ජීවිතය දිනන්න උදව් කරන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා

 ඡායාරූපය:

ජීවිතය දිනන්න උදව් කරන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා

ලෝකය ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතී. එහෙත් අප රට තවමත් එකම තැනය. අප දන්නා අතීතයේ සිටම ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ දියුණු වෙමින් පවතින රටක් වශයෙනි. අතීතයේ අපේ රටින් ආදර්ශ ලබා ගත් රටවල් අද සිටින්නේ අපට වඩා ගව් සිය දහස් ගණනක් ඉදිරියෙනි. එදා අපෙන් ආදර්ශ ලබා ලබා ගත් ඒ රටවලින් අද අපට ආදර්ශ ලබා ගැනීමට සිදුව ඇත. සංවර්ධනය පිළිබඳ කතා කිරීමේ දී ශ්‍රී ලාංකිකයින්ගේ මුවින් නිතරම කියැවෙන රටක් වන සිංගප්පූරුවේ විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් මහතා ඊයේ (28) වියට්නාමයේ හැනෝයිහි දී පැවසූ කාරණය මීට කදිම නිදසුනකි. ඔහු පවසා ඇත්තේ මීට දශක කිහිපයකට පෙර සිංගප්පූරුව ශ්‍රී ලංකාවෙන් ආදර්ශ බොහොමයක් ලබා ගත් බවය.


ශ්‍රී ලංකාව දියුණු කිරීම කොන්ක්‍රීට්වලට සීමා කළ යුගය දැන් අවසන්ව ඇත. එළඹ තිබෙන්නේ රට තිරසර සංවර්ධනයක් වෙනුවෙන් දිශානුගත කරන දැක්මක් සහිත රජයකි. රට තිරසර සංවර්ධනයකට ගෙන යාම ඉලක්කය කරගත් රජයක් බලයට පත්වූ පසු ඒ ඉලක්ක පසෙක දමා පුද්ගලික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට කටයුතු කළ උදාහරණ අපට ඕනෑ තරම් ඇත. දැන් ඒ දුර්දාන්ත අතීතයේ සිදුවූ වැරදි වෙනුවට රට නිවැරදිව ඉදිරියට ගෙන යමින් රටේ සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ කර ඇත.
ඒ නිවැරදි ආර්ථික දැක්මක් සහිත පාලකයන් රටට බිහිවී තිබෙන නිසාය. රටක් දියුණු කිරීමට නම් කොංක්‍රීට් සංවර්ධනයට සීමා නොවී රට දියුණු කිරීමේ එන්ජිම ව්‍යවසායකත්වය බවට පත් කළ යුතුය,  යන ස්ථාවරයේ සිටිමින් ඒ නායකයන් කටයුතු කිරීම රටක අනාගතය වෙනුවෙන් සුබ දායකය. 2025  දී පොහොසත් රටක් වෙනුවෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන රජය විසින් ඉදිරිපත් කරන්නේ එ සුබ දායක අනාගතය ගොඩනැඟීම වෙනුවෙනි.


එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සඳහා සංකල්පය බිහිවන්නේ 2018 අය-වැය යෝජනාවක් අනුවය. මෙම වැඩසටහනට අදාළ කැබිනට් පත්‍රිකාව 2018/06/05වනදා මුදල් හා ජනමාධ‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලදි. ඒ ශ්‍රී ලාංකික සහජ ව්‍යවසායකයන්ගේ නිපුණතාව ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසාය පාරාදීසයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැංවීම හා එතුළින් ආර්ථිකයට රුපියල් මිලියන 60, 000ක ආසන්න ප්‍රාග්ධනයක් සැපයීමේ අරමුණ පෙරදැරිවය. ඉන් නව රැකියා 50, 000ක් බිහි කිරීම තවත් අරමුණකි. ඒ වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යාංශය සෘජුවම දායකත්වය සපයන අතර රජයේ හා පෞද්ගලික බැංකු සහ විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන සහ අනෙකුත් සහභාගිත්ව ආයතන ලෙස ඉදිරිපත් වෙයි.


එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ණය යෝජනා ක්‍රම 16කි. ඒ පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11ක්,  ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම 03 ක්,   මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සලසන යෝජනා ක්‍රම 02ක් වශයෙනි. ලංකා බැංකුව,  මහජන බැංකුව,  ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් ණය පහසුකම් ලබා දෙන අතර මීට අමතරව තෝරාගත් යෝජනා ක්‍රම පෞද්ගලික හා අනෙකුත් රාජ්‍ය බැංකු ලබාදෙයි. 2018 වර්ෂයේ මෙම ණය යෝජනා ක්‍රම යටතේ ණය වෙනුවෙන් පොලී සහනාධාර ගෙවීම සඳහා පමණක් රජය රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5, 250කි. එසේම ව්‍යවසායකයින් 12,405කට රුපියල් බිලියන 30කට අධික අරමුදල් සපයනු ලැබ තිබේ. මෙහි විශේෂත්වය වන්නේ විවිධ ක්ෂේත්‍ර වෙනුවෙන් විවිධ ක්‍රම ඔස්සේ ණය ලබා දීමයි.


එහි දී කෘෂිතර්මාන්තයේ ඵලදායීතාව වෙනුවෙන් “රන්අස්වැන්න” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන අතර එහි පළමු ඛාණ්ඩය යටතේ සුළු පරිමාන ගොවීන් සහ ගොවි සංවිධාන,  විසිතුරු මල් වගා කරුවන්,  විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලෙන ව්‍යාපාරිකයින් වෙනුවෙන් රුපියල් මිලියන පහක උපරිම  ණය මුදලක් ලබා දෙන අතර ඒ සඳහා 50%ක පොලී සහනාධාරයක් හිමිවේ. දෙවැනි කාණ්ඩය යටතේ රුපියල් මිලියන තුන් සියයක ණය මුදලක් ලබා දෙන අතර ඊටද 50%ක පොලී සහනාධාරයක් හිමි වෙයි. තුන්වැනි ඛාණ්ඩය යටතේ වාණිජ්‍ය පරිමාණ ගොවිපොළ වෙනුවෙන් රුපියල් මිලියන හත්සිය පනහක මුදලක් 50% පොලී සහනාධාරයක් යටතේ ලබා දෙනු ලබයි.


කෘෂිකාර්මික කටයුතු යාන්ත්‍රීකරණය කිරීම වෙනුවෙන් ලබා දෙන “ගොවි නවෝදා” ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ පහක ණය මුදලක් 75% ක පොලී සහනාධාරයක් යටතේ ලබා දීම සිදුකරනු ලැබේ.
පාසැල් වෑන් රථ හිමියන් වෙනුවෙන් ලබා දෙන “රිය ශක්ති” ණය යෝජනා ක්‍රමයේ උපරිම ණය මුදල රුපියල් මිලියන හතරකි. ඊට ද 75%ක පොලී සහනාධාරයක් ලබා දෙනු ඇත.


සූර්ය බලශක්කි ඒකක සවි කිරීමට අපේක්ෂත පෞද්ගලික නිවාස ඒකක වෙනුවෙන් “රිවි බල සවි” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකවන අතර එමඟින් රුපියල් තුන් ලක්ෂ පනස් දහසක ණය මුදලක් ලබා දෙන අතර ඒ වෙනුවෙන් 50%ක පොලී සහනාධාරයක් හිමිවෙයි.
කුකුළු මස් නිෂ්පාදකයින් සහ ස්වයං රැකියාලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක “දිරිසවිය” ණය යෝජනා ක්‍රමයයෙන් රුපියල් පනස් දහසක මුදලක් ලබා දෙන අතර එම ණය යෝජනා ක්‍රමයේ පොලී සහනාධාරය 100% කි.


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ලබා දෙ “ජය ඉසුර” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කාණ්ඩ දෙකක් යටතේය. එහි දී පළමු කාණ්ඩය වෙනුවෙන් වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 10ත් රුපියල් මිලියන 250ත් අතර හා සේවක සංඛ්‍යාව 5ත් 50ත් අතරවන කෘෂිකාර්මික,  ධීවර,  විසිතුරු මත්ස්‍ය වගාව,  පශු සම්පත්,  විසිතුරු මල් වගාව,  ලුහු ඉංජිනේරු,  මුද්‍රණ,  සංචාරක,  අත්කම්,  ඇඟළුම්,  තොරතුරු තාක්ෂණ,  නිෂ්පාදන කර්මාන්ත සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන්හි නියැලෙන සුළු පරිමාන ව්‍යවසායකයින් වෙනුවෙන් රුපියල් මිලියන සියයක (අපනයන) මුදලක්ද,  රුපියල් මිලියන පනහක (අපනයන නොවන) මුදලක්ද 50% ක සහනාධාර පොලී අනුපාතයක් යටතේ ලබා දෙයි.


එහි දෙවන කාණ්ඩය යටතේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 250ත් 750ත් අතර හා සේවක සංඛ්‍යාව 51ත් 300 ත් පළමු කාණ්ඩයට අයත් කේෂ්ත්‍රවල නියැලෙන මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රුපියල් මිලියන 400ක් (අපනයන) වෙනුවෙන්ද රුපියල් මිලියන 200ක් (අපනයන නොවන) ද 25% ක සහනාධාර පොලී අනුපාතයක් යටතේ ලබා දෙනු ඇත.
වර්ග අඩි දහසකට අඩු බිම් ප්‍රමාණ ඇති නිවාස ඒකක වෙනුවෙන් ක්‍රියාත්මක “සොඳුරු පියස” ණය යෝජනා ක්‍රමය යටතේ උපරිමය රුපියල් ලක්ෂ දෙකක ණය මුදලක් 50% ක පොලී සහනාධාරයක් යටතේ ලබා දෙයි.
“මාධ්‍ය අරුණ” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ලියාපදිංචි මාධ්‍යවේදීන් වෙනුවෙනි. එහි දී පළමු කාණ්ඩය යටතේ මාධ්‍ය උපකරණ මිල දී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් 100%ක සහනාධාර පොලී අනුපාතයක් යටතේ ලබා දෙයි. දෙවැනි කාණ්ඩය යටතේ රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් 50% ක සහනාධාර පොලී අනුපාතයක් යටතේ ලබා දෙනු ලබන්නේ මාධ්‍ය උපකරණ දියුණු කර ගැනීම වෙනුවෙනි.


තරුණ උපාධිධාරීන් වෙනුවෙන් ක්‍රියාත්මක “ඇරඹුම” ණය යෝජනා ක්‍රමයෙන් රුපියල් මිලියන 1.5ක මුදලක් රජයේ පූර්ණ වගකීම යටතේ 100%ක සහනාධාර පොලී අනුපාතයක් යටතේ ලබා දීම සිදු වෙයි.
දිරාපත්වන අමුද්‍රව්‍ය යොදාගනිමින් ඇසුරුම් ද්‍රව්‍යය නිෂ්පාදනය කරන්නන්,  කුඩා පරිමාණ හෝටල් හිමියන් සහ කාබනික පොහොර නිපදවන්නන් වෙනුවෙන් “හරිත ණය” යෝජනා ක්‍රමයේ පළමු කාණ්ඩයෙන් රුපියල් මිලියනයක මුදලක් ලබා දෙන අතර ත්‍රී රෝද රථ හිමියන් වෙනුවෙන් මීටර් සවි කිරීමට රුපියල් විසි දහසක උපරිමයකට යටත්ව 50% ක සහනාධාර පොලී අනුපාතයකින් ණය ලබා දීම සිදු කෙරේ. එහි දෙවන කාණ්ඩය වෙනුවෙන් “සත්කාරක නිවාස -Homestay” වැඩසටහන යටතේ සංචාරක සේවා සපයන සුළු පරිමාණ හෝටල් හිමියන් වෙනුවෙන් මිලියන පහක ණය මුදලක් 50%ක ණය පොලී සහනාධාරයක් යටතේ ලබා දෙනු ලබයි.


නිවාස යෝජනා ක්‍රමයකින් පළමු වරට නිවසක් මිල දී ගැනීමට අපේක්ෂිත මධ්‍යම ආදායම් ලාභී තරුණ තරුණියන් වෙනුවෙන් උපරිම රුපියල් මිලියන පහක මුදලක් ලබා දෙයි.
විදේශ ණය ආධාර යටතේ ක්‍රියාත්මකවන ණය වැඩසටහන් යටතේ වහලය මකත සවි කරන ලද සූර්ය බලශක්ති උත්පාදන වැඩසටහනේ පළමු අදියරෙන් පෞද්ගලික නිවාස වෙනුවෙන් රුපියල් මිලියන 7.5ක මුදලක් ලබා දෙනු ලැබේ. එහි දෙවැනි අදියර යටතේ ව්‍යවසායකයින් වෙනුවෙන් රුපියල් මිලියන 7.5ක මුදලක් (උපරිම සීමාවක් නැත) ලබා දීම සිදුකරයි. ඒ සඳහා අරමුදල් සම්පාදනය නරවු ලබන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි.


සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය යටතේ,  ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ රුපියල් මිලියන පහක ණය මුදලක් ලබා දෙනු ලබන අතර “පවිත්‍ර ගංගා” ණය යෝජනා ක්‍රමය යටතේද ණය ලබා දීම සිදු කරනු ලබයි.
එසේම මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සලසන වැඩසටහන්ද ක්‍රියාත්මකවන අතර එහි දී ජාතික ණය සුරැකුම් ආයතනයත්,  කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන පිහිටුවීම සඳහා සහය වීමත් සිදු කරනු ලැබේ.


එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ යථාර්ථය එයයි. ඒ යථාර්ථවත් ව්‍යාපෘතියේ දැක්ම 2025 දී පොහොසත් රටකි. අනාගතය සුරක්ෂිත රටකි. ඒ සුරක්ෂිත වන්නේ අපේ අනාගත පරපුරයි. ඉඳින් දැන් තවත් අටුවා ටීකා ටිප්පනිවලින් ඇති වැඩක් නැත. දැන් අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් සහිතව ඉදිරිය ජයගැනීමට පෙළගැසීමයි. එකී පෙළගැස්ම තුළ ජාතීන් වශයෙන් හෝ දේශපාලන පක්ෂ වශයෙන් බෙදීමට තවදුරටත් අපට කාලයක් ඉතුරුව නැත. ගව් ගණන් අප පසුකර ගිය ලෝකයක් ජය ගැනීමට නම් වෙහෙස නොබලා,  බේද නොසලකා අප කටයුතු කළ යුතුය.

 

 

දිලංක ගුණතිලක

මාතෘකා