යාල්පානම කළුවර කරන කුලභේදයේ අළු යට ගින්න

 ඡායාරූපය:

යාල්පානම කළුවර කරන කුලභේදයේ අළු යට ගින්න

යාපනය ශික්ෂණ රෝහලේ ලේ ලබාදිය යුතු රෝගීන් විශාල ප්‍රමාණයක් ලේ ලබා ගැනීම ප්‍රතික්ෂේප කොට සිටියේ මීට වසර ගණනාවකට ඉහතදීය.

මේ පිළිබඳව දෙමළ ජනමාධ්‍ය විසින් සිදුකළ ගවේෂණාත්මක වාර්තාකරණයකදී යාපනයේ උසස් කුලවල යැයි කියා ගන්නා කාන්තාවන් කිහිප දෙනකුම පවසා තිබුණේ කුලහීනයන්ගේ ලේ තමන්ගේ සිරුරුවලට ඇතුළු කර ගැනීමට ඔවුන් අකමැති බවයි.

යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරී පොන්නයියා සත්‍යමූර්ති මහතා මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් කිරීමට එදා මැළි වූවත් යාපනය ශික්ෂණ රෝහලේ රෝගීන්ගෙන් කුලභේදය ඉස්මතු වූයේ ඒ අන්දමටය.

මේ ආරංචිය කෙමෙන් කෙමෙන් කනින් කන, තැනින් තැන රැව් පිළිරැව් දෙද්දී යාපනයේ හා මුලතිව් ප්‍රදේශවල සේවය කළ ආරක්ෂක හමුදාවේ නිලධාරීහු දෙසීයක් දෙනා යාපනය ශික්ෂණ රෝහලට ලේ පරිත්‍යාග කළහ.

ආරක්ෂක අංශ සාමාජිකයෝ සිංහල වුවත් බොහෝ දෙමළ වැසියන් ඒ කාලයේදී සිංහල විරෝධී වුවත් සිංහලයන්ගේ ලේ තමන්ගේ සිරුරට එකතු කර ගැනීමට යාපනයේ ජනතාව කැමති වූහ.

යාපනයේ ජනතාව අතර ජාති භේදයට වඩා ඉහළින් කුල භේදය ඇති බව සනාථ වීමට මේ සිද්ධිය හොඳම උදාහරණය වුවත් දෙමළ ජනමාධ්‍යද මේ පුවතේ සැබෑ තත්ත්වය එදා වසන් කොට ජනතාවට වෙනත් යමක් ලියා ඔවුහු ඇඟ බේරා ගත්හ.

යාපනයේ ඉතා උසස් කුලවලට අයත් යැයි කියමින් ජීවත් වන පවුල්වලින් අඩු කුලේ යැයි සම්මත් පිරිස්වලට වතුර උගුරක්වත් ලබා නොදෙයි. අත්‍යවශ්‍යම කාරණයකට වතුර දීම සිදුවන්නේ නම් ඒ සඳහා වෙනම ඇලුමීනියම් සෙම්බුවක් මේ උසස් කුලවල නිවෙස් තුළ තබාගෙන සිටිති.

නමුත් සිංහල වැසියකු මේ නිවෙස්වලට ගිය විට ඉතාම ගෞරවයෙන් සලකා වතුර පිරවූ පිත්තල සෙම්බුවක් සමඟ වීදුරුවක් ලබාදීමට මේ පිරිස අමතක නොකරති. ඔවුන්ගේ කුලභේදය ජාතිභේදයට වඩා ඉස්මතු වන එකම අවස්ථාව මෙය නොවේ. එවැනි අවස්ථා බොහොමයකි.

යාපනයේ උසස්ම කුලවලට අයත් පිරිස්වලට යාමට වෙනම කෝවිල් ඇත. ඒ කෝවිල්වල පූජා කටයුතු කරන්නේ බ්‍රාහ්මණ වංශිකයෝය. ඒ බ්‍රාහ්මණ වංශිකයෝද යාපනයේ මේ උසස් කුලවල පිරිසද කිසිදිනක මස් මාළු අනුභව නොකරති. ඔවුන්ගේ මුළු ජීවිතයම ගත කරන්නේ නිර්මාංශවය.

බ්‍රාහ්මණ වංශිකයන්ගේ ආහාර ගැනීමේ රටාවේද විශාල වෙනසක් දක්නට ලැබෙයි. ඔවුහු කිසිදාක පිඟානකට බෙදාගෙන ආහාර නොගනිති. කෙසෙල් කොළය ඔවුන්ගේ ආහාර ගන්නා පිඟානයි.

එමෙන්ම උඩක සිට ආහාර ගැනීමෙන් ආහාරවලට විශාල අගෞරවයක් සිදුවන බව කියන මේ උසස් කුලවලට අයත් පිරිස් පවුලේ සියලුම දෙනා සමඟ ආහාර ගන්නේ බිම වාඩිවෙමිනි. ඔවුහු මෙම සම්ප්‍රදාය ඔවුන්ගේ කෝවිල්වලදීද අනුගමනය කරති.

මහා යුද සමයේදී වරක් මම යාපනයේ සංචාරය කළ අවස්ථාවක යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මා හිතවත් සාමිනාදන් විමල් මහතා කියා සිටියේ යුද්ධයත් සමඟින් මේ කුලභේදය බොහෝ දුරට තුනීවී ගොස් ඇති බවක් දක්නට ලැබෙන බවය.

සිංහල කාන්තාවක සමඟ විවාහ වී සිටින විමල් මහතාට මේ සංස්කෘතීන් දෙකම හා ඔවුන්ගේ කුල ක්‍රමයන් පිළිබඳව හසල අවබෝධයක් ඇතිව තිබේ.

''යුද කාලෙට ඉස්සර වෙලා යාපනයේ කුල ක්‍රමය ඉතාම දරුණු විදිහට තිබුණා. උසස් කුලවල අය කිසිම වෙලාවක පහත් කුලවල අයට සැලකීමක් කළේ නෑ. තැකීමක් කළෙත් නෑ. නමුත් යුද්ධෙත් එක්ක මේ සියලු දෙනාටම විවිධ පීඩාවලට ලක් වෙන්න සිද්ධ වුණා.

“යුද ගැටුම්වලදී ජීවිතය බේරගන්න මේ මොන කුලේ අයටත් ඉන්න වුණේ එකම බංකරයක. යුද්ධෙන් පීඩාවට පත් වුණාම ඒ සියලු දෙනාටම ඉන්න සිද්ධ වුණේ එකම අනාථ කඳවුරක. මේ සේරටම ලැබුණු කෑම සමානයි. වතුර බොන්න පිත්තල සෙම්බු තිබුණේ නැහැ. කෑම කන්න කෙසෙල් කොළ තිබුණෙත් නෑ. පොල් කට්ටෙ හරි වතුර බීලා, තියෙන විදිහට කාලා ජීවිතේ බේර ගන්න මේ අයට සිද්ධ වුණා.

“අනෙක් කාරණය තමයි, යුද්දෙත් එක්කම යාපනයේ විශාල පිරිසක් සංක්‍රමණය වුණේ යුරෝපා රටවලට. ඒකෙදි මේ කුල ක්‍රමය කරපින්නාගෙන ඉන්න බැරි නිසා ඒ අය මේ කුල ක්‍රමයෙන් බොහෝ දුරට ඈත් වුණා. යාපනයේ මිනිස්සුන්ගේ කුල ක්‍රමය විතරක් නෙවෙයි සමස්ත සංස්කෘතියම මේ යුද්ධෙත් එක්ක වෙනස් වුණු බවක් පේනවා.”

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් එදා මහා යුද සමයේදී ඒ අන්දමට යාපනයේ කුල ක්‍රමය පිළිබඳව අදහස් දක්වා සිටියත් උතුරු පළාත් සභාව බිහිවූයේ යුද්ධය හමාර වී වසර හයකටත් පසුවය.

මේ පළාත් සභාවේ ප්‍රධාන තැනට පැමිණි සෑම ආණ්ඩුකාරවරයකුටම යාපනයේ පවතින කුල භේදය ඉතාම පැහැදිලිව දැක ගන්නට ලැබිණි.

තවමත් උතුරේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරන රෙජිනෝල්ඩ් කුරේ මහතා මේ ගැන යාපනයේ ප්‍රධාන රැස්වීම්වලදී පවා කතා කළ අතර යාපනයේ බොහෝ උදවියට කොතරම් උගත්කමක් තිබුණද රැකියා ලබා ගැනීමේදී කුලභේදය ඉස්මතුවන නිසා ඔවුන්ට බොහෝ රැකියා අහිමි වී යන බව වැඩිදුරටත් කියා සිටියේය.

“ගතානුගතික මිනිසුන් විසින් පවත්වාගෙන යන කුල ක්‍රමයට හැමෝම විරුද්ධ වෙන්න ඕන. ඒකට ළමයි හොඳ අධ්‍යාපනයක් ලබන්න ඕන. ලෝකය දකින්න ඕන. යාපනයේ ජනතාවට මේ කුල ක්‍රමය නිසා කිසිම දිනයක නැඟී සිටීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒක හැමෝම තේරුම් ගත්තෙ නැතොත් මේ ක්‍රමය නවත්වන එක ලේසි වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි සුදුස්සාට සුදුසු තැන මේ නිසා ලැබෙන්නේ නැහැ.”

වරෙක උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටි සී.වී. විග්නේෂ්වරන් මහතාද යාපනයේ වැසියන්ගෙන් විශාල පිරිසකට ඉඩම් අහිමි වී යාමට හේතුව වී ඇත්තේ පවතින කුලක්‍රමය බව පැවසුවේය.

“යාපනයේ පවතින කුල ක්‍රමය මත නීතියට පටහැනිව හදාගත් විවිධ ක්‍රමවේදයන් තිබෙනවා. ස්වාමියාට අයත් ඉඩම ස්වාමියා මිය ගිය පසුව බිරිඳට ලැබිය යුතු නමුත් යාපනයේ බොහෝ තැන්වල එවැන්නක් සිදුවන්නේ නැහැ. ඔවුන්ගේ කුල ක්‍රමයේ ඇති චාරිත්‍රයට අනුව එම ඉඩම ඒ පවුලේ වැඩිමල්ම පිරිමි දරුවා වෙත පවරා දීම කරනවා. මේ නිසා බිරිඳට කිසිදාක ඉඩම් අයිතියක් ලැබෙන්නේ නැහැ.

“යුද්ධයෙන් විපතට පත් පවුල් සඳහා ආධාර ලැබෙන්නේ රජයේ ක්‍රමවේදයට. ඒ අනුව ස්වාමියාට ලැබිය යුතු දේ බිරිඳ ජීවතුන් අතර සිටිනවා නම් ලැබෙන්නේ බිරිඳට. නමුත් ඔවුන් කුල චාරිත්‍රවලට අනුව බිරිඳගේ සියලු අයිතිවාසිකම් පවුලෙන් ඉවත් කර ඇති නිසා කිසිම ආධාරයක් ලැබෙන්නේ නැති තත්ත්වයට ඒ ජීවිත පත්වෙලා. මේ නිසා මුලින්ම කුල මත පදනම් වී තිබෙන දේ බැහැර කොට සම්මතවාදී නීතියට අනුව සියලු දේ යළි සකස් කරගැනීමට යාපනයේ පවුල් විශාල සංඛ්‍යාවකට සිදුව තිබෙනවා.

මේ වන විට යාපනය සමාජය නව වැඩපිළිවෙළකට සූදානම් වීමක් දක්නට ලැබේ. යාපනයේ හින්දු ආගමික සංසදය යාපනයේ සියලුම ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබේ. මේ දිනවල යාපනයේ ජනතාව අතර හුවමාරු වෙමින් පවතින ඒ නිවේදනයෙන් කියැවෙන්නේ මේ කුලභේදය අඛණ්ඩව පවත්වාගෙන යාමෙන් ඔවුන්ට රජයෙන් ලැබීමට ඇති බොහෝ දේ නොලැබී යා හැකි බවය.

එම සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ ජාතිභේදය හා උග්‍ර කුලභේදය නිසා ගැටුම් හා භීෂණකාරී තත්ත්වයක් පවා වර්ධනය වී එය යුද්ධයක් කරා නැවත තල්ලු විය හැකි බැවින් උතුරේ දෙමළ ජනතාව මේ අවස්ථාවේදී ඉතා කල්පනාකාරීව ජීවත් විය යුතු බවයි.

මඩකළපුව වවුනතිව් ප්‍රදේශයේ සිදුවූ සිදුවීම තරයේම හෙළා දකින බවද එම නිවේදනයේම සඳහන් වන අතර එවැනි සිද්ධීන් හටගනු ලබන්නේද මේ උග්‍ර ජාතිවාදය හා කුලභේදය නිසා බව එහි සඳහන් කර තිබේ. මෙහි ඇති අනෙත් අඳුරු පැත්ත වන්නේ යාපනයේදී රජයේ රැකියාවක් පවා ලැබෙන්නේ ඒ ඒ කුලවලට අයත් පිරිස පමණක් වීමය. දේශපාලනඥයන් තෝරා ගැනීමේදී මිනිසුන් ඡන්දය ලබා දීම කරන්නේද පුද්ගලයාට නොව, තම කුලයේ කෙනකුටය.

කුල ක්‍රමය මත එදා රැකියාව තීරණය විය. එහෙත් අද වන විට ලෝකය කෙතරම් දියුණු වුවත් යාපනයේ ක්‍රියාත්මක වන්නේ එම තත්ත්වය බව වවුනියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙනේ දෙමළ භාෂාව උගන්වන සුමිත් ප්‍රසන්න සෝමපාල මහතා පැවසුවේය.

“යාපනයේ පවතින කුල ක්‍රමයට අනුව කෝවිල්වලට බැඳුණු අය බ්‍රාහ්මණ කුලයේ උදවිය වෙනවා. ඒ අය සාමාන්‍ය ජන සමාජය සමඟ ගැටෙන්නේ, ගනුදෙනු කරන්නේ නැහැ. දකුණේ ගොවිගම කුලය කියන්නා වගේම යාපනයේ වෙල්ලාලන් කුලය ඉහළ කුලයක් විදිහට සලකනවා. විවාහවලදී ඔවුන්ට ලැබෙන තත්ත්වය ඉතාම ඉහළයි.

“මේ වෙල්ලාලන් කුලයේ ඉඳලා ක්‍රමයෙන් පහළට වැටෙන කුල ක්‍රමයේ අවසානයේම ඉන්නේ කසළ ශෝධකයන්. ඔවුන්ට භාවිත කරන නම අපි නොකියා ඉමු. ඒත් ඒක හැමෝම දන්නවා. මේ කුල ක්‍රමයට අනුව තමයි යාපනයේදී රැකියා පවා ලැබෙන්නේ. රජයේ රැකියා ලබාදීමේදී දේශපාලනයෙන් හා උසස් රාජ්‍ය නිලධාරීන්ගෙන් විශේෂ අනුග්‍රහයක් උදව්වක් ලැබෙන්නේ තමන්ගේ කුලවල උදවියටයි. රජයේ නොවන රැකියාවලදිත් එහෙමයි. ඔවුන්ගේ රැකියාව තීරණය වෙන්නේ ඔවුන්ගේ කුලය මත.

“මාළු අල්ලන්න පුළුවන් ‘කරයන්’ කියන කුලයේ අයට විතරයි. මාළු විකුණන්න හැකි වන්නේ ‘මේල් ඕංගි කරයන්’ කුලයේ අයටයි. කුලියට මාළු මුදලාලි ළඟ වැඩට යන්නේ ‘සම්මාට්ටි’ කුලයේ අය විතරයි. යාපනයේ රා මදින්නේ ‘නල්ලවර්’ කුලයේ පිරිස පමණයි. කම්මල් වැඩ කරන්නේ ‘කොල්ලර්’ කියන කුලයේ උදවියයි. කෝවිල්වල මගුල් ගෙවල්වල බෙර ගහන්නේ ‘නට්ටුවාල්’ කුලයේ පිරිසයි. ‘පල්ලර්’ කුලයේ අය මළ බෙර ගහනවා. වඩුවැඩ කරන්නේ ‘තච්චන්’ කුලයේ අයයි. මේ විදිහට ඒ ඒ රස්සාව කරන්නේ ඒ ඒ කුලයට අයිති උදවිය පමණයි.මේ කුල ක්‍රමය උතුරේ ඉතාම තදබල විදිහට තියෙන්නේ යාපනයේ විතරමයි. අනිත් අය සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා.''

ලෝකය ඉතා ශීඝ්‍රයෙන් දියුණුව කරා ළං වී තිබියදී මිනිසුන් උත්සාහ කරන්නේ අඟහරු ලෝකයෙන් පර්චස් කිහිපයක් හෝ මිලට ගැනීමටය. එහෙත් යාපනයේ වැසියෝ තවමත් ජීවත් වන්නේ ලෝකයේ කිසිවකුත් නොදුටු මහා බ්‍රහ්මයා විසින් උගන්වන ලද මැවීමේ සංකල්පයෙන් ලෝකයට දායාද වූ කුල ක්‍රමය මත සිටගෙනය.

යාපනයේ හින්දු ආගමික සංසදය විසින් දුර දක්නා නුවණින් යුතුව යාපනයේ කුල ක්‍රමය අහෝසි කිරීමට ගන්නා උත්සාහය සාර්ථක වුවහොත් එදිනට යාපනයේ බොහෝ ජීවිතවලට ආලෝකය ලැබෙනු ඇත.

[රසුල දිල්හාර ගමගේ]

මාතෘකා