ගැස්ට්‍රයිටිස් සුව කරන්න පුළුවන්ද?

 ඡායාරූපය:

ගැස්ට්‍රයිටිස් සුව කරන්න පුළුවන්ද?

ගැස්ට්‍රයිටිස් යනු බොහෝ දෙනෙකු අතර සුලබ රෝගයකි. කලට වේලාවට ආහාර නොගැනීම සහ අධික තෙල් සහ මිරිස් සහිත ආහාර භාවිතයට ගැනීමෙන් බොහෝ දෙනෙක් ගැස්ට්‍රයිටිස් තත්ත්වයට ගොදුරු වෙති. මෙම තත්ත්වය දීර්ඝ කාලයක් තිස්සේ නොසලකා සිටීමෙන් අවසානයේදී රෝහල්ගත වී ප්‍රතිකාර ගන්නට සිදුවන තරම් බරපතළ විය හැකියි. එම නිසා ගැස්ට්‍රයිටිස් පිළිබඳව නිවැරදිව දැනුවත් වී එයට ගොදුරු වීම වළක්වා ගැනීම නුවණට හුරු කරුණකි. මෙම දැනුවත් කිරීම ඒ වෙනුවෙනි.

ගැස්ට්‍රයිටිස් යනු කිනම් රෝගී තත්ත්වයක්ද?

අාමාශයේ අභ්‍යන්තර ස්ථරයේ ඇති වන ඕනෑම ප්‍රදාහයක් ගැස්ට්‍රයිටිස් යන පොදු නාමයෙන් හඳුන්වනවා. මෙය වර්ග දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන්. පළමු වර්ගය ඉතා කෙටි කාලයකින් ඉක්මනින් සුව අතට පත්වෙනවා. දෙවන වර්ගය ඇති වීම ඉතා සෙමින් සිදු වන අතර ( සති හෝ මාස ගණනක් ) නිවැරදි ප්‍රතිකාර නොලැබුණහොත් රෝග ලක්ෂණ දීර්ඝ කාලීනව නිදන්ගතව පවතින්නට පුළුවන්. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ගැස්ට්‍රයිටිස් ලෙස මෙම දෙවැනි වර්ගය හැඳින්වීමට පොදුවේ යොදා ගන්නවා.

ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වීමට හේතු මොනවාද?

ආහාර ජීර්ණය පහසු කිරීමට ආමාශයෙන් ඉතා බලවත් Hcl නමැති අම්ලය නිපදවනවා. අමාශයේ අභ්‍යන්තර ස්ථරය මෙම අම්ලයට දැඩි ප්‍රතිරෝධයක් දක්වන ලෙස (Barrier ) සකස් වී ඇති බැවින් ඉන් ආමාශයේ බිත්තිවලට අම්ලයෙන් හානියක් සිදු වන්නේ නැහැ.

ගැස්ට්‍රයිටිස්වලදී මෙම ප්‍රතිරෝධය අඩපණ වන බැවින් ආමාශයේ තුවාල ඇතිවෙන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් ලෙස දීර්ඝ කාලීනව මෙය පැවතීමට හේතු වෙනවා. මෙහිදී අප මතක තබා ගත යුත්තේ ගැස්ට්‍රයිටිස් යනු අමාශයේ ඇතුළත ස්ථරයේ බීඳීයාමක් නිසා ඇතිවන රෝග ලක්ෂණ කිහිපයක එකතුවකිනුයි. ගැස්ට්‍රයිටිස් ඇතිවීමට බලපාන හේතු කාරක කිහිපයක් හදුනාගෙන තිබෙනවා. Helicobactor Pylori නමැති බැක්ටීරියාව අමාශය තුළ අසාදනය වීම, දීර්ඝකාලීනව ලබාගන්නා සමහර ඖෂධ (ඇස්ප්‍රින් හා ඊට සමාන වේදනා නාශක) මත්පැන් හා දුම් පානය, අධික මේද සහිත ආහාර සහ තෙලෙන් බඳින ලද ආහාර වර්ග භාවිතා කිරීම සුලභ හේතු කාරක ලෙස හඳුන්වන්න පුළුවන්.

යම් පුද්ගලයෙකුට ගැස්ට්‍රයිටිස් තිබෙනවාද යන්න පිළිබඳව දැනගත හැකිවන්නේ කෙසේද?

මේ සඳහා විශේෂීත වූ ලේ පරීක්ෂණ නොමැති අතර රෝග ඉතිහාසය, සමාජ පුරුදු, ජීවන රටාව සහ රෝග ලක්ෂණ පදනම් කරගෙන රෝගය හඳුනා ගන්නට පුළුවන්. ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උදරයේ වේදනාව එනම්, විශේෂයෙන් උදරයේ ඉහළ කොටසේ ඇති වන බඩේ දැවිල්ල, ඔක්කාරය, වමනය, කෑම අරුචිය, බඩ පුරවා දැමීම, උදරයේ වාතය පිරීම ආදියයි. නිශ්චිතවම රෝගය හඳුනාගත හැකි වන්නේ Endoscopy පරීක්ෂණයක් මගිනුයි. මෙම පරීක්ෂණයේදී ඉතා තුනී නම්‍යශීලී බටයක් උදරය තුළට යොමු කර එහි කෙළවර සවිකර ඇති කැමරාවක් මාර්ගයෙන් අමාශයේ ඇතුළත ස්ථරය නිරීක්ෂණය කිරීමෙන් එහි ඇතිවන අසාමාන්‍යතාවයන් හඳුනා ගන්නවා. මෙහිදී රෝගීයාට වේදනාවක් ඇති නොවන අතර ඉතා කෙටි කාලයකින් පරීක්ෂණය සිදු කර එදිනම නිවසට යාමට පුළුවන්. මෙම පරීක්ෂණයේ තවත් ප්‍රයෝජනයක් වන්නේ අවශ්‍ය නම් අමාශයේ ඇතුළත ස්ථරයෙන් පටක සාම්පලයක් ලබාගෙන වැඩිදුර පරීක්ෂා කිරීමේ හැකියාවක් පැවතීමයි.

දීර්ඝ කාලයක් මෙම තත්ත්වය තිබීමෙන් ඇතිවන අහිතකර බලපෑම් මොනවාද?

බොහෝ අවස්ථාවලදී රෝගී තත්ත්වය බරපතළ නොවන අතර ඉතා ඉක්මනින් සම්පූර්ණයෙන්ම සුව වනවා. නමුත් සමහර අවස්ථාවලදී නිසි ප්‍රතිකාර නොලැබුණහොත් සංකූලතා ඇතිවන්න පුළුවන්. මින් ප්‍රධාන වන්නේ අමාශයේ නිදන්ගතව ඇතිවන තුවාල (Gastric Ulcers) වන අතර ඉන් ලේ වහනය වීමෙන් ලේ වමනය

වීමක් සිදුවිය හැකියි. සමහර විට මෙම තුවාල අමාශ බිත්ති සිදුරු කිරීමට පවා මුල් වන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් නිසා ජීවිතයට වුවත් අවදානම් තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. එමෙන්ම තවත් වැදගත් කරුණක් වන්නේ ඉතා කලාතුරකින් අමාශයේ ඇතිවන මෙවැනි තුවාල ආමාශයේ පිළිකා නිසාද ඇතිවීමට පුළුවන්. ඒ වගේම හෘදයාබාධයකදී ඇතිවන පපුවේ වේදනාව ගැස්ට්‍රයිටිස්වලදී ඇතිවන වේදනාවට සමාන විය හැකි අතර එය ගැස්ට්‍රයිටිස් ලෙස සලකා ප්‍රතිකාර ලබා ගැනීමට යාම නිසා සමහර විට ජීවිතයෙන් වන්දි ගෙවීමට වුවත් සිදු විය හැකියි. එබැවින් දීර්ඝ කාලීන ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ඇති රෝගියෙකු නිසි වෛද්‍ය උපදෙස් පැතීම ඉතාමත් වැදගත් වනවා.

ගැස්ට්‍රයිටිස් තත්ත්වය තිබෙන පුද්ගලයෙකුට එම තත්ත්වය ඇතිවීම පාලනය කර ගැනීම සඳහා එදිනෙදා ජීවිතයේදී අනුගමනය කළ හැකි ආහාර පුරුදු මොනවාද?

ගැස්ට්‍රයිටිස්වලින් පෙළෙන රෝගියෙකු ප්‍රථමයෙන්ම ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ වැඩි කරන හේතු කාරක හඳුනාගෙන ඉන් වැළකී සිටිය යුතුයි. වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීමෙන් මෙය ඉතා පහසුවෙන් දැනගත හැකියි. එමෙන්ම රෝගයට නියම කරන ඖෂධ වර්ග නිවැරදිව සහ ක්‍රමානුකූලව භාවිතා කරන අතරතුර වුවද රෝග ලක්ෂණ අඩු නොවන්නේ නම්, නැවත ‍වෛද්‍ය උපදෙස් ගැනීම ඉතා වැදගත් වනවා.

ගැස්ට්‍රයිටිස් රෝගයට ලබාදෙන ඖෂධවලින් ප්‍රධාන වශයෙන් අමාශයේ ආම්ලිකතාවය අඩු කිරීමට හෙලිකොබැක්ටර් ෆයිලොරයි නමැති බැක්ටීරියාව විනාශ කිරීමට ලබා දෙන ප්‍රතිජීවක ඹෟෂධ හදුන්වා දෙන්න පුළුවන්. එමෙන්ම ගැස්ට්‍රියිටිස්වලට තුඩුදුන් හේතු කාරකවලින් වැළකීමෙන් බොහෝ දුරට ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම සුව කරන්න පුළුවන්.

මාතෘකා