තුන්වන ලෝකයේ සංවර්ධන මායාව | ඇස පාදන රැස


තුන්වන ලෝකයේ සංවර්ධන මායාව

 ඡායාරූපය:

තුන්වන ලෝකයේ සංවර්ධන මායාව

බලවත් රාජ්‍යයන් සිය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සම්පත් ලබා ගැනීමට හා ප්‍රාග්ධන භාණ්ඩ හා පාරිභෝගික භාණ්ඩ අලෙවි කර ගැනීම සඳහා වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් දුප්පත් රාජ්‍යයන් ණය සහ සංවර්ධනය යන උගුලක පටලවා තිබේ. බලවත් රාජ්‍යයන් නියෝජනය කරමින් පැමිණෙන ආර්ථීක ඝාතකයන් දුප්පත් රටවල නායකයන් හමුවේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවල වටිනාකම වර්ණනා කරති. එම රාජ්‍යයන්ගේ ජාතික ආදායමට ඔරොත්තු නොදෙන ආකාරයේ විදුලි උත්පාදන ව්‍යාපෘති, මහාමාර්ග හා වාර්මාර්ග ව්‍යාපෘති, කාර්මික කලාප, වරායන් හා ගුවන්තොටුපළවල් වැනි මහාපරිමාණ ව්‍යාපෘති සඳහා යෝජනා ඉදිරිපත් කරති. ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ණය වශයෙන් ලබාදීමට ඔවුන් එකඟ වෙති. දැවැන්ත ව්‍යාපෘතිවලින් ලැබෙන පෞද්ගලික ප්‍රතිලාභ හමුවේ දණින් වැටෙන මෙම රාජ්‍යවල දේශපාලනඥයෝ ව්‍යාපෘති ලබාගැනීම සඳහා ලහි ලහියේ කටයුතු කරති.  

ස්වාභාවික වනාන්තර විනාශ කරමින් මහාපරිමාණයේ කාර්මික කලාප ඉදි වේ. ගංගා, ඇළදොළ හරස් කරමින් මහා පරිමාණ ජලාශ ඉදිකෙරේ. මුහුදු ගොඩකරමින් කෘතිම දූපත් නිර්මාණය කෙරේ. සාරවත් ගොවිබිම් යට කරමින් අධිවේගි මාර්ග, දැවැන්ත කර්මාන්ත ශාලා ඉදිකෙරේ. විශාල වරායවල් හා ගුවන්තොටුපළවල් ඉදිකෙරේ. ස්වාභාවික වනාන්තරවල හා ගොවිබිම්වල විශාලා ආවාට ශේෂ කරමින් ආකාර කර්මාන්ත සිදුකෙරේ. මිනිස් ශ්‍රමය හා අලි ඇතුන් යොදා වැඩ කළ මෙම රටවල දේශීය ජනයා යන්ත්‍රානුසාරයෙන් කෙරෙන මෙම සංවර්ධන වැඩ හමුවේ තුෂ්නීම්භූතව බලා සිටිති. මෙම ව්‍යාපෘති කරන කොටගෙන ගොඩනැගෙන ජනතා විරෝධය සමනය කරගැනීම සඳහා දේශපාලනඥයෝ “සංවර්ධනය‍” ”සංවර්ධනය” යැයි බෙරිහන් දෙති.  

මේ සංවර්ධනය හමුවේ තුන්වෙනි ලෝකයේ රාජ්‍යයන් ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතිය හා පාරිසරික වශයෙන් ගැටලු රාශියකට මුහුණපානු ලබයි. ව්‍යාපෘති සඳහා අවශ්‍ය වැලි, පස් හා ගල් ලබා ගැනීම නිසා පස් කඳු, කළුගල් පර්වල හා ගංගා නිම්න විනාශ වී යෑමෙන් පාරිසරික අසමතුලිතතාවයන් ඇති වේ. සාරවත් ගොවිබිම් විනාශ වී යෑමත්, අධික නියඟය හෝ ජල ගැලීම් නිසාත්, මේ රටවල කෘෂිකර්මාන්තය දුර්වල වී සාගත තත්ත්වයන් පවා උදා වී තිබේ. සංවර්ධන ව්‍යාපෘතිවලින් සැළකිය යුතු අදායමක් නොලැබී යෑම නිසාත්, ඒවාට ලබාගත් ණය හා පොළිය ගෙවීම සඳහාත්, තවදුරටත් දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීමෙන් රටවල් ආර්ථික වශයෙන් පරිහරණයට පත්වේ. එදිනෙදා වියදම පියවා ගැනීම සඳහා අව්‍යවශ්‍ය භාණ්ඩ මත බදු පැනවීම නිසා භාණ්ඩ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම ඉහළ ගොස් ජනතාවගේ ජීවන තත්ත්වය පිරිහීමට ලක් වේ. ව්‍යාපෘති සඳහා ණය ලබාදෙන රටවල්වලින්ම ශ්‍රමිකයන් යෙදවීම නිසාත්, දේශීය ශ්‍රමිකයන් යෙදවීම නිසාත්, දේශීය ශ්‍රමිකයන් මෑන්පවර් ක්‍රමයට ලබාගැනීම නිසාත් රැකියා ප්‍රශ්න උද්ගත වී තිබේ. මෙම ව්‍යාපෘති වලින් යැපෙන දේශපාලන පංතියක් හා නිළධාරී පංතියක් බිහිවීම නිසා සමාජය තුළ ඇති හැකි පරතරය විශාල වී තරුණ කැරළි, වැඩවර්ජන හා ත්‍රස්ත්‍රවාදය වැනි ප්‍රශ්නද මේ රාජ්‍යයන් තුළ දක්නට ලැබේ.   

ව්‍යාපෘති නඩත්තු කරගැනීමට නොහැකිවීම, ලාබාගත් ණය ගෙවීමට නොහැකිවීම නිසා එම ව්‍යාපෘති ණය ලබාදුන් බලවත් රාජ්‍යයන්ටම අයිතිවෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ගෝලීය වශයෙන් වැදගත් කමක් උසුලන ප්‍රධාන වරායන්, ගුවන් තොටුපළවල් මේ රාජ්‍යයන්ට අහිමිවන අතර ඔවුන් බලවත් රාජ්‍යයන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් වේ. ජාතික ආර්ථිකයන් බල ගැන්වීම වෙනුවට විදේශීය ණය ප්‍රාග්ධනය මත යැපීම නිසා තුන්වන ලෝකයේ රටවල ජනයා උපන් බිමේ අනාථයන් බවට පත්වෙමින් සිටිති. 

[චන්දන කුමාර ලියනාරච්චි]  

මාතෘකා