ළමා නාට්‍යයට හිමි බිම

 ඡායාරූපය:

ළමා නාට්‍යයට හිමි බිම

පසුගිය සතියේ මා හට ළමා නාට්‍ය දෙකක් නැරඹීමේ අවස්ථාව ලැබිණි. එකක් සෝමලතා සුබසිංහගේ ‘පුංචි අපට දැන් තේරෙයි’ ය. අනෙක චන්දන අලුත්ගේගේ ‘වලස් පවුල’ ය. ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකාගත වූ මේ නාට්‍ය දෙකටම පැමිණ සිටියේ ශාලාවෙන් හතරෙන් පංගුවකටත් වඩා අඩු ප්‍රේක්ෂක පිරිසකි. එහෙත් ඊට එපමණ පිරිසක් සෑහේද? මා සිතන්නේ කොපමණ මුදලක් ගෙවා වුව ඒ නැරඹිය යුතු නාට්‍ය දෙකකි. විශේෂයෙන් ‘පුංචි අපට දැන් තේරෙයි’ මනා අංග සංකලනයෙන් ගොඩනැඟුණු නාට්‍යයකි. ‘වලස් පවුලේ’ ගැටලුව අවසානය පැහැදිලි නොවීමයි. නාට්‍යයේ ඊළඟ කොටස නැරඹීමට ප්‍රේක්ෂකයා පුල පුලා සිටියදී එය ‘දඩස් ගා’ අවසන් විය. එසේ වුවද එය රසවින්දනාත්මක නාට්‍යයකි. ළමයින්ගේ ලෝකය සුන්දරය. එය ෆැන්ටසියකි. සෝමලතා සුබසිංහත්, චන්දන අලුත්ගේත් ඔවුන්ගේ ෆැන්ටසි ලෝකය මනා ලෙස අවබෝධ කරගෙන තිබුණි.

නාට්‍යයකින් සිදු වන්නේ ඕනෑම කලා කෘතියකින් සිදු වන ලෙස ජීවිතාවබෝධයය. නාට්‍යයේ ජීවිතාවබෝධයෙහි වෙනසක් තිබේ. එය ඒ මොහොතේ ප්‍රේක්ෂකයාගේ හිසට ඇන කරන ජීවිතාවලෝකනයකි. නවකතාවේ ජීවිතාවලෝකනය සිදු වන්නේ කල්පනා ලෝකයකින් වුවත් නාට්‍යය හුදු කල්පනා ලෝකයක් නොවේ. එය මේ මොහොතේ දිගහැරෙන දෙයකි. මෙනිසා ඒ සජීවීභාවය නාට්‍යකරුවාට නාට්‍යය විකාශය වන අතරම පෙන්වා දීමට වුවමනා වේ. ඔහුට තදාත්මක විඝටනය නැතහොත් දුරස්ථකරණය (Alienation) නම් රංග විධික්‍රමය වැදගත් වන්නේ එහිදීය. ළමා නාට්‍යය මේ තුළ කරන්නේ කවර කාර්යයක්ද? එයද සැබැවින්ම ළමා ප්‍රේක්ෂකයාගේ හිසට ඇන කරන ජීවිතාවලෝකනයකි. එහෙත් එහිදී නාට්‍යකරුවා හිසට අනිනවාට වඩා කරනුයේ ප්‍රේක්ෂකයා ආදරයෙන් අමතා එය - වරද - පෙන්වා දීමය. ළමා ලෝකයේ වටිනාම දේ ආදරය හා දයාව නම් නාට්‍යයද ආදරයේ හා දයාවේ හුයක් තුළ දිවීමෙන් නාට්‍යකරුවාට ළමයින්ගේ ජීවිතාවබෝධය පුළුල් කළ හැකිය. ඇත්ත වශයෙන් ළමා නාට්‍යය යනු දයාවේ හා ආදරයේ ප්‍රකාශනයකි. ළමා අධ්‍යාපන කාර්යයේදී ළමා නාට්‍යය ඉතා වැදගත් වන්නේ මෙනිසාය.

එහෙත් ගැටලුව අපේ අධ්‍යාපන බලධාරීන් ළමා නාට්‍යයේ ශක්‍යතාව හරිහැටි අවබෝධ කර නොගැනීමය. නාට්‍යය රසවින්දනාත්මක කලාවක් සේම ඕනෑම දුරවබෝධ යමක් පසක් කළ හැකි මෙවලමකි. එනිසා බලධාරීන් අතිවිශාල මුදල් සම්භාරයක් වැය කරමින් දියත් කරන අධ්‍යාපන වැඩසටහන්වල ඵලදායීතාව ළමා නාට්‍ය මගින් මුදල් වියදම් නොකර ලබාගත හැකිය. ඇවැසි වන්නේ රසවින්දන ශක්තිය හා නාට්‍යකරණය පිළිබඳ මූලික අවබෝධය ඇති ගුරුභවතුන්ගේ සේවය පමණි. එහෙත් අපගේ ගුරුවිද්‍යාල කීයක නාට්‍යකරණය පිළිබඳ මූලික පුහුණුවක් හෝ ලබාදෙනවාද?

