හිරෝෂිමාවේ දුක බ්‍රසීලයෙන් මකා දැමූ පේලේ

 ඡායාරූපය:

හිරෝෂිමාවේ දුක බ්‍රසීලයෙන් මකා දැමූ පේලේ

1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරන තෙක් බලාපොරොත්තු දල්වා සිටි ශ්‍රී ලංකාව මතකෙට නංවා ගන්න.. සියලු බැමි පසෙකට දමා එකම ජාතියක් ලෙස ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් සරණ පැතූ, යාඥා කළ, දෙවියන්ට භාරකළ ලංකාව මතකෙට නඟා ගන්න.. රූපවාහිනී ගුවන්විදුලි ඉදිරිපිට තම රටේ විජයග්‍රහණය වෙනුවෙන් පෙළගැහුණු ශ්‍රී ලාංකික ජාතිය සිහියට නඟාගන්න..

ඒ සිහිපත් කිරීමත් රැගෙන අපි ගමන් කරමු බ්‍රසීලයට.. යුරෝපීය ආක්‍රමණිකයන්ට යටත්ව සිට ලතින් ඇමරිකාවේ ගින්නෙන් උපදින ෆීනික්ස් පක්ෂියෙක් බඳු වූ සුන්දර බ්‍රසීලයට උදා වී තිබුණේ 1950 වසරයි..

රටේම ජනතාව ගුවන්විදුලි ඉදිරිපිට නිශ්ශබ්දව සිටින්නේ තම කණ්ඩායම උරුගුවේ රාජ්‍යට එරෙහිව මුහුණ දෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේ ජයග්‍රහණය වෙනුවෙනි..

බ්‍රසීලය යනු පාපන්දු රාජධානියයි.. එය බාල මහළු වැඩිහිටි කාන්තා පිරිමි භේදයකින් තොරව ජාතියේම රුධිරය ලෙස අධ්‍යාත්මය තුළම බැඳී පවතින්නක්.. නමුත් බ්‍රසීලයම හඬවමින් 1950 ලෝක කුසලානය බ්‍රසීලය උරුගුවේ රාජ්‍ය හමුවේ

අවාසනාවන්ත ලෙස පරාජයට පත්වෙනවා.. එය අපට එක් තරඟයක් වුවත් බ්‍රසීලය අදටත් එය දකින්නේ මහා ඛේදවාචකයක් ලෙසයි..

සරලවම කියතොත් බ්‍රසීලයේ හිරෝෂිමාව ලෙසයි ඔවුන් ඒ පරාජය හඳුන්වන්නේ.. ඒ පරාජය බ්‍රසීල හදවතට කෙතරම් තදින් දැනුණ දෙයක් ද බව කීමට තවත් සාක්ෂි අවශ්‍ය නෑ..

මේ තරඟය කඳුළු පිරි දෑසින් අසා සිටිනවා බ්‍රසීලයේ Tres Coracoes ප්‍රදේශයේ අපිරිසිදු මුඩුක්කු ජනාවාසයක 1940.10.23දා ඉපදුණ Edison Arantes do Nascimento කියලා පොඩි කළු කොල්ලෙක්.. අනිත් පොඩ්ඩන්ට වගේම මේ කොල්ලටත්

පොඩි කාලෙ තිබුණා ෆුට්බෝල් උණක්.. කොල්ලට ගෙදරට ආදරේට කිව්වෙ ඩිකෝ කියලා.. අහලපහළින් එකතු කරපු රෙදිපටි වලින් හදපු බෝලෙකින් මුඩුක්කුවෙ කොල්ලො එක්ක ඉඩ ලැබුණ හැම වෙලාවෙම ඩිකෝ කළේ ෆුට්බෝල් සෙල්ලම් කරපු එක..

ඩිකෝගෙ තාත්තා රෝහලක සනීපාරක්ෂක කම්කරුවෙක්.. වැසිකිළි කාණු පවිත්‍රකරන්නෙක්.. ආර්ථික අපහසුකම්වලට මුහුණ දෙන්න බැරි හින්දා අම්මා කළේ සුදු මහත්තයෙකුගෙ ගෙදරක මෙහෙකාරකම..

පේලේගෙ පියා හිටපු පාපන්දු ක්‍රීඩකයෙක්. ඔහු පාපන්දුවලට කොපමණ ආදරය කළත් 1950 පරාජයෙන් පසු මානසිකව බිඳවැටිලා හිටියෙ. කොල්ලා සෙල්ලම් කරනවට වැඩිය දෙමව්පියො කැමති උනේ මේ අපායෙන් ගොඩඑන්න අධ්‍යාපන ඉනිමඟ නගින එක.. ඉතින් අගහිඟකම් කොපමණ තිබුණත් දෙමව්පියො දරුවන්ගෙ ඉගෙනීම ගැන උනන්දු වුණා. නිවාඩු දවසට පොඩි ඩිකෝ අම්මා එක්ක වැඩකරන තැනට යනව උදව් වෙන්න. ඩිකෝට පේලේ කියලා නම දාන්නෙ ඒ ගෙදර අයිතිකාර ළමයා.. ඩිකෝ ඒ නමට වෛර කරනවා ඉතින් ඒක හින්දා රණ්ඩු වෙලා ඩිකෝට අම්මාගෙන් ගුටිකන්න වෙනවා..

එහෙදි ඩිකෝ දකිනව දැන්වීමක්. නගරෙ තිබ්බ පාපන්දු තරඟයක් ගැන.. ඩිකොයි යාළුවො ටිකයි මේ තරඟෙට ඉදිරිපත් වෙනවා..

බූට්ස් දාගෙන, පාට පාට නිල ඇඳුම් ඇඳගෙන, තොප්පි දාගෙන හිටපු කණ්ඩායම් එක්ක ඩිකෝගෙ කණ්ඩායම නිර්වස්ත්‍ර කකුල්, දූවිලි ගැහුණ කොට කලිසම්, ඇඳගෙන ඉදිරිපත් වෙනවා.. තරඟයෙදි ඔවුන්ට ලැබුණ නම වුණේ " පාවහන් රහිත කණ්ඩායම " කියලා.. පෑගීම හමුවේ තවත් එඩිතරව මුහුණ දීපු මේ පොඩි කොල්ලා ප්‍රේක්ෂකයො පුදුම කරමින් ලේවලට කිඳා බැහැපු පා පන්දුව ගෝල් කණු වලට විදුලියක් වගේ අරගෙන ගියා.. අවසන් මහා තරඟෙට පාවහන් රහිත කණ්ඩායම සුදුසුකම් ලබනවා,.. ප්‍රතිවාදී පිලේ නායකයා වුණේ ඩිකෝගෙ අම්මා වැඩකරන ගෙදර ළමයා..

සපත්තු නැති නිසා අනිත් කණ්ඩායම්වල හිනාවට ලක්වුණ ඩිකෝගෙ කණ්ඩායමට ඒක දරුණු මානසික වදයක් වෙනවා.. පොඩ්ඩො ටික රටකජු මිටි කිහිපයක් හොරකම් කරනවා මේ නිසා.. එයින් ලැබුණ මුදලින් ඔවුන් පරණ ඉරිච්ච සපත්තු මිලදී ගන්නවා..

අවසන් තරඟෙදි ප්‍රතිවාදීන්ට හොඳ සටනක් දීපු පුංචි ඩිකෝගෙ කණ්ඩායම පරාජය වෙනවා.. ඩිකෝ හොඳම ක්‍රීඩකයා ලෙස කුසලානය ලබාගන්නවා.. තරඟයේදී අනිත් කණ්ඩායම් ඩිකෝට පේලේ කියලා විහිළු කරපු හින්දා ඔහුගෙ නම පේලේ විදිහට ප්‍රසිද්ධ වෙනවා..

ඔහු කවදාවත් හිතන්නෙ නැතුව ඇති ඔහු වෛර කරපු පේලේ නමට ලෝකයක් ආදරය කරයි කියලා..

එවකට බ්‍රසීලයේ හොඳම පාපන්දු ක්‍රීඩා සමාජ වලින් එකක් වුණ සැන්ටෝස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරුවෙක් පේලේ ක්‍රීඩා කරන විදිහ දකිනවා.. දැකලා පේලේගෙ දෙමව්පියන්ට කියනවා පේලේව පුහුණු කරන්න එවන්න කියලා..

පේලේගෙ ඉගෙනීම නිසා පේලේගෙ මව ඒ තීරණයට තදින්ම විරුද්ධ වෙනවා..

මේ අතරෙ පේලේ පියා එක්ක රෝහලේ වැසිකිලි පිරිසිදු කරන්න යන්න පටන්ගන්නවා.. මේ කාලෙදි ඔහු පාපන්දු ක්‍රීඩාව නිතරම ක්‍රීඩා කිරීම අතහැරලා පියාගෙ වැඩවලට උදව් වෙනවා..

දරුවගෙ මේ වෙනස්වීම දරාගන්න බැරි වුණ පේලේගෙ අම්මා අවසානයේදී පේලේව පුහුණු කඳවුරට යවන්න එකඟ වෙනවා..

ඔවුන් තමන් වැඩකරන තැන්වලින් මුදල් ණයට අරගෙන පේලේගෙ පාපන්දු ජීවිතේ වෙනුවෙන් ඒ මුදල් යොදවලා පුහුණු කඳවුරට ඉදිරිපත් කරනවා..

පේලේගේ රුධිරයේ ගැබ්වී තිබුණේ බ්‍රසීලයේ කළු ජාතිකයන්ගේ පරම්පරාවෙන් පැවත ආ පාපන්දු කලාව.. එයට බ්‍රසීල වැසියන් එය හැඳින්වූයේ ජිංගා කියලා..

අධිරාජ්‍යවාදී සමයෙදි වතුවල සේවයට ගෙනා අප්‍රිකානු වහලුන් පලාගොස් සැඟවෙනවා බ්‍රසීල වනාන්තරවල. ඔවුන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කරන්න ලංකාවෙ අංගම් වගේ යොදාගත්ත සටන් ක්‍රමේ තමයි ජිංගා කියලා කියන්නෙ..

අධිරාජ්‍යවාදීන් ජිංගා සටන් කලාව තහනම් කරනවා.. නමුත් කළු ජාතික වහල් විමුක්තිකාමීන් විසින් ජිංගා සටන් කලාව පාපන්දු ඉරියව් අතර සඟවනවා.. අංගම් සටන් උඩරට නර්ථනය අතරෙ සැ‍ෙඟවුවා වගේ..

ඒ පාපන්දු කලාව පාරම්පරිකව පැවතගෙන ඒමෙන් තමයි පාපන්දු ක්‍රීඩාවට ජිංගා ක්‍රීඩා විලාශය එකතු වෙන්නෙ.. පේලේගෙ රුධිරයේත් ජිංගා තදින්ම කාවැදී තිබුණා..

නමුත් පුහුණුකරුවන් තදින්ම විශ්වාස කළා 1950 පරාජයට හේතුව ජිංගා විලාශය කියලා.. ඒ නිසාවෙන්ම පාපන්දු පුහුණුවීම් තුළ ජිංගා විලාශය තහනම් කරනවා. මේ නිසා පේලේ කඳවුරේදී දැඩි අපහසුතාවයට පත්වෙනවා.. ඔහු ගොඩයෙක් ලෙස හංවඩු ගැහෙනවා.. මේ නිසා ඔහු වරක් එයින් යාමට උත්සහ කළත් ඔහුගේ ක්‍රීඩා විලාශයට ඇලුම් කළ පුහුණුකරුවෙක් විසින් පේලේව වළක්වනු ලබනවා..

පේලේ සැන්ටෝස් කණ්ඩායමට සුදුසුකම් ලබනවා.. එහිදී ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙක් ලෙස සිදුකරන විශ්මයජනක ගෝල වාර්තා කිරීම් නිසා ඔහු බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායමට සුදුසුකම් ලබනවා.. බ්‍රසීලය වෙනුවෙන් ජාතික කණ්ඩායමට තරඟ කරන ළාබාලතම ක්‍රීඩකයා වන්නේ ඔහුයි.. එවිට ඔහුට වයස අවුරුදු 16 යි..

බ්‍රසීල කණ්ඩායම 1958 ලෝක කුසලානයට ඉදිරිපත් වෙනවා.. එය පැවැත්වුණේ ස්වීඩනයේ.. පරාජයේ අඳුරු මතක සිත් රිදීම් සමඟම පළමු වරට ලෝක කුසලානයක් තම රටට ගෙන යාමේ අභිප්‍රායෙන් බ්‍රසීලය තරඟවදිනවා.. එවකට වයස අවුරුදු 17ක් වූ පේලේ ලෝකයේ පාපන්දු ලෝක කුසලානයකට තරඟ කරන ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙනවා..

මුල් තරඟ වටයකදී පේලේ ආබාධයට ලක්වීම නිසා ඔහුට ප්‍රේක්ෂකාගාරය උරුම වෙනවා..

නමුත් යන්තම් සුවය ලැබූ පේලේව තවත් ක්‍රීඩකයෙකුගේ ආබාධයක් නිසා අර්ධ අවසන් අවසන් පූර්ව වටයට ඉදිරිපත් කිරීමට කළමණාකරණය තීරණය කරනවා..

එහිදී වේල්ස් කණ්ඩායමට එරෙහිව ගෝලයක් වාර්තා කරන පේලේ එවැනි දක්ෂතාවයක් කළ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙනවා..

අවසන් පූර්ව වටයේදී පොඩි කොල්ලෙක් යැයි සිනහසුන ප්‍රේක්ෂකාගාරය නිශ්ශබ්ද කරමින් ප්‍රබල ප්‍රංශයට එරෙහිව පේලේ විසින් පිට පිට ගෝල ත්‍රිත්වයක් වාර්තා කරනවා..
පේලේ හමුවේ බිඳවැටුණ ප්‍රංශය අවසන් පූර්ව තරගය 5-2 ලෙස පරාජයට පත්වෙනවා..

පේලේ ඔහුගේම ආරෙන් ගුවනට පැන ක්‍රීඩා කරන විශ්මයජනක පා පහර bicycle kick ලෙස ජනප්‍රිය වෙනවා..

1958 ජුනි 29 වෙනිදා අවසන් මහා තරඟය සත්කාරක ස්වීඩනයට එරෙහිව ස්ටෝඛොම් නුවරදී ඇරඹෙනවා.. පාපන්දු අවසන් මහා තරඟයකට ක්‍රීඩා කරන ළාබාලතම ක්‍රීඩකයා බවට පේලේ පත්වෙනවා..

ප්‍රේක්ෂකාගාරය පේලේ වෙනුවෙන්ම පිරී ඉතිරී යනවා.. 1950 මතකයන් මොහොතකට අමතක කර පේලේගේ මව පියා ඇතුළු මිලියන ගණනක බ්‍රසීල හදවත් තම ආත්මයේ ජයග්‍රහණය වෙනුවෙන් ගුවන්විදුලි රූපවාහීනී ඉදිරියේ දෙවියන්ට යාඥා කරනවා.. ජාතියක බලාපොරොත්තුව තමන් මතට ගත් බ්‍රසීල කණ්ඩායම තරඟයට අවතීර්ණ වෙනවා..

පේලේ ගැන අවධානය යොමුකරන ප්‍රබල ස්වීඩනය ඔහු වටා විශේෂ ආරක්ෂාවක් යොදමින් තරඟයට අවතීර්ණ වෙනවා..

රුධිරයට කාවැදුණු ජිංගාව පිටතට ගන්නා පේලේ තරගයේ පළමු ගෝලය වාර්තා කරනවා.. ලොව එතෙක් වාර්තා කරන ලද හොඳම ගෝලය ලෙස එය වාර්තා පොත් අතරට එක් වෙනවා.. ඔහු වාර්තා කළ දෙවන ගෝලයත් සමඟම තරඟාවලියේ ඔහු වාර්තා කළ සමස්ත ගෝල ගණන 6ක් දක්වා ඉහළ යනවා..

තරගය ගෝල 5-2ක් ලෙස ස්වීඩනය පරාජය කරමින් ප්‍රථම ලෝක කුසලානය දිනාගැනීමට බ්‍රසීලය සමත් වෙනවා.
බ්‍රසීල ජනතාවගේ නොමද ගෞරවාදරයට පාත්‍රවන පේලේ 1962, 1970 ලෝක කුසලාන ඔහුගේ නායකත්වය යටතේ තම ජනතාව වෙනුවෙන් දිනාදෙනවා..

ජාතික කණ්ඩායම වෙනුවෙන් තරඟ 77දී ගෝල 91ක් ද

සමස්ත ක්‍රීඩා දිවිය තුළ තරඟ 1363 ගෝල 1281ක් වාර්තා කරනවා.

FIFA World Cup Best Young Player 1958
FIFA World Cup Golden Ball (Best Player) 1970
FIFA World Cup Silver Ball 1958
FIFA World Cup Silver Boot 1958
Copa America Best Player 1959
Copa America Top Scorer 1959
සියවසේ පාපන්දු ක්‍රීඩකයා -2000
ලොව මෙතෙක් පහළ වි විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා -2012 (golden foot)
සියවසේ ක්‍රීඩකයා - ලෝක ඔලිම්පික් කමිටුව -1999
ලෙස සම්මාන සිය ගණනකින් පිදුම් ලබනවා..

1977 දී පාපන්දු පිටියෙන් විශ්‍රාම ගන්නා ඔහු.. ලොව පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ලෝක පාපන්දු සම්මේලනය හා සමඟ ක්‍රියා කරන අතර පේලේ ලොවට නැවතත් ඔප්පු කලේ වානේ පන්නරය ලබන්නේ ගින්නෙන් බවයි..!

[චමල් අකලංක පොල්වත්තගේ]

මාතෘකා