අපේ බුද්ධිමය දේපළ අණ පනත් දුර්වලයි

 ඡායාරූපය:

අපේ බුද්ධිමය දේපළ අණ පනත් දුර්වලයි

නිලාර් එන්. කාසිම්

ගීත රචකයෙකු, මාධ්‍යවේදියකු මෙන්ම ලේඛකයකු වන නිලාර් එන්. කාසිම්ගේ නිර්මාණ දිවියට වසර විසිපහක් සපිරීම නිමිති කරගනිමින් සංවිධානය කරනු ලබන ‘සරස වසන්තය’ මියැසි සුයාමය සැප්තැම්බර් 07 වැනි සිකුරාදා සවස 5.30ට පදනම් ආයතනයේදී පැවැත්වේ. නවතම ‘ෆ්ලෑෂ් ඩ්‍රයිව්’

(Flash Drive) තාක්ෂණය ඔස්සේ ඔහුගේ ගීත සියයක් සහ එම ගීත ඇතුළත් ‘සරස වසන්තය’ ගීත රචනා සංග්‍රහය මෙන්ම සංගත තැටි කිහිපයක් ජනගත කිරීම මෙහිදී සිදු කෙරෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහභාගිත්වය සහිතව පැවැත්වෙන මෙම උළෙලේ විශේෂ දෙසුම් පවත්වනු ලබන්නේ මහාචාර්ය ජේ. බී. දිසානායක, සමන් අතාවුදහෙට්ටි සහ සංගීතවේදී නදීක ගුරුගේ විසිනි. ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන මෙම අවස්ථාව රසවත් කිරීමට ගායක ගායිකාවෝ රැසක්ද සහභාගි වෙති. මේ, අප පසුගියදා නිලාර් එන්. කාසිම් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

ගීතය ඇතුළු සාහිත්‍ය කලා නිර්මාණ අද සමාජයට වැදගත් වන්නේ කෙසේද?

අපි අද ජීවත් වෙන්නේ එක්තරා ආකාරයකට නිර්වින්දනය වූ ජන කොටසක් විදියටයි. අපි නොදන්නවා වුණාට අපි පූර්ණ වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව නිදහස භුක්ති විඳින්නේ නැහැ. ඒ වගේම, අද අපි පූර්ණ වශයෙන් මනුෂ්‍යයෙකුට තියෙන වටිනාකම අත්පත් කරගෙන නැහැ. සමහර විට අපි වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රාමු තියෙන රටවල්වලට ගියාම තේරෙනවා ඒ රටවල මනුෂ්‍ය ජීවිතවලට කොච්චර වටිනාකමක් දීලා තියෙනවාද කියලා. සමාජ ආරක්ෂණය කියන කාරණය ඒ රටවල කොතරම් ප්‍රබලව ක්‍රියාත්මක වෙනවද කියලා අපට පේනවා. ලේඛකයන්, සාහිත්‍යකරුවන් සහ කලාකරුවන් කියන්නේ සාමාන්‍ය ජනතාවට, පාඨකයින්ට, රසිකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට වඩා අඟලක් හරි උඩින් ඉන්න පිරිසක්. පරිපූර්ණ සෞන්දර්යයෙන් පිරිපුන් මනුෂ්‍ය ජීවිත සඳහා අවශ්‍ය සාධක සම්පූර්ණ කරගන්න ජනතාව සවිඥානික කිරීමේ සහ ඔවුන් අවදි කිරීමේ වගකීමක් මේ පිරිසට තියෙනවා. එය පැහැර හැරිය නොහැකි වගකීමක්. පාලකයන්ට අවශ්‍ය වන්නේ හැමදාමත් නිද්‍රාශීලීව සිටින, නිර්වින්දනය වූ සහ හීලෑ වූ ජන කොටසක්. අන්න ඒ හීලෑබවින් ඔවුන්ව මුදවාගන්න, ඔවුන් සවිඥානිකභාවයට පත් කරන්න සහ ඔවුන් අවදි කරන්න සාහිත්‍ය කලා නිර්මාණ උපයෝගී කරගත හැකියි කියලා මම විශ්වාස කරනවා.

එහෙත් ගීතයේ හෝ සාහිත්‍යයේ හඬ මේ සමාජයට ඇහෙනවා යැයි ඔබ සිතනවාද?

එතැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කවිය කියන මාධ්‍යය ගත්තොත් එය ආත්මීය ප්‍රකාශනයක්. ඒක තනියෙන් ලියලා, තනියෙන් පාඨකයාට ඉදිරිපත් කරන එකක්. ගීතය කියන එක සාමූහික ප්‍රකාශනයක්. අපි වුණත් කැමතියි ඔය හඬට පද එකතු කරන්න. හැබැයි මේ සාමූහික ප්‍රයත්නය තුළ අපට විතරක් ඒ උනන්දුව තිබිලා වැඩක් නැහැ. එක්තරා අවධියක ගුණදාස කපුගේ, නන්දා මාලනී සහ විජය කුමාරතුංග වැනි ශිල්පීන් ඔය වෙනුවෙන් පෙනී හිටියා. එහෙත් අද එවැනි අය නැහැ.

කිසියම් සමාජ සවිඥානකත්වයක් ඇතැයි අපි විශ්වාස කරපු තවත් ශිල්පීන් සැලකිය යුතු තරම් පිරිසක් මේ සමාජයේ හිටියා සහ අදටත් ඉන්නවා. එතැනදි මාලනී බුලත්සිංහල, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, සුනිල් එදිරිසිංහ සහ එඩ්වඩ් ජයකොඩි ඇතුළු සෑහෙන පිරිසකගේ නාමාවලියක් අපට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙත් අද ප්‍රබල ධාරාවක් වශයෙන් ඔවුන්ගෙන් අලුත් නිර්මාණ බිහි වෙන්නේ නැහැ. ඔවුන් කිසියම් ආකාරයකට නිහඬව සිටින පසුබිමක් තුළ නව පරපුරත් එක්ක ගනුදෙනු කරන්න අපට සිද්ධ වෙනවා.

හැබැයි නව පරපුරේ ඉන්න බොහෝ දෙනෙක් ඔය මටට්මට සවිඥානක වෙලා ඉදිරියට ඇවිල්ලා නැහැ. මම කියන්නේ අපට විතරක් ඒ වුවමනාව තිබිලා වැඩක් නැහැ කියලයි. මේ සඳහා කිසියම් සාමූහික ප්‍රයත්නයක් ගොඩනැගිය යුතුයි. එහි අත්තිවාරම කොතැනින් හරි වැටෙන්නට ඕන. අපි ඒකට සූදානම්. මේ සමාජය තනි තනියෙන් හරි අවදි කරවන අය තැන් තැන්වල විසිරිලා ඉන්නවා. ඒ අය ඒකරාශි වෙලා යම් සාමූහික ප්‍රයත්නයක් දරනවා නම් මේ ජන සමාජය අද මුහුණ දෙමින් සිටින දුර්දාන්ත තත්ත්වයෙන් මීට වැඩිය යහපත් තත්ත්වයකට රැගෙන යෑම සඳහා කිසියම් හෝ බලපෑමක් කළ හැකි වෙයි කියලා මම හිතනවා.

ඒ ඔස්සේ වඩා යහපත් සමාජයක් නිර්මාණය කරගත හැකි යැයි අපේක්ෂා කළ හැකිද?

ඒ සඳහා අවශ්‍ය බලපෑම් කණ්ඩායමක් වෙන්න ඇයි අපට බැරි? ඒ සඳහා සංවිධිත ආකෘතියක්, ව්‍යුහයක් අවශ්‍යයි. මම කියන්නෙ එවැනි බලපෑම් කණ්ඩායමක් හැටියට ගොනු වෙන්න කොතැනින් හරි ප්‍රවේශයක් ගන්න ඕන කියලයි. එය සමහර විට කලාව මුල් කරගත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජන සමාජය අවදි කරන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නගන හඬක් වෙන්න පුළුවන්.

එහෙම තැනකට, එක අරමුණකට ගොනු වෙලා වෙනත් රටවල්වල එහෙම බලපෑම් කණ්ඩායම් හැටියට ක්‍රියා කරපු කලා ව්‍යාපාර තියෙනවා. මම කියන්නේ අපටත් එවැන්නක් කරන්න බැරිකමක් නැහැ කියලයි. තාගෝර්ලා පවා ගාන්ධිලගෙ නිදහස් අරගලය තුළ කිසියම් හඬක් නැගුවා. තාගෝර් වගේම ඉන්දියාවේ හිටපු තවත් කලාශිල්පීන් සහ සාහිත්‍යකරුවන් ඒ සඳහා ඒකරාශී වුණා. මා තුළ ඒ පිළිබඳව තියෙන්නෙ සුබවාදී දැක්මක්.

අපට දවසකින්, පැය විසි හතරකින් මහා වෙනසක් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ සමස්ත වෙනසට අංශු මාත්‍රයකින් හෝ, දශමයකින් හෝ බලපෑමක් කළ හැකි කොටසක් බවට පත්වීමේ හැකියාව, විභවතාවය අපේ කලාකරුවන් තුළ කියෙනවා කියන එකයි මගේ විශ්වාසය.

අද සමාජයේ සාහිත්‍ය කලා රසවින්දනය පහළ වැටී තිබීම ගැන ඔබේ අදහස කුමක්ද?

මේ සාහිත්‍ය කලා රසවින්දනය පහළ වැටීම සමස්ත සමාජ පරිහානියේම ලක්ෂණයක්. රාජ්‍ය පද්ධතියේ සහ රාජ්‍ය පද්ධතියෙන් පිටස්තර සිවිල් ජනතාව කියන දෙගොල්ලන්ටම මේ සම්බන්ධයෙන් කිසියම් වගකීමක් තියෙනවා. මේ තත්ත්වයට කිසියම් විසඳුමක් ලබාදීම සඳහා ලොකු මැදිහත්වීමක් කරන්න රජය පාර්ශ්වයෙන් ගත්තොත් අධ්‍යාපන අමාත්‍යංශය, ජනමාධ්‍ය අමාත්‍යංශය සහ සංස්කෘතික අමාත්‍යංශය කියන මේ පාර්ශ්වයන් තුනටම පුළුවන්.

අනෙක් පැත්තෙන් අපි සිවිල් ජනතාව විදියට අපට සාමූහිකව කරන්න පුළුවන් වැඩ කොටසකුත් තියෙනවා. එහෙත් අද එහෙම දේවල් ප්‍රාමාණිකව සිද්ධ වෙන්නේ නැහැ. එහෙම දේවල් වෙනවා නම් අපට මේ රසවින්දනය පහළට වැටීම සියයට සියයක්ම නෙවෙයි, යම් මට්ටමකින් ඉහළට ඔසොවා තැබීම සඳහා කිසියම් බලපෑමක් කරන්න පුළුවන්.

මේ වන විට ගීත රචකයෙකු ලෙස ඔබ කිසියම් පරිණතියක් ලබා ඇතැයි ඔබට සිතෙනවාද?

පරිණත වීම කියන එක ගැන නම් අදහසක් පළ කරන්න මට හැකියාවක් නැහැ. නිර්මාණ භාවිතාව, යොදාගන්නා භාෂාව, නිර්මාණවල ආකෘතිය සහ ඒවා ඉදිරිපත් කරන විලාසය වැනි දේවල් සම්බන්ධයෙන් කිසියම් මුහුකුරා යෑමක් පහුගිය වසර විසිපහක කාලය තුළ සිදු වෙලා ඇති කියලා නම් මට හිතෙනවා. එහෙත් ප්‍රශ්නය තියෙන්නේ අපි ඒ විදියට කිසියම් පරිණතභාවයකට එද්දි අපේ ප්‍රකාශන සමාජය වෙත ගෙන යෑම සඳහා වාහකයන් නැති වීමයි. අපට කලින් පරම්පරාවෙ අයට නන්දා මාලනී, වික්ටර් රත්නායක සහ ගුණදාස කපුගේ වගේ අය හිටියා.

එහෙත් අද අපට කවුද ඉන්නෙ? අපි පරිපාකයට පත් වෙමින් එද්දි අපට එබඳු ප්‍රකාශන කරන්න සිද්ධ වෙන්නේ සීමාසහිත රසවින්දනයක් සහ සීමාසහිත ශක්‍යතාවන් තියෙන පරපුරක් එක්ක විතරයි. එතැනදි ඇත්තටම අපි යම් මටට්මක අභියෝගයකට ලක් වෙනවා, සිරගත වීමකට ලක් වෙනවා. මෙය මේ වෙලාවෙ අපට තියෙන එක අභියෝගයක්. අපට අවශ්‍ය කරන ප්‍රකාශනය කරන්න වාහකයන් නැතිකම අද අප වැනි බොහෝ අය මුහුණ දෙමින් සිටින ගැටලුවක්.

ප්‍රවීණ ගීත රචකයින් පවා මේ ගැටලුවට මුහුණ දී සිටින බවක් පෙනෙනවා. ඇයි දැන් ගීත ලියන්නේ නැත්තෙ කියලා අපි ඔවුන්ගෙන් ඇහුවාම ඔවුන් පෙරළා අපෙන් අහන්නේ අපි කාටද ලියන්නේ කියලයි. ඒ ගැටලුව අද ගීත රචකයින් සියලු දෙනාටම වගේ තියෙනවා. අද අපට නව පරපුර එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ සීමාසහිත ධාරාවක් තුළයි. එය ගීත රචකයන් විදියට දැනට අප මුහුණ දෙන බරපතළ අභියෝගයක්.

ඔබේ මේ සාහිත්‍ය කටයුතුවලට ලැබුණු ප්‍රතිචාර පිළිබඳව සෑහීමකට පත් විය හැකිද?

ඒ පිළිබඳ හොඳ තක්සේරුවක් සහ ඇගයීමක් ලැබුණා කියලා මම හිතනවා. ‘සරස වසන්තය’ උත්සවය සංවිධානය කරද්දි පවා ලැබුණු ප්‍රතිචාර අනුව එය පැහැදිලිවම පිළිබිඹු වෙනවා. එකම දේ මුල් කාලීනව අපි කරපු නිර්මාණවලට සාපේක්ෂව පසුකාලීනව කළ නිර්මාණ නිසි ආකාරයට සමාජගත නොවීම ගැන නම් කිසියම් ආකාරයක කනගාටුවක් තියෙනවා. පහුගිය කාලය තුළ අපි නිර්මාණ කළාද, නිහඬව සිටියාද කියන ප්‍රශ්නාර්ථය සමහරුන්ට තිබුණා. අපි ලියන ගීතයක් වුණත් අද මාධ්‍ය හරහා ඉදිරිපත් කරද්දි රචකයා හෝ සංගීතඥයා පිළිබඳ සඳහනක් කෙරෙන්නේ නැහැ.

ඒ නිසා මේ නිර්මාණ සහ ඒවාට දායක වූ අය නිසි ආකාරයට සමාජගත වෙන්නේ නැහැ. අද එවැනි අර්බුදයක් අපේ සමාජය තුළ තියෙනවා. ඒ නිසා අපි ඒ ගීත ලිව්වාද නැද්ද කියන ගැටලුව එක පැත්තකින් මතු වෙනවා. අනෙක් පැත්තෙන් අපේ පරම්පරාවේ සෙසු රචකයන්ට වඩා මෑත කාලයේ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ගීත රචනාවලට වැඩි වශයෙන් නැඹුරු වෙන්න මට ඉඩකඩ ලැබුණා. ඒ වැඩ කටයුතු සඳහා ඇගයීම් සහ සම්මාන වගේ දේවල් පවා ලැබුණා.

මම රූපවාහිනී මාධ්‍යයත් එක්ක පහුගිය කාල පරිච්ඡේදය තුළ වැඩ කරපු දේවල්වලින් ලැබුණු රූපමය ශික්ෂණය සහ රූප භාවිතය පිළිබඳ අවබෝධය මේ වැඩ කටයුතු සඳහා විශාල වශයෙන් උපකාරී වුණා. මේ සියලු දේවල් එක්ක මගේ නිර්මාණ සඳහා සමාජයෙන් ලැබුණු ප්‍රතිචාර සාධනීයයි කියලා මම හිතනවා. මම සැමවිටම විශ්වාස කරන විදියට අපට කළ හැකි දේ බොහොමයි. මේවත් එක්ක අපේ සාමූහික ප්‍රයත්නයන් වෙනුවෙන් අත්වැල් බැඳගන්න ඕන තව පිරිසක් ඉන්නවා. ඒ දේවල් තව ශක්තිමත් වෙනවා නම් අපට කරන්න පුළුවන් දේ ඉදිරියේදී මීටත් වඩා ප්‍රබල වෙයි කියලාත් මම හිතනවා.

ගීතයේ අයිතිය පිළිබඳ ඔබ දරන අදහස කුමක්ද?

ජාත්‍යන්තර වශයෙන් මේ පිළිබඳව නිර්මාණය වූ නිර්ණායක තියෙනවා. ඒ අනුව ගීතයක නිර්මාණාත්මක පාර්ශ්වයන් විදියට රචකයා සහ සංගීතඥයා අර්ථ දක්වනවා. ගායකයා හෝ ගායිකාව එහි වාහකයා විදියට අර්ථ දක්වනවා. ඒ ගායකයාට හෝ ගායිකාවට ගීතයක ප්‍රාසාංගික අයිතිය තියෙනවා. එහෙත් ලංකාවේ මේවා හරියට නීතිගත වෙලා නැහැ. මේකත් එක්ක අපේ බුද්ධිමය අයිතිය පුදුමාකාර විදියට කොල්ලකෑමට ලක් වෙනවා. පහුගිය කාලයේ ‘රින්ගින් ටෝන්ස්’ කලාවත් එක්ක එක්තරා විදියක කොල්ලකෑමකට අපි මුහුණ පෑවා.

අද වෙනකොට ‘රින්ගින් ටෝන්ස්’ සහ ‘අයි ටියුන්ස්’ වැනි දේවල් සහිතව මේ අප්ලෝඩ් කිරීමත් එක්ක තියෙන වෙළෙඳපොළේදී අපි සූරාකෑමට ලක් වෙනවා. මම ලියපු ගීත ඕන තරම් මේ මොහොත වෙනකොටත් යූ ටියුබ් එකේ තියෙනවා. ඒ බහුතරයක්ම ඒ ගීතවලට කිසිසේත්ම සම්බන්ධතාවක් නැති අය අප්ලෝඞ් කරපුවා. ඒ නිර්මාණ සඳහා අදාළ හිමිකාරත්වය පිළිබඳ කිසිදු තැකීමක් නොකර ඔවුන් ඒවා යූ ටියුබ් එකට දාලා තියෙනවා. එවැනි ගීත නරඹන වාර ගණන අනුව මුදල්වලින් ප්‍රතිලාභ ලබන අය සෑහෙන පිරිසක් ඉන්නවා. මෙන්න මේ සූරාකෑමට එරෙහිව කිසියම් වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක විය යුතුයි කියන එක මම නිශ්චිතවම හිතනවා.

මේක මට විතරක් නෙවෙයි, ගීතයේ නිර්මාණාත්මක අයිතිය තියෙන ලංකාවේ බොහෝ අය බුද්ධිමය වශයෙන් මුහුණ දෙන සූරාකෑමක්. අපේ රටේ කොහොමටත් නිර්මාණ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයන් නිවැරදිව ක්‍රියාත්මක වෙනවා අඩුයි. ගීතය වේවා, වෙනත් විෂයයක් වේවා ලංකාවේ තියෙන බුද්ධිමය දේපළ අයිතිය පිළිබඳ අණ පනත් දුර්වලයි. මේ තත්ත්වය වහාම වෙනස් විය යුතුයි කියලා මම හිතනවා. එයින් ඔබ්බට යමින් නිර්මාණ සුරක්ෂිත කිරීම පිළිබඳ ක්‍රමවත් වැඩපිළිවෙළක් සංවිධිතව නිර්මාණය වෙන්නත් ඕන කියලා මම විශ්වාස කරනවා.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා