අහසේ පියාඹන හීනය සැබෑ කළ ‘අහස් උණ’

 ඡායාරූපය:

අහසේ පියාඹන හීනය සැබෑ කළ ‘අහස් උණ’

මේ කතාව මෙතැන් සිට ගෙතෙන්නේ පිය පුතු දෙදෙනකු වටාය. මේ පිය පුතු දෙදෙනා හරිම අපූරු දෙදෙනෙකි. පුතෙකුගේ උපන්දින තෑග්ග ලෙස බොහෝ මවුපියවරුන් තම දරුවන් ඉල්ලා සිටින යමක් දෙන්නට පෙලඹෙයි. නැතහොත් තම දරුවා වඩා ප්‍රිය කරන යමක් ලබා දෙන්නට වග බලා ගනී. මේ පියාත් තම පුතණුවන්ගේ උපන්දිනයට හරි අපූරු උපන්දින තෑග්ගක් ලබාදෙයි. එනම් සිය පුතණුවන්ගේ 16 වැනි උපන් දිනයට මේ පියා සිය තෑග්ග ලෙස දුන්නේ අඩි 12,000ක් අහස් කුස සිට පැරෂුටයකින් බිමට බැසීම සඳහා අවශ්‍ය වූ මුදල සිය චෙක්පොතින් චෙක්පතක ලියා පුතාගේ අතට දීමය.

හැමදාමත් තමාගේ උපන් දිනයට කුමක් හෝ ඉල්ලන දෙයක් දීමට පුරුදු වී සිටි මේ පියාගේ මේ පුතා පසුගිය 23 වැනිදාට යෙදී තිබූ 16 වැනි උපන් දිනය සඳහා පියාගෙන් ඉල්ලා සිටි එකම දෙය වූයේ මෙම අහස් පිම්ම නැති නම් මේ "අහස් උණ" සෙල්ලම සඳහා වූ රුපියල් 75,000 දෙන්නට කියාය.

මෙයට හේතු වූයේ පසුගිය 20 වැනි දින සිට කොග්ගල ගුවන් හමුදා භූමිය තුළ පැවැත්වූ මෙම ක්‍රීඩා සැණකෙළියයි. මෙම ක්‍රීඩාව ලෝකයේ විවිධ ජාතීන් අතරත් වි‍ශේෂයෙන් ලෝක සංචාරකයින් අතරත් මේ වනවිට ඉතා ජනප්‍රිය වී ඇති ක්‍රීඩාවකි. එය හඳුන්වනු ලබනුයේ ස්කයි ටැංඩම් හෙවත් "අහසේ උණ" නමිනි.

මේ අහස් උණ ක්‍රීඩාව දැනට අග්නිදිග ආසියාවේ ඇති එකම රට වී ඇත්තේ ද ශ්‍රී ලංකාවය. පසුගිය නොවැම්බර් 2 වැනිදා සිට මේ දෙසැම්බර් 3 වැනිදා දක්වා මෙය කොග්ගල ගුවන් හමුදා පරිශ්‍රය තුළ පවත්වනු ලැබිණි. මේ සඳහා ඉදිරිපත් වන අයවලුන්ගෙන් මේ සංවිධානය කරන ආයතනය රුපියල් 50000-75000 අතර මුදලක් අයකර ගනියි.

මේ අහස් උණ අභියෝගය භාරගත් පුංචි කොලුපැටියා තාමත් පාසල් යන 16 හැවිරිදිය. ඔහු ගාල්ලේ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ උසස් පෙළ හදාරන චන්දිම විජේතුංග වේ. කොග්ගල ආදර ගෙස්ට් හවුස් හිමිකරුවන් වන නිශාන්ත විජේතුංග හා නිලන්ති විජේතුංග දෙපළගේ දරුවකු වූ මේ පුතා මෙවන් ක්‍රීඩාවක යෙදුණු දිවයිනේ ළාබාලම සිසුවකු වී ඇතියි පැවසේ. ගෙවී ගිය දිනයේ මේ පුතුණුවන් හමුවීමට අප එහි ගියෙමු. එහිදී ඔහු හමුවූයේ මේ සුවිශේෂී ක්‍රීඩාව අප රටට හඳුන්වා දුන් හිටපු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරුවරයකු වු වින්ඩ් කොමාන්ඩර් අසේල විතාරණ මහතා සමඟය.

මේ අපූරු අහස් උණ වැලඳුණු කුඩා පුතණුවන් සමඟ එහිදී දොඩමලු වන්නට අප අමතක නොකළෙමු. තමා මෙම අහස් උණ ක්‍රීඩාව සඳහා යොමු වූ ආකාරය සහ එහි අත්දැකීම් ඔහු අප සමඟ විස්තර කළේ මේ ආකාරයටය.

"මේ සෙල්ලම එක්තරා දුරකට ලෙල්ලමක් වගෙයි මට දැනුණේ. අසේල අංකල් මට මේ සඳහා අවශ්‍ය මූලික පුහුණුව දුන්නා. පස්සේ මට අවශ්‍ය වුණේ අඩි 12,000ක් උස ගුවනේ, ගුවන් යානයේ සිට අහස් කුසට පනින්ට අවශ්‍ය ආත්ම ශත්තිය ඇති කරගන්න එක.’’

"අපි කොග්ගලින් ගුවනට නැග්ගා. ඊළඟට වැලිගම, අක්මීමණ, ගාල්ල නගරයන් වටේ යමින් අඩි 12,000ක් උසට නැග්ගා. නියමිත ඉලක්කයෙදී මම පැරිෂුටය පැලඳගෙන ගුවන් යානයෙන් අහසට පැන්නා. ඒක තමයි මාර පිම්ම. මම ඒක කළේ කොහෙමද කියලා මට හිතා ගන්නත් දැන් බැහැ. හැබැයි මේ අය එකක් කර තිබුණා. මම තාම පොඩි ළමයෙක් නිසා මගේ ආරක්ෂාවට තවත් පුහුණුකරුවෙක් පිටුපසින් යොදලා තිබුණා.

"මම අඩි 12,000ක් උසින් පැන්නා. ඉන්පස්සේ අඩි 7000 දක්වා නිකම්ම බහිනවා. අඩි 5000ක වපසරියකදී තමයි මම පැරිෂුටය විවෘත කර ගත්තේ. ඒක හරියට හසුරුවමින් කොහොමහරි නියමිත ස්ථානයට පාත් වුණා. කොහොම නමුත් මට දෙවියන් සිහිවුණේ ඉන් පස්සේ තමයි. මේක මගේ ජීවිතය තුළ ලබා ගත්ත විශිෂ්ටතම අත්දැකීම වුණා. දැන් මට පුදුම ආත්ම ශක්තියක් තියනවා".

මෙසේ තම අත්දැකීම් විස්තර කරන චන්දිමගෙන් තමන් දිගින් දිගටම මේ ක්‍රීඩාවේ නිරතවන්නේදැයි අප විමසුවා.

"මම අනිවාර්යයෙන්ම මේ ක්‍රීඩාව සඳහා පුහුණු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේක පුහුණු කරන ආයතනයක් තවම ලංකාවේ නැහැ. නමුත් මේ සමාගමේ හිමිකරු අසේල මහතා ඒ සඳහා විදේශීය රටකට මා එක්කරන්නට දැන්මම පොරොන්දු වුණා. මේ ක්‍රීඩාව ලෝකයේ හරි ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒ සඳහා පුහුණු වී මේ ක්‍රිඩාවේ සම්පත් දායකු වන්නට මා බලාපොරොත්තු වනවා."

පුතෙක් තමන්ට ඈත අහසේ වළාකුළු අස්සෙන් තමන්ට රිසි සේ පියාඹන්න ඕනෑ යැයි කීවිට ඒ සඳහා අත්තටු ලබාදෙන්නේ මවුපියන්. චන්දිමටත් එසේ අත්තටු ලබාදෙන්න නොපැකිළුණු හොඳ පියෙක් සිටී. ඔහුගේ අතදීම නොමැති නම් චන්දිමට තම ආශාව ඉටු කර ගැනීම සිහිනයකි. තමන්ගේ පුතා නිරත වුණු මේ "අහස් ක්‍රීඩාව" ගැන අපි චන්දිමගේ පියාගෙන් අදහස් විමසුවෙමු.

"කිසියම් කෙනකුගේ ජීවිතයේ කිසියම් විජයග්‍රහණයක් ලැබී ඇත්නම් ඒ ජයග්‍රහණය පිටුපස තියෙන දැවැන්තම සෙවණැල්ල සහ ප්‍රධානම සාධකය වන්නේ ඒ පුද්ගලයා සතුවූ ආත්ම විශ්වාසය හා ආත්ම ශක්තිය. ඒ ආත්ම ශක්තිය මගේ පුතාට මේ ඉසව්වෙන් ලබාදීමට හැකිවීම මා ලද ජයග්‍රහණයක් බව මම විශ්වාස කරනවා. මගේ පුතාට ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයකදී ගැටලුවකදී එයට සාර්ථකව මුහුණදී ජය ගන්නට හැකියාව ලැබී ඇතියි මා විශ්වාස කරනවා. මේ ක්‍රීඩාව දිවයිනට හඳුන්වා දීම සඳහා පියවර ගැනීම ගැන මා මෙම ආයතනයට හා අසේල මහතාට බෙහෙවින්ම ස්තුති කරනවා."

මේ "අහස් උණ" ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දුන් ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික සිවිල් ඉංජිනේරු වින්ඩ් කොමාන්ඩර් අසේල විතාරණ මහතා පවසා සිටියේ ලෝක සංචාරක ව්‍යාපාරයේ මේ වනවිට දැවැන්තම ඉල්ලුමක් ඇති ජනප්‍රිය ක්‍රීඩාවක් වී ඇති බවය. මෙය නියමු ව්‍යාපෘතියක් හැටියට පසුගිය 2016 වසරේ ලංකාවේ ආරම්භ කළ බවත් 2017 සාමාන්‍ය මට්ටමින් සිදුකළ බවත් කී ඒ මහතා මේ වසරේ ස්ථිර ව්‍යාපෘතියක් ලෙසට ලංකාවේ ස්ථාපිත කළ බවත් පැවසීය. මෙය දැනට අග්නිදිග ආසියාවේ ඇත්තේ ලංකාවේ පමණක් බවත් පෙන්නා දුන් ඒ මහතා ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දැවැන්තයකු බවට මෙය පත් කොට ගන්නට තමන් සූදානම් බවත් ඒ සඳහා පැමිණෙන විවිධ බාධා විවිධ අංශ තුළින් ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා ඒ සඳහා ඉදිරියේ රාජ්‍ය අංශයේ පූර්ණ දායකත්වය තමන්ට ලැබේ යයි තමන් සිතන බවය.

[නන්දසිරි වැලිගමගේ]

මාතෘකා