කළුපාට රෝමෑන්තිකයාගේ ආදරවන්තිය කැටුව එන ඉරෝෂන්

 ඡායාරූපය:

කළුපාට රෝමෑන්තිකයාගේ ආදරවන්තිය කැටුව එන ඉරෝෂන්

ඉරෝෂන් ප්‍රනාන්දු අවුරුදු විසි හතරක තරුණයෙකි. ඔහුගේ ප්‍රථම කෘතිය වන කළුපාට රෝමෑන්තිකයාගේ ආදරවන්තිය කෘතිය එළැඹෙන 26 වැනිදා එළිදැක්වීමට නියමිතය. මේ ඔහු හා රැස එක්ව සිදුකළ කතාබහකි.

පොතේ මුලින්ම සඳහන් වෙනවා, මෙය කවි පොතක් නොවෙන බව. මේ කෘතිය හැඳින්වීමට ඔබ වෙනත් නමක් යෝජනා කරනවද?

මේක කවි සහ කෙටිකතා ද්විත්වයේම මිශ්‍රණයක්. මේක ආත්ම ප්‍රකාශනයක් විදියට හඳුන්වන්න මම කැමතියි. ඒ ප්‍රකාශනය ඇතුළේ මගේ හැඟීම් අකුරු කළා මිසක් ඒකට ආකෘතියක් හදාගෙන ලිව්වේ නැහැ. ඒ වගේම මේක ලොකු දෙයක් විදියට හිතලා කළේ නැහැ. මේ හැම කවියක් ඇතුළෙම අපි හැමෝටම පොදු කතාවක් තියෙනවා කියලා මම හිතනවා.

ඉරෝෂන් ප්‍රනාන්දු ලියන්නේ ඇයි?

මම මගේ හැඟීම් ප්‍රකාශ කරන්න ජීවිතේ එක එක කාලවල එක එක දේවල් හොයාගත්තා. ටික කාලයක් මම චිත්‍රපට පිටපත් ලිව්වා. කෙටි චිත්‍රපට හැදුවා. චිත්‍ර ඇන්දා. ඒ හැමදේටම වඩා දැන් මම පුරුදුවෙලා තියෙන්නේ කවි ලියන්න. ඒවා මට කවි. කතා වගේ පේන කවි.

පොත් ලිවීම මේ කාලෙදි ට්‍රෙන්ඩ් එකක්. ඉරෝෂන් කළෙත් මේ ට්‍රෙන්ඩ් එකට අනුව යන එක කියලා කිව්වොත්?

ඔව්. මම මොකටද බොරු කියන්නේ. සාහිත්‍ය මාසය වෙනුවෙන් පොත් එළිදක්වන එක ට්‍රෙන්ඩ් එකක් නම් මමත් ඒ ට්‍රෙන්ඩ් එකේ කොටසක් වෙලා. මගේ රස්සාව වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඉතින් විකුණුම් පරමාර්ථය මූලික කරගෙන මම පොතක් කළාද කියලා කවුරුහරි අහනව නම් මම ඒකට එකඟ වෙනවා. මම අතේ ලොකු මුදලක් තියාගෙන මේ පොත කළේ නැහැ. මගේ යාළුවො තමයි මේ වෙනුවෙන් උදවු කළේ.

ඔබේ කවි බහුතරයක කේන්ද්‍ර වෙන්නේ ඔබමයි. “මම” කියන වචනය ඔබ බොහෝ තැන්වල භාවිතා කරනවා. විශ්වාස කරනවද පාඨකයට එය සමීප වෙයි කියලා?

ඒක එක් එක් පුද්ගලයගේ අත්දැකීම් පරාසය තුළ එය වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සුන්ට එය දැනෙනව නම් දිගටම ඒක ඉල්ලයි. නැත්නම් ප්‍රතික්ෂේප කරයි. ඒත් මගේ කවි දැනෙන කිහිපදෙනෙක් හරි ඉන්නව නම් ඒක මට දිගටම ලියන්න පොළඹවයි. අන්න ඒ කිහිපදෙනා වෙනුවෙනුයි මම ලියන්නේ. මොකද අපේ සමාජෙ තියන ප්‍රශ්නයක් තමයි හැඟීම් අකුරුකර ගන්න බැරි තැනක හිරවෙන එක.

ඔබේ ලියැවිලි කේන්ද්‍රගත වී ඇත්තේ කොතැනද?

මම අවුරුදු විසි හතරක් තුළ ජීවිතේ විඳපු ආදරණීය අත්දැකීම්, හමුවීම්, වෙන්වීම් වගේම ඒ අතරමැද විඳපු ජීවිතය, වෙන්වීම්වලින් පස්සෙ වුණු සිදුවීම්, ඒ අතර මගේ අවට ලෝකය සමඟ මම කරපු දේශපාලනික ගණුදෙණු අඩංගුව මම කියන ජීවියා කේන්ද්‍රකර ගත් ප්‍රකාශනයක් විදියට මගේ ලියැවිලි හඳුන්වන්න පුළුවන්.

[නදී මාණික්කගේ]

මාතෘකා