හින්දු කෝවිලේ දෙමළෙන් බණ කියන හාමුදුරුවෝ

 ඡායාරූපය:

හින්දු කෝවිලේ දෙමළෙන් බණ කියන හාමුදුරුවෝ

ඒ 2017 දෙසැම්බර් මාසයේ එක්තරා දිනයකි. මහනුවර ගලහ හින්දු කෝවිල් බිම අතුරු සිදුරු නැති ව පිරී ගොසිනි. හින්දු කෝවිලකට පිරිසක් එක් රැස් වීම පුදුමයට කරුණක් නොවුණද, ඒ මොහොතේ එහි සිදු වෙමින් තිබුණේ සුවිශේෂී දෙයකි. වෙනදා ඉන් ඇසෙන වේද මන්ත්‍ර ගායනා වෙනුවට කෝවිලෙන් ගලා ආයේ බුදු ගුණ වර්ණනාවකි. එම දෙසුම පවත්වමින් සිටියේ බෞද්ධ භික්ෂුවකි. එයද දෙමළ බසිනි. එහි අනෙක් විශේෂත්වය වූයේ මෙම දම් දෙසුම සංවිධානය කළේ ඒ ගලහ හින්දු කෝවිලේ පූජකකාරකාදීන් වීමය.

දේශකයාණන් වහන්සේ නමින් බගවන්තලාවේ රාහුල හිමියන්ය. උන්වහන්සේ මීට වසර කීපයකට පෙරද මෙබඳුම මහ සෙනඟ හමුවෙහි ආගමික වතාවත් මෙහෙයවූහ. එහෙත් ඒ බෞද්ධාගමික වතාවත් නොවේ. බෞද්ධ භික්ෂුවක ලෙසද නොවේ. ‘මහේෂ් ශර්මා‘ නමති නම් කළ හින්දු ආගමික පූජකයෙකි.

එදා බලංගොඩ පින්නවල ශ්‍රී කාරුමාර් අම්මාන් කෝවිලේ සිට හින්දු බැතිමතුන් වෙනුවෙන් ආගමික සේවාවේ නිරතව සිටි උන්වහන්සේ අද බගවන්තලාවේ රාහුල නමින් පැවිදිව බුදු දහමේ අනුසස් වදාරමින් වැඩ වෙසෙති.

අවුරුදු අටේදී දහම් මඟට

බගවන්තලාව සෙල්වකන්ද වත්ත ප්‍රදේශයේ ජීවත් වූ කන්ද ස්වාමී සුභ්‍රමනියම් සහ සරෝජා දේවිගේ බාලපුත්‍රයා ලෙසින් මහේෂ් ශර්මා 1988 වසරේදී උපත ලබන්නේ පවුලේ තෙවැනි දරුවා ලෙසිනි. ඔහුට වැඩිමහල් සහෝදරයකු සහ සහෝදරියකි. මහේෂ් ශර්මාට වයස අවුරුදු 08 දී පමණ තම පියා වූ කන්ද ස්වාමි සුභ්‍රමනියම්ගේ සෙනෙහස අහිමි වූයේ ඔහුගේ වියෝව හේතුවෙනි.

පියාගේ වියෝවත් සමඟින් පවුලේ බර තනියම කරට ගැනීමට සිදුවූයේ මහේෂ් ශර්මාගේ අම්මා වූ සරෝජා දේවිටය. වත්තේ තේ දළු කඩමින් දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට කටයුතු කළ ඇය, දරුවන් අධ්‍යාපනය කරා යොමු කිරීමටද වග බලා ගත්තාය. දරුවන්ට ගුණ දහම් කියා දෙනු අටියෙන් හින්දු දහම්පාසල වෙත ඇය ඔවුන් යොමු කළාය.

තම පියා ගේ තුන් මාසයේ දානය නිම කිරීමෙන් පසු පූජකයකු වීමේ අධිෂ්ඨානයෙන් සිටි මහේෂ් ශර්මා වයස අවුරුදු අටේදීම හින්දු ආගමික චාරිත්‍රවලට අනුව හින්දු පූජකත්වය ලැබීය. මහේෂ් ශර්මා වයස අවුරුදු 16 ක් පමණ වන තෙක් ප්‍රදේශයේ හින්දු කෝවිලේ ආභාසය ලබමින් හා වත් පිළිවෙත් ඉටුකරමින් හින්දු සාමිවරයකු ලෙස කටයුතු කරමින් සිටියේය. හින්දු ආගමික චාරිත්‍ර මෙන්ම වත් පිළිවෙත් සම්බන්ධයෙන් වැඩි දුර අධ්‍යාපනය සඳහා චෙන්නායි හි හින්දු ආගමික මධ්‍යස්ථානය ලෙස හඳුන්වන කුරුගුලම් හි අධ්‍යාපනය ලැබීමට ඉනික්බිති ඔහු පිටත් යයි. මහේෂ් ශර්මා එහිදී හින්දු ධර්මය ඉගෙනගෙන ලංකාවට පැමිණ හැටන් දික්ඔය ගණදෙවි කෝවිලේ ප්‍රධාන පූජකවරයෙකු ලෙස 2014 වසර තෙක්ම කටයුතු කළේය.

පන්සලේ ඇසුර

2014 වර්ෂයේ බලන්ගොඩ පින්නවල ශ්‍රී කාරුමාර් අම්මන් කෝවිලට පැමිණ අවුරුදු කිහිපයක් ප්‍රධාන පූජකවරයා ලෙස ආගමික මෙන්ම ජාති භේදයකින් තොරව මිනිසුනට සේවය කිරීමට කටයුතු කළ ශර්මා පුජකවරයා, ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානවල වැඩ විසූ ස්වාමින් වහන්සේලා ඇසුරු කරමින් පවත්වමින් බෞද්ධ වත් පිළිවෙත් සම්බන්ධයෙන්ද ඉගෙනීමට අවස්ථාව උදා කර ගත්තේය.

“හින්දු ආගමේ පූජකයකු වශයෙන් මා ඉන්න කාලේ ඉහළ මණ්ඩාවල සුදර්ශනාරාම විහාරයේ සියලුම දායකයෝ විහාරස්ථානයට දානේ අරන් එනවා. ඒ දානේ අරන් එන වෙලාවේ මටත් දානේ පූජා කරලා තියෙනවා. මටත් වැන්දා.” බගවන්තලාවේ රාහුල හිමියෝ අතීතිය මෙනෙහි කරති.

තමන් දැන උගත් බුදු බණ දේශනා කිරීම හින්දු පූජකත්වයේ සිටියදීම ශර්මා පුජකවරයා සිදු කළේය. ඒ ඇතැම්විට පන්සලකය. තවත් විටෙක කෝවිලකය. බෞද්ධ භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා සිදු කිරීම ඕනෑ තරම් දැක දැක තිබුණද හින්දු ආගමික පූජකයකු පන්සලේ මෙන් ම වෙනත් ස්ථානවල ද බුදු බණ දේශනා කිරීම එම පෙදෙස්වල බෞද්ධයන්ට අලුත් අත්දැකීමක් විය. දෙමළ – සිංහල බොහෝ දෙනා මහේෂ් ශර්මා පූජකතුමන්ගේ බුදු බණ ඇසීමට ප්‍රිය කළහ. දෙමළ අයට දෙමළ බසින්ද, සිංහල අයට සිංහල බසින්ද, හින්දු ආගමික පූජකයකු ලෙස සිටිමින් මහේෂ් ශර්මා පූජකතුමන් බුදු බණ දේශනා කරන්නට විය.

“මම හින්දු පූජකයෙක් වෙලා ඉන්න අතරතුරත් පන්සල්වල බණ කිවුවා. පස්සේ බොහෝ පන්සල්වල බණ කියන්න මට ආරාධනා ලැබුණා. මං කුරුණෑගල දක්වා පන්සල්වල බුදු දහම දේශනා කරන්න කටයුතු කළා.”

“ධම්ම පදය, බෞද්ධ ජනතාව ස්වාමින් වහන්සේලාට දැක්වූ ගෞරවය, පන්සල්වලදී ස්වාමින් වහන්සේලා මා ඇසුරු කළ හා පිළිගත් ආකාරය අනුව මට බුදු දහම හා බෞද්ධ සංස්කෘතිය කෙරෙහි පැහැදීමක් ඇති වුණා. මා පැවිදි වූවා නම් හොඳ නොවේදැයි යන අදහස මා තුළ හට ගත්තා. මේ ගැන ගෙදරට කිවුවම අම්මත් සහෝදරයනුත් විරෝධය පෑවා.”

මරණ තර්ජන!

හින්දුන්ගේ උසස්ම කුලය වන බ්‍රාහ්මණ කුලය අනුගමනය කරන උසස් සංස්කෘතික පසුබිමක් හමුවේ තමන් පැවිදි බවට පත්වුවහොත් පවුලේ අය තමන් පවුලෙන් නෙරපා දමනු ඇති බවට ශර්මා පූජකවරයාගේ මව ඇතුළු සොයුරන් තුළ හටගත් කුකුස එයට හේතු විය. හින්දු පූජකයකු ලෙස සිටි කාලයේදීද බෞද්ධ ජනතාව දානය ගෙන එන විට ශර්මා පූජකවරයාටත් ඉන් කොටසක් පිරිනැමිණි. තමන් හින්දු පූජකයකු යැයි වෙනස්කොට සැලකීමක් බෞද්ධ මිනිසුන් අතර නොතිබිණි. උන්වහන්සේ තම අදිටනෙහි තිරව පිහිටා සිටියහ.

කාලයක් තිස්සේ ඉහළ මණ්ඩාවල සුධර්මාරාමයේ සිටිමින් බෞද්ධ හිමිවරුන් සමීපව ඇසුරු කළ මහේෂ් ශර්මා පූජකතුමන්ට පැවිදි වීමට තිබු කැමැත්ත නිසා ඒ සම්බන්ධයෙන් සුධර්මාරාම විහාරාධිපති උඩකරවිල සුගුණනන්ද නා හිමියන්හට දන්වා සිටියත් උන් වහන්සේ කියා සිටියේ ඒ පිළිබඳ තවත් වරක් සිතා බලන ලෙසය.

ඉන් දෙමසකට පසු නිවෙසේ අවසරය ද සහිත ව අමරපුර නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශවයේ මහානායක හිමියන් වන ඕපනායක කන්දේ පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපති කුරුවිට සරණංකර මහ නාහිමියන් හමු ව අනුමැතියද ගෙන මහණ පිංකම සුදානම් කෙරිණි.

බුදු සසුනට ඇතුළුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් මහේ ෂර්මා පූජකතුමන්ට ද විවිධ බලපෑම් මෙන්ම මරණීය තර්ජන ද එල්ල විය. උන්වහන්සේ ඒ කිසිවකිනුදු පසුබට වූයේ නැත. 2016 දෙසැම්බර් 16 වැනි දා බගවන්තලාවේ රාහුල නමින් උන්වහන්සේ සසුන් ගත වූහ.

මංගල දම් දෙසුම යාපනයේ

“ගොඩාක් අය මගෙන් ඇහුව ඇයි හින්දු ආගම හොඳ නැතිවද මහණ වුණේ කියලා. ඇත්තෙන්ම හින්දු ආගම කෙරෙහි කලකිරිල මං මහණ වුණේ නෑ. හින්දු ආගමේ හොඳ දේවල් ගොඩාක් තිබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වෙතින් හින්දු ආගමෙන් පුරවා ගත නොහැකි අඩුව පුරවා ගැනීමට අවස්ථාවක් තිබුණ නිසා තමයි මා මහණ වුණේ.” යි බගවන්තලාවේ රාහුල හිමියෝ කියති.

“මහණ වුණාට පස්සෙ පළමු ධර්ම දේශනාවට ආරාධනා ලැබුණේ යාපනයෙන්. ඒ අතරතුර මා බොහෝ ප්‍රදේශවල ගිහින් ධර්ම දේශනා කළා. මගේ දෙවන ධර්ම දේශනාව කළේ මහ නුවර ගලහ ප්‍රදේශයේ. එහිදී බෞද්ධ හින්දු, ඉස්ලාම් යන සියලු ජනකොටස්වලට දෙමළ භාෂාවෙන් ධර්මය දේශනා කළා. ගලහ නගරයේ වගේම, 2017 දෙසැම්බර් මාසයේ මහනුවර ගලහ හින්දු කෝවිලෙත් මා බණක් දේශනා කළා. විශේෂත්වය වුණේ ඒක සූදානම් කළේ ඒ කෝවිලේ පුජකතුමන්ලා වීමයි‘ යැයි රාහුල හිමියෝ පවසති.

පසුගිය කාලයේ දී මහනුවර තෙල්දෙණිය, කුණ්ඩසාලේ ඇතුළු ප්‍රදේශ රැසක ඇති වූ ජාතිවාදී ගැටුම් කෙළවර වූයේ ඒවා ආගමික ගැටුම් බවට පරිවර්තනය වීමෙනි. වැදගත් වන්නේ කුමන ආගමක ජාතියක සිට හෝ මිනිසුන් අතර සාමය සමගිය සහජීවනය ඇතිකරවීමම පමණි. ඒ සහජීවනයේ පාලම සැකසීමේ බගවන්තලාවේ රාහුල හිමියන් අරඹා තිබේ.

දෙමළ පිරිවෙනක සිහිනය

“පසුගිය සුනාමි සැමරුම වෙනුවෙන් ගලහ නගරයේ පැවැත්වූ ආගමික උත්සවයකට ප්‍රදේශයේ මුස්ලිම් මව්ලවිවරුන්, දෙමළ පුජකවරුන් මෙන්ම භික්ෂුන් වහන්සේලාත් විශාල ප්‍රමාණයක් වැඩම කරලා තිබුණා. මං දෙමළ භාෂාවෙන් බණ කියනවා අහන්න ඒ ප්‍රදේශවල මිනිස්සු එන්නෙ කිසිදු බේදයකින් තොරවයි. මේ වෙද්දි මා දෙමළ පාසල්වලත් දමිල භාෂාවෙන් ධර්මය දේශනා කිරීම් සිදුකරනවා.”යි රාහුල හිමියෝ පවසති.

“මේ රටේ දෙමළ භාෂාවෙන් බණ කියලා මිනිසුන්ගේ සිත් සතන්වල සංහිදියාව ජනිත කරවීමට මා කටයුතු කරනවා. දෙමළ දරුවන්ටද පැවිදි වෙන්නට අවස්ථාවක් ලබා දීම වැදගත්.” ඒ අය වෙනුවෙන් දෙමළ පිරිවෙනක් ඇති කරවීමද වැදගත් බව බවද බගවන්තලාවේ රාහුල හිමියෝ අවධාරණය කරති.

(ස්තුතිය : කැටමරාන් වෙබ් අඩවියට සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට)

[රාහුල් සමන්ත හෙට්ටිආරච්චි]

මාතෘකා