අවසානයක් නොමැති තවත් එක් අසම්පූර්ණ ආදර කතාවක් “96”

 ඡායාරූපය:

අවසානයක් නොමැති තවත් එක් අසම්පූර්ණ ආදර කතාවක් “96”

”ඔයා මුකුත් නොකියාම එදා ගියාට පස්සේ මම ඔයා ගැන ගොඩාක් හිතුවා. ඒ කාලේ ඉස්කෝලේ යාළුවෝ කවුරුහරි දැක්කම ඔයා ගැන කියනකම් බලන් හිටියා. ඔයා වගේ කලු උස කෙනෙක් දැක්කම ඔයා කියලා රැවටිලා කතා කරපු අවස්ථා අනන්තවත් තිබුණා. මේ දේවල් අතරතුර අක්කා පැනලා ගිහින් කසාඳ බැන්දා. අක්කා එක්ක තිබුණ තරහටම මගේ කසාදෙත් මාස දෙකකින් සිදුවුණා. මට තාත්තට කියන්න බැහැ 10 වසරේ ඉඳන් කෙනෙක්ට ආදරය කරනවා. දැන් එයා ඉන්නේ තැනක් දන්නේ නැහැ කියලා. ඒත් කසාදේ දවසේ හරි ඔයා දෙමළ ෆිල්ම්වල ඉන්නේ වීරයා වගේ ඇවිත්, තැල්ල බඳින මොහොතේ මාව එක්කගෙන යයි කියලා මම බලාගෙන හිටියා. ඒත් ඔයා ආවේ නැහැ.....”

ඒ ජානකී දේවි නොහොත් ජානු....

“ඔයා මේ ජීවිතේ මම දැනුවත්ව සාරියක් ඇන්ඳේ අවස්ථා දෙකකදී විතරයි. මුල්ම අවස්ථාව තමයි විශ්වවිද්‍යාලයේ වාර්ෂික උත්සවය දවසේ. ඔයා තද නිල්පාට සාරියක් ඇඳගෙන හිටියේ. එදා ඔයා සාරිය ගැලවෙයි කියන බයෙන් සහ මුල්ම වතාවට සාරියක් ඇන්දම මුණේ තිබෙන ලැජ්ජාවෙන් බරවෙලා හිටියේ. ඊට පස්සේ ඔයා සාරියක් ඇඳලා ඉන්නවා දැක්කේ ඔයාගේ කසාදෙදි. තද දම්පාට සාරියක්. ඔයා හිතුවා වගේම මම ඔයාගේ කසාදෙට ආවා ජානු. සෙනඟ අස්සේ කොනකට වෙලා ඔයා දිහා බලාගෙන හිටියා. ඒත් මට තැල්ල බඳින වෙලාවේ එතැන ඉන්න බැරි වුණා. මම මංගල ශාලාවෙන් එළියට ඇවිත් බෙර සද්දේ ඇහෙන්නේ නැති වෙනකම් දිව්වා......”

මේ කේ. රාමචන්ද්‍රන් නොහොත් රාම්....

ජීවිතයේ පළමු ආදරය හැමෝටම අමතක කරන්න බැරි සුන්දර අත්දැකීමක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම ඒ ආදරය පාසල් සමයේ සිදුවුණ එකක් නම්, ඒක තවත් සුන්දර සහ ලස්සන එකක් වෙනවා කියන එක ගැන විවාදයක් නැහැ. සමහර ආදර කතා වචනයට පමණක් සීමා වෙනවා. ඒ වගේම තවත් සමහර ආදර කතා හැඟීම්වලට පමණක් සීමා වෙනවා. මේ හැම ආදර කතාවක්ම ඇතුළේ එකිනෙකට වෙනස් රහස් බොහෝමයක් සැඟවී තිබෙන්න පුළුවන්.

