කලාවට හොඳම මාධ්‍යය අන්තර්ජාලයයි : නලින් ජයවර්ධන

 ඡායාරූපය:

කලාවට හොඳම මාධ්‍යය අන්තර්ජාලයයි : නලින් ජයවර්ධන

ඔහු නමින් නලින් ජයවර්ධනය. සුන්දර ඔස්ට්‍රේලියානු මහාද්වීපයේ සිඩ්නි ප්‍රාන්තයේ ජීවත්වන්නෙකි. දිගු කලක සිට එහි ජීවත් වන ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ සතුටින් යුතුව එහි වෙසෙයි. ඔහු එලෙස දුරු රටක තනිවී සිටියද ගායන ශිල්පියකු වශයෙන් ලෝකයම හඳුනන්නෙකි. අන්තර්ජාලය පරිශීලනය කරන බහුතරයක් ඔහුගේ ශ්‍රාවකයෝ වෙති. ඔහු දුර ඈත මහාද්වීපයක සිට සිංහලෙන් ගී ගයන්නේ අන්තර්ජාලය ඔස්සේය. ඒවා රසවිඳීමට ඔබට, මට අවැසි වනුයේ අන්තර්ජාලයට පිවිසීම පමණි. වෙනත් කිසිදු මුදලක් ගෙවිය යුතු නැති ඔහුගේ මෙම සද්ක්‍රියාව හුදෙක් රසවින්දනය පිණිසය. රසවතුන්ගේ රස භාව කුළුගන්වනුවස් වාච්‍යාර්ථය ද සමඟින් කලතන ඔහුගේ ගී සයුරේ උල්පත් මතුවුණේ කෙසේද? කවදාද? අප ඔහුගෙන්ම විමසා සිටියෙමු.

ඔබ අන්තර් ජාලය භාවිත කරමින් ගීත ගායනා කරන ශිල්පියෙක් වුණේ කොහොමද?

අන්තර්ජාලයෙන් ජාත්‍යන්තරයට යෑමට තිබුණ හැකියාව ප්‍රථමයෙන්ම මම හඳුනාගත්තා. ඒ කියන කාලයේ අපේ නාළිකා සියල්ල සීමා වෙලා තිබුණේ මව්බිමට පමණයි. ඒත් අපිට හැඟුණා මේ හැකියාවෙන් ප්‍රයෝජන ගතයුතු බව. විශේෂයෙන්ම සිංහල භාෂාව ජාත්‍යන්තරය තුළට රැගෙන යාමට ඇති කෙටිම ක්‍රමවේදය මෙය බව අපි අවබෝධ කරගත්තා. ඒ අනුව මහාද්වීපික සීමාව බිඳිමින්, හැඳුනුම්කම්වලට සීමාවුණු, අල්ලසට හෝ විවිධ සබඳතාවලට අනුව සිදුකෙරුණු ගීත ප්‍රචාරණය ස්වාධීනව ජනගත කරන්න මෙය යොදාගත හැකි බව වටහාගත්තා. ඒ ලෙසයි මේ කර්තව්‍ය ආරම්භ කළේ. මෙම කටයුත්තේදී මට මූලිකව සහය දැක්වූයේ මහචාර්ය විකුම්පිය පෙරේරා මහතායි.

ඒ විදිහට ගී ගයන එක රසිකත්වය වර්ධනය කරන්න ප්‍රමාණවත් කියලා ඔබට හිතුණද?

මගේ මුල්ම බලාපොරොත්තුව වුණේ රටින් පිටව ලෝකය පුරා ඉන්න, නිර්මාණකරණයේ හැකියාවන් සහිත වූවන්ට අවස්ථාවක් උදාකර දෙන්නයි. එතැනදී අර්ථවත් නිර්මාණ සමාජගත කරන්න මගේ අවශ්‍යතාව වුණා. ඒ වෙනුවෙන් තිබෙන හොඳම මාධ්‍ය තමයි අන්තර්ජාලය බව මට වැටහුණා. මට ඒ කටයුත්ත වෙනුවෙන් නිර්ලෝභීව කැපවෙන්න හැකි වුණේ ගායනය මට වෘත්තීය වශයෙන් ආදායමක් නොවිය යුතු නිසායි. ඒ නිසා මම ගීත ගායනා කළේ රසවින්දනය ප්‍රමුඛ අරමුණ කරගෙන මිස වෘත්තීය අරමුණ කරගෙන නොවෙයි. මොකද මම හොඳ පුහුණු වෘත්තිකයෙක් වශයෙන් ජීවත්වන කෙනෙක්.

දැන් කොපමණ කාලයක සිට ඔබ මේ ආකාරයෙන් සයිබර් අවකාශයේ ගීත ගායනා කරනවද කියලා කිව්වොත්?

මගේ මුල්ම ගී එකතුව එළි දැක්වූයේ 2004 වසරේදීයි. දැනට අවුරුදු 14 පෙර තමා මම මෙම කර්තව්‍යයට අත්පොත් තැබුවේ.

ආසන්න වශයෙන් ඒ ගීත ප්‍රමාණය ගැන කතා කරනවා නම්?

400 අධිකයි. තැටි වශයෙන් ගත්තොත් ගී තැටි 25ක් පමණ මම නිකුත් කරලා තිබෙනවා. සයිබර් අවකාශයට තවත් ගී තැටි දෙකක් නුදුරේදීම මම මුදාහරිනවා.

මේ ආකාරයට අන්තර්ජාලයෙන් විතරක් ගයන ගායකයකුට ගීත නිර්මාණ කරන්න ඔබේ පද රචකයෝ කැමතිද?

පදරචකයින් කිසිවකුත් මගේ උත්සහය ගැන විරෝධය පළකර නැහැ. මම මේ වනවිට පද රචකයන් 135 දෙනෙකුගේ රචනා ගීත බවට පත්කරලා ගායනා කරලා තියෙනවා. එම පද රචනාවල අයිතිය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේයි. එතැන බුද්ධිමය දේපල පනත අනුව මම සම අයිතියක් පද රචකයන්ටත් ලබාදී තිබෙනවා. ඉතින් ඔවුන්ට අවශ්‍ය නම් සයිබර් අවකාශයට අමතරව ගුවන්විදුලිය, රූපවාහිනිය ඔස්සේ මේ ගී වාදනය කරවිය හැකියි.

ඔබ කළ බොහෝ ගී ලියා තියෙන්නේ වෙනත් මහාද්වීපයක සිටයි. තනුවත් එසේමයි. ඔබ ගායනා කරන්නේ තවත් මහාද්වීපයක සිටයි. මේක ලෝකය ගැන අලුත් අර්ථ කථනයක් දෙනවා?

තාක්ෂණයේ මහිමය කියන එක තමයි මට කියන්න තියෙන්නේ. කාර්මික විප්ලවයෙන් ලෝකය නව යුගයකට පිවිසුණා වගේම මේ සයිබර් යුගය ලෝකය තවත් ළං කළා. ඒ නිසයි අපි මේ තරම් ළඟ ඉන්නවා වගේ ලියන්නෙ. කතා කරන්නෙ. ගයන්නෙ.

අපි අතීතයට යමු. ඔබ කොහොමද ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වුණේ?

මම 1991 වසරේ තමයි ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණේ. එදා සිට අද දක්වා ඉතාමත් ස්වාධීන ලෙස ජීවත් වෙනවා. එවැනි අවස්ථාවක් අපට හිමිවෙලා තිබෙන්නේ පාලකයන්ගේ විශිෂ්ටත්වය නිසයි. මම එවැනි නිර්පාක්ෂික පාලනයක් තුළ ක්‍රමවත් ජීවිතයක් අත්විඳීම පිළිබඳ සැබැවින්ම සතුටු වෙනවා.

එ් වෙද්දී ඔබ ගායකයකු නොවෙයි?

ඒ කාලයේ මම විනෝදයට ගී ගැයුවා. වෙන දෙයක් කෙරුවේ නෑ. මවුබිමේ වෙසෙනා කාලයේ, සහජ දක්ෂතා තියෙන අය කීයෙන් කීදෙනෙකුටද ඒවා එළිදක්වන්න අවස්ථාවක් ලැබුණේ? අදත් රට තුළ මාධ්‍ය මඟින් පමණක් නිර්මාණ කරනවා නම් තමුන්ට ලැබෙන අවස්ථා සීමා සහිතයි. ලංකාවේ ගීත කැසට්පට කළ සමාගම් එක්ක මටත් කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ. ඉතින් මමත් අයිති වුණේ අර නිර්මාණ එළිදැක්විය නොහැකි කලාවට සමීප බවක් ඇති රසිකයකු ලෙසයි. ඒ කාලේ අපේ අදහස වුණේ කොහොම හරි ආර්ථික සමෘද්ධිය ළඟා කරගැනීම. ඉතින් අපි ඒ සමඟ පොරබැදුවා.

රටින් පිටවී සිටියදී ඇති වන කාන්සිය විසින් ගායකයකු බිහිකළා කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද?

කාන්සියට අමතරව ස්වාධීනත්වය, තාක්ෂණය ගැන ඇති කරගත් අවබෝධය, ආර්ථිකය හා නව නිර්මාණකරුවන් හා එකතු වී ඔවුන්ට අතදීමට තිබූ අවශ්‍යතාව වගේ කරුණුත් එතැනදී මූලික වුණා.

ඔබ යුග ගී ගායනා කරද්දීත් දෙතැනක සිට ගයනවා?

ගොඩක්දුරට යුග ගී ගැයුවේ දක්ෂ ආධුනික ශිල්පීන් සමඟයි. ඉතින් ඔවුන් සොයා සහභාගී කරගත්තේ මගේ මව්බිමෙන්මයි. දැන් ඒ ගැන මට සතුටක් තියෙන්නේ එහෙම ගයපු ගොඩක් දෙනෙක් අද ස්වාධීනව දුර ගමනක් ගිහින් තියෙන නිසා.

මේ සියලු කාරණාවලින් කියැවෙන්නේ තාක්ෂණය උපරිම ආකාරයෙන් පරිශීලනය කිරීම අතින් ඔබ ඉන්නේ වයසට වඩා බොහෝම ඉදිරියෙන්?

ඔබ එහෙම හිතනවා නම් එය ආඩම්බරයට හා සතුටට හේතුවක්. ඒ පටන්ගත් දේ අද තරුණ පරපුර වැඩි දියුණුකර ගෙන පවත්වාගෙන යනවා දකින එකතරම් සතුටක් තව කොහෙද?

 

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා