දවසක මම ලෝකයටම : 2012දී උසස් පෙළින් ලංකාවේ පළමුවැනියා වූ රුසිරු ගම්භීරආරච්චි

 ඡායාරූපය:

දවසක මම ලෝකයටම : 2012දී උසස් පෙළින් ලංකාවේ පළමුවැනියා වූ රුසිරු ගම්භීරආරච්චි

මේ කතාකරන්නට යන්නේ 2012 වසරේ උසස් පෙළ ගණිත අංශයෙන් ලංකාවෙන් ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යයා පිළිබඳවය. වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විදුහලේ ආදි ශිෂ්‍යයකු සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියකු වන ඔහු පිළිබඳ නැවතත් කතාබහට ලක්වන්නේ මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී ඔහු ලබාගත් විශේෂ දක්ෂතා හේතුවෙනි. පශ්චාත් උපාධිය සඳහා ඊයේ දිවයිනෙන් පිටවීමට පෙර ‘රැස’ ඔහු සමග කරන ලද සංවාදයක් මෙසේ පළ කරමු.

ඔබ විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ වසරකට දෙවරක් බැගින් වන විභාග අටෙන්ම ප්‍රතිඵලවල GPA අගය 4න් 4ම ලබාගත් පළමු ශිෂ්‍යයා වෙනවා. මෙය ඔබ බලාපොරොත්තු වුණ දෙයක්ද?

මම විභාග ලියන්නේ මොනවගේ ප්‍රතිඵල එයිද නැද්ද කියලා හිතලා නෙවෙයි. මොකද විභාගයක් ඉලක්කකරගෙන මම ජීවිතේ කිසිම දවසක ඉගෙනගෙන නැහැ. මගේ හීන පොඩිකාලෙ ඉඳන් තිබුණේ ඊට වඩා ගොඩක් උඩින්. කැම්පස් එකේදිත් එහෙමයි. මට ඒ වෙනුවෙන් පදක්කම් පහක් ලැබෙනවා.

උපාධි ප්‍රදානොත්සවයට ගණිත විෂය සඳහා මෙවැනි සම්මාන පහක් ලැබූ පළමු ශිෂ්‍යයා ඔබ බව බොහෝ අය පවසනවා. මොනවද ඒ ලැබුණු සම්මාන?

මට මතක ඇති කාලයක, දැනුවත්ව නම් කෙනෙකුට මේ ආකාරයට සම්මාන ලැබිලා තියෙන බව මම දන්නේ නැහැ. ඒත් අපි නොදැන වෙන අය අතීතයේ හිටියා වෙන්න පුළුවන්. මට ඒ සම්මාන ලොකු අභිමානයක්. නම් වශයෙන් කියනවනම් ගණිතය සඳහා විශිෂ්ටතම ශිෂ්‍යයා සඳහා වන ගුලාම්හුසේන් ඒ. ජේ. නූර්බායි රන් සම්මානය, ගණිතය සඳහා වන ඈපාසිංහ රන් සම්මානය, ගණිතය සඳහා වන ධර්මදාස පුන්චිහේවා අනුස්මරණ සම්මානය, ගණිතය සඳහා වන ජෝසප් නල්ලියාහ් ආරුමුගම් අනුස්මරණ සම්මානය සහ ගණිතය සඳහා විශිෂ්ටතම ශිෂ්‍යයාට ලැබෙන ඩග්ලස් අමරසේකර සම්මානය යන සම්මාන මට ලැබුණා.

ඔබ 2012 වර්ෂයේ උසස් පෙළ ගණිත අංශයෙන් ලංකාවෙම පළමුවැනියා වෙනවා. එය එකල මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් වුණා. ඔබට මතකද ඒ කාරණාව?

ඔව්. ඒ වතාවේ මගේ පාසලේ (වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය) මම ගණිත අංශයෙන් ලංකාවෙන් පළමුවැනියා වෙද්දි කසුන් ලක්මාල් ජීව විද්‍යා අංශයෙන් ලංකාවේ පළමුවැනියා වුණා. අපි වගේ දුෂ්කර පළාතක පාසලකින් එවැනි ජයග්‍රහණයක් ලැබීම ආන්දෝලනයක්නේ. ඒකට දේශපාලනමය බලපෑමක් ඇති දෙයක් කියලා අර්ථ හීන කතා සමහර අය කිව්වා. ඒත් අපි ඒ ගැන තැකීමක් කළේ නැහැ. ඒත් ලංකාවෙන් පළමුවැනියා වුණ හැම ළමයෙකුටම මල් ලැබෙද්දි, අපිට මල් වගේම ගලුත් ලැබුණා. ඒකෙන් අපිට හානියක් වුණේ නැහැ.

වෙනස් විදියට හිතන්න ගත්තේ පාසල් යන කාලෙ බව ඔබ පැවසුවා. ඒ මතකය අවදි කළොත්?

මම තුන වසරේ ඉඳිද්දි මගේ හීනෙ තිබුණෙ නාසා එකට යන්න. ඒ කාලේ මම ගියේ වලස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයට. ගොඩක් ළමයි ඒ වෙද්දි නාසා කියන්නේ මොකක්ද කියන එකවත් දැනගෙන හිටියේ නැහැ. මං ඒ කාලේ තාරකා විද්‍යාව ගැන තියෙන වැඩසටහන් බලන්න හරිම ආසයි. ඩිස්කවරි බලලා තමයි මම නාසා එක ගැන දැනගත්තේ. මට ශිෂ්‍යත්වයට තිබුණේ ලකුණු 163යි. ශිෂ්‍යත්වෙ පාස්වෙලා මම වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විදුහලට යනවා. විද්‍යාව කියන විෂයට ආසාවක් ඇති වුණේ හත වසරෙදි වගේ.

ගණිතයට විශේෂ ඇල්මක් එන්න වගේම ගණිතය ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්න පටන් ගත්තේ මොන කාලෙද?

මට ගණිතය පැත්තට මුලින්ම ඇල්මක් එන්න හේතු වුණේ මගේ තාත්තා...තාත්තා ගුරුවරයෙක්. දවසක් මට කතා කරලා මට චැලේන්ජ් එකක් දුන්නා.පුළුවන් නම් මේ ජ්‍යාමිතිය ගැටලුව විසඳන්න කියල‍ා...ඒ වෙද්දි මම අට වසරේ...මම තියරියක් දන්නේ නැහැ. ඒත් ඒ ගාණ දුන්නම ඒ වගේ ඕනම ගාණක් විසඳන්න ක්‍රමයක් තියෙන්න ඕන කියලා මට තේරුණා. මම කොස් ප්‍රමේය (cos theory) ඔප්පු කළා. ඒ වෙද්දි මම කියන්නේ මොකක්ද කියල‍ා දැනගෙන හිටියෙ නැහැ. සරලවම කියනවනම් ත්‍රිකෝණයක පාද දෙකක් දුන්නම ඉතිරි පාදයේ අගය හොයන්න මම තනියම සූත්‍රයක් හදාගත්තා. ගණිතඥයො ඒකට සූත්‍රයක් දැනටමත් හදලා තියෙන්නේ, ඒක මං තනියම හොයගත්තු එක කියලා අයියා තමයි මට කිවුවේ....

පාසලේ ගුරුවරු ඔබ ගණිතයට දක්වන විශේෂ ඇල්ම පිළිබඳ දැනගෙන හිටියද?

ඒ කාලෙ වෙද්දි ඉස්කෝලෙ ගුරුවරු මම මේ විෂයට දක්ෂයි කියන දේ දැනගෙන හිටියා. අපේ ඉස්කෝලෙ එක ශ්‍රේණියක කොටස් දොළහක් තියනව. මම දිගටම පාසලේ ගණිතය විශයට ශ්‍රේණියේ වැඩිම දක්ෂතා පෙන්නුව ශිෂ්‍යයා වෙනවා. දකුණු පළාත් තරඟවලින් ජයග්‍රහණ රාශියක් ලැබිලා තියෙනවා. ඒත් ඒ දේවල්වලින් මම සෑහීමකට පත් වුණේ නැහැ. මගේ ගුරුවරුත් ඒක දැනගෙන හිටියා.

ඒ කාලෙ මගේ හීනෙ තිබුණෙ භෞතික විද්‍යාඥයෙක් වෙනවා කියන තැන. දන්නෙ නැති ඒවා ඉගෙනගන්න තියන එකම අවස්ථාව ඒක කියලා මට දැනිලා තිබුණේ.

ඔබ උසස්පෙළට පංති යන්න ගන්නේ සාමාන්‍ය පෙළටත් කලින්. ඒ දේවල් මනසට දරා ගන්න එක අපහසු වුණේ නැද්ද?

මම හැම වෙලාවකම ඉස්කෝලෙ උගන්නපු දේවල්වලින් පරිබාහිර දෙයක් ඉගෙනගන්න උත්සාහ කළා. අනිත් අය බලන්න කැමති පොත්පත්, මම බලන්න කැමති පොත්පත්වල ලොකු වෙනසක් තිබුණා. මට ඕන වුණේ අලුත් විදියට හිතන්න. අලුත් දේවල් හොයාගන්න. අර ප්‍රමේය හොයාගත්තම මට හිතුණ එකම දේ, ගණන් හදන්න තියෙන ප්‍රමේයයන් මම කලින්ම ඉගෙන ගන්න ඕන කියන දේ... මොකද නැත්නම් මම ඒ ක්‍රම තනියම හොයාගන්න මහන්සි කරන කාලෙ අපරාදේ... අන්තිමේදි 9වසරෙදි මම උසස්පෙළ ගණිතය පංති යන්න පටන් ගත්තා. මම ගියේ ගිහාන් චාමින්දු සර්ගෙ ශුද්ධ ගණිතය පංතියට. මම ගියපු අවුරුද්දේ තිබුණු රිවිශන් ටෙස්ට් අටට සියයෙන් සියයක් තිබුණා.

ඔබ කිහිපවතාවක් ඔලිම්පියාඩ් තරඟ සඳහා යොමු වෙනවා. මේ අවස්ථාව ලබාගන්නේ කොහොමද?

මම ඉස්සර විදුසර පත්තරේ කියවනවා. පත්තරෙන් තමයි මුලින්ම ඔලිම්පියාඩ් ගැන දැනගත්තේ. ඒ වෙද්දි මම 11 වසරේ. මම විදුසර පත්තරේට ගණන් හදලා දානවා. ඒකෙන් ළමයි 50ක් තෝරගත්තා. ඉතින් මමත් තේරුණා. ඒ පනහෙන් ආයෙත් 12ක් තේරුවා. මම ඒ අය අතරින් තුන්වැනි තැනට ආවා. ඒ ළමයි 12 දෙනා අතරේ 2009 වසරේ ගණිත අංශයෙන් ලංකාවේ පළමුවැනියත් හිටියා. හැමෝම හිටියේ උසස් පෙළ අය. එතැන හිටිය අඩුම වයසෙ කෙනා මම. ඒත් අවාසනාවට අවසාන තරඟයට මට සහභාගි වෙන්න බැරිවුණා අසනීප තත්ත්වයක් ඇවිත්. ඒත් ඒකට සහභාගි වූණු එකෙන් මට තේරුම් ගියා කිසිම කෙනෙක් සොයා නොගත්තු ගණිත ගැටලු ලෝකයේ තියනවා කියලා. ඒ වගේම භෞතික විද්‍යාඥයෙක්ට වඩා ගණිතඥයෙක් වෙන එක හොඳයි කියන දේ මට ඔලුවට ආවෙත් ඔලිම්පියාඩ් එක්ක. ඊට පස්සේ මම 12 වසරෙදි නැවතත් ඔලිම්පියාඩ්වල සහ උසස්පෙළින් පස්සේ කොලොම්බියාවල තිබුණු තරඟවලින් ගෞරව සම්මාන ලැබෙනවා.

භෞතික විද්‍යාඥයකු සහ ගණිතඥයකු වීම එකිනෙකින් වෙනස් වෙන්නේ කොහොමද?

අපි ඉන්න විශ්වයේ ගැටලු හොයන එක තමයි භෞතික විද්‍යාඥයෙක්ගේ කාර්යය වෙන්නේ. ඒ හැම න්‍යායයක්ම ලියවෙන්නේ ගණිතමය භාෂාවකින්. ගණිතඥයකුට තියන පරාසය වැඩියි. එයාලා හොයා නොගත්තු සෑම දෙයක් ගැනම, වෙනත් ලෝක ධාතූන් ගැන හොයනවා. ඒකට සම්බන්ධකම්, හැඟීම් හෝ වෙන කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. මම කලින් හිතන් හිටියේ ඒක කරන්නේ භෞතික විද්‍යාවෙන් කියලා. ඒත් ඒක වැරදියි කියන දේ ඔළුවට ආවේ ඔලිම්පියාඩ්වලින් ලැබුණු දැනුමත් එක්ක.

ඔබ කිහිපවතාවක් අසනීප වෙනවා. සාමාන්‍යපෙළ විභාගය අතරතුරේදී අසනීප වීම ජීවිතයේ බිඳ වැටීමක් වුණේ නැහැ නේද?

අසනීපය නිසා මගේ කාලය අපතේ ගියා. මගේ වැඩ ගොඩක් පස්සට ගියා. සාමාන්‍යපෙළ විභාගේ විෂයයන් හයයි මට ලියන්න පුළුවන් වුණේ. A5යි B1යි තිබුණේ. උසස්පෙළ නම් විභාගෙ හොඳටම කළා. මට හිතුනා හොඳ රෑන්ක් එකක් එයි කියලා. ඒත් ලංකාවෙන් එක වෙයි කියලා හිතුවෙ නැහැ. මොකද මම මගේ තරම දන්නවා වුණාට අනිත් අයගෙ තරම දන්නේ නැහැනේ.

ඉංජිනේරු විද්‍යාව ඉගෙනගන්න අවස්ථාව තියෙද්දි ඔබ තෝරගන්නේ භෞතික විද්‍යාවේදී උපාධිය. ගෙදරින් ගුරුවරුන්ගෙන් බලපෑම් ආවේ නැද්ද?

අම්මා, තාත්තා, අයියා මම යන පාර ගැන අවබෝධයකින් හිටියේ. ඒ නිසා ඒක ගැටලුවක් වුණේ නැහැ. දන්න හැමෝම කීවේ ඉංජිනියරින් කරන්න කියලා. මම ආස නැති ක්ෂේත්‍රයක ජීවිතකාලයම රැකියාව කරන එක ගැන මට දැනුණේ මහ බියක්. ඒක දඬුවමක් වගෙයි. ඒත් ඔලිම්පියාඩ් ගිය වෙලේ හමුවුණ බොහෝ දෙනා කීවේ ශුද්ධ ගණිතය කරන්න කියලා. කැම්පස් යන්න කලින් ප්‍රොෆෙසර් රෝසා ඒෂියා සයන්ස් කෑම්ප් එකට මාව යොමු කළා. යුනිවර්සිටි එකේ සෙකන්ඩ් ඉයර්ස්ලා ගියපු ඒ කෑම්ප් එකට ෆ්ස්ට් ඉයර් එකෙන් සහභාගි වුණේ මම විතරයි. ඒක මට විශාල බලපෑමක් කළා, මොකද අපිට ඒකෙදි නොබෙල් ත්‍යාගලාභී ගණිතඥයන් ආශ්‍රය කරන්න අවස්ථාව ලැබුණා.

කැම්පස් එකේ අධ්‍යයන ජීවිතය ගැනත් යමක් කිව්වොත්?

කැම්පස් එකේදි මම විෂය නිර්දේශයට එහා දේවල් ඉගෙනගත්තා. මගේ ගුරුවරු එක්ක සාකච්ඡා කළා. මම කියවන්න සහ අධ්‍යයනය කළ යුතු විෂය පථය හා පොත් පිළිබඳව ඔවුන්ගෙන් උපදෙස් ලබා ගත්තා.

ඊයේ ඔබ පශ්චාත් උපාධිය සඳහා ලංකාවෙන් පිටවෙනවා. මතු බලාපොරොත්තුව කුමක්ද?

මම පශ්චාත් උපාධිය සඳහා යන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට. ඒ සහය කථිකාචාර්යවරයෙක් විදියට. මගේ උසස් අධ්‍යාපන කටයුතු සහ රැකියාව කියන දෙකම මම කරන්න බලාපොරොත්තු වෙනවා. පාඨමාලාව අගෝස්තු 27 පටන් ගන්නේ. මේකට අවුරුදු පහක් යනවා. මම අවුරුදු 4කින් පශ්චාත් උපාධිය අවසන් කරන්න හිතාගෙන ඉන්නවා. ගණිතය බොහොම පැතිරුණු විෂයයක්. අපේ ජීවිත කාලය ඇතුළත ශුද්ධ ගණිතයේ එක් කොටසක්වත් හදාරා නිම කිරීම පහසු නැහැ. මම කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඛ්‍යාවේදය, සංඛ්‍යාවේදයෙත් පූර්ණ සංඛ්‍යා ගැන අධ්‍යයනය කිරීම මම කරන්නේ.

ඔබේ ජීවිතයට සමීප ගුරුවරු පිළිබඳ කිව්වොත්?

මට උගන්වපු හැම ගුරුවරයෙක්ම සමීපයි. ඒ වගේම මට අකුරක් හරි උගන්වපු හැම ගුරුවරයකුටම හිස නමා ආචාර කරනවා. මං දන්නවා ඒ හැමෝම මං ගැන හදවතින්ම ආඩම්බර වෙන බව. මට ගණිතය විෂය උගන්වපු ගුරුවරු ගැන මම සඳහන් කරන්නම්. වලස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ භාග්‍යා මිස්, තිසරානි මිස්, සිරිවර්ධන මිස් මතක් කරන්න ඕන. ඒ වගේම වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ සුජීව සර්, කෝදාගොඩ සර්, හේමමාලි මිස් මතක් කරන්න ඕන. ගිහාන් සර්වත් ආදරෙන් මතක් කරනවා. කැම්පස් එකේ මගේ ළඟින්ම හිටියේ ඩොක්ටර් චානක්‍ය, ඩොක්ටර් ධර්මසේන, ඩොක්ටර් රොමේන් සහ ඩොක්ටර් සමරතුංග.

ඔබේ හීනය තාමත් නාසා එකට යන එකද? එහෙමත් නැත්නම් ඊට එහා ගිය හීනයක් තියෙනවද?

නාසා හීනය දැන් නැහැ. මම ගණිතඥයෙක් වෙනවා. මට අවශ්‍ය මේ වෙද්දිත් කවුරුවත් හොයාගෙන නැති ගණිත ගැටලු විසඳන්න. ඒක ඇත්තටම මට රැකියාවකට වඩා විනෝදාංශයක් වෙයි. ඒ හීනෙට යද්දි මට කැප කරන්න වෙන දේවල් ගැන මම අමුතුවෙන් හිතන්නේ නැහැ.

අම්මා, තාත්තා, අයියා දාලා යන එක ගැන තිගැස්මක් හිතේ නැත්ද?

තිගැස්මක් තියනවා. මගේ අම්මා (මල්ලිකා ජාසිං පතිරණ), තාත්තා (පියල් ගම්භීරආරච්චි), අයියා (ළහිරු ගම්භීරආරච්චි) තමයි හැමදාම මගේ හයිය. අම්මට දුක ඇති මම යන එකට. ඒත් එයාට මං ගැන ආඩම්බරයි.

[නදී මාණික්කගේ]

මාතෘකා