රාජ්‍යය අමතක කර ආණ්ඩු පිහිටුවීමට කඩේ යන වෘත්තීය සමිති ඔස්තාර්ලා

 ඡායාරූපය:

රාජ්‍යය අමතක කර ආණ්ඩු පිහිටුවීමට කඩේ යන වෘත්තීය සමිති ඔස්තාර්ලා

පොල්කට්ටේ කිඹුල්ලු පෙන්වන වාචාල බොරුවට මවන ‘රෝ’ කුමන්ත්‍රණ

අල්ලේ නැටවෙන දේශපාලන රූකඩ දරදිය අදින ‘එදා වේල’ වැඩ

මෙම ලියුම්කරු ඉපැදුණේ සංවර්ධනය වෙමින් පවතින රටකය. එසේ එකල සංවර්ධනය වෙමින් පැවති රට, දශක කීපයක් ගතවී තිබුණද තවමත් හැඳින්වෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසමය. යම් යම් වෙනස්වීම් සිදුව ඇති නමුත් රජයේ ශේෂ පත්‍රය කියවා බැලීමේදී දැකිය හැක්කේ ලෝකය හමුවේ මහා ණයකරුවන් වී ඇති පුරවැසියන් පිරිසක් පමණි. එම පුරවැසියන් නොව අනාගතයේ ඉපැදෙන්නට නියමිත දරුවන්ද මෙම ණය චක්‍රයට සිරවී අවසන්ය.

දැන් මෙම ලියුම්කරුවාටද දරුවකුද සිටී. ඔහුගේ දරුවා ඉපැදුණේද තම පියා මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටකමය. එහි ඇති අරුමය වනුයේ එම දරුවාගේ දරුවන් උපදින විටත් මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්යැයි කියන්නට සිදුවේද යන්න සම්බන්ධවය. මෙම ලිපිය මගින් කතිකාවට ලක් කරන්නේ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක් ඉහළ ආදායම් සහිත රටක් බවට පත්කරන්නේ කෙසේද යන්න සඳහා එලෙස යන ගමනේදී ඇති කරන සුදු කරපටි වෘත්තීය ත්‍රස්තවාදී බාධාවන් පිළිබඳවය.

යමක් හිමි කරගන්න නම් කාලය, ශ්‍රමය, දැනුම ඇතුළු තවත් බොහෝ දේ කැප කළ යුතුය. උදාහරණයක් වශයෙන් විභාගයක් ජය ගන්න නම් තමන් විවේකීව ගත කරන කාලය අධ්‍යයනය සඳහා යොමුකළ යුතුවේ. පුද්ගලයකුට ධනවතකු වීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය කළ යුත්තේ හැකිතාක් තම විවේක හා ශ්‍රමය අහිමි කරගනිමින් මුදල් උත්පාදනය සඳහා වන වෘත්තීන්හි නියැලීමය. ඒ වෙනුවෙන් බොහෝ මිල අධික කැප කිරීම් සිදුකළ යුත්තේය. එසේ නොමැතිව සංවර්ධනය යන්න ආකාස්මිකව පහළ වන්නක් නොවේ.

දැන් සිදුවන්නේ කුමක්ද?

අද දිනපතා, සතිපතා අසන්නට දකින්නට ලැබෙන්නේ උද්ඝෝෂණය, පෙළපාලිය, වර්ජනය, ගර්ජනය. පුවත්පතක්, ගුවන්විදුලය මතු නොව රූපවාහිනී ප්‍රවෘත්තිවලින් ප්‍රකාශ වන්නේ මෙවැනි සමාජ බිය වැද්දීම් සම්බන්ධවය. අසවල් දිනය වනවිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන්නේ යැයි කියන විවිධ වෘත්තීය සමිති නායකයන් පුරවැසියාට දැකගත හැකිය. වැඩි වැටුප් ඉල්ලා, ස්වකීය ඉල්ලීම්, වෘත්තීය විෂමතා යන ලේබලය යටතේ නිවැරදි කර දෙන මෙන් කෑගසන වෘත්තීය සමිතිය. නිදා සිටියාක් මෙන් පසුගිය කාලයක් තිස්සේ නිහඬව සිට දැන් සිංහයන්, ව්‍යාඝ්‍රයන් සේ අවදිවුණු ෂයිලොක් වෘත්තීය සමිතිය. අප ෂයිලොක් යැයි කියන්නේ එකී වෘත්තීය සමිති බොහොමයක් පිටුපස ඇත්තේ ආණ්ඩු පෙරළීමේ හා ආණ්ඩු පිහිටුවීමේ අරමුණු බව හොඳින්ම දැකගත හැකි බැවිනි. රටක් වශයෙන් දැන් එහි වෙසෙන ජනතාවට සිදුව ඇත්තේ මේ ෂයිලොක් වෘත්තීය සමිතිවලට, කීපයක් වූ එවන් බස් සංගම්වලට, විදුලි, ඛනිජ තෙල් , දුම්රිය, වෛද්‍ය වැනි වෘත්තීය සමිතිවල ඉල්ලීම් වලට අනුව සැලසුම් සකස් කරගැනීමටය.

වෘත්තීය අයිතිය හා යහපාලනය

වෘත්තියක මූලික අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කිරීම, වැඩ වැරීම යනු රටක ව්‍යවස්ථාපිත නීතිය යටතේ එක්තරා ආකාරයක භාෂණයේ අයිතියට ගරු කිරීමකි. ඒ අනුව වෘත්තීය සමිති පිහිටවාගත් දිනයේ පටන් නොපිරිහෙලා ස්වකීය අයිතීන් වෙනුවෙන් ඇප කැපව සිටියි. ආණ්ඩුව අතින් නූලක් ගැස්සුණද පරමාණු බෝම්බයකින් ප්‍රහාරයක් එල්ල කළා සේ වෘත්තීය සමිති සටනට බසින්නේ එහෙයිනි. ඔවුන් ස්වකීය ඉල්ලීම් සමුදායක් මූලික කරගනිමින් උද්ඝෝෂණ ආරම්භ කරති.

මෙහි අලුත්ම තත්ත්වය අපි දුටුවේ පසුගියදා බස් සංගම් කීපයක වර්ජනය හා අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලියය. ඔවුන් කීවේ ආණ්ඩුව විසින් නව චක්‍ර ලේඛයක් මගින් හඳුන්වා දුන් මාර්ග දඩ පත්‍රිකාව අතිශයෙන්ම අසාධාරණ බවකි. එය හකුලා නොගන්නේ නම් තමන් අඛණ්ඩව වර්ජනයක නිතර වන බවය. පුදුමයවී ඇත්තේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් දෛනිකව විශාල පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තාවද්දීත් දඩ මුදල් අඩු කරන්නැයි කොන්දේසි ඉදිරිපත් කරමින් පුද්ගලික බස් සංගම් ආණ්ඩුව සමග සටනට පිවිසීමය. (එකම බස් හිමිකරුගේ බස් රථ එකිනෙකාට විසුළු කරගන්නට ගොස් මුහුණට මුහුණ ගැටෙන අපූරු විසුළුකාර පසුබිමක මේ ඉල්ලීම් පුදුමාකාරය.) ජනතාවාදී ආණ්ඩුවක් වශයෙන් මෙවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් ගත යුත්තේ කවර ප්‍රතික්‍රියාවක්දැයි යළිත්, යළිත් සිතා බැලිය යුතුව ඇත්තේ මෙවැනි ඉල්ලීම් අතිශය සාධාරණ බව පෙන්වීමට විවිධ දහං ගැට සටන් පාඨ ඊට පිටුපසින් ගොනුකර ඇති හෙයිනි.

වෘත්තීය සමිතිවල වෘත්තීය අයිතිවාසිකම් හා ආණ්ඩු පිහිටුවීමේ න්‍යාය පත්‍රය

දැන් දැන් බොහෝ වෘත්තීය සමිති වෘත්තීය අරගලවල නියැලෙන්නේ ස්වකීය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොවන බව නොරහසකි. අපි එසේ කියන්නේ ඔය කියන වෘත්තීය සමිති පසුගිය ආණ්ඩුව සමයේ සිදුකළ වෘත්තීය අරගල සංඛ්‍යාව සලකා බලද්දීය. වර්තමානයේදී විශේෂයෙන්ම මෙවැනි උද්ඝෝෂණ සම්බන්ධයෙන් වෙසෙසින් කරළියට පැමිණ ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයය. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ මෙරට වෘත්තීය සංගම් අයිතිවාසිකම් අමු අමුවේ දේශාපාලන අවශ්‍යතා උදෙසා බිලිදෙන සංවිධානයක් දක්වා ගමන් කරමින් තිබේ. ඔවුන්ගෙන් බහුතරයකට වර්තමාන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කිසිසේත්ම උහුලන්නේ නැති බවක් මනාව බලා සිටින කල දිස්වේ. (රාමුවට පිටින් සිට බලනවිට) ඔවුන් පළමුවෙන් සිය වෘත්තීය සටන් දැඩි කරන්නට පටන් ගත්තේ සයිටම් ගැටළුවෙනි. වෘත්තීය සමිති අයිතිවාසිකම් අතරට වෘත්තීය සුදුසුකම් නිර්ණය කිරීම සඳහා පවතින අයිතිවාසිකම් ඉදිරියට දමමින් රටක අධ්‍යාපන ක්‍රමය ඍජුව ප්‍රශ්න කරන්නට ඔවුන් පෙරමුණ ගත්තහ. ඒ වෙනුවෙන් රෝගී ජනතාව ඇපයට තබාගනිමින් වරින් වර අවස්ථා ගණනාවක් වර්ජන ක්‍රියාවලියන්ගේ නිරත වූහ. එහිදී ඔවුන්ගේ ප්‍රයත්නය වූයේ පීඩාවට පත්වන රෝගීන්ගේ අප්‍රසාදය ආණ්ඩුව මත වැටෙන්නට සලස්වා ඉන් ස්වකීය පටු අභිමතාර්ථ සාධනය කරගැනීමය.

සයිටම් සටනෙන් පසු වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සටනක්

සයිටම් අර්බුදය දිගින් දිගටම පවත්වාගෙන ගිය අතර ඒ සඳහා විවිධ මට්ටම්වලින් විටෙන් විට විසඳුම් ලබාදීමට ද ආණ්ඩුව කටයුතු කළේය. එහි බොහෝ උත්සහයන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා මෙරට වෛද්‍ය වෘත්තීය සමිති පිළිනොගන්නා තත්ත්වයක් දක්වා වර්ධනය කළ අතර ඒ සඳහා වෙනත් වෘත්තීය සමිතිද උපයෝගී කරගනිමින් රජයට බලපෑම් කිරීමට උත්සහ කළේය. අවසානයේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව උසස් අධ්‍යාපන, සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේද දායකත්වය සහිතව සයිටම් සිසුන්, කොතලාවල විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමට හැකි විසඳුමක් ලබාදෙනු ලැබිණි. සයිටම් විශ්වවිද්‍යාලය අහෝසි කළ අතර නෙවිල් ප්‍රනාන්දු රෝහලද ඒ අනුව රජයට පවරා ගැනීමට කටයුතු කළේය. දැන් එම සටන් පාඨය බොහෝදුරට අවසන් බව දත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතා පීඩාකාරී සිය සංගමයේ බූවලු දෑත් ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ නව සටන් පාඨයක් වෙත යොමු කරනු ලැබුණේය. ඒ සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම මගින් මෙරට වෘත්තීය වෙළෙඳ පොළ විවෘත වන බවට ජනතාව තුළ සැක සංකා මතු කරලමිනි. දැන් ඒ වෙනුවෙන් රෝගීන් ඇපයට තබා දිවි හිමියෙන් සටන් කරන්නට වුව සූදානම් බැව් වෛද්‍ය සංගමය ප්‍රකාශ කර සිටී. ප්‍රශ්නය වනුයේ ඔවුන් සටන් කරන්නේ මෙරට පුරවැසියන්ගේ රෝගී වන ජීවිත ඇපයට තබමින් වීම පමණි. එහෙත් එම සටනට වෘත්තීය සමිති සටන් යන ලේබලය මහ ඉහළින් අලවාගෙන තිබේ.

වෛද්‍ය සංගම් බිල්ලෝ

මෙයට පෙර ඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට ස්ථාපනය කරන ගිලන් රථ සේවය සම්බන්ධයෙන් ඔය කියන වෛද්‍ය සංගමයම බිල්ලන් නිර්මාණය කළෝය. ඔවුන් කීවේ එම ගිලන් රථ සමඟ ඉන්දීය රියැදුරන්, සාත්තු සේවයේ විශේෂඥයන් රට තුළට එන බවය. ඊට අමතරව මෙම ගිලන් රථ සේවයේ මුවාවෙන් ඉන්දියාවේ රෝ ඔත්තු සේවය මෙරට තුළට රිංගා ගන්නා බවටද ඔවුන් කැට තබමින් ප්‍රකාශ කළෝය. ගමේ සිටින සාමාන්‍ය පුරවැසියා තුළ බියක් හා චකිතයක් ඇති කරමින් විපක්ෂයේ තමන් සේවය කරන දේශපාලනඥයාට මාධ්‍යයට කතා කිරීමට සටන් පාඨයකින් වේදිකාවක් නිර්මාණය කරදීම මේ කියන වෛද්‍ය සංගමයේ හිරිතික නැති දේශපාලනය මගින් සිදුකෙරුණේ ඒ අයුරින්ය. ඔවුන් නගන තර්කයන්ට අනුව විපක්ෂයේ දේශපාලනඥයන් විසින් පන්සලේ, බණ මඩුවේ සිට හඬ පට කැබැල්ලකට කැමරා අටවාගත් දෙකයි පනහේ මාධ්‍ය කාර්මිකයන්ට (අප මේ මාධ්‍යවේදීන්ට එසේ කියන්නේ ඔවුන් මුදලට මිස වෙනත් වෘත්තීය අරමුණකට සේවය නොකරන බැවිනි) උඩ පැන පැන තර්ක ප්‍රතිතර්ක ඇදබාති. ඔවුන් පවසන්නේ අප බලයට පැමිණි පසු මේ සියල්ල එක රැයින් වෙනස් කරන බවය. රටම සංවර්ධනය කර ඔස්ට්‍රේලියාවක්, සිංගප්පූරුවක්, ජපානයක් බවට රට පත් කරන බවය. නමුත් රජයේ වෛද්‍ය සංගමය කියූ ආකාරයට ඉන්දීය ආධාර යටතේ මෙරටට හිමිවූ ගිලන් රථ සේවයෙන් ඉන්දියාවේ සිට රියැදුරන් ආවේ නැත, අප නොදන්නා රෝ ඔත්තුකරුවන් මේ කියන ගිලන් රථ තුළ එන්ජිමේ හෝ සයිලන්සරයේ සැඟවී රට තුළට ආවා නම් විනා වෙන ආකාරයකින් මෙරටට පැමිණියේද නැත. එසේ පැමිණියා නම් දැනටමත් එය දන්නේ මේ බිල්ලන් මැවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පමණි.

සුදු කරපටි ත්‍රස්තවාදය

වෘත්තීය සමිති ඉල්ලීම්, රාජ්‍යයේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් නගනු ලබන තර්ක වශයෙන් විවිධ ආකූලතා රට තුළ නිර්මාණය කිරීමට පෙරමුණ ගන්නා වෘත්තීය සමිති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මූලිකත්වය ගන්නා බව ප්‍රකාශ කළ හැකිය. එහෙත් ඔවුන් නගා ඇති බොහෝ තර්ක පදනමින් තොර කොරහේ කිඹුලන් දැකීමක් පමණක් බව හඳුනාගත හැක්කේ ඒවා නිවැරදිව අධීක්ෂණය කරන්නේ නම් පමණි. එහෙත් ඒවා පිළිබඳ කිසිවකුටත් අවබෝධයක් නැත්තේ සටන් පාඨය මිස පිළිතුර හා පැහැදිලි කිරීම නිවැරදිව සමාජගත නොවීම හේතුවෙනි.

ඒ අතරට වෙසෙසින්ම ඉවහල්වී ඇත්තේ කරවටක් ණයේ ගිලී ඇති රටක් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමට වත්මන් ආණ්ඩුව ගන්නා ජනප්‍රිය නොවන උත්සහයන්ය. එවැනි ජනප්‍රිය නොවන තීරණ අභිමුව ජනතාවද පටි තද කරගැනීම් හේතුවෙන් එවැනි විචක්ෂණශීලීත්වයක් තමන් තුළින් ගිලිහී යමින් ඇතැයි නොදනිති. ඒ වෙනුවට පුරවැසියන්ද තීරණ ගනු ලබන්නේ, ආණ්ඩුවට එරෙහි ප්‍රවෘත්තිවලට පැය ගණන් ඉඩ ලබාදෙන, පෞද්ගලික හේතුන් මත විපක්ෂය බලයට ගෙන ඒමට උත්සහ කරන (උදා- ටෙන්ඩර් දිනාගැනීමට, මරණ දඬුවම ඉවත් කරගැනීමට, තමන් බලාපොරොත්තු වන තම ව්‍යාපාරයේ විශාල ප්‍රාග් ධනයක් නිල නොවන මට්ටමෙන් යොදා ඇති පුද්ගලයන් බලයට ගෙන ඒමට) ප්‍රවෘත්ති නිර්මාණය කරන මාධ්‍ය නාලිකා කීපයක් දෙසය.

ඒ සඳහා අද ජනතාව අතර ලාභ ජනප්‍රියත්වය තකා සල්ලි තරගයට ලබාදෙමින් එම නාලිකා වටා ජනතාව එක් කරගැනීමට ඒවා මෙහෙයවන සුකිරි බටිල්ලන් කටයුතු කරමින් සිටී. කුණුසරුප සභ්‍යකර තෙපළන බාල බොළඳ අවර ගණයේ ටෙලිනාට්‍ය මගින් මෙරට ජනතාවගේ ජන මනස අවුල් කරනු ලබන මෙකී නාලිකා ප්‍රධානීන් ස්වකීය සුරතල් අවශ්‍යතා වෙනුවෙන් රංගන ශිල්පිනියන් හා ශිල්පීන් ගෙන නටවා ස්වකීය ප්‍රීතිමත් අවශ්‍යතා සපුරා ගනිති. රටක සෞභාග්‍ය ගැන බේගල් සටන් පාඨ ගොඩනංවන කණ්ඩායම් වෙනුවෙන් ගුවන් කාලය පිළිබඳ නිනව්වකින් තොරව සේවය කරන ඔවුන් රටේ සංස්කෘතික සෝදා පාළුවට ඍජුව වගකිවයුත්තෝද වෙති. නමුත් කිකිළියද, බිත්තරයද සේ දැන් මෙකී චක්‍රය පිළිබඳ නිසි අවබෝධයක් පුරවැසියා තුළ නැත.

දැන් ගැටලුව ඇත්තේ මේවා දකිමින් ආණ්ඩුවක් වශයෙන් නිහඬව සිටින්නේද යන්නය. මෙතැනදී ජනවහරේ එන ‘‘නිවට ඇම්බැට්ටයා දුටුවිට එළුවත් රැවුල පායි’’ යන්න ඉපැරණි කියමන සිහියට එයි. යහපාලනය යන අභිමානවත් පෞරුෂය පුරවැසියනට බෙදන්නට ගන්නා මෙම ආණ්ඩුවේ උත්සහය මෙවැනි අවස්ථාවාදී ජෝකර්ලා දෙස බලා නිහඬවීම එක අතකින් කියැවිය හැක්කේ නිවට නියාළුකමක් ලෙසිනි. එහෙත් සැබෑ ලෙසින්ම කියවා බලන්නේ නම් මෙය නිවට නියාලු කමක් නොවේ. අනාගත සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් තැනීමට ආණ්ඩුවක පූර්ව ප්‍රජාතාන්ත්‍රික හැසිරීමකි. ජාතිකවත්, අන්තර් ජාතිකවත් ශ්‍රී ලංකා රජය ජයග්‍රහණය කරමින් පවතින ණය උගුල් වලින් මිදී රටේ නීතිය, ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමට ගන්නා උත්සහයකි. මේ බව නොදැන, මේ බව නොදන්නා සෙයින් රාජ්‍යය අමතක කරන ආණ්ඩු පිහිටුවීමට කඩේ යන, කෙළ හලන ඇතැම් පාදඩ වෘත්තීය සමිතිවලට කිවිය යුත්තේ ලෝකයේ පැරණිම වෘත්තීය වෙනුවෙන් තම අරමුණු සිඳ දමනවාට අමතරව අනාගත නූපන් දරුවන්ගේ අනාගතයත් පාදඩකරණයට ලක්නොකරන ලෙස පමණි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා