කොළපාට රටක් හදන්න රට පුරා කුඹුක් පැළ හදන ‘සියැටල්’ පරම්පරාවේ මිනිස්සු

 ඡායාරූපය:

කොළපාට රටක් හදන්න රට පුරා කුඹුක් පැළ හදන ‘සියැටල්’ පරම්පරාවේ මිනිස්සු

හරිත පැහැගත් තුරු වදුලක් දැකීමෙන් නෙතට දැනෙන සිසිලස හදවතද සිසාරා යන පහන් හැඟීමක් ගෙනදෙන්නකි. එහෙත් වර්තමානයේ අහස සිඹිමින් ගොඩනැඟිලි ඉදිවන වේගයටත් වැඩි වේගයකින් තුරුලිය සහිත පරිසරය වැනසෙමින් තිබේ. "තුරුලිය යනු මිහිකතගේ දරුවෝය" යන ප්‍රකට කියමන ඇතුළු පරිසරය ගැන කියවෙන බරසාර වදන් මේ වන විට හැඩැති සුන්දර වචන පමණක් බවට පත්වී තිබේ. සීමාවක් නැතුව පරිසරය වනසන මිනිසා කරා එහි අනිටු විපාක වේගයෙන් පැමිණෙමින් තිබෙන බව ලොව පුරා සිදුවන ස්වභාවික ව්‍යසනවලින් සනාථ වේ. ඒ අතර අපේ රට මුහුණ දී ඇත්තේද දැඩි අන්තරායකටය.

වසරට දෙතුන් වරක් ගං වතුරට හසුවී, පස් කඳු කඩා වැටී ගම්මාන පිටින් මරු තුරුලේ සැඟව යද්දී මෙරට තවත් කෙළවරක ගංගා, ඇළදොල, වැව්වල අන්තිම වතුර බිඳුවද සිඳී ගොස් අවසන්ය.

"ගසක් වැඩෙන්නේ යම් සේද ඊට අනුරූපව රටක සංවර්ධනය මිනිය හැකිය" යනුවෙන් ශ්‍රී ජවහල්ලාල් නේරු තුමා මීට දශක ගණනාවකට පෙර කළ ප්‍රකාශය අදටද වලංගු වන්නේ ඒ නිසාය. "වැඩිවන ජනගහනයට සරිලන සේ නිපැයුම් වර්ධනය කරගැනීමට වඩාත් ඵලදායී නිෂ්පාදන ක්‍රම උපයෝගී කරගන්නා විනා ආර්ථිකයේ ජීවනාලිය බඳු වනාන්තර අවිචාරවත් ලෙස වැනසීම පිළියම නොවේ" යැයිද එතුමා ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශය සිදුකොට දශක ගණනාවක් ගතව ඇතත් එදාටත් වඩා සීග්‍රයෙන් අද ලොව පුරා වන සංහාරය සිදුවෙමින් පවතී. අසහාය චීන නායක මා ඕ සේතු "ගස් වැල් යනු ඇදහිය යුතු වස්තූන්" බව ප්‍රකාශ කර ඇත. ඇමරිකානු ජනපතිවරයකු වන "ෆ්‍රැන්ක්ලීන් ඩී රූස්වේල්ට්"ගේ පහත ප්‍රකාශය තුළින්ද පසක් වන්නේ තුරුලතාවල ඇති අමිල වටිනාකමයි.

"දරුවන් නොලද ජනයාට බලාපොරොත්තු රහිත අනාගතයක් ඇත්තා සේම තුරුලතාවන්ගෙන් තොර රටක් නිෂ්ඵල බවක් උසුලයි. ජව ශක්තියෙන් නවීකරණය විය නොහැකි මුත් විසුල වනාන්තරයක් යනු දැව ඒකරාශී කළ ගබඩාවක්ම නොව දැව සංකීර්ණයක් සහිත මහා ජල ධාරාවක් රැස්කරනු ලබන ජලාශයකි. වනාන්තර සුරැකීමට ආධාර කරන ඔබ ජාතියේ සම්මානනීය පුරවැසියකු වනු ඇත."

වර්තමානයේ අපේ රට මුහුණ දී තිබෙන ස්වාභාවික ව්‍යසන මැඬලීමට නම් එවැනි සම්මානනීය පුරවැසියන් වැඩි වැඩියෙන් අවැසිව ඇත. වාසනාවකට මෙන් එවැනි සම්මානනීය පුරවැසියන් අතරින් පතර හෝ අපට හමුවේ. මේ, එවැනි සම්මානනීය පුරවැසියන් පිරිසක් ගැන කතාවකි.

"පරිසරයට ආදරේ නම් ඔබත් එන්න" යන ඇරයුම සහිතව මේ දිනවල මුහුණුපොත ඔස්සේ රුක්රෝපණ ව්‍යාපෘතියක් පිළිබඳ දැනුවත් කරමින් තිබේ. NOBEL FELICITY FOUNDATION හෙවත් 'උතුම් සෞභාග්‍යවත් පදනම' නම් සංවිධානයක් විසින් සංවිධානය කරනු ලබන එම රුක්රෝපණ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව තුළ කුඹුක් පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනේ දෙවැනි අදියර ලබන 8 වැනිදා පැවැත්වීමට නියමිතය. කුඹුක් පැළ සිටුවීම සඳහා මෙවර NOBEL FELICITY FOUNDATION සංවිධානය විසින් තෝරගෙන ඇත්තේ කුරුණෑගල සිට අනුරාධපුර දෙසට දිවෙන A-28 මාර්ගයේ 46 වැනි කිලෝමීටර් කණුවේ සිට 54 වැනි කිලෝමීටර් කණුව දක්වා මඟ දෙපසයි. ඒ අනුව එම මඟ දෙපස කුඹුක් පැළ 5000ක් සිටුවීම අදියර 5ක් යටතේ සිදුකිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. හරිත පැහැයෙන් දිදුලන රටක් දැකීමේ අපේක්ෂාවෙන් ඔවුන් සිදුකරන මෙම සමාජ සත්කාරය පිළිබඳ අපි NOBEL FELICITY FOUNDATION පදනමේ සභාපති රනිල් ප්‍රේමවර්ධනගෙන් විමසුවෙමු.

"මෙම පදනම ආරම්භ කළේ මා ඇතුළු මිතුරන් කිහිපදෙනකුගේ සහභාගිත්වයෙන් මේ වසරේ මාර්තු මාසයේදී. මම ක්‍රියාන්විතයේදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමෙන් ආබාධිත තත්ත්වයට පත්වීම නිසා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ අයෙක්. මට යුද හමුදාවෙන් ආබාධිත දීමනාවක් සහ විශ්‍රාම වැටුපක් ලැබෙනවා. මගේ දරුවන් තිදෙනාම තවම අධ්‍යාපනය ලබනවා. මට මේ වන විට වයස අවුරුදු 42ක්. මම නිතරම කල්පනා කළ දෙයක් තමයි මගෙන් මේ රටට තවදුරටත් සේවයක් ඉටුවිය යුතුයි කියන දේ. ඒ නිසා මම මගේ සමීපතම මිතුරන් කිහිපදෙනකු සමඟ එක්වී ප්‍රජා සත්කාර සහ පරිසර පද්ධතිය රැකගැනීමේ අරමුණින් මේ පදනම පිහිටුවා ගත්තා. ඒ තුළින් අපි පහුගිය කාලයේ අන්ත අසරණ දුගී ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාර කිහිපයක් දියත් කළා. ඒ අතර දුගී දුප්පත් පවුල්වලට නිවාස, වැසිකිළි ඉදිකරදීම්, අසරණ පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීම් ආදිය සිදුකර තිබෙනවා."

එම ප්‍රජා සත්කාර පරිසරය සුරැකීමේ රුක්රෝපණ ව්‍යාපෘතියක් දක්වා දුරදිග ගිය අයුරුද ඔහු අප සමඟ කීවේය.

"වර්තමානයේ අපේ රටේ පරිසරයට විශේෂයෙන් තුරුලතා පද්ධතියට සිදුවෙමින් තිබෙන විනාශය ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ නිසාම අපේ රටට සිදුවී තිබෙන විනාශය ගැනත් අමුතුවෙන් කිවයුතු නැහැ. වතුර නැතුව මිනිස්සුන්ට ගොවිතැන්, වගා කටයුතු කරගන්න විදිහක් නැහැ. වැව් හිඳිලා. මාස ගණන් එක දිගට නියඟය. සත්තු වතුර හොයාගෙන ගම් වැදිලා මර උගුල්වලට අහුවෙලා මැරිලා යනවා. මේ සියලුදේට මූලික හේතුව ඉවක් බවක් නැතිව ගස් කපාදැමීමයි. මෙය දැවැන්ත ප්‍රශ්නයක්. කපන ගස් සියයට 10කට සියයට 2ක්වත් අලුතින් ගස් සිටුවනවා නම් ඒ ප්‍රශ්නයට සුළු හෝ විසඳුමක් ලබාදෙන්න පුළුවන් කියන හැඟීමෙන් තමයි අපි මේ ව්‍යපෘතිය පටන් ගත්තේ"

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කුඹුක් පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනේ පළමු පියවර ආරම්භ වන්නේ විල්පත්තුවෙනි. විල්පත්තුව ඒ සඳහා තෝරාගැනීමේ අරමුණ ගැන රනිල් ප්‍රේමවර්ධන මහතා පැහැදිලි කළේ මෙලෙසිනි.

"මෙම ව්‍යාපෘතිය ගැන එක් කාරණාවක් පැහැදිලිව අවධාරණය කළ යුතුයි. අපි මෙය ක්‍රියාත්මක කරන්නේ කිසිම දේශපාලන අරමුණක් හෝ න්‍යාය පත්‍රයක් අනුව නෙවෙයි. අපි අපේ පදනම තුළ එවැනි දේකට ඉඩ දෙන්නෙත් නැහැ. අපි අපේ මූලික අදියර විල්පත්තුවෙන් ක්‍රියාත්මක කළේ විල්පත්තුව මේ කාලයේ සමාජයේ වැඩි කතාබහට ලක්වී තිබූ මාතෘකාවක් වී තිබූ නිසයි. අපට ගස් කපන එක නවත්වන්න බලයක් නැති වුණත් පැළ සිටුවන්න පුළුවන් කියන පණිවිඩය සමාජගත කරන්නයි අපිට අවශ්‍ය වුණේ. අපේ ඒ අරමුණ සාර්ථක කරමින් මේ වන විට විශාල පිරිසක් අපේ ව්‍යාපෘතිය සමඟ එක්වී සිටිනවා. මහවිලච්චිය දක්වා අලිවැට දිගේ පැළ සිටුවීම දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. අවුරුදු 3ක් ඇතුළත ව්‍යාපෘතිය සම්පූර්ණ කරගැනීම අපේ ඉලක්කය වුවත් මේ සඳහා විවිධ පුද්ගලයන්ගෙන් ලැබෙන දායකත්වය තුළ අපිට ඊටත් පෙර මෙම ව්‍යපෘතිය අවසන් කරගත හැකිවේවි.

කුඹුක් කියන්නේ ජල පෝෂක ශාකයක්. හොඳින් වැඩුණු එක් කුඹුක් ගසකින් ජල උල්පත් 52ක් පෑදෙන බව පැවසෙනවා. කුඹුක් මුල් ජලය පිරිසුදු කරනවා වගේම ඒ ගස් සෙවණ පවා ඉතාම සිසිලයි. අපේ ඉලක්කය අනුව මේ ව්‍යාපෘතිය අවසන් වී වසර හතරක් පහක් ගතවන විට ඒ කර්කශ මංමාවත්වල කිලෝමීටර් ගණනක් අව් රශ්මියෙන් පීඩාවක් නැතිව ඇවිදගෙන යන්න පුළුවන් සෙවණක් මේ කුඹුක් ගස් නිසා ලැබෙනවා. කුඹුක් ගස් වගේම නුග,මී, පළු, වීර,හොර වැනි පැළත් අපි වවනවා. ඒ වගේම කුරුල්ලන්ට කන්න මාදං, ඇබිල්ල, හිඹුටු වගේ පැළත් සිටුවනවා. පරිසරයට, රටට ආදරය කරන හැමෝටම අපි ආරාධනා කරනවා අපේ රුක්රෝපණ ව්‍යාපෘතිය සඳහා එකතු වෙන්න කියලා."

මෙම ව්‍යාපෘතිය සඳහා සභභාගි වීමට කැමති අයට NOBEL FELICITY FOUNDATION පදනම විසින් නොමිලේ පැළ ලබාදෙයි. එම පැළ සිටුවීමට අවශ්‍ය බැරල් ලබාදීමට පෞද්ගලික සමාගමක් අනුග්‍රාහකත්වය දරන බවද රනිල් ප්‍රේමවර්ධන මහතා පැවසුවේය.

"මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු 300ක පමණ පිරිසක් අපේ පදනමේ කටයුතු සඳහා සහභාගි වෙනවා. බොහෝ විට අප සමඟ සිටින විශ්වවිද්‍යාල සිසුන් මෙම ව්‍යාපෘති සඳහා සහභාගි වෙන්නේ තමන්ගේ වියදමට නිවසින් දෙන මුදල්වලින්. ඔවුන්ට මඟ වියදම් පියවාගැනීමට, ඒ වගේම පැළ සිටුවීමට අපට නොමිලේ ලැබෙන බැරල් පිළියන්දල සිට පැළ සිටුවන ස්ථාන කරා ගෙන්වාගන්න ප්‍රවාහන පහසුකම් සැපයීමට සහ පැළ සිටුවීමට සහභාගි වන අය සඳහා ආහාරවේලක් ලබාදීමට දායක වීමට හැකි පුද්ගලයන් සහ ආයතන තිබෙනවා නම් මේ සත් කාර්යයට දායක වන ලෙස අපි ඇරයුම් කරනවා. "

NOBEL FELICITY FOUNDATION පදනමේ ඒ ඇරයුම පරිසරයට ආදරය කරන කාටත් විවෘතය.

රනිල් (0779821777), අසංක(071 9211311) සහ විවේක් (0712041230) යන දුරකථන අංකවලට ඇමතීමෙන් ඔබටත් මෙම රුක්රෝපණ ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර දැනගත හැකිය. ඉවක් බවක් නොමැතිව ගස්වැල් කපාදැමීමේ වරදට සොබාදහම විසින් මිනිසාට කරන දඬුවමින් මිදීමේ යුතුකම වෙනුවෙන් පෙළගැසෙන්නට ඔබටද මෙය කදිම අවස්ථාවක් වනු ඇත.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා