මුදල් ඒකකය අවප්‍රමාණ වීම ශ්‍රී ලංකාවට පමණද?

 ඡායාරූපය:

මුදල් ඒකකය අවප්‍රමාණ වීම ශ්‍රී ලංකාවට පමණද?

අගෝස්තු මස විසි දෙවැනිදා වන තෙක් ගතවූ මාස කිහිපයක කාලය තුළ, ලෝකයේ බොහෝ රටවල මුදල් ඒකක සමඟ ඇමරිකානු ඩොලරය දක්වන විනිමය අනුපාතිකයේ අනපේක්ෂිත අයුරින් උච්ඡාවචන වනු දැකගත හැකි විය. ඇමරිකානු ඩොලරයද එතරම්ම ස්ථායීව දිගු කලක් නොපැවති අතර, එහි යම් යම් ක්ෂණික වෙනස්කම් දක්නට ලැබිණි.

මෙහිදී ශ්‍රී ලංකාව බඳු පරිධියේ රටවල ආර්ථිකයන්ට, මෙබඳු උච්ඡාවචනයන්ගේ සෘජු මෙන්ම වක්‍ර අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදුවේ. සෘජු බලපෑම වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය ඒකකයක් ලෙස 21 වැනි සියවසේ භාවිතයට ගැනෙන, ජාත්‍යන්තර ගනුදෙනු සඳහා අත්‍යවශ්‍ය ඇමරිකානු ඩොලරයක් මිලදී ගැනීමට ශ්‍රී ලාංකේය විනිමය වැඩි ප්‍රමාණයක් වැ‍ය කරන්නට සිදුවීම සහ එය පිටුපස ඇති ප්‍රාග්ධන හානියයි. වක්‍ර ප්‍රතිඵලය වන්නේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අමුද්‍රව්‍යවල මිල ඉහළ ‍යෑම, ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට ඉදිරිපත් වන රටවල ආර්ථික ශක්තිය ක්ෂය වීම, මෙන්ම ඩොලරය අතරමැදි මුදල් ඒකකය ලෙස ගෙන, කරනු ලබන ගනුදෙනුවලින් අත්විය හැකි වාසි අවම වීමය.

නමුත්, තත්ත්වය මෙසේ තිබියදී, දේශීය මුදල් ඒකකය ඩොලරය හමුවේ අවප්‍රමාණ වීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවල දෝෂයක් ලෙසට ලඝු කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ දරමින් සිටී. මෙසේ නැගෙන චෝදනාවලට සත්‍යතාවක් ඇත්ද?....

මේ විග්‍රහයට ප්‍රවිෂ්ට වීමට පෙර, ඇමරිකානු ඩොලරය පසුගිය මාස කිහිපය තුළ ලෝකයේ නම ගත් වෙනත් මුදල් ඒකක සමඟ තුලනය වූ ආකාරය පිළිබඳව සලකා බැලීම වටී.

අගෝස්තු මස 22 වැනිදා වන විට චීන මුදල් ඒකකය වන යුවාන් මුදල් ඒකකය පිට පිටම පස්වන මාසයටත් ඇමරිකානු ඩොලරය හමුවේ පහත වැටෙමින් තිබිණි. මේ පිළිබඳව ඇතැම් ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂකයන් පළ කරන ලද අදහස වනුයේ, චීනය සමඟ ද්වි පාර්ශ්වික වෙළඳ ගනුදෙනු නියාමනය කරන අරමුණින් යුතුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රෙජීමය විසින් ගන්නා ලද ඇතැම් බදු ක්‍රියාමාර්ගවලින් චීන සමාගම්වලට සහ චීනය සමඟ ගනුදෙනු කරන ඇමරිකානු සමාගම්වලට ගෙවන්නට සිදුව ඇති අතිරික්ත බදු මුදල්වලට හසු නොවීමේ හෝ ගෙවන බදු මුදල් අවම කිරීමේ අරමුණින්, චීනයේ නිෂ්පාදනය කරනු ලබන දේවල වටිනාකමට ඇමරිකානු ගැනුම්කරුවන් ගෙවන ඩොලර් ප්‍රමාණය අඩු කිරීමට චීනය හිතාමතාම මෙසේ යුවාන් ඒකකය ඇමරිකානු ඩොලරය හමුවේ පහත හෙළමින් සිටින බවය.

එවැනි විශ්ලේෂණවල සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත්, චීන රෙජීමයේ මුදල් ඒකකය ඇමරිකානු ඩොලරය හමුවේ පසුබෑම, චීනයෙන් ලැබෙන ණය, ආයෝජන සහ වෙළඳ ආදායම් ආදිය මත මූල්‍ය වටිනාකමේ ස්ථාවරත්වය රඳා පවතින රටවල මූල්‍ය ඒකකයන්ද ඇමරිකානු ඩොලරය හමුවේ පසුබස්වන්නට සෘජුව හෝ වක්‍රව හේතු සාධක වන බව අමුතුවෙන් කිව යුතු නැත.

පසුගිය මාස කිහිපය තුළ ඇමරිකානු ඩොලරය හමුවේ පසුබැස ඇත්තේද, අවප්‍රමාණ වී ඇත්තේද, චීන යුවාන් ඒකකය පමණක් නොවේ.

පසුගිය මාස තුනට බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම ඇමරිකානු ඩොලරය හමුවේ 3.93% කින් අවප්‍රමාණ වූ අතර, රුසියානු රූබලය 10.41% කින් අවප්‍රමාණ විය. චීන යුවාන් ඒකකයේ පසුගිය මාස තුනේ සමස්ත පසුබැස්ම 7.45% ලෙස වාර්තා වන අතර, ඉන්දියානු රුපියල 2.56% කින්ද, සිංගප්පූරු ඩොලරය 2.30% කින්ද, කැනඩා ඩොලරය 1.47% කින්ද, ජපන් යෙන් ඒකකය 1.98% කින්ද ආදි වශයෙන් අවප්‍රමාණ විය. කොරියානු වොන් ඒකකය 3.19% කින්ද, ඔස්ට්‍රේලියානු ඩොලරය 3.93% කින්ද අවප්‍රමාණ විය. යූරෝවද ඇමරිකානු ඩොලරය හමුවේ 1.51% කින් පසුබෑවේය... .

ලෝකයේ ප්‍රබලතම සහ ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු සඳහා වැඩි පිළිගැනීමක් ඇති මෙන්ම, ශ්‍රී ලංකාවට විදේශ විනිමය සංචිතය සහ විදේශ ගනුදෙනු පැත්තෙන් වැඩිම බලපෑමක් කරන ලෝක මට්ටමේ මුදල් ඒකක එසේ ඇමරිකානු ඩොලරය හමුවේ පසුබෑම ශ්‍රී ලංකාවේ රුපියලේ වටිනාකම ඩොලරය ඉදිරියේ අවප්‍රමාණය වීමට විශාල වශයෙන් බලපාන බව නොරහසකි. මේ රටවල් ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කරන්නේ බොහෝ සෙයින් ඩොලරය පොදු මූල්‍ය ඒකකය වශයෙන් ගෙන වන අතර, එහිදී ඔවුන් කරන ගනුදෙනුවලට ලබාගත හැකි ඩොලර් ප්‍රමාණය සාපේක්ෂව අඩුවේ. ඊට අමතරව ශ්‍රී ලංකාවට මුදල් එවනු ලබන විදේශ රැකියාවල නියුතු වූවන්ටද, තමන් නේවාසිකව සිටින රටවල මූල්‍ය ඒකක ඩොලරය හමුවේ පසුබැසීමට පාත්‍ර වීම බලපායි.

ඩොලරය එසේ ශක්තිමත් වීමට හේතුව කුමක්ද?

2016 වසරේදී ජනපතිවරණයෙන් ජය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විසින් ජනතාවට දුන් මූලික පොරොන්දුවලින් එකක් වනුයේ "ඇමරිකා ෆර්ස්ට්" යන තේමාව යටතේ ව්‍යාපාරකරණයේදී ඇමරිකානු ස්වදේශිකත්වය සහ ජාතික ආර්ථිකය ප්‍රමුඛත්වයේලා සලකන ප්‍රතිපත්ති ක්‍රියාවට නඟන බවය. එසේ ක්‍රියාත්මක කිරීමෙන්, විදේශ විනිමය අනුපාතිකයේ අසමතුලිතතාව නිසා තුන්වෙනි ලෝකයේ රටවලින් ඇමරිකානු සමාගම්වලට ලබාගත හැකි වාසි ප්‍රයෝජන සලකා, ඇමරිකානුවන්ට හිමිවිය යුතු රැකී රක්ෂා එම රටවලට ගෙන යෑමට සහ එම රටවල් වෙළඳපොළක් කරගෙන, ඇමරිකානු භූමිය මඟහැර වඩා පහසු සහ වාසිදායක ක්‍රමවේදයන්ට අධික ලාභ ලැබීමට ඇමරිකානු සමාගම් දරන උත්සාහය පරාජය කොට, ඒ සමාගම් නිසා තුන්වෙනි ලෝකයේ අනෙක් රටවල ස්ථාපනය කරන ලද ව්‍යාපාර සහ රැකියා අවස්ථා යළි ඇමරිකාවට ගෙන්වා ගැනීම ට්‍රම්ප් පාලනය විසින් සිය ජනපතිවරණ සටනේදී ඇමරිකානු ජනතාවට ලබා දුන් පොරොන්දුවකි.

මේ පොරොන්දුව ක්‍රියාත්මක කිරීමේ අරමුණුවලට කදිම නිදසුනක් වනුයේ, විදේශ විනිමය හුවමාරු අගයන්හිදී ඩොලරයේ වටිනාකම ඉහළ යෑම තම ව්‍යාපාරික අරමුණු සඳහා බාධාවක් වෙමින් පවතින බව ලෝ සුපතළ "ඇපල්" සමාගමේ ප්‍රකාශ කර සිටීමයි. එම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලූකා මායිස්ට්‍රි පවසන්නේ, ඔවුන්ගේ සමාගමේ ව්‍යාපාරික ක්‍රියාන්විතයෙන් 2/3 ක් ක්‍රියාත්මක වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත බවත්, එම නිසා ඩොලරයේ අගය ඉහළ යෑම, සහ එය ශක්තිමත් වීම තමන්ට බරපතළ ලෙස තර්ජනයක්ව ඇති බවත්ය. ඇත්තටම ඔවුන්ගේ පසුතැවීම වනාහි, ඩොලරය හමුවේ බෙහෙවින්ම දුර්වල මුදල් ඒකකවලින් දීමනා, වැටුප් ආදිය ගෙවන සහ යටිතල පහසුකම් සපයන ඔවුන්ගේ සමාගමේ ක්‍රියාන්විතයන් ලබාගන්නා විශාල ලාභය ඩොලරයේ අගය ඉහළ යෑමත් සමඟ ගෙවන්නට සිදුව ඇති සාපේක්ෂව ඉහළ බදු ගාස්තු සමඟ ක්‍රමයෙන් ක්ෂය වෙමින් පැවතීමය.

මේ බහුජාතික සමාගම්වලට තුන්වෙනි ලෝකයේ රටවල ගනුදෙනුවලදී වැඩි වාසි සලසන පරිදි, ඩොලරයටකට එම රටවල මුදල් ඒකකවලින් ගෙවිය යුතු ප්‍රමාණය හෙවත් ඩොලරය සමඟ විනිමය අනුපාතිකය පහළ මට්ටමක රඳවා ගැනීමේ ක්‍රමය ඇමරිකාව අහෝසි කරමින් සිටින්නේ, ඔවුන් විදේශ රටවල එසේ තම වාසියට ක්‍රියාත්මක වීම නිසා, ඒ රටවලට ගිය, ඇමරිකාවේ තිබිය යුතු රැකියා සියල්ල යළි ඇමරිකාවට ගෙන්වා ගන්නා අටියෙනි.

තත්ත්වය මෙසේ වනවිට ඩොලරයේ නැගීම ගෝලීය බලපෑමක් සහිත බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ බලපෑම ශ්‍රී ලංකාවේ මූල්‍ය ඒකකය වන රුපියලට පමණක් නොදැනී තිබෙන්නට හේතුවක් නැත.

බොහෝ කාලයක් තිස්සේ උවමනාවෙන්ම පාලනය කරනු ලදුව පැවති ඩොලරය එසේ ශක්තිමත් කරන ලද්දේ වසර 23 කට පමණ පසුවය. අවසන් වරට ඩොලරයේ එබඳු නැඟීමක් ඇති කරන ලද්දේද, එය මෙතරම් කලක් පවත්වන ලද්දේද 1995 වසරේදීය. එම නිසා ඩොලරය බොහෝ කලකට පසුව ශක්තිමත් වන විට සහ එය හමුවේ ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑම් සහිත අනෙකුත් මූල්‍ය ඒකකයන් පසුබසින විට, රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණ වීම දේශීය ආර්ථික ප්‍රතිපත්තිවල වරදක් නොවන බව වටහා ගත යුතුය.

මෙයට අමතරව පසුගිය රජයේ පාලන සමයේදී එක දිගට ගිනි පොලියට ගන්නා ලද ණය මුදල් පියවීමට සිදුව තිබීම ශ්‍රී ලංකාවේ ඩොලර් ඉල්ලුම වැඩි කිරීමටත්, එම නිසා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමටත් හේතුවක්ව තිබේ. මෙය මෙවර චෝදනා මුඛයෙන් කතා කරනු ලබන බොහෝ දෙනා උවමනාවෙන් අමතක කිරීමට රුචිකර හේතුවකි.

[මධුක තක්සල ප්‍රනාන්දු]

මාතෘකා