ඉහත දැක්වූ සංවාදය කියවන විට මා මේ කියන්න යන්නේ කුමක්ද කියා යම් වැටහීමක් ඇති. ආදරේට විවිධ වු නිර්වචන තිබුණට පුද්ගලයා අනුව, අත්දැකිම් අනුව කෙනෙක්ට රස කෙනෙක්ට විස වෙන්න පුළුවන්. ඒත් ආදරේ කියන්නේ වචනවලින් නිර්වචනය කරන්න අමාරු හැඟීමක්. ඒ වගේම ආදරේ ප්‍රකාශ කරන්නේ නැතුව ජීවිත කාලයක්ම එක ආදරයක් වෙනුවෙන් එක් බලාපොරොත්තුවක් වෙනුවෙන් කැප කරපු මිනිසුන් නැතුවා නොවේ.

2018 අවසානයේ අහම්බයකින් වගේ නෙත ගැටුණ සිනමා නිර්මාණයක් තමා 96 කියන්නේ. තත්පරයෙන් තත්පරය හදවතට දැනෙන අයුරින් නොදැනීම වෙනම ලෝකයකට ගෙන යන්නේ මෙහි වස්තු විෂය සුන්දර පාසල් ප්‍රේමයක් වීමත් ෙප්‍ර්ක්ෂකයාව තුන්වන පාර්ශ්වයක් ලෙස චිත්‍රපටයට සම්බන්ධ කිරීමට මෙහි නිර්මාණකරුවන් දැක්වූ දක්ෂතාවය හේතුවෙනි.

“96” කියන්නේ 2018 වසරේ දමිළ සිනමාවේ බිහිවූ අපූරුතම මෙන්ම වැඩිම ෙප්‍ර්ක්ෂක අවධානයක් හිමිවූ චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. 2018 ඔක්තෝම්බර් 04 වැනිදා ඉන්දියාවේ තිරගත වීම ඇරඹුණු මේ සඳහා පාදක වී ඇත්තේ යොවුන් ආදර කතාවක්. සාම්ප්‍රදායික දෙමළ සිනමාවට පදනම් වූ ආදර කතා තේමාව වෙනස් ආරකින් මෙහිදී ඉදිරිපත් වෙනවා. මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරන්නේ දමිළ සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන විජය සේදුපති සහ ත‍්‍රීෂා ක්‍රිෂ්ණන්. විජය සේදුපති සෙසු දමිළ නළුවන්ට සාපේක්ෂව හැඟිම් දනවන අයුරින් භාව නිරුපණය කිරීමේ දක්ෂයෙක් කිව්වොත් නිවැරදියි.

මෙහි කතාව ගොඩ නැඟෙන්නේ මේ ආකාරයට.

“රාම් කියන්නෙ සංචාරක ඡායාරූප ශිල්පියෙක්. ඒ වගේම සියලු බැඳීම්වලින් ඈත්වූ තනිකඩයෙක්. සංචාරක ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කරන අතරතුර ඡායාරූප ශිල්පය ඉගැන්වීමත් සිදුකරනවා. එක්තරා දවසක් රාම් කුම්භකෝනම් දේවාලයේ පැවැති ඡායාරූප ශිල්පය පිළිබඳ වැඩමුළුවක් අවසන් කර තමන්ගේ ශිෂ්‍යයාවක් සමඟ කාර් එකෙන් තමන් උපන් ගම පහු කරගෙන යනවා. ඇත්තටම එහිදී සිදුවූයේ චෙන්නායි වෙත යා යුතු කෙටි මාර්ගයේ තිබූ පාලමක් කඩා වැටීම නිසා තිරුනල්වේලි හරහා යාමට සිදුවීමයි. තිරුනල්වේලි කියන්නේ රාම්ගේ උපන් ගම. මේ ගමන අතරතුර රාම් තමන් ඉගෙන ගත් පාසලටත් යනවා.