රසවින්දන ශක්තිය ඇති - නැති දෙපරිසටම කලාවෙන් සිදු වන මෙහෙයක් තිබේ. එනම් ශික්ෂණයක් ලැබීමයි. විනයක් ලැබීමයි. නාට්‍යයෙන් ලැබෙන විනය ප්‍රබන්ධ කෘතියකින් ලැබෙන විනයෙන් වෙනස් වන්නේ නාට්‍යය ඕනෑම කෙනෙකුට ආස්වාදනය කළ හැකි නිසාය. එනිසා ඉන් ශික්ෂිත වන පිරිස විශාලය. ප්‍රතිභාවෙන් තොර පිරිස්ද නාට්‍ය කරනු පසුගිය කාලයේ දක්නට ලැබුණි. ඒ බොහොමයක අරමුණ දේශපාලනිකය. එහෙත් එසේ හෝ නාට්‍ය නිපයීම ප්‍රේක්ෂකයාට වැදගත්ය. අපේ ළමා නාට්‍ය කෙතරම් ආධුනික වුවත් ඒවා ළමා ප්‍රේක්ෂකයා අභිමුවට ඒම වටනේය.

ඇත්ත වශයෙන් අද අපට වුවමනා වන්නේ යථාර්ථවාදී ලෝකයක් නොවේ, කල්පිත ලෝකයකි. සමාජ මාධ්‍යද ඇතුළු සියලු ජාතික හා විකල්ප මාධ්‍ය ඇති තරම් ‘යථාර්ථය’ වගුරවයි. එනිසා ඕනෑ වන්නේ ඒ යථාර්ථයෙන් පලායෑමය. කලාව යනු යථාර්ථයෙන් පලායෑමක්ම නොවේ. එය යථාර්ථය නිවැරදිව දැකීමක්දය. ළමා නාට්‍ය වැදගත් වන්නේ එය කොහොමටත් ‘යථාර්ථයෙන්’ පලායෑමක් නිසාය. ළමයිනට යථාර්ථය ගෙඩිපිටින් දීමට ගියහොත් ඔවුනට එය එපා වේ. ළමා නාට්‍යයේ ශක්‍යතාව එය ඔවුනට මතුපිට අවවාදයෙන් පලායෑමට මඟ සකසා අනතුරුව ඒ අවවාදයේ ගැඹුර ඔවුනට පසක් කරවීමය.

මෙහිදී තවද කරුණක් කිව යුතුය. අද කොපමණ සංඛ්‍යාවක ළමා පොත් වසරකට වෙළෙඳපොළට එකතු වේද? අතිවිශාල සංඛ්‍යාවකි. නිසැකවම සියලු සාහිත්‍ය ශානරවලින් මෙරට වඩාත්ම පළ වන්නේ ළමා පොත්ය. මේ පොත්වලින් කොපමණ සංඛ්‍යාවක් ළමයාගේ වින්දන ශක්තිය හා අවබෝධය පුළුල් කරයිද යන්න ගැටලුවක් වුවත් ඒ අතර සාධනීයභාවයක් පෙන්වන පොත් විශාල සංඛ්‍යාවක් තිබේ. එහෙත් ගැටලුව ඉන් කොපමණ සංඛ්‍යාවක් ළමා නාට්‍ය බවට පෙරළෙන්නේද යන්නය. මෙරට උසස් ළමා කෘතිවලින් ළමා නාට්‍ය නිෂ්පාදනය කළේ නම් එය ඉතා අගනා යමක් වනු ඇත. මෙහිදී වී ඇත්තේ ළමා පොත් බිහි වන තරමට ළමා නාට්‍ය බිහි නොවීමය.

වරක් සෝමලතා සුබසිංහ මහත්මිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඈ පැවසූ අපූරු කරුණක් විය. මීට වසර දහයකට පමණ පෙර ඇය ළමා නාට්‍ය පිළිබඳ වැඩමුළුවකට සහභාගි වීමට අනුරාධපුර ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථානයකට ගොස් තිබේ. එම සංස්කෘතික මධ්‍යස්ථානයේ කෙළවරක පියානෝවක් තිබී ඇත. එය එහි තබා තිබුණේ ඇයිදැයි සෝමලතා මහත්මිය එහි සංස්කෘතික නිලධාරියකුගෙන් විමසා තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ මෙවැනි පිළිතුරකි: “මේ පැත්තෙ ළමයි පියානෝ දැකලා නෑ. ඒ නිසා එහෙම එකක් පෙන්වන්න තමයි ඔය එකක් ගෙනැල්ලා තියෙන්නෙ.” අපගේ සංස්කෘතික බලධාරීන් කලාව පරිහරණය කරන ආකාරයට මෙය හොඳ නිදසුනකි. කලාව ඇත්තේ ප්‍රදර්ශනයට නොව වින්දනයට හා ජීවිතයට යමක් උකහා ගැනීමට බව ඔවුන් අවබෝධ කරගෙන නැත. මට හැඟෙන ලෙස ප්‍රාදේශීය මට්ටමින් ඇති සංස්කෘතික මධ්‍යස්ථාන ළමා නාට්‍ය සඳහා අපූරු තෝතැනිය. ඔවුනට ඇවැසි වන්නේ නාට්‍යයෙන් වින්දනයක් ලැබිය හැකි ආකාර රඟහලක්ය. ඊට උසස් තත්ත්වයේ රංගශාලා වුවමනා නැත.සංස්කෘතික මධ්‍යස්ථාන එහිලා හොඳින් ප්‍රයෝජන ගත හැකිය. එහෙත් එවැන්නක් එහි වනු නොපෙනේ.

සිංහල සාහිත්‍යය සඳහා අපේ කිසියම් වේදිකාවක් තිබේ. පොත් ප්‍රදර්ශන සඳහා වෙනම මාසයක්, පොත් ප්‍රකාශක ප්‍රජාවක් ආදිය ඇත. එහෙත් නාට්‍ය සඳහා එවැනි වේදිකාවක් නැත. ළමා නාට්‍ය සඳහා එවැනි වේදිකාවක් ඇත්තේම නැත. රාජ්‍ය ළමා නාට්‍ය උළෙලින් පමණක් එවැනි වේදිකාවක් ඇති වී නැත. එසේ වීමට හේතුව පැහැදිලිය. ඒ, අපේ ළමා නාට්‍ය සඳහා කිසිදු දිරිගැන්වීමක් අධ්‍යාපන අමාත්‍යංශයෙන්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් හෝ අධ්‍යාපන බලධාරීන්ගෙන් නොලැබීමය. ළමා නාට්‍ය සඳහා වේදිකාවක් මතු නොව ළමා නාට්‍ය සාහිත්‍යයක්වත් අපට නැත. එහිලා කිසිදු පර්යේෂණයක්වත් සිදු වන්නේ නැත. අප සාක්ෂරතාවෙන් ඉහළම තැන ඇත්තේ යැයි උදම් ඇනූවත් ඒ සාක්ෂරතාව කලාව අරබයා භාවිත වී ඇත. මට සිතෙන්නේ ළමා නාට්‍ය හා ළමා සාහිත්‍යය සඳහා අපට සංස්කෘතියක් තිබිය යුතු බවය. එබඳු සංස්කෘතියක් ඇත්නම් ළමා කෘති නමින් ළමයිනට නොහොබනා පොත්, එබඳු පොත් පිටකවර, එබඳු ළමා පත්තර, වෙසක් නාට්‍ය ආකාරයේ ළමා නාට්‍ය ආදිය වන්නේ නැත.

සෝමලතා සුබසිංහයන්ගේ ළමා නාට්‍ය රංග පදනමේ කාර්යයද වැදගත් වන්නේ මේ තුළය. මීට කලකට පෙර ප්‍රවීණ කලාකරුවන් පෞද්ගලික මට්ටමින් කලා ආයතන පවත්වා ගන්නා ආකාරය අපට දක්නට ලැබුණි. ඇම්.ජී. පෙරේරා කලායතනය, චිත්‍රසේන කලායතනය, කේමදාස සංගීත ආශ්‍රමය ආදිය ඊට නිදසුන්ය. මින් සිදු වූ මහත්ම මෙහෙය ප්‍රාදේශීය මට්ටමින් කලා කුසලතාවක් පෙන්වන පිරිසට කලාවේ පුහුණුවක්, පරිචයක් ලබාදීමය. එහෙත් අද එවැනි කලායතන ඇත්තේ ඊනියා නර්තන සඳහා පමණි. නාට්‍ය සඳහා එවැනි කලායතන කිසිවෙකු නොපවත්වන්නේ නාට්‍යවලින් මුදල් ඉපයිය නොහැකි නිසා විය හැකිය. මේ තත්ත්වය වෙනස් විය යුතුය. එහෙත් එය වෙනස් වන්නේ කලාව විකිණීමට ඉඩක් ඇති කිරීමෙන්ම නොවේ, කලාවේ මූල්‍ය අගයෙන් එහා ගිය ආත්මීය වින්දනය, එය ඉටු කරන මිල කළ නොහැකි සමාජ කාර්යභාරය අවබෝධ කරවීමෙනි.

මාතෘකා