ලෙඩ නොවී සුදු වෙන්න ස්වාභාවික ආලේපන

 ඡායාරූපය:

ලෙඩ නොවී සුදු වෙන්න ස්වාභාවික ආලේපන

සුන්දර යුවතිය නෙතට ප්‍රිය දසුනක්. ඒ බව දන්නා නිසාම සුන්දරත්වය රැකගන්න යුවතියන් අතර විශේෂ උනන්දුවක් තිබෙනවා. බොහෝ යුවතියන් සිතන්නේ සුන්දර වීමට නම් සම සුදු වීම අත්‍යවශ්‍ය බවයි. එහෙත් ඉක්මනින් සම සුදු කරන ෆෙයානස් ක්‍රීම් වර්ග බොහොමයක් සමට අහිතකර ප්‍රතිඵල ගෙනදෙන බව මේ වන විට හෙළි වී තිබෙනවා. එම නිසා සම සුදු කරගැනීමේ උන්මාදයෙන් පෙළෙන යුවතියන් ඒ පිළිබඳ වඩා කල්පනාකාරී විය යුතුයි. පැහැපත් සමක් යනු සුදෝසුදු සමක් නොව ලප කැලැල්, පැල්ලම් රහිත සමක් නිසා සමේ නිරෝගී බව රැකගැනීම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. එය වටහාගත් ඇතැම් යුවතියෝ ස්වාභාවික ආලේපන කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනවා. ඒ අතර ෆේස් පැක් විශේෂයි. සතියකට වරක් හෝ ෆේස් පැක් එකක් කරගැනීම සුදුසුය. එහිදී තමන්ගේ සමේ ස්වභාවයට ගැළපෙන ෆේස් පැක් එකක් තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුය.

විශේෂ අවධානයට:-

මෙහිදී යුවතියන් විශේෂයෙන් මතක තබාගත යුත්තේ තමාගේ සමට අසාත්මිකතාවක් නොවන ෆේස් පැක් එකක් තෝරාගැනීමටයි. ඒ සඳහා සකසාගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් ඔබේ කන පිටුපස ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හරින්න. එහිදී කැසීමක්, ඉදිමීමක්, රත්පැහැ වීමක් හෝ වෙනත් වෙනසක් සිදුනොවන්නේ නම් එම ආලේපනය ඔබේ සමට අහිතකර නැත. එසේ නොවේ නම් වහාම එය පිරිසුදු ජලයෙන් සෝදා හැර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. මුහුණට භාවිත කරන සෑම පැක් එකක්ම ගෙල ප්‍රදේශයටත් ආලේප කරන්න. නැතිනම් ඔබේ මුහුණ එක් පැහැයකින් සහ ගෙල වෙනත් පැහැයකින් දිස්වනු ඇත.

වියළි සමට

1. කෙසෙල්, මී පැණි සහ ඔලිව් ඔයිල්

හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක්, මී පැණි තේ හැන්දක් සහ ඔලිව් තෙල් තේ හැන්දක් ගන්න. කෙසෙල් හොඳින් පොඩිකරගෙන එයට මී පැණි සහ ඔලිව් තෙල් එක්කර හොඳින් මිශ්‍රකර මුහුණේ ආලේප කර විනාඩි 10-15ක් තිබෙන්නට හරින්න. ඉන්පසු සාමාන්‍ය පිරිසුදු ජලයෙන් සෝදා හරින්න.

2. මී පැණි සහ කිරි

මී පැණි සහ කිරි මේස හැන්ද බැගින් ගෙන හොඳින් මිශ්‍රකර ආලේප කර විනාඩි 15-20ක් පමණ තිබෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා හරින්න.

3. අලිගැටපේර සහ යෝගට්

අලිගැටපේර මේස හැඳි 2, යෝගට් සහ මී පැණි තේ හැඳි 1 බැගින් එයට එක්කර හොඳින් මිශ්‍රකර මෘදු තලපයක් සාදා මුහුණේ ආලේප කර විනාඩි 15ක් තිබෙන්නට හැර සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.

තෙල් සහිත සමට

1. කඩල පිටි සහ මී පැණි

කඩල පිටි මේස හැඳි 3කට මී කිරි මේස හැන්දක් එක්කර හොඳින් මිශ්‍රකර තලපයක් සාදා මුහුණේ ආලේප කර විනාඩි 20ක් තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. කුරුලෑ සහිත සමට නැවුම් පෙනුමක් ලබාදේ.

2. දොඩම්, මී පැණි සහ පිපිඤ්ඤා

සූරාගත් පිපිඤ්ඤා මද, මී පැණි සහ දොඩම් යුෂ තේ හැන්දක් ගන්න. පිපිඤ්ඥා මදවලට දොඩම් යුෂ සහ මී පැණි එක්කර මුහුණේ ආලේප කර විනාඩි 20ක් තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

3. කොහොඹ, කහ සහ මී කිරි

කොහොඹ කොළ අහුරක්, මී කිරි මේස හැන්දක් සහ කහ කුඩු තේ හැන්දක් ගන්න. කොහොඹ කොළ හොඳින් අඹරා එයට මී කිරි සහ කහ එක්කර මිශ්‍රකර මුහුණේ ආලේප කර විනාඩි 15ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.

 

මාතෘකා