රජ කල සිරි විසිතුරු පිරි - මල්ගහයට අම්බලම් හන්දිය

 ඡායාරූපය:

රජ කල සිරි විසිතුරු පිරි - මල්ගහයට අම්බලම් හන්දිය

උඩරට කැරැල්ලට භටයන් රැස් කළ තැන

ත්‍රීවිල් පාර්ක්, කඩමණ්ඩි කිසිවක් නෑ

සමනල්ලු රංචුවක් වගේ වන්දනාවෙ ගිය හැටි

මොනවත් එපා, අම්බලම හදාදෙන්න

හන්දි ගැන කතා කරන අපිට නිතැතින්ම මතකයට නැගෙන්නේ ත්‍රිවීල් පාර්ක් එකක් සහිත කුඩා කඩ මණ්ඩියකින් සමන්විත තැනකි. එය මෑතකාලීනව සංවර්ධනයට ලක් වූ හන්දියක් නම් අනිවාර්යෙන්ම මනරම්ව කාපට් කරන ලද මාර්ග පද්ධතියකටද උරුම කම් කියයි. මීට දශක දෙක තුනකට ඉහත හන්දියක් නම් කුඩා කඩ මණ්ඩියකින් මෙන්ම කෝපි කඩයකින් හෝ තේ කඩයකින් සමන්විත තැනකි. එසේ වුවද අතීතයේ රජ දවස මිනිසුන් තම ගමන් අවශ්‍යතා සපුරා ගත්, එක් රොක් වූ ස්ථානයක් කෙසේ තිබෙන්නට ඇත්දැයි වටහා ගැනීමට හැකි අපූරු හන්දියක් වලපනේ බටගොල්ලාගමදී හමු විය.

මල්ගහයට අම්බලම් හන්දිය

මේ අපූරු හන්දියේ ආරම්භය කවදා කෙසේ වූවාදැයි පැවසීමට තරම් අතීතාවර්ජනයකට දැනුම ඇති කිසිවෙකුත් බටගොල්ලාගමින් සොයා ගැනීමට අපහසු වුවත්, මීට පරම්පරා හතරකට පහකට ඉහත අතීතයක ලිඛිත සාක්ෂි පවා මේ ගැමියන් සතුය. කාපට් කරන ලද මාර්ග පද්ධති නැති, ත්‍රිවිල් පාක් නැති, කඩ මණ්ඩියක් නැති වලපනේ නගරයේ සිට කිලෝමීටර් හතරක පහක දුරක් දැඩි බෑවුමකින් පහළට ගමන් කළ විට හමු වන බටගොල්ලාගම පිහිටි ඒ අතීත උරුමයන් සහිත හන්දිය ගැමියන් හඳුන්වන්නේ මල්ගහයට අම්බලම් හන්දිය ලෙසය. අතීතයේ විශාල මල් ගහක් තිබූ බැවින් ඒ නම ලැබුණු බව කියති.

මල්ගහයට අම්බලම් හන්දිය හිතට අමුතු හැඟීමක් ගෙන දෙන හන්දියකි. එය එසේ වන්නේ හන්දිය කියූ පමණින් අපේ මතතකයට එන, හන්දියකට අවේණිකයැයි අප විසින් නිර්ණය කරගෙන සිටින කිසිවක් මෙහි දක්නට නොමැති නිසාය. පෙර රජ දවස සිට වලපනේ සිට සැරසුන්තැන්න, කන්දේ කැටිය ආදී ප්‍රදේශ පසු කොට බදුල්ලටත්, අනෙක් පසින් මහියංගනයේ වන්දනාවේ යෑමටත් වලපනේ ඇත්තන් එකල භාවිත කළ මාර්ගයේ ප්‍රධානතම මංසන්ධිය බවට පත්ව තිබුණේ, මේ බටගොල්ලාගම මල්ගහයට අම්බලම් හන්දියයි.

කැරැල්ලෙන් හැදුණු නම

උඩරට කැරැල්ලේදී වලපනේට හිමි වන්නේද සුවිශේෂී ස්ථානයකි. ඒ උඩරට කැරැල්ලට ජීවය දෙන්නට වලපනේ ඇත්තන් නායකත්වය ගෙන තම දිවි පරදුවට තබා යුද වැදුණු නිසාය. එකල යුද්ධය පිණිස භටයින් එක්රැස් වූ තැන, භටයින් ගොණු වූ තැන පසුව බටගොල්ල බවටත්, එය අද බලගොල්ලාගම බවටත් පත් ව තිබේ.

අම්බලමේ ආරම්භය ගැන මේ ගම් වැසියන් තුළ මතකයන් කිහිපයක් පවතී. එය 1920 සිට අද දක්වා මෙන්ම හෙළ රජ දවස තෙක් අතීතයට දිවෙන මතකයකි. එච්.එම්. පියදාස මහතා අප සමග ගෙනහැර පෑවේ පසුගිය සියවසේ අතිතාවර්ජනයයි.

“ඒ දවස්වල මෙතන තමයි ප්‍රසිද්ධම හන්දිය තිබුණේ. අම්බලම අට්ටවහලක් ගහලා උළු සෙවිළි කරලා තිබුණේ. ඉස්සර දෙහිගහහේන, සැරසුන්තැන්න, ඉලුක්තැන්න වගේ කියන පැතිවල මිනිස්සු තවලම්වල එයාලගේ හේන්වල හැදෙන බඩඉගුරු, කව්පි වගේ දෙවල් අරන් හරස්බැද්ද පොළට යන්න එනවා මෙතනින්. ඒ අය ඇවිත් මෙතන ඉඳලා තමයි යන්නේ. ආපහු හවසට වෙ‍ළෙඳාම් ඉවර කරලා ඒ අය අපේ ගමට එනකොට රෑ වෙනවා. මෙතනින් එහාට යන්න බැහැ.

“ඒ නිසා ඒ අය අපේ ගෙවල්වල අගුපිල්වල ඉඳලා අනිත් දවසේ උදේට තමයි ආපහු යන්නේ. එතකොට අපේ සීයලා එයාලට කන්න මොනවා හරි දෙනවා. ඒ දවස්වල මිනිස්සු පිනට හරි ළැදියි. ඒ අයට මේ මිනිස්සු ගැන දුක හිතිලා 1920දි විතර ලොකු කළුගල් ගෙනැල්ලා මෙතන අම්බලම හදලා පූජා කරලා තියෙනවා. රෑට ඒ මිනිස්සුන්ට නවතින්න අම්බලමේ තියෙන එක ගල්කණුවක කොටලා තියෙනවා 1920 කියලත්. මේ ගමේ ඉතිහාසෙත් ගොඩක් පරණයි. මම එහෙම කියන්නේ මගේ ඉඩමේ ඔප්පුව දැන් අවුරුදු එකසිය අසූවක් විතර පරණ එකක් නිසා.”

පැරැන්නන් බදුල්ලේ සිට මහනුවරට ගමන් කළ මාර්ගයේ එක් ප්‍රධාන නැවතුම් ස්ථානයක් බවට මල්ගහයට අම්බලම පත්ව තිබුණු බවට සාක්ෂි පවතී. වලපනේ ආශ්‍රිත ගම්මානවල ගැමියන් වාර්ෂිකව නොවරදාම බිනර පෝයටත් පොසොන් පෝයටත් යන වන්දනා ගමනක් පවතී. ඒ මහියංගනය දක්වාය. ඔවුන් සියලුදෙනා අඩිපාරවල් දිගේ මහියංගනයට යන්නේ නඩ වශයෙනි. එසේ වන්දනා නඩ ගමන් ගන්නා අඩිපාර එකල බටගොල්ලාගම හරහා වැටී තිබුණු අතර එම වන්දනා කරුවන්ගේ වෙහෙස නිවාලන ප්‍රධාන ස්ථානයක් බවට පත්ව තිබුණේ මල්ගහයට අම්බලම් හන්දියයි.

දේපළ ලියා වන්දනාවේ යෑම

“ඒ කාලේ මහියංගනයට ගිය අඩි පාර තිබුණේ මේ අපේ ගේ පිටිපස්සෙන්. මමත් දෙතුන් පාරක් පයින් මහියංගනයට ගිහින් තියෙනවා. ඒ ගමන හරි විනෝදයි.”

“අම්බලම් හන්දිය ආසන්නයේ ජීවත්වන බී.එම්. කරුණාරත්න මහතා පවසයි. ඉස්සර මිනිස්සු වට වන්දනාවේ යනකොට වගේ මහියංගනෙත් යනකොට දේපළ ලියලා තමයි ගිහින් තියෙන්නේ. ඔය වලපනේ උඩ පැත්තේ ඉන්න අය ඒ පැත්තෙන් ආවම අපේ අම්බලමේ තමයි නතර වෙලා යන්නේ. අපි යනකොටත් එකපාර ගොඩදෙනෙක් යනවා. ඒ කියන්නේ හැටක් හැත්තෑවක් විතර පිරිසක්. අඩු වැඩිය ‍ෙස්රම අරගෙන යන්නේ. අපි මෙහෙන් උදෙන්ම යනවා.”

“මගදි හම්බවෙනවා කණමැදිරියාවළ කියලා තැනක්. අපි එතනදි පන්සිල් අරන් තමයි ගමන පිටත් වෙන්නේ. මෙතන විශේෂ තැනක් ඒ කියන්නේ මීරියබැදද, තිබ්බටුගොඩ, කැටකදුර වගේ පැතිවලින් මහියංගනයට එන අයත් පයින් එන්නේ මෙතනට. මෙතනින් තමයි ඔක්කොම එකට ගමන පිටත් වෙන්නේ. අපි යන්නේ කැලේ මැදින්. අපිට කවදාවත්ම අලින්ගෙන් හරි වෙන සතෙකුගෙන් හරි කිසිම අනතුරක් වෙලා නැහැ. අපි යන්නේ සමනල්ලු රංචුවක් වගේ එකට. මෙහේ ඉඳන් මිනිපෙට යනකම් පයින් යනවා. එතන ඇනිකට් එකෙන් ඔරුවෙන් තමයි යන්නේ. වතුර අඩු නම් පයින් එහා පැත්තට යනවා. එක දවසක් ඇනිකට් එක මැදදි වතුර වැඩිවෙලා, එදා හිටපු තරුණයෝ ටික නිසා අපි අනූ නවයෙන් බේරුණේ. මිනිපේ ඉඳලා මහියංගනයට නම් බස් තිබුණා මට මතකයි. සත දහයයි ඒ දවස්වල ගන්නේ.”

පාළුවට ගිය අම්බලම් හන්දිය

බටගොල්ලාගම යනු රන්දෙණිගල ජලාශ ඉස්මත්තේ ඇති සුන්දර ගම්මානයකි. රජ දවස ඉතා කාර්යබහුල හන්දියක්ව තිබූ මල්ගහයට අම්බලම හන්දිය අද පාළුවට ගොසිනි. ඒ අම්බලම මතට රූස්ස ගසක් කඩා වැටීම නිසාය. අම්බලම අසලින් දිවෙන මාර්ගය නම් අද කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කොට ඇත.

“අපේ ගම ගොඩාක් දුෂ්කර ගමක්. ගමට විදුලිය ලැබුණේ 2016 දී. එකත් නායක හාමුදුරු නමකගේ මැදිහත්වීමක් නිසා.”

එච්.එම්. විජේවංශ මහතා පවසයි.

“අපේ ගමේ එක් ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. එක දවසක් උන්වහන්සේගේ නායක හාමුරුවෝ අපේ ගමට වැඩියා. ඒ වේලාවේ උන්වහන්සේ ඇහුවා ‘ඇයි ගමට කරන්ට් එක නැත්තේ’ කියලා. අපේ ගම හරි දුෂ්කරයි. රජකාලෙ ගිය අඩිපාර විතරයි ඒ වෙද්දි අපිට තිබුණේ. ගමට පාරක් තිබුණේ නැහැ. ඉතින් කොහොමද කරන්ට් එක දෙන්න ගමට එන්නේ. පස්සේ නායක හාමුදුරුවෝ කොහොමහරි උදව් කරන ආයතනයකට කතා කරලා අපිට කරන්ට් එක අරන් දුන්නා. නැත්නම් තවමත් අපි කරුවලේ.”

ගැමියන් ගම අතැර යෑම

“ගමට පාරක් ගන්න මම ගොඩාක් මහන්සි වුණා. මට හීනයක් තිබුණා කොහොම හරි ගමට පාරක් කපලා මට ගේ හදන්න බඩු ගේන්න ඕන කියලා. ඔය අතරේ ගමට ප්‍රොජෙක්ට් එකක් අවා. ඒකෙන් පාර ටික ටික කැපුණා. අපිත් මහන්සිවෙලා එකට උදව් කරලා ගමට පාරක් කපා ගත්තා. ඒකෙන් තමයි මම ගෙදර හදන්න බඩු ගෙනාවේ. දැන් නම් ගමට එන්න පාරක් තියෙනවා. ඒ දවස්වල අපි අවශ්‍ය බඩු ගෙන්න වතුමුල්ලට ගියේ පයින්.

“දුෂ්කරතා නිසාම ගමේ ගොඩක් අය මේ වෙද්දි ගම අතහැරලා ගිහින්. අලුත් පරම්පරාව කැමති නැහැ ගමට වෙලා දුක් විඳින්න. අනික ඉස්සර නම් අපිට අලි ප්‍රශ්නෙත් ගොඩක් තිබුණා. අලි වැට නිසා ඒ ප්‍රශ්න දැන් අඩුයි. දැන් ගම වගේම අම්බලමත් ගොඩක් පරණයි.

අම්බලමේ ඉරණම

“දැන් අවුරුද්දකට දෙකකට විතර කලින් අම්බලම ළඟ තිබුණ ලොකු ගහක් අම්බලම උඩට කඩාගෙන වැටුණා. අපි ගමේ අය එකතුවෙලා ඒක ආපහු හදන්න ටකරන් එහෙමත් ගෙනාවා. ඒත් තවම ඒ ගහ අම්බලම උඩින් අයින් කරලා දුන්නේ නැහැ. අපේ ගමට ප්‍රජා ශාලාවක් නැහැ. ගමේ හැමෝම එකතු වුණේ අම්බලමට. රජකාලේ විතරක් නෙවෙයි මේ කාලේත් අපේ හන්දිය වුණේ ඔය අම්බලම තමයි. අපි දවල්ටත් රෑටත් අම්බලමෙන් ප්‍රයෝජන ගන්නවා. රෑට කුඹුරට වතුර බඳින්න ගියාම හිටියෙත් අම්බලමේ තමයි. මේක ආපහු හදා ගන්න බලධාරීන් උදව් කරන්නේ නැති එක තමයි අපිට තියෙන එකම දුක.” එච්.එම් නාමල් මහතා පවසන්නේ කණගාටුවෙනි.

ඉතා දුෂ්කර වුවත් බටගොල්ලාගම අති සුන්දර ගම්මානයකි. පීදීගෙන එන ගොයමත් ඈතින් පෙනෙන රන්දෙණිගල ජලාශයත් මායිම්ව ඇති අභය භූමියත් මේ සුන්දරත්වය තීව්‍ර කරයි. මේ අම්බලම්හන්දිය අසලින් දිවෙන මාර්ගය සංවර්ධන කළහොත් මහිංගනයට ළඟාවිය හැකි කෙටිම මාර්ගය බවට එය පත්වන්නේ ගම්මානයේ කෙළවරින් උමාඔය අසලින් රජ මාවත දිවෙන නිසාය. තවත් කනගාටුවට කරුණක් වන්නේ අවට ගම්මාන දෙකක් සම්බන්ධව පැවති පාලමක් කඩාවැටී වසර ගණනාවක් ගත වුවත් එය එසේම පැවතීමයි. කාර්යබහුල නගරයක නිමක් නැති තදබදයත් සමග දිවි ගෙවන කෙනෙකු බටගොල්ලාගම මල්ගහයට හන්දියේ පහස ලැබුවොත් එහිම නතරවනු ඇත.

[චන්දන තිලක් ද සිල්වා]

මාතෘකා