වසර 22කට පසු තමන් ඉගෙන ගත්ත පාසල් දුටු රාම් ඒ අවස්ථාවේ තමන්ගේ හොඳම යාළුවා වූ මුරලිට දුරකතන ඇමතුමක් ගන්නවා. ඒ අවස්ථාවේදී මුරලි විසින් රාම්ව පාසලේ වට්ස්ඇප් ගෲප් එකට දානවා. අවුරුදු 22කට පස්සේ තමන්ගේ යහළුවන් සමඟ කතා කරන රාම් පාසැලේ මිතුරන් හමුවෙන්න තීරණය කරනවා. ඔවුන් වසර 22කට පසු පාසලේ ගෙට් ටුගෙදර් එකක් සැලසුම් කරනවා. ඒකට හැමෝම එකතු වෙනවා. ඒ වගේම රාම්ගේ පාසල් ප්‍රේමය ජානුත් එනවා. මේ වනකොට ජානු විවාහ වී සිංගප්පූරුවේ ජීවත් වෙන්නේ. ඉතින් මේ විදියට මේ අය එකතු වෙන්නේ අවුරුදු 22 කට පස්සේ. ඒ අවස්ථාවේදී රාම්ට ජානු සමඟ කතා කරන්න අවස්ථාව ලැබෙනවා.

10 වසරේදී ඇති වුණ ෙප්‍ර්මය දෙදෙනාටම ප්‍රකාශ කර ගැනීමට නොහැකිව අහම්බෙන් වෙන්වෙන්න සිදු වෙනවා. ඒත් කවදාවත් හිතපු නැති ආකාරයට නැවත හමුවන රාම් සහ ජානු වසර 22කට පෙර සිදුවු සිදුවීම් එකින් එක මතක් කරනවා. වසර 22කට පෙර එනම් 1996 දී රාම් කියන්නේ ලැජ්ජාශීලී චරිතයක්. අවස්ථා කිහිපයක්ම රාම් සහ ජානු එකිනෙක කතා කරන්න උත්සාහ කළත් රාම්ගේ ලැජ්ජාව නිසා ඒ අවස්ථා මඟ හැරෙනවා. නමුත් මේ දෙන්නා ඇස්වලින් කතා කරනවා. පාසල් නිවාඩුව ආරම්භ වන දවසේ ජානු රාම්ට කියනවා ඇයව අමතක කරන්න එපා කියලා. නමුත් අහම්බෙන් රාම්ට ජානු සිටින පාසලෙන් ඉවත් වී චෙන්නයි බලා පිටත් වීමට සිදු වෙනවා. මේ බව ජානු දැන ගත් පසුව සියලු බලාපොරොත්තු බිඳ වැටෙනවා. ඉන්පසු අවස්ථා කිහිපයකදී රාම් ජානු මුණ ගැසෙන්න පැමිණියත් වැරදි වැටහීමක් නිසා දෙදෙනාට හමුවීමට නොහැකි වෙනවා. මේ ආකාරයෙන් ගලා ගිය ආදර කතාව වසර 22කට පසු සම්පූර්ණ කර ගැනීමට දෙදෙනාම සමත් වෙනවා. අහසයි පොළෙවයි ක්ෂිතිජයේදී එකතු වෙනවා සේ වසර 22කට පසු නැවතත් හමුවී කතා කිරීමට ඔවුන්ට ලැබෙනවා. පසුදා උදෑසන ජානුට නැවතත් සිංගප්පූරුවට යාමට තිබුණත් එදින රාත්‍රී චෙන්නයි නුවර වීදි පුරා ඇවිදිමින් කතා කරනවා. වසර 22කට පසු දෙදෙනාට සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ ආදරය එක් රැයකට පමණක් සම්පූර්ණ කර ගැනීමට ඔවුන් කටයුතු කරනවා.”

සමස්ත කතාවම ගොඩනැඟෙන්නේ මේ සිදුවීම් දාමය හරහායි. අවසානයක් නොපෙනෙන එහෙත් බලාපොරොත්තු අත්හැරීමට සූදානම් නොමැති මෙම ආදර කතාවේ අවසානය ග්‍රීක නාට්‍ය කලාවේ එන ඛේදාන්තයකින් අවසන් වෙනවා. කිසිවකුත් බලාපොරොත්තු නොවූ එහි අවසානය නරඹන්නාට කුතුහලයක් සහ දුකක් ඇති කිරීමට සමත් වෙනවා කිව්වොත් නිවැරදියි. මන්දයත් රාම්ට විවාහ වන ලෙස ජානු කරන අවසන් ඉල්ලීම රාම් ඉටු කරාවිද යන්න ෙප්‍ර්ක්ෂකයා තුළ කුතුහලයක් ඇති කරවීමයි. නමුත් අවසානයේ සුපුරුදු පරිදි රාම් ජානුගේ මතක ගබඩාවේ තනිවන දර්ශනයකින් සිනමා පටය අවසන් කිරීමට නිෂ්පාදන කණ්ඩායම කටයුතු කරනවා. අවසානය කුතුහලයක් වීම නිසාම මෙම සිනමා පටය IMDb දර්ශකයේ 9.2ක ඉහළ අගයක් කරා යන්නත්, ගූගල් භාවිත කරන්නන්ගේ සියයට 97ක ඉහළ ප්‍රතිචාරයක් ලබා ගන්නටත් සමත්කම් දක්වනවා.

