අනියතාර්ථ, අන්‍යාර්ථ හා ගෞරවාර්ථ

 ඡායාරූපය:

අනියතාර්ථ, අන්‍යාර්ථ හා ගෞරවාර්ථ

 

'අර්ථ' යන පදය හා බැඳෙන ප්‍රයෝග සමහරක් ව්‍යාකරණ ශාස්ත්‍රය හා සම්බන්ධ වෙයි. පහත දැක්වෙන ප්‍රයෝග මෙනි.

අනියතාර්ථය

'අනියතාර්ථය' (අනියත-අර්ථය) යනු නියත නොවන අර්ථය යි. නාම පදයක අනියතාර්ථය දැක්වීම පිණිස යෙදෙන ප්‍රත්‍ය විශේෂය 'අනියතාර්ථ ප්‍රත්‍ය' යනුවෙන් හැදින්වෙයි. සිංහලයෙහි යෙදෙන 'අනියතාර්ථ ප්‍රත්‍ය' මෙසේ ය:

එක් : මිනිස්-එක් : මිනිසෙක්

අක් : කාන්තා-අක් : කාන්තාවක්

භික්ෂු-අක් : භික්ෂුවක්

අක් : පද-අක් : පදයක්

එකු : මිනිස්-එකු : මිනිසෙකු

අකු : මිනිස්-අකු : මිනිසකු

අක් : කාන්තා-අක : කාන්තාවක

භික්ෂු-අක : ශික්ෂුවක

අනියමාර්ථය දැක්වීම පිණිස ඉංගිරිසියෙහි යෙදෙන්නේ 'indefinite article' නමින් හැඳින්වෙන පද දෙකකි. එනම්, 'a' හා ' an' යන පද දෙක යි. ව්‍යංජන ශබ්දයකින් ආරම්භ වන පදයකට මුලින් 'a' යන පදය ද ස්වර ශබ්දයකින් ආරම්භ වන පදයකට මුලින් 'an' යන පදය ද

යෙදේ.

මිනිසෙක් : a man

කාන්තාවක් : a woman

පදයක් : a word

පිළිතුරක් : an answer

බිත්තරයක්: an egg

මෝඩයෙක්: an idiot

වස්තුවක් : an object

මාමෙක් : an uncle

අනියමාර්ථ

'අනියතාර්ථ' යන අර්ථය දීම පිණිස ' අනියමාර්ථ' (අනියම-අර්ථ) යන පදය ද යෙදේ.

අන්‍යාර්ථ

'අන්‍යාර්ථ' (අන්‍ය-අර්ථ) යනු වෙනත් අර්ථ යි. සිංහලයෙහි හමු වන පස්වැදෑරුම් සමාස පද අතුරින් එකක් 'අන්‍යාර්ථ සමාස' නම් වෙයි. නොයෙක් අර්ථ ඇති පද එකට ගැළපී ඒවායින් පරිබාහිර අර්ථයක් ගෙන දේ නම් එවැනි සමාස 'අන්‍යාර්ථ සමාස' නම් වෙයි. 'බට' යන පදයේ අර්ථය 'බැස්ස' යනු යි. 'හිර' යන පදයේ අර්ථය 'සූර්යයා' යනු යි.

එහෙත් ඒ පද දෙක එක් ‍කොට 'බටහිර' යැයි කි විට අදහස් කරන්නේ 'බස්නාහිර' නම් දිසාව යි. එබැවින් එය 'අන්‍යාර්ථ සමාසයක්' සේ සැලකේ.

ගෞරවාර්ථ

'ගෞරවාර්ථය' (ගෞරව-අර්ථය) යනු කිසිවෙකුට දක්වන ගෞරවය යි. ඒ අරමුණින් යෙදෙන නාම පද 'ගෞරවාර්ථ බහු වචන නාම පද' නම් වෙයි. 'රජ්ජුරුවෝ' 'හාමුදුරුවෝ' හා 'ස්ථවිරයෝ' වැනි නාම පද මෙන් ම 'පියාණෝ' 'මෑණියෝ' හා 'පුතණුවෝ' යන නාම පද ද ගෞරවාර්ථ බහු වචන නාම පද වෙයි.

වාක්‍යයක උක්තය වශයෙන් ගෞරවාර්ථ බහු වචන නාම පදයක් යෙදේ නම් ඊට සම්බන්ධ ආඛ්‍යාතය වශයෙන් යෙදිය යුත්තේ බහු වචන ක්‍රියා පදයකි.

රජ්ජුරුවෝ රට රකිති

හාමුදුරුවෝ පන්සලට වඩිති

ස්ථවිරයෝ දහම් දෙසූහ

පියාණෝ අවවාද දෙති

මෑණියෝ පොත් කියවති

පුතණුවෝ බස හැදෑරූහ

දකාරාර්ථ සමාස

'දකාරාර්ථ' (දකාර-අර්ථ) යනු පාරම්පරික සිංහල ව්‍යාකරණ ග්‍රන්ථවල එන පස් වැදෑරුම් සමාස පදවලින් එකකි. දකාරයෙන් සම්බන්ධ කළ යුතු පද දෙකක් හෝ කීපයක් ඒ දකාරය නැතිව යෙදීමෙන් මේ සමාස සැදේ. 'මව් ද පිය ද' යන දෙ පදයෙන් 'මව් පිය' යන සමාසය ද

'ඇත් ද අස් ද රිය ද' යන පද තුනෙන් 'ඇත් අස් රිය' යන සමාසය ද සැදෙන්නාක් මෙනි.

නඤ්ඤර්ථ

'නඤ්ඤර්ථ' (නඤ්ඤ-අර්ථ) යනු 'නැත' යන අර්ථය දෙන්නකි. 'න' 'නො' 'නි' යන නිපාත පද හෝ 'නැත' යන පදය හෝ යෙදීමෙන් සැදෙන වාක්‍ය 'නඤ්ඤර්ථ' වාක්‍ය වෙයි. 'මම පොත් නොබලමි' 'මා පොත් බලන්නේ නැත' වැනි වාක්‍ය නඤ්ඤර්ථ වාක්‍ය වෙයි.

සමූහාර්ථ

'සමූහාර්ථ' (සමූහ-අර්ථ) යනු එකක් නොව රාශියක් යන අර්ථය දෙයි. සිංහලයෙහි එන ඇතැම් නාම පද හැඳින්වෙන්නේ 'සමූහාර්ථ නාම පද' වශයෙනි. එවැනි නාම පදයක අවසානයට යෙදෙන්නේ 'අ' හෝ 'ආ' වැනි ඒක වචන රූප ප්‍රත්‍යයක් වුවත් එයින් අදහස් කෙරෙන්නේ එකකට වැඩි සංඛ්‍යාවකි. පහත දැක්වෙන 'සමූහාර්ථ නාම පද' මෙනි:

අ : පිරිස්- අ : පිරිස

සේනා-අ : සේනාව

හමුදා-අ : හමුදාව

ආ : ජන-ආ : ජනයා

ලෝක-ආ : ලෝකයා

වර්ග-ආ : වර්ගයා

මාතෘකා