වාරණය සහ තහංචි

 ඡායාරූපය:

වාරණය සහ තහංචි

අසංක සායක්කාරගේ මං කෙළින් මිනිහෙක් නාට්‍යය සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය ලබා දුන් 'බලපත්‍රය' ආපසු ලබා ගැනීම හා තවත් සිදුවීම් කිහිපයක් නිසා කලාවාරණය පිළිබඳ බිය අලුත් වී තිබේ. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ඇතැම් ආගමික බලවේගද කලාවට ඇඟිලි ගසමින් සිටී. මෙවර සංවාද නිමිත්ත කලාවාරණය පවත්වාගෙන යා හැකිද යන්නයි.

වාරණ නැති නම් සමාජ යහපැවැත්මක් නැහැ

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශ ප්‍රධානී

පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

යම්කිසි නිර්මාණයක් හරහා මිනිස්සුන්ගේ බුද්ධිය අවදි වනවා නම්, මිනිසුන් ප්‍රබුද්ධත්වයට පත්වනවා නම්, ඔවුන් ප්‍රතිභාපූර්ණ කරනවා නම් එම නිර්මාණ අපි ප්‍රශස්ත නිර්මාණ කියලා කියනවා. නිර්මාණවලින් විය යුත්තේ සහ අපි බලාපොරොත්තු වෙන්නෙත් ඒකම තමයි. ලෝක සාහිත්‍යය දිහා සහ කලා නිර්මාණ දිහා බැලුවොත් අපිට පේනවා එදත් අදත් ඔවුන් බොහොම හික්මීමකින් සහ සංයමයකින් තමයි ඒ නිර්මාණ කරන්නේ. නමුත් දැන් විවිධ සමාජ විරෝධී ක්‍රියා එළිපිට සමාජයට දායාද කරන තත්ත්වයක් ලංකාවේ අපිට පේනවා. කලාකරුවන්ගේ ඔළුවට විවිධ අදහස් එන්න පුළුවන්. නමුත් ඒ එන හැම අදහසක්ම සමාජයට මුදා හරින්න බැහැ. සමාජය කියන්නේ සංස්කෘතියක්. ඒ සංස්කෘතියට අදාළ දේවල් විතරයි දෙන්න ඕනේ. ඒ නිසා නිර්මාණවලට වාරණ අවශ්‍යයි කියලා මම හිතනවා. මොකද නැතිනම් සමාජ යහපැවැත්මට එයින් හානියක් වෙනවා.

 

නිර්මාණ රසවිඳලා අපි එක්ක සංවාද කරන්න

නාට්‍යවේදී මාලක දේවප්‍රිය

නිර්මාණ හරහා, උපමේය, ධ්වනිතාර්ථ මතුකරන්න ඕනේම කලාකරුවෙකුට පුළුවන්. ඒ සඳහා ඔවුන්ට අයිතියක් සහ නිදහසක් තියෙනවා. ඒ වගේම නිර්මාණ හරහා තමන් කැමති අදහසක් ප්‍රකාශ කරන්න නිදහසක් කලාකරුවාට තියෙනවා. ඒක පූජ්‍ය පක්ෂයවටත්, දේශපාලකයන්ටවත්, පොලීසියටවත් ඕනේ විදියට නෙමෙයි ඒක කරන්නේ කලාකරුවාට ඕනේ විදියට. මගේ එක්තරා නාට්‍යක් තියෙනවා "තෙරුවන් සරණයි" කියලා. ඒක රියැලිටි වැඩසටහන්වලින් තරුණ පරපුරට සිද්ධ වෙන හානිය කතා කරන්නේ. ඒත් මේකෙන් කිසිම විදියකින් ආගමකටවත් ජාතියක්ටවත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් මේකේ නම දිහා බලලා අන්තර්ගතය දන්නේ නැතුව මේකට චෝදනා එල්ල කරනවා. ඒ වගේ තව නිර්මාණ කීපයක්ම තියෙනවා. ඉතින් කලාකරුවාට පුළුවන් විවිධ වචන හරහා විවිධ අදහස් ප්‍රකාශ කරන්න. වචන කියන්නේ කාටවත් අයිති දෙයක් නෙමෙයි. මේ නිර්මාණවලට වාරණය කරනවා නම් "හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්" කිව්වොත් අපිව ඉස්සරහට හිරේ දාවිනේ. මේ කලා කෘතිවලින් කිසිම විදියකින් කිසිම ජාතියකට හෝ කිසිම ආගමකට එරෙහි වීමක් කරලා නැහැ. මම යෝජනා කරනවා මේ නිර්මාණ රසවිඳලා ඒ සම්බන්ධයෙන් අපි එක්ක සංවාද කරන්න කියලා.

නිර්මාණ මතුපිටින් බලලා කාටවත් විවේචනය කරන්න බැහැ

සරත් ඉද්දමල්ගොඩ පියතුමා

කලා නිර්මාණයක් වාරණය කරන්න බැහැ කියලයි මම නම් හිතන්නේ. මොකද නිර්මාණ සඳහා නිදහසක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ නිර්මාණ මතුපිටින් බලලා කාටවත් විවේචනය කරන්න බැහැ. ඒ නිර්මාණවල අන්තර්ගතයන් හොඳට අධ්‍යයනය කරලා ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගෙනයි එම නිර්මාණ විවේචනය කරන්න ඕනේ. නමුත් එම නිර්මාණ මගින් ජාතික ප්‍රශ්න විසඳීමට බාධාවක් වනවා නම් ඒ සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි. මොකද අපිට රටක් ලෙස එල්ලවන ජාතික ගැටලු තියෙනවා. ඒවා විසඳීමට එකී කලා කෘති බාධාවක් වනවා නම් ඒවා වාරණය කළ යුතුයි. නැතිනම් ඒක අපිට රටක් ලෙස යන ඉදිරි ගමනට බාධාවක්.

වාරණය කියන්නේ කාගෙවත් අතේ තියන ආයුධයක් නෙමෙයි

ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරනායක

මේ වෙලාවේ රාජ්‍යයටත් වඩා විවිධ අන්තවාදී ආගමික කණ්ඩායම් මේ කලාකෘති වාරණය සඳහා මැදිහත් වෙලා ඉන්නවා කියලා පේනවා. මේ තහනමට විරුද්ධව සියලුම කලාකරුවන් එකතු වෙන්න ඕනේ. මේ සම්බන්ධයෙන් සංවාද ගොඩනගන්න ඕනේ. වාරණය කියන එක කාගෙවත් අතේ තියෙන ආයුධයක් නෙමෙයි. වාරණය කරන්න ඕනේ සමාජයෙන්මයි. අපිට සංස්කෘතික පොලිසියක් අවශ්‍ය නැහැ. පසුගිය දිනවල වුණු කලා වාරණයන්ගෙන්ම පේනවා ලංකාවේ සමාජය කොයිතරම් නොදියුණුයිද කියලා. මිනිස්සුන්ගේ චින්තනය හදන එකයි නිර්මාණවලින් කරන්නේ. ඉතින් ඒක මිනිස්සුන්ට නොතේරෙන තාක් කල් මේ තත්ත්වය මෙසේමයි. ඒ වගේම මේ නිර්මාණවලට වාරණය, විවේචන සියල්ලම කරන්නේ ඒවා රසවිඳින්නේ නැතුව. ඒ නිසා ඔක්කොටම කලින් මේ නිර්මාණ රසවිඳින්න, රසවිඳලා මේ ගැන සංවාද කරන්න කියලා මම ආරාධනා කරනවා.

මේක ආගමික උමතුවක්

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ

කලා නිර්මාණ වාරණයට සපුරා විරුද්ධ විය යුතුයි. එයට හේතුව කලාවෙන් කරන්නේ සමාජය හා ජීවිතය විවර කිරීම. ජීවිතය සහ සමාජය විවර කිරීම වාරණ කරනවා නම් ඒ සඳහා අපි විරුද්ධ විය යුතුයි. කලා නිර්මාණයක් සමාජයට සුදුසුද නැද්ද කියලා තීරණය කරන්නේ සමාජය. නැතුව මේ නිර්මාණ වාරණය කළ යුතුයි කියලා කියන්න කාටවත් අයිතියක් නැහැ. මේ වාරණවලට අදාළ සිද්ධි කීපයේදීම පෙනෙන දෙයක් තමයි මේ නිර්මාණවලට ආගමික සංස්ථාව අනවශ්‍ය ලෙස චෝදනා එල්ල කරලා තියෙනවා. ඒ වගේම මේ චෝදනා එල්ල වෙන්නේ සමාජ ජාලා හරහා. සමාජ ජාලාවල මතුපිටින් පෙනෙන දේවල් දැකලා තමයි මේ තීරණවලට එලඹිලා තියෙන්නේ. මේ නිර්මාණ රසවිඳලා නෙමෙයි. ඒ සඳහා දේශපාලකයෝ මැදිහත් වෙනවා අපි දැක්කා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා 'මේ නිර්මාණවලින් සමාජයට හානි කරනවා. ඒ නිසා මේවා විකාශය කරන නාළිකා තහනම් කරන්න ඕනේ' කියලා. ඇත්තටම මම දකින විදියට මේක ආගමික උමතුවක්. මේ ආගමික අන්තවාදීන් බුදුදහමේ හරයවත් නොදැනයි මේ දේවල් කරන්නේ. බුදු දහමේ තියෙන්නේ හැමදේ දිහාම මැදහත්ව බලන්න කියලා. ඉතින් ඔවුන් කරන්නේ ඒක නෙමෙයි.

මේ මතුවෙන තත්ත්වය ඉතා භයානකයි

නාට්‍යවේදී අසංක සායක්කාර

වාරණය කියන දේ අපි සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා. කලාවට අදාළ නැති දෙයක් වාරණය කියන්නේ. ඒ නිසා වාරණයක් එල්ල වුණු පළමු වතාවේදීම ඒ සඳහා විරුද්ධ විය යුතුයි. ඒ විරෝධය හුදෙකලාව කරනවාට වඩා සියල්ලන්ම එකතු වෙලා මේ සියලු වාරණවලට එරෙහිව හඬ නගන්න ඕනේ මොහොතක් මේක. පහුගිය කාලේ මේ වාරණය වීම් කීපයක්ම වුණා. වෙන අවස්ථාවලදී ඒ සඳහා රාජ්‍ය මැදිහත් වෙන්නේ. නමුත් දැන් රාජ්‍යයට වඩා ආගමික සංස්ථාව මේ සඳහා ඉදිරියට එනවා. සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් තමයි මේ මර්දනය කැඳවන්නේ. ඒ සඳහා අනෙකුත් කණ්ඩායම් උඩගෙඩි දෙනවා. මේ මතුවෙන තත්ත්වය ඉතා භයානකයි. රාජ්‍ය ඍජුවම මැදිහත් වනවාට වඩා එය භයානකයි. ඒ වගේම මේ සඳහා මාධ්‍ය හැසිරීමද භයානක තත්ත්වයක තියෙන්නේ. වෙනත් අවස්ථාවක නම් ඒ වාරණ සඳහා රාජ්‍ය මාධ්‍ය මැදිහත් වෙලා එය ප්‍රවර්ධනය කරනවා. ඒත් මේ මොහොතේ පේනවා ඒ සඳහා රාජ්‍ය මාධ්‍ය වෙනුවට වෙනත් පෞද්ගලික නාලිකා එම ප්‍රවර්ධන කාර්යය සිදු කරනවා. අද මට වුණු දේ අනාගතයේදී තවෙකෙකුට වෙන්න තියන ඉඩහසර වැඩියි. ඒ නිසා මේ මොහොතේ කලාකරුවන් සියල්ලම එකට එක් වී විරුද්ධ විය යුතුයි.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා