සිතේ. ගුරුගීතයේ අයිලය මතක් කරවන පාසලත්, දුයිෂෙන්ගේ ප්‍රතිමූර්තියකැයි හැඟෙන විදුහල්පතිත් සැබැවින්ම ගමට කරන සේවය පිළිබඳ වැඩිහිටියෝ සාක්ෂි දැරීය. පාසැල බිංදුවටම වැටී තිබූ එකකි.

"මයේ දූ ශිෂ්‍යත්වෙට ලීවා. ලකුණු බිංදුවයි'

දැරියකගේ මවක් කීවාය. දැරිය ශිෂ්‍යත්වය ලියනු තබා තම විභාග අංකයවත් දැනගෙන සිට නැත. දිලිප් කුමාර විදුහල්පතිවරයා 'පාසැලට එන්නේ ඔය අතරය. දැන් පාසලේ ඉගෙනගන්න දරුවන්ගේ ලියන කියන හැකියාවන්, අත්වැඩ වගේම සාමාන්‍ය දැනීමත් ඉස්සරට වඩා වැඩිවෙලා.

දිලිප් සර්ට වගේම අනෙත් ගුරු දෙපළටත් එහි ගෙරවය හිමි වෙනවා. දෙමව්පියන් කියන්නේ කෘතවේදීවය.

වාග් කෝෂයේ වචන විසිපහයි

වචන විසිපහක පමණ වාග් මාලාවක් හිමි, අවුරුදු දහසයේ තරුණ දරුවන් සිටින පාසල් තවමත් ඇතැයි ඔබ හීනෙකින් හෝ නොසිතන්නට ඇති. ඔවුන්ට ඇසට අසුවන, හිතට දැනෙන ලෝකයේ විශාලත්වය යහන්ගල කඳුවැටියෙන් වටවූ ගම තරම්ම කුඩාය.

ගොවිතැනත්,කුලී වැඩත් ජීවිතය කරගත් මිනිස්සු උස් හඬින් ඉල්ලන කිසිවකුත් නැති. ගම්වරය කෙලවර බෝධි වෘක්ෂයට ඔවුහු සිය දුකත් සතුටත් දෙකම කියති. පුලුවන් හැටියට 'බෝධි වෘක්ෂය' ගැමියන්ගේ පිරිපත දුක් නිවයි. නගරයේ ලොකු පාසල්වල දරුවන් අධි සුඛෝපභෝගී අවශ්‍යතා වෙනුවෙන් ඉල්ලීම් කරද්දී, ගමේ පාසැලේ දරුවන්ට හිමි මූලික අවශ්‍යතා හෝ නොමැතිව ගෙවන ජීවිතය සැබැවින්ම කණගාටුදායකය.

නොදරු වියෙන් විවාහයට

ඔවුන් පාසල් ජීවිතයෙන් පසු අවතීර්ණ වන්නේ තම විවාහ ජීවිතයටය.  අහිංසකකම පිරුණු මුහුණුවල පැවති අව්‍යාජත්වයට, ළමා හෝ වැඩිහිටියැයි වෙනසක් තිබුණේ නැත. අලුතින් මැසූ සුදු ඇඳුම් ඇඳගත් පොඩි දරුවන්ගේ සිනහව මොහොතකට අපේ හදවත නැවතුවේ, ඒ වයසේ අපි දන්නා දරුවන්ගේ අවශ්‍යතා කෙතරම් ඈත දැයි සිහිපත් වීමෙනි.

නගරයේ අවුරුදු ගණනාවක සිට සූදානම්වන විවාහ මංගල්‍ය උත්සව පිළිබඳ මේ ගැමියෝ හාන්කවිසියක් නොදනිති. ඔවුහු අවුරුදු දහසයෙන් දාහතෙන් විවාහ වෙති. දරුවන් වදති. මේ දුෂ්කර ගම්මානයේ ජීවත් වෙන්නට දරුවන්ට උගන්වති. තම මනාලිය කැන්දාගෙන යන ගැමියා, හැකි දවසක හසලක කච්චේරියට ගොස් විවාහය ගිවිස ගැනීමට පෙළඹෙයි.

ගමටම වැසිකිළි තුනයි

ගමේ පවුල් තිස් හතක් ජීවත් වුවද එම පවුල්වල සනීපාරක්ෂකතාව ඉතාම කණගාටුදායක තත්වයක පවතී. පවුල් තිස් හතටම වැසිකිළි ඇත්තේ තුනක් පමණය.
ගමේ තත්වය එසේ වෙද්දී දිලිප් සර් සම්පූර්ණ පහසුකම් සහිතව වැසිකිළි දෙකක් පාසලට ඉදිකරන්නට වෙහෙස වෙයි. පමුණුපුර සිට උඩගලදෙබොක්ක දක්වා සිමෙන්ති කොට්ටයක් ගෙනෙන්නට රුපියල් 1000 ක් ද වැලි තාච්චියකට රුපියල් 250 ක් ද කුලී මුදලක් වැය කරමිනි. ඇත්තෙන්ම ඔහු අපූරු ගුරුවරයෙකි.

හරි පුදුම ගුරුතුමා

ගමේ වෙසෙන පවුල් 37 ක  සිටින 100කට ආසන්න සියලු දෙනාගේ සම්පූර්ණ නම උපන්දිනය නිවස පිහිටන ස්ථානය ඇතුළු සියලු වතගොත හෙතෙම දනී. ඔහු ගමකට පමණක් කොටු වූ මනුස්ස ආත්ම රැසක් ඉන් ඔබ්බට ගෙනයාමට නොතිත් වෑයමක් ගනී. පස්වසරක් තිස්සේ ඔහු දුෂ්කර සේවයේ යෙදී සිටින්නේය. ඒ ගැමියන් හා එක්ව දුක් වළඳමින්, ඔවුන්ගේ වේදනා කඳුළු පිසිමින්, උතුම් ගුරුකම නොතිත් සතුටකින් සිදුකරයි.  

අපේ රටේ වෙසෙන අප වැනිම ජන කොටසක් සහ දරු පිරිසක්  වෙනුවෙන් නව ලොව හීනයක්ව ඇති අනාගත පරපුරකට නව මං තනන්නට වෙහෙසෙන පූජනීය ගුරු සේවයට ඔහු නවමු අර්ථයක් එක් කරයි.  මප/තෙල්/ උඩගලදෙබොක්ක කනිෂ්ට විද්‍යාලයේ විදුහල්පති ලෙස වැඩ බලමින් ඔහු ඉන් ඔබ්බට මිනිසුන්ට ජීවත්වීමේ කලාවත් කියාදෙයි. වන අලින්ගේ ප්‍රහාරයට ලක්වන්නට ගොස් ගහක පිහිටෙන් දිවි ගලවාගත් ආකරයත් ඔහුගේ දුෂ්කර සේවයේ අත්දැකීම් හා දොඩමළු වෙමින් පල්ලම් බැස්ස අපි ඉන්පසු අවතීර්ණ වුණේ ගැමි නිවෙසකටය. එය රූස්ස ගස්වලින් දෙපස කළුවර වුණු පුංචි දොල පාරක් හරහා ගොස් කුඹුරු යායකින් ඔබ්බට ගොස් හමුවන නිවසකි.

සීනි දැකලවත් නෑ

කිසිම දිනයක සීනි මිලදී ගෙන නොමැති ඒ ගැමියන්ගේ හකුරු සමග කහට එකක රස අදටත් දැනෙන්නේ කහටක් නොමැති ලෙංගතුකම නිසා වෙන්නැති.

'අපිට සීනි ගන්න උවමනාවක් නෑ. ඇරත් එහෙම සල්ලියකුත් නෑ. හකුරු හරි පැණි හරි එක්ක කහට ටිකක් බොනවා'

ඒ ගලන්නේ අව්‍යාජ ගැමිකමය.

මිනිස්සුන්ට සිහින තිබේ. නෙක සිහින අහිමිකළ ජීවිතය හිස්ය. බලාපොරොත්තු අහිමි හිස්කම නාගරික හෝ අර්ධ නාගරික අපට නූහුලන්නක් වුවද මේ ගැමියන්ට ඒ හැටි දෙයක් නොවේ.

අසීමිත අවශ්‍යතාවන්ගෙන් හිස පුරවාගෙන, අතෘප්තියෙන් ජීවිත ගෙවන නගරවැසියන්ට වඩා එම මිනිසුන්ගේ ජීවිත සුන්දරය. ඒ හීන කුඩාය. එහෙත් ලස්සනය.

'අපිට මහා ලොකු හීන නෑ. නිස්කාන්සුවේ ජීවත් වෙනවා. ඒත් මේ දරුවොන්ට හෙටක් තියෙන්න ඕන.'

ගැමියෙකු කීවේ යහන්ගලට ඉහළින් මෝදුවෙන හිරු දිහා බලාගෙනය. ඒ දෙනෙත් දිලිසෙයි.

'රටේ ආණ්ඩු එනවා, යනව, අපිට වගක් නෑ. අපි ඒ රටේම ගමක ජීවත් වෙනවා. අපිට පේන්නේ ඉර පායනවා බහිනවා විතරයි'

තලතුනා ගැමියෙකු ජීවිත අත්දැකීම් එක්ක මුමුණයි.

හවස් වෙද්දී අලි තර්ජන නිසා ගමෙන් පිටවීම දුෂ්කරයැයි ගම්වැසියන් පැවසූ නිසා අපි එම සුන්දර ගම්මානයේ දුෂ්කර ජීවිත ගෙවන, නිර්ව්‍යාජ මිනිසුන්ගෙන් සමුගත්තෙමු.

[ඕලුනී රත්නායක] [නදී මාණික්කගේ]

මාතෘකා