මෙම සිනමා පටයේ අධ්‍යක්ෂණය, පිටපත් රචනය සහ කතාව නිර්මාණය ආධුනික අධ්‍යක්ෂකවරයෙකු වූ සී. ෙප්‍ර්ම් කුමාර විසින් සිදුකරනු ලබනවා. එසේම මෙහි නිෂ්පාදනය එස්. නන්දගෝපාල් විසින් සිදුකරන අතර සංගීතය සැපයීම ගෝවින්ද් වසන්ත විසින් සිදුකරනු ලබනවා. මිනිත්තු 157ක් පුරා දිවෙන මෙහි සෙසු චරිත ලෙස විජය සේදුපති (කේ. රාමචන්ද්‍රන් හෙවත් රාම්), ත‍්‍රීසා ක්‍රිෂ්ණන් (ජානකී දේවි හෙවත් ජානු), ආදිත්‍ය බාස්කර (තරුණ රාම්), නියති කඩම්බි (තරුණ ජානු), දේව දර්ශිනී (සුභා), බාගවතී පෙරුමාල් (මුරලි) සහ තවත් සෙසු චරිත දහයක් පමණ මෙහි රඟපෑමෙන් දායක වේ.

ඉන්දීය කෝටි 12ක මුදලක් වැය කරමින් නිෂ්පාදිත මෙම සිනමා කෘතියේ ගීත 8ක් ඇතුළත් වන අතර මෙහි සංගීතය සැපයූ ගෝවින්ද වසන්ත් විසින් නරඹන්නාගේ සිත තුළ විශාල කැළඹිල්ලක් ඇති වන ලෙස සංගීතය හසුරා තිබේ. උදාහරණයක් ලෙස රාම් සහ ජානු වසර 22කට පසු එකිනෙකා හමුවන අවස්ථාවේ සියලු බාහිර ශබ්දයන් නතර කර ඔවුන්ගේ හදවත් ස්පන්දනය මූලික තැනක් ලබා දීමට කටයුතු කරනවා. මෙවැනි අවස්ථා කිහිපයක්ම මෙම සිනමා පටය තුළ පවතින අතර එමඟින් ෙප්‍ර්ක්ෂකයාව තුන්වන පාර්ශ්වයක් ලෙස එම ස්ථානයේ සිටින හැඟීමක් ගෙන දීමට සමත් වී තිබේ. එසේම මෙහි ගීත සියල්ල සිනමා පටය තිරගත වීමට මාස දෙකක පෙර එනම්, 2018 ගෝස්තු 24 වැනිදා නිකුත් කළ අතර ඒ සඳහා විශාල ෙප්‍ර්ක්ෂක ප්‍රතිචාරයක්ද ලැබී තිබේ.

එසේම මෙම සිනමා පටය තුළ ප්‍රධාන ශානර හතරක් දක්නට ලැබෙන අතර එවා නම්, ආදර කතාවක්, නාට්‍යයක්, ඉතිහාස කතාවක් සහ ඛේදාන්තයක් යන්නයි. සියලු ශානරයන් එකිනෙක ඝට්ටනය වන ආකාරයට පෙළ ගැස්වීමට මෙහි අධ්‍යක්ෂවරයා දක්වා ඇති දක්ෂතාවය ඇගයීමට ලක් කළ යුතුය.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා