රන් රස සේ පෑහුණු ආදරවන්තිය පන්නල පොඩිහාමි

 ඡායාරූපය:

රන් රස සේ පෑහුණු ආදරවන්තිය පන්නල පොඩිහාමි

"අදට වඩා හිඟන්නෝ එදා හිටියා. ඒ අතර රොඩී මිනිස්සුත් හිටියා. ඒ වගේ අය ගෙයකට ආවම අද වගේ සල්ලි නෙමෙයි දුන්නේ හාල් මිටක්. නමුත් ඒ ආපු හැමෝටම මම දුන්නේ හාල් මිටක් නෙමෙයි, වී ලාහෙන් එකක්..."

මේ අයුරින් දාන පාරමිතා පුරමින් දැහැමි දිවි පෙවෙතක් ගත කළ, වයස අවුරුදු සියය ඉක්මවා දීර්ඝායුෂ විඳින්නට පිං ලද ඉමිහාමිල්ලාගේ පොඩිහාමි මාතාව මට මුණ ගැසුණේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යක්විල, හැඟව නම් ගම් පියසේදීයි.

1918 අප්‍රේල් මස හත්වැනිදා දන්කොටුව හුන්දිරාපොළදී මෙලොව එළිය දුටු පොඩිහාමිගේ මවගේ නම පොඩි නෝනාය. පියා ඉමිහාමිල්ලාගේ මැණික්රාලය. සහෝදරියන් දෙදෙනකු සහ එක් සහෝදරයකු සිටි පවුලේ වැඩිමහල් දියණිය ඇයයි.

චේන් පොට

"අපේ ගම හුන්දිරාපොළ. අපේ තාත්තා කළේ ගොවිතැන් වැඩ. අපේ අම්මත් හරි හරියට ඒවාට උදවු කළා. මම අටේ පන්තිට වෙනකම් ඉස්කෝලේ ගියා." ඇගේ සිප්හල වී ඇත්තේ පොතුවටවන රජයේ විදුහලයි. "ගෙදර ඉඳලා හැතැම්මකට වැඩිය දුර අපි පයින්ම තමයි ඉස්කෝලෙට ගියේ. මමයි නංගිලා දෙන්නයි උදෙන්ම ගිහින් ඉස්කෝලේ අතුගානවා. දවසක් මමයි නංගියි ඉස්කෝලේ අතුගානකොට මං දැක්කා පවුම් භාගෙක චේන් පොටක් වැටිලා තියනවා. මම ඒක අහුලගෙන දුවල ගිහින් ඉස්කෝලේ හාමිනේට දුන්නා. ඉස්කෝලේ හාමිනේ මට ගොඩක් ආදරෙයි. උඹ දුන්නා මිසක වෙන කෙනෙක් නම් මේක ගෙනත් දෙන්නේ නැහැයි කියල කිව්වා. අපේ තාත්තලා, එහෙමයි අපිව හැදුවෙ."

"පුංචි කාලේ තාත්තා අපේ මල්ලිට අකුරු ඉගෙන ගන්න පොතක් ගෙනත් දුන්නා. ඒකේ තිබුණේ බැඳි අකුරු. මේ බැඳි අකුරු මට කියවන්න බෑ කියල මල්ලි පොත පැත්තකට දැම්මා. මට කියවන්න පුළුවන් කියලා මම ඒ පොත කියෙව්වා" අකුරු කරන්නටම ලියවුණු පැරණි පොත් දහඅටෙන් එකක් වූ බුද්ධගජ්ජය පොත ඇය ඇසුරට පත් වූ අයුරුයි ඒ.

පොඩිහාමි මාතාවගේ අධ්‍යාපනයට කණකොකා හඬන්නේ නොසිතූ ලෙසයි. සිය ඥාති සහෝදරියකගේ තනි රැකීමට යෑමට සිදුවීම මෙයට හේතුවයි. ''මේ සිදුවීම් වෙද්දී මම හිටියේ අටේ පන්තියේ. තාත්තගේ අයියා, මහප්පා ඇවිල්ලා අපේ අම්මට කිව්වා දුව වැඩිවියට පත් වුණා, තනියෙන් තියන්න බැහැ, ලොකු දුව එවන්න අපේ ගෙදරට කියලා. ඒ දවස්වල ගෑනු ළමයින්ට වැඩිදුර අධ්‍යාපනයක් දෙන්න මවුපියන් උනන්දු වෙන්නේ නැහැ. මේ හින්දා මවුපියන් කිව්වා මට මහප්පා එක්ක යන්න කියලා."

ඒ අනුව කුඩා කල සිට ජීවත් වූ හුන්දිරාපොළ ග්‍රාමය අතහැර කන්දගමුව ග්‍රාමයේ පදිංචියට යෑමට පොඩිහාමිට සිදු වෙයි. මේ හේතුවෙන් අටේ පන්තියෙන් අධ්‍යාපනය හමාර කිරීමට සිදු වූ බව ඈ දැනුදු සිහිපත් කරන්නේ වේදනාවෙනි. එහෙත් මහප්පා කන්දගමුවේ අක්කාට සේම තමාටත් එක සේ ආදරෙන් සැලකූ බව ඇය සිහිපත් කරන්නේ දැඩි ගෞරවයෙනි. ඇගේ සහකරු වූ ආර්. පී. සියාතු බණ්ඩා ඇයට මුණගැසෙන්නේද කන්දගමුවේදීය.

මනාපය

ඇහැට කනට පෙනෙන රූමතියක වූ පොඩිහාමිට හිත ගිය සියාතු බණ්ඩා, ඒ පිළිබඳව ඇගේ මහප්පා වූ විමලහාමිගෙන් විමසුවේය. යහපත් කල්කිරියාවෙන් දිවි ගෙවූ සියාතු බණ්ඩාට ලකුණු කැපෙන්නට කිසි හේතුවක් තිබුණේ නැත. 1938 දෙසැම්බර් මාසයේදී මේ දෙපළගේ විවාහය සිදු විය.

"සියාතු මට මුලින්ම හමුවුණේ ඉස්කෝලෙදි. ඉස්කෝලේට අලුතින් ගොඩනැඟිල්ලක් හදන්න සියාතුයි සන්ටු කියල මාමෙකුයි කරත්තේ පොල් අතු අරගෙන අවා. සියාතු හොඳටම තෙමිලයි හිටියේ. මට දුක හිතිලා කිව්වා ළිප ළඟට යන්න කියලා. ඔන්න ඊට පස්සේ තමයි සන්ටු මාමා මගෙන් ඇහුවේ සියාතුට මනාපද කියලා. මම කිව්වා මුලින්ම මහප්පාගෙන් අහන්න කියලා. මම සියාතුට මනාපයි කියලත් කිව්වා. මහප්පා සියාතුට කැමති වුණේ රා, අරක්කු බොන්නේ නැහැ කිව්ව නිසයි. අපි ගොඩක් ලොකුවට මඟුලක් ගත්තේ නෑ. මහප්පාගේ ගෙදර තමයි මඟුල් ගේ තිබුණේ. කරත්ත හයකින් මාව කැන්දගෙන අලව්වේ ගෙදරට ආවා. එයා මට හුඟාක් ආදරෙයි. මට මැණිකේ කියලා තමයි කතා කෙරුවේ. අපි දෙන්නාට දෙන්නා ගොඩක් ආදරෙන් හිටියා. අපිට අවුරුදු දෙකක් විතර යනකම් දරුවෝ ලැබුණෙ නැහැ. ඉන් පස්සේ ගැහැනු දරුවන් හතර දෙනකුත්, පිරිමි දරුවන් දෙදෙනකුත් මට ලැබුණා. අදටත් ඒ හැමෝම ජීවතුන් අතර ඉන්න එක තමයි මට තියන ලොකුම සතුට."

මේ වන විට ඇගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 77ක් වන අතර බාල දියණියට වයස අවුරුදු 66කි.

රංකිරා

අද විවාහයකදී දෑවැද්දට රථ වාහන, නිවාස ඉඩකඩම් තෑගි කරනවා සේ එදා විවාහයකදී ලැබුණු වටිනාම තෑග්ග කරත්තයයි. මැණික් රාලද විවාහයෙන් මාස කිහිපයකට පසු තම දියණියට කරත්තයක් තෑගි කරන්නේ දියණියගේ හා බෑනාගේ සියලු වුවමනා එපාකම් ඉටුකරගැනීම පහසු කරවනු පිණිසයි.

"තාත්තා මට කරත්තේ ගෙනල්ලා දුන්නා. හැබැයි ගොනෙක් හිටියේ නැහැ. මම රුපියල් සීයක් දීලා ගොනෙක් ගත්තා. වත්තේ වගා කරන බුලත්, පැණි දොඩම්, දෙහි, මඤ්ඤොක්කා වගේ ජාති කරත්තයෙන් පොළට අරගෙන ගිහින් වෙළහෙළඳාම් කළා..." කරත්තයේ බැඳි ගොනාගේ නම රංකිරා විය. එහෙත් කිසිම දිනක සියාතු බණ්ඩාට මේ ගොනා තනිව කරත්තයට බැඳීමට හැකි වී නැත.

"රංකිරා හරි වසයි. හැබැයි මට, මගේ දරු පැටියෙක් වගේ හරිම කීකරුයි. දවසක් ‘මැණිකේ මාව බේරගනියෝ, මේකා මට අනිනෝ’ කියලා කෑ ගහනවා ඇහුණා. මම දුවලා ගියා. යනකොට මල් ගහක් අස්සේ දුවලගේ තාත්තව හොම්බෙන් තද කරන් ඉන්නවා. 'රංකිරෝ, රංකිරෝ මොකද කරන්නේ මෙහෙට වරෙන්' කිව්වා විතරයි, කිසි කලබලයක් නැතුව ඌ මං ළඟට ආවා. රංකිරා කරත්තයට බඳින්න කාටවත් බෑ. මට විතරයි ඒක කරන්න පුළුවන්." රංකිරාගේ මරණය පොඩිහාමි මාතාවට හද සසල කළ අතිශය දුක්බර සිදුවීමක් විය.

"දවසක් උදේ බලද්දී රංකිරා මැරිලා හිටියා. මට හරියට දුක හිතුණා. අපිට කන්න බොන්න හොයා ගන්න උදවු කළ රංකිරා වෙනුවෙන් මං දානේ පෙට්ටියක් හදාගෙන පන්සලට ගිහින් ලොකු හාමුදුරුවන්ට කියලා පිං දුන්නා."

වැලි කොස්ඇට

සියාතු බණ්ඩාගේ ප්‍රියතම ආහාරය වී ඇත්තේ වැලි කොස්ඇටයි. පොඩිහාමි කොස් වාරයේදී සියාතු බණ්ඩා වෙනුවෙන් වැලි කොස්ඇට තොගයක්ම රැස් කළාය. වේළා ගත් මුට්ටියකට අව්වේ හොඳින් වේළුණු වැලි හා කොස් ඇට දමා හොඳින් කලවම් කර මාස දෙකක් පමණ ගිය පසු බොහෝ කාලයක් තබා ගත හැකි වැලි කොස් ඇට සාදා ගත හැකි බව ඇය මා සමඟ පැවසුවේ වැලි කොස්ඇටවල රසයද, ගුණයද මතක් කර දෙමිනි. "අපට ගොඩක් වී තිබුණා. ගෙදර බුසල් අසූවක වී පෙට්ටි දෙකක් තිබුණා. ගෙදර බිම්මෝලේ වී කොටලා හාල් වික්කා. හැබැයි ළමයින්ගේ තාත්තා මට නම් වී කොටන්න දුන්නේ නෑ. ඒකට අහළ පහළ බවලත් උදවිය කුලියට එනවා. ඒ කාලේ කූඹුරු වතුපිටිවල වැඩට කුලියට එන අයට දුන්නේ වී තමයි."

කුඩික්කිය

සතුටින් පිරුණු මේ කැදැල්ලේ අරපිරිමැස්මෙන් සියලු කටයුතු සිදුකර ඇත්තේ පොඩිහාමි මාතාවයි.

"මගේ දරුවන්ගේ තාත්තා ගෙදර හාල් විකුණුව වෙළඳාමෙනුයි, කුලියට ගියපු කරත්ත ගමන්වලිනුයි හොයපු හැම සතයක්ම මගේ අතටමයි ගෙනැත් දුන්නේ. එයාට මොනවහරි දේකට සල්ලි වුවමනා වුණොත් මගෙන් තමයි ඉල්ලන්නේ. මම හරියට සල්ලි පරිස්සම් කළා. කවදාවත් නිකරුණේ සල්ලි නාස්ති කළේ නෑ." බැංකු ක්‍රම බහුලව නොතිබුණු එකල පොඩි නෝනා මාතාවගේ නිවසේ, ඇයට ආවේණික රහසිගත බැංකුවක් විය.

"අපේ ගෙදර තිබුණා කිසිදාක ගිනි අවුළන්නේ නැති ළිපක්. හැමදාම මේ ළිපේ අළු ගොඩගහල තමයි තිබුණේ. මේ අළු ගොඩ යට තමයි මගේ සල්ලි කුඩික්කිය තිබුණේ. මේ විදිහට එකතු කරපු රුපියල් හාරසීයක් දීලා තමයි මම මහන මැසිමක් ගත්තේ. මැෂින් එකක් ගත්තට මොකද මම මහන්න දැනන් උන්නේ නැහැ. මැසිම පාගන්නවත් දන්නේ නැති මට ගෙවල් ළඟ හිටපු නැන්දා කෙනෙක් තමයි මහන්න පුරුදු කළේ. ඊට පස්සෙනම් මම කුලියටත් රෙදි මැහුවා.

විෙයාව

එකිනෙකා කෙරෙහි ඉතාම ආදරයෙන් බැඳුණු පොඩිහාමිගේ ජීවිතයේ ශෝකජනකම සිදුවීම ඇය සිහිපත් කළේ මෙලෙසිනි.

"‘මං නැති වුණත් මැණිකෙට කරදරයක් නෑ. මේ බුලත් පාත්ති ටික ඇති, මැණිකෙට තනියම වුණත් ජීවත්වෙන්න’ කියලා එදා උදේ පාන්දර මට කිව්වා. මම සැර වුණා 'මොනවද මේ කියන අවකැපෙන කතා' කියලා. අනේ මහත්තයෝ, එදාම හවස අපේ මනුස්සයා මාව තනි කරලා දාලා ගියා.” 1983 අගෝස්තු 4 වැනි දින සිදු වූ සියාතු බණ්ඩාගේ මරණය සිහිපත් කළ අවස්ථාවේ ඇගේ දෙනෙතින් ගලාගිය කඳුළැල් නිහඬව කියා පෑවේ රන් රස සේ පෑහුණු යුග දිවියේ මතකයි. වසර එකසිය එකක සුන්දර දිවිම‍‍ඟෙහි මතක සටහන් පවසන සෑම අවස්ථාවකම 'මගේ මනුස්සයා මට හරිම ආදරෙයි, කවදාවත් මට සැරවෙලා නෑ' යන්න පවසන්නට පොඩිහාමි මාතාව අමතක නොකළාය.

"දුවලගේ තාත්තා ගෙදර ඉන්න කාලේ මම කවදාවත් සිල් ගන්න ගියේ නැහැ. මොකද දරුවෙක් බත් ටික බෙදලා දෙන්න හැදුවත් අම්මා ආපුවාම කමු කියලා බත් එක පැත්තකින් තියනවා."

පොඩිහාමි මාතාව 1984 වසරේ සිට 2008 වසර පමණ දක්වා සෑම පොහෝ දිනකම සිල් සමාදන් වීම නොකඩවාම සිදු කර ඇත. ඇගේ උගත්කම හේතුවෙන් අන් අයට ඇසෙන්නට බණ පොත් කියවීමේ කාරියද ඇය සතු‍ටින් ඉටු කළාය.

"මම අවුරුදු අනූවක් විතර වෙනකම් සිල් ගත්තා. බැරිවෙනකොට මං ළඟ තිබුණු බණ පොත් ටිකත් බෙදලා දුන්නා." ඇගේ හදවත කෙතරම් පිවිතුරුද?

සමුගැනීමට සුදානම් වූ මොහොතේ ඇය මෙසේ පැවසුවාය. "මගේ අම්මා අවුරුදු 107ක් ජීවත් වුණා. අපේ පරම්පරාවේ අයට හුඟක් ආයුෂ තියෙනවා. ඒ දවස්වල නම් හැම දෙයක්ම පොතේ ලිව්වා වගේ මතකේ තිබුණා. දැන් මගේ මතකේ ටිකක් අඩුයි. මගේ සතුට මගේ දරුවෝ. මගේ දරුවන්ට මම හුඟක් ආදරෙයි."

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න]

මාතෘකා