පෙරහැරට නටන හැමෝම දක්ෂයෝ අපි අති දක්ෂයෝ

 ඡායාරූපය:

පෙරහැරට නටන හැමෝම දක්ෂයෝ අපි අති දක්ෂයෝ

ඔහු තරුණයෙකි. මහනුවර හෑදෙනිය ප්‍රදේශයේ උපන් ඔහු නුවර පෙරහරට එකතු වන්නේ මීට අවුරුදු දහ අටකට මෙපිටදීය. වසන්ත කුමාර ගුණතිලක නම් ඔහු දළදා පෙරහරේ නෛයන්ඩි නර්තන කණ්ඩායම් තුනෙන් එක් කණ්ඩායමක නායකයාය.

දළදා පෙරහැරේ බොහෝ ශිල්පීන් පාරම්පරික නැට්ටුවෝ. ඔබ ප්‍රමුඛ නෛයන්ඩි නැටුම් කණ්ඩායමත් පැවත එන්නේ නර්තන පරම්පරාවකින්ද?

මම පාරම්පරික නැට්ටුවෙක් නෙවෙයි. එත් මං පැවතගෙන එන මගේ ගුරු පරම්පරාව සාම්ප්‍රදායික නැට්ටුවෝ ඉන්න, එවැනි නැට්ටුවෝ ලෝකයට දායක කළ පරම්පරාවක්. මම ඉගෙනගත්තේ තිත්තපජ්ජල සුරඹා ගුරුන්නාන්සේගෙන්. දැනට මගේ නෛයන්ඩි කණ්ඩායම තිත්තපජ්ජල කණ්ඩායම විදියට තමයි හඳුන්වන්නේ. අපේ කණ්ඩායමේ පාරම්පරික නැට්ටුවෝ වගේම, පාරම්පරික නොවෙන නැට්ටුවොත් ඉන්නවා.

ඔබ නුවර පෙරහරට සම්බන්ධ වන්නේ කුමන කාල සීමාවකද?

මම පෙරහරට සම්බන්ධ වෙන්නේ 2000 වර්ෂයේ ඉඳන්. මේ වෙද්දී මං අවුරුදු 18 ක් පෙරහරේ නටනවා. තිත්තපජ්ජල පරම්පරාව නෛයන්ඩි නටන්නට පටන් අරගෙන අවුරුදු හතරයි.

තිත්තපජ්ජල පරම්පරාව අතීතයේ පටන්ම නර්තනය වෙනුවෙන් නම් දරන ලද කණ්ඩායමක්. දළදා පෙරහැරේ තිත්තපජ්ජල පරම්පරාවට ඇති ස්ථානය කුමක්ද?

දළදා පෙරහැර තුළ ඒකීය පරම්පරාවකින් ඉගෙනගත්තු නැට්ටුවෝ පමණක් ඉන්න එකම කණ්ඩායම අපි. නුවර පෙරහැර තුළ තිත්තපජ්ජල පරම්පරාවෙන් මුල ඉඳන්ම ශිල්පය හදාරලා නටන එකම නැටුම් කණ්ඩායම අපි. ඒ ගැන අපට තියෙන්නේ අභිමානවත් හැඟීමක්.

නෛයන්ඩි නර්තනය කියන්නේ, හුරු පුරුදු අහල පුරුදු නර්තනාංගයක් නෙවෙයි... මොකක්ද ඇත්තටම මේ නර්තනයේ තියෙන විශේෂත්වය?

නෛයන්ඩි නර්තනයට අඩවෙස් කියලත් කියනවා... මේකට ප්‍රධානම හේතුව මේ නර්තනාංගයේදී වෙස් නැටුමකදි භාවිතා කරන හිස් පළඳනාව භාවිතා නොකිරීම. ඒත් වෙස් නැට්ටුවෙක් වෙන්න නම්, අඩවෙස් පුහුණුවක් නිසියාකාරව ලැබී තිබිය යුතුමයි.

ඔබ මුලින් පැවසුවා නෛයන්ඩි කියන නර්තනයට අඩවෙස් යැයි භාවිතා කරන බව. මේ නර්තනාංග දෙක අතර යම්කිසි සමානකමක් පවතිනවද?

උඩරට නැටුම් කලාව තුළ ශාස්ත්‍රීය නැටුම් ඉගෙනීමේදී ප්‍රගුණකළ යුතු නර්තනාංග කිහිපයක් තියෙනවා. නැට්ටුවෙක් වෙස් බඳින්න පෙර මුලින්ම පන්තේරු නැටුම ඉගෙනගෙන එහි ප්‍රවීණයෙක් වෙන්න ඕන. ඉන්පස්සේ තමයි නෛයන්ඩි හෙවත් අඩවෙස් නටන්න ඉගෙනගන්නේ. එහි ප්‍රවීණයෙක් නොවී වෙස් නැටුම ඉගෙනගන්න බැහැ. එක සම්ප්‍රදාය ඇතුලේ රීතියක්. එත් මේ වෙද්දී පාසල්වල පවා පන්තේරු සහ අඩවෙස් කියන නර්තනාංග අමතක කරලා කෙළින්ම වෙස් බඳිනවා. ඒත් වෙස් බැඳීමට නම් අඩවෙස් ප්‍රගුණ කර තිබිය යුතුමයි. ඒ වගේම වෙස් බැඳීමට ශිල්පියෙක් මුහුකුරා යාම අත්‍යවශ්‍යයි.

මේ වෙද්දී ඔබේ කණ්ඩායමේ අය අඩවෙස්වලට ප්‍රථමව ඇති පන්තේරු නැටුමේ ප්‍රවීණයොද?

ඔව්. අපි පන්තේරු නටපු අය. අපේ කණ්ඩායමේ විශේෂත්වය වෙන්නේ අපේ හැමෝම වෙස් නැට්ටුවෝ. වෙස් බැන්දට අපි පෙරහරේ නටන්නේ අඩවෙස්. හිස් පළඳනාව නැතිව.

මාලගම්මන පරම්පරාව සහ ඉහළවල පරම්පරාව කියන පරම්පරා දෙකම පෙරහරේ දළදා කරඬුව දෙපසින් යන හේවිසි කණ්ඩායම් දෙක. අඩවෙස් නැට්ටුවන්ට පෙරහරේ ඉඩ ලැබෙන්නේ කොහොමද?

අපේ ගුරු පරම්පරාවට ඉස්සරම කුඹල් පෙරහැර හතරට අදාළ මාළිගා තුන, ඒ දේවාල වගේම පරම්පාරාවට වෙන් කළ පේළියක් තිබිලා තියෙනවා. ඒ පේළියේ අදාළ නැටුම් කණ්ඩායමට හිමි ස්ථානය තීරණය කරලා තියෙන්නේ රජතුමා හෝ නිළමේ. අතීතයේ ඉඳන්ම අපේ පරම්පරාවට පේලියක් හිමිවෙලා තිබුණා. ඉස්සර අපි බෙර කණ්ඩායමක්. එත් නෛයන්ඩි නටන්න ගත්තම අපේ ළමයි ඒවාට දක්ෂ බව ඉහල නිලධාරීන්ට තේරුණා. ඉන්පස්සේ අපි ස්ථිර කණ්ඩායමක් වුණා.

නෛයන්ඩි නර්තනාංගය පුරුදු පුහුණු වීමට ආධුනික ශිල්පියෙක්ට මොනතරම් කාලයක් ගත වෙනවද?

නෛයන්ඩි නර්තන කණ්ඩායමේ ශිල්පීන් 25 දෙනාටයි ඉඩ තියෙන්නේ. එක් එක් පුද්ගලයගේ දක්ෂතා වෙනස්. ඒ නිසා නියම ශිල්පීය දක්ෂතා ඇතුව නර්තනයේ යෙදීමට කොතරම් කාලයක් ගතවෙනවද යන්න පුද්ගලයෙකුගේ දක්ෂතාව අනුව බලපානවා. අපි අදහන දෙයක් තියනවා. කෙනෙක්ට නැටුමක් පිහිටන්නේ ඒකට ඔහු දරන කැප කිරීමේ ප්‍රමාණය මත.

දළදා පෙරහැර වෙනුවෙන් බොහෝ අය පේවෙනවා. ඒ වගේම මාස ගණනකට පෙර පුහුණුවීම් කරනවා. මේ වෙනුවෙන් ඔබේ සූදානම මොනවගේද?

හැම අවුරුද්දකම දළදා පෙරහැර එනකම් අපි බලාගෙන ඉන්නේ. ඒක අපි විතරක් නොවෙයි, පෙරහැරේ නටන හැම නැට්ටුවෙක්ටම දැනෙන දෙයක්. පෙරහැරක් කියන්නේ කෙනෙක්ගේ දක්ෂතාවය පෙන්වන තැනක්. දළදා පෙරහැර වෙනුවෙන් කියලා අපි විශේෂයෙන් පුහුණුවෙන්නේ නැහැ. මොකද අපි හැමදාම නටනවා. අපි කනවා, බොනවා, හුස්ම ගන්නවා තරමටම නැටුමත් කරනවා. අපි පෙරහැරේදි කරන්නේ ගුරුකුලයෙන් දීපු ශිල්පය එළියේ රඟ දැක්වීමක් පමණයි. ඒකීයභාවය පවත්වගෙන නටන්න අවශ්‍ය හුරුව අපිට තියෙනවා.

එකම ගුරුකුලයකින් ඉගෙනගත් පිරිසක් ඉන්න කණ්ඩායමක නායකයා වෙන එක පහසුවක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

ඒක විශාල පහසුවක්. කණ්ඩායමේ ඒකීයභාවය රැකගන්න අමුතුවෙන් උපදෙස් දීම අවශ්‍යවෙන්නේ නැහැ. සියලුදෙනා එකම දක්ෂතා ඇති පිරිසක් බවට පත්වීම පමණයි විය යුත්තේ. නෛයන්ඩි නර්තන කණ්ඩායම් තුනක් පෙරහැරේ යනවා. ඒත් කණ්ඩායම් තුනම තම තමන්ගේ අනන්‍යතා රැකගෙන තම තමන්ගේ ශිල්පීය මට්ටම් අනුව නර්තනයේ යෙදෙනවා.

තිත්තපජ්ජල පරම්පරාවේ ශිල්ප ශාස්ත්‍ර ඔබේ කණ්ඩායමේ උරුමය බව ඔබ පැවසුවා. ඒ පරම්පරාවේ නර්තන ශිල්පීන් පෙරහැරට සහභාගි නොවෙන්නේ ඇයි?

අපේ සුරඹා ගුරුන්නාන්සේගේ පුත්තු මේ වෙද්දි පරම්පරා ශාස්ත්‍රය ඉදිරියට ගෙනියනවා. ඒ අය අපේ ගුරුවරු. අපිට උගන්වන්නේ ගුරුහරුකම් දෙන්නේ ඒ අය. ටී. වයි. සුමනවීර ගුරුතුමා සහ ටී. වයි. සමරවීර ගුරුතුමා යන දෙදෙනාම මාළිගාවේ ආරාධනාවෙන් විස්තර කථනයන් සඳහා සහභාගි වෙනවා.

ඔබ ජනාධිපති සම්මාන රාශියක් හිමි අයෙක්. ඒ මතකය අවදි කළොත්?

අපි නටන්නේ සම්මාන බලාගෙන නෙවෙයි. ඒත් මට එක දිගට අවුරුදු අටක් ජනාධිපති සම්මාන ලැබුණා. අපේ කණ්ඩායමට වගේම කණ්ඩායමේ බොහෝ අයට ජනාධිපති සම්මාන ලැබිලා තියෙනවා. මාළිගාවේ දියවඩන නිළමෙගෙන් හොඳම නෛයන්ඩි කණ්ඩායමට හිමි සම්මානය ගිය අවුරුද්දෙත් ඊට පෙර අවුරුදු කිහිපයකත් ලැබුණා.

එදාට වඩා අද පෙරහැර විචිත්‍රයි. වෛවර්ණයි. ඒ වගේම කැපී පෙනෙන වෙනසක් දැකගන්න පුළුවන්. මේ පිළිබඳ ඔබේ අදහස කිව්වොත්?

ඉස්සර පෙරහැරට ශිල්පීන් බඳවගත්තේ ගුරුකුල සහ පරම්පරා අනුව පමණයි. ඒත් දැන් දක්ෂතාවයට මුල්තැන දෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. අදටත් අපේ කණ්ඩායම්වලත් ඉන්නේ දක්ෂයො අතරත් අතිදක්ෂයෝ. මොකද අපි කණ්ඩායම තෝරලා නිළමේ ඉදිරියේ නැවත රඟ දක්වලා හොඳම අය තෝරගන්නවා. ඒ වගේම දැන් ශිල්පීන්ට නිසි තැන මාළිගාවෙන් ලැබිලා තියෙනවා. දැන් පෙරහැර ඇත්තටම ලස්සනයි, වෙනදට වඩා පිළිවෙළයි.

දළදා පෙරහැරේ නර්තනයේ යෙදීම කෙනෙකුට අහම්බෙන් ලැබෙන අවස්ථාවක්. ඔබට ඒ පිළිබඳව ඇත්තේ මොනවගේ හැඟීමක්ද?

පෙරහැරේ නටන එක අපිට වාසනාවට ලැබුණු අවස්ථාවක්. දවස් දහයක් නටන එක පහසු නැහැ. මහන්සියි. ඒත් ඇඳුම දාගත්තම ආශ්චර්යයකින් වගේ ඒ මහන්සිය නැතිවෙලා යනවා. පෙරහැර තියෙන කාල සීමාව ඇතුළේ අපි අසනීප වෙන්නේ නැහැ. ඒක මුළු අවුරුද්ද තුළම අපට බලපාන්නේ සෙත් ශාන්තියක් වගේ.

[නදී මාණික්කගේ]

මාතෘකා