සුද්දාගේ නිදහස | ඇස පාදන රැස


සුද්දාගේ නිදහස

 ඡායාරූපය:

සුද්දාගේ නිදහස

"1948 පෙබරවාරි 04 වෙනිදා සුද්දා ලංකාව දාලා යන්න ගියේ අපිට නිදහස දෙන්න ඕනි කමට නෙවෙයි අපෙන් නිදහස් වෙන්න ඕනි කමට පුතේ"   
අපේ සීයා දවසක් කියපු කතාව මට තාමත් මතකය.   


බ්‍රිතාන්‍යයන් ලංකාවට පැමිණියේ තමන්ගෙ වෙළඳ කටයුතු පහසු කරගන්න අතරමැද නවාතැන්පොළක් ලෙස භූමියේ පිහිටීමේ වාසිය ලබාගන්නයි. මුලින්ම මුහුදුබඩ ප්‍රදේශවල තමන්ගෙ වෙළඳ කටයුතුවලට අවශ්‍යය වැඩකටයුතු කරගෙන ගියපු බ්‍රිතාන්‍යයන්ට රටේ රජතුමාගේ නීති රීති තද වනවිට බදු මුදල් වැඩිවන විට ඔවුන් රටේම බලය අල්ලගන්න තීරණය කලහ. එහි ප්‍රතිඵලයක් ලෙස 1815දි ලංකාවේ පාලනය බ්‍රිතාන්‍යය කිරීටයට යටත් විය. උඩරට වගා කරන තේ,කෝපි වැනි ද්‍රව්‍යය වරායට ගෙන ඒම පිණිස අවශ්‍යය කරන මහාමාර්ග දියුණු කරන්නට , දුම්රිය සේවාව ආරම්භ කිරිමට ඔවුන්ට සිදුවිය. රටේම මහ මාර්ග පද්දතිය, දුම්රිය සේවාව ආරම්භ වූයේ තමන්ගේ වෙළෙඳ කටයුතු පහසු කරගැනීම උදෙසාය.   
දෙවෙනි ලෝක යුද්දෙ නිමාවීමත් සමඟ යුරෝපය සීග්‍රයෙන් කාර්මීකරණයට ලක්විය. යටත් විජිත වලින් පවත්වාගෙන යෑමෙන් තමන්ට ලාබ ලැබීමට නොහැකි බව ඔවුන්ට වැටහිණි. සාර්ථක ව්‍යාපාරිකයන් වෙච්ච බ්‍රිතාන්‍යයෝ ලෝක ප්‍රවණතාවය දැක ඒ විදියට හැඩ ගැහෙන්න තීරණය කළහ. එලෙසම ඉන්දියාව වැනි රටවල සැරින් සැරේ ඇතිවූ කැරළි මර්දනය කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදු වූ නිසා බ්‍රිතාන්‍යයෝ තමන්ගේ යටත් විජිතවලට නිදහස දීමට තීරණය කලහ. ඒ තීරණයේ ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවද යටත් විජිතභාවයෙන් ඉවත් කර නිදහස ලබාදීම සිදුවිය.   

බ්‍රිතාන්‍යයන් ලංකාවෙන් නිදහස් වී යැම ගැන අපි ආඩම්බර වන්නෙමු.   


නමුත් තවමත් අපේ ප්‍රධාන අපනයන බෝගය වන්නේ ඔවුන් වගා කරන ලද "තේ " ය. ඒ හැර ලෝක වෙළඳපොළ වෙනුවෙන් අපනයනය කිරීමට ඇල්පෙනිත්තක් හෝ නිෂ්පාදනය කරගන්නට අප හට නොහැකි විය. මේ වන විට ලෝක වෙළඳපොල තුළ ලංකාවේ තේ වලට හිම් තැනද පහත වැටෙමින් පවතී. තේ අපනයනය කිරීම නවතා දැමුවහොත් අපනයනය කරන්න නිශ්පාදනයක් අප හට නොමැති වනු ඇත. එසේ වූවත්, ගෘහ සේවිකාවන් ලෙස යැවීම පිණිස කාන්තාවන් සිටින නිසා පාලකයින්ද අලුත් නිෂ්පාදන දිරිගැන්වීම සඳහා යොමු නොවනු ඇතැයි මට සිතේ.   


බ්‍රිතාන්‍යයන් තම වෙළඳ කටයුතු සඳහා පිහිටවූ දුම්රිය මාර්ග හැර අඟලක් හෝ දුම්රිය මාර්ගය දිගු කිරීමට අපහට නොහැකි විය. මා දන්නා අයුරින් ප්‍රවාහනය සඳහා වියදම අඩුම මාර්ගය දුම්රිය මාර්ගයයි. නමුත් අපි වසර 70 ක් තිස්සේ එය වැඩිදියුණු කිරීමට උත්සාහ ගෙන නැති හේතුව මට නම් වැටහෙන්නේ නැත.   

බ්‍රිතාන්‍යයන් හදපු මාර්ග පද්ධතිය ඔවුන් වගා කරන ලද බෝග බුක්ති විඳිමින්,ඒවාගෙන් ආදායම් ගනිමින්, තවමත් ඔවුන්ගේ නීති රීති භාවිතා කරමින්, ඔවුන් හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණවල රැඳෙමින් ඔවුන්ගේ නික්ම යෑම අති උත්සවාකාරයෙන් සමරන්නේ මන්දැයි මා හට වැටහෙන්නේ නැත.   


චීනයට සින්නක්කර විකුණා දැමූ ඉඩමක් ඉදිරියේ අභිමානයෙන් නිදහස සමරන හැටි මට සිතාගැනීමට නොහැකිය.   


"කුණු කඳු වලට යටවී මිනිසුන් මැරෙන රටක,   


 අණ නොතකා ධාවනය කළා යැයි මිනිසුන්ගේ හිසට වෙඩි තබා මරා දමන රටක,   


ජීවත් වීමට අවශ්‍යය අවම යටිතල පහසුකම් ඉල්ලූ විට වෙඩි තබා ඝාතනය කරන රටක,   


තම මතයට විරුද්ධ වූවන් අතුරුදහන් කරවන රටක,   


වරදකට සිරගත වූවන් පෝලිමට දනගස්වා වෙඩි තබා මරා දමන රටක,  


ජාතිය, ආගම,කුලය නිසා මිනිසුන් වෙන්කර සලකන රටක,   


ජනතාවගේ බදු මුදල් සොරකම් කරමින් සැප ගන්නා පාලකයින් ඉන්නා රටක   


සේයා විද්‍යා වැනි දරුවන් දූෂණය කර මරා දමන රටක   


නිදහස ගැන ආඩම්බර වන්නේ කෙසේදැයි මට නම් වැටහෙන්නේ නැත.   


"ආඩම්බර වෙන්න දෙයක් නැති උනාම අනුන්ගෙන් ලැබෙන මන්න පාරට උනත් ආඩම්බර වෙනව පුතේ"   
කියා සීයා මට කුඩා කල කී කතාව සත්‍යය බව මා හට අද හොඳිනම වැටහේ..  

 

 

[සුජිත් ප්‍රියන්ත] [චමල් අකලංක පොල්වත්තගේ]

මාතෘකා