කුමාර සංගාක්කාරගේ ෆේස් බුක් සටහන හා ඩිලන්ත මාලගමුවගේ පොලිස් පොතේ සටහන

 ඡායාරූපය:

කුමාර සංගාක්කාරගේ ෆේස් බුක් සටහන හා ඩිලන්ත මාලගමුවගේ පොලිස් පොතේ සටහන

කුමාර සංගක්කාර හා ඩිලන්ත මාලගමුව යනු කිසිවකුටත් අවතක්සේරු කළ නොහැකි ලෙස ජාත්‍යන්තර වශයෙන් රටේ කීර්තිය නගාලීමට සිදුකළ හා සිදුකරන ක්‍රීඩකයන් දෙදෙනෙකි. දෙදෙනාම වයස අවුරුදු හතළිහේ සීමාව පසුකර සිටිති. එක් අයෙකු තමන් විසින් පසුගියදා ෆෙස් බුක් පිටුවේ ලියා පළකළ සටහනක් හේතුවෙන් වැඩි වශයෙන් කතාබහට ලක්වූ අතර අනෙකා පිළිබඳ පුවතක් යළි කරළියට පැමිණ ඇත්තේ ඔහු විසින් පොලිස් පොතේ තැබූ බව කියන සටහනක් ෙහ්තුෙවනි. මේ ඒ සම්බන්ධයෙන් විමසා බැලීමකි.

කුමාර සංගක්කාර

පසුගිය 12 වැනිදා සිය ෆේස් බුක් ගිනුමේ ප්‍රසිද්ධ සටහනක් තබා තිබුණේය. එම පුවත එලෙසින්ම ප්‍රකාශයට පත්කිරීමටද ඇතැම් මාධ්‍ය කටයුතු කර තිබිණි. ඔහු එමගින් කියා තිබුණේ දේශපාලනයේ නියැලීමේ අවංක අධ්‍යාශයක් තමන් තුළ නැතැයි කියාය. පවුල හා ගත කිරීමට අවශ්‍ය හෙයින් තමන් දේශපාලනය වැනි භාර ධුර වගකීමක් ලබාගැනීමට සූදානම් නොවන බව එහි සටහන් කර තිබිණි.

එය සැබෑවකි. ඒ මන්දයත් රටක් ගොඩනැගීමේ අවංක හැඟීමක් සහිතව රටක නීති සම්පාදනයට එක්වන්නේනම් එය භාරදූරය. ලෙහෙසියෙන් පැහැර හැරිය නොහැකිය. එහෙත් අද බහුතරයක් දේශපාලනය කරන්නේ බලය වෙනුවෙනි. බලය ලබාගැනීම වෙනුවෙනි. සැප සම්පත් තමන්ට, තමන්ගේ පවුලට ලියාගැනීම, බුක්ති විඳීමට අවස්ථාව හිමිකරගැනීමටය. එසේ නැතහොත් තමන් අතින් සිදුවූ අඩුපාඩු තවදුරටත් වසාගන්නටය. ඒවා ජනතාවගෙන් සඟවාගන්නටය. ඒ අතින් කුමාර සංගක්කාර වැනි චරිත රටක දේශපාලනය මතුනොව ඕනෑම වගකීමක් සඳහා එළඹිය හැකි හා එළඹිය යුතු චරිත ලෙස දැකිය හැකිය. තමන් සතුවූ වගකීමක් වේනම් එය නොපිරිහෙලා ඉටුකරන හා ඉටුකළ අතීතයක් සහිත මිනිසකු වඩා පුළුල් හා පරිණත භූමිකාවකට එළඹීම සිදුවන්නේ නම් ඒ සඳහා ආශිර්වාද කළ යුතුය. කෙසේ නමුත් එවැන්නකට එළැඹීමට ඔහුගේ කිසිදු කැමැත්තක් නොමැති බව මෙහිදී ප්‍රකාශවී තිබේ. එහෙයින් අප ඔහුගේ තීරණයට ඉඩදිය යුතුව ඇත. එය සංගක්කාරගේ සටහන ඇසුරෙන්ම උපුටා දක්වන්නේ නම් මෙසේය.

‘මම විශ්වාස කරන පරිදි දේශපාලනය යනු ඉතා වගකීමක් සහිත මහජන සේවයකි. එය මහජන මුදල් වෙනුවෙන් වගවීමක්, විනිවිදභාවයක් සහිතව කටයුතු කළ යුතු අවංක වෘත්තියකි. එවැනි මහජන සේවකයිනට මා තුළ ඇත්තේ සුවිශාල ගෞරවයකි. ඒ අය මහජන ඡන්දයෙන් එහෙම නැත්නම් පත් කළ අයෙක් වෙන්න පුළුවන්. ඒකෙ වෙනසක් නෑ. එවැනි අවංක දේශපාලනඥයන් සැමවිටම අපේ රට හොඳ සහ ගෞරවනීය ස්ථානයක් බවට පත්කරන්නට වෙරදරන්නවුන්’ ඔහු පවසා ඇත.

එම සටහනේ තවත් තැනක ‘සමාජ හා ආර්ථික වෙනස්කම් එක් රාත්‍රියකින් සිදු කළ නොහැකි බව අප තේරුම්ගත යුතුයි. ඒ වෙනුවෙන් මනා සංයමයක්, ඉවසීමක් තිබීම වැදගත්’ වශයෙන් ඔහු ප්‍රකාශ කරයි. එම ප්‍රකාශ තුළ ගැබ්ව ඇති යථාර්ථය කෙතරම් පුළුල්දැයි අප තේරුම්ගත යුතුය. ක්‍රිකට් ක්‍රීඩාව රසවිඳින හා ඔහුගේ ක්‍රීඩාශීලීත්වය රසවිඳි මිනිසුන් දෙකෝටියක් ඉක්මවන පිරිසකට ඔහු දෙන පණිවුඩයේ තේරුම ඉතා වැදගත්ය. එනම් සමාජ ආර්ථික වෙනස්කම් එක් රාත්‍රියකින් ලබාගත නොහැකි බවය. එහෙත් අපේ රටේ ඇතැමුන් සිතන්නේ, පතන්නේ හා ලියන්නේ, කියන්නේ අතීතයක් නොදන්නා සේය. එවැනි මිනිසුන් අතරට කුමාර සංගක්කාර සිය ෆේස් බුක් සටහනෙන් ගසා ඇත්තේ විදුලිපන්දම් එළියකි. දැන් ඇත්තේ ඒ එළිය ඔස්සේ ගොස් හිරු උදාවන්නට පෙර දැකිය හැකි අඳුර පසුකර හිමිදිරි උදාසනක මිහිර අත්විඳීමය. ඒ සඳහා සමාජයම එකාවන්ව කටයුතු කළ යුතුව ඇත. අප කුමාර සංගක්කාරගේ ප්‍රකාශය තේරුම්ගන්නේ එවැනි ආස්ථානයක සිටය.

ඩිලන්ත මාලගමුව

මේ අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ කීර්තියට පත්කරනු ලබන තවත් සුවිශිෂ්ට ක්‍රීඩකයකු ලෙස ඩිලන්ත මාලගමුව අපට සැලකිය හැකිය. දශක කීපයක් තිස්සේ ස්වකීය උත්සහයෙන් ලෝකය පුරා ශ්‍රී ලංකා ධජ පතාක ඔසවන නිහඬ කෙරුම්කාරයකු ලෙස අපට ඩිලන්තව සැලකිය හැකිය. කෙසේනමුත් පසුගියදා අපට අසන්නට ලැබුණේ එතරම් සතුටුදායක පුවතක් නොවේ. ඒ ඩිලන්ත මාලගමුව නමැති ඒ අසහාය ක්‍රීඩකයාට යම් කිසිවකු විසින් හෝ කණ්ඩායමක් විසින් මරණ තර්ජනයක් එල්ල කර ඇති බවය. මරණ තර්ජන කිසිවකුටත් එල්ල නොවිය යුතුය. එය දියුණු සමාජයකට කෙසේවත් ඔබින්නේ නැත. ඕනෑම සමාජයක ජීවත් වීමේ අයිතිය අහිමි නොවිය යුතුය. තර්ජනයකට ලක්නොවිය යුතුය. විශේෂයෙන්ම ඒ සඳහා ලෝකයා ඉදිරියේ සුදුකොඩි ඔසවන ජන කණ්ඩායමක් ලෙසින් සැලකෙන ක්‍රීඩකයන්ට ගැටලුවක් හෝ ගැටලුකාරී තත්ත්වයක් ඇතිනොවි යුතුමය. එහෙත් ඩිලන්ත මාලගමුව සම්බන්ධයෙන් අද එය සත්‍යයක් වී නොමැත. එසේ පැවතිය යුතු ක්‍රීඩක නිදහස තර්ජනයකට ලක්වී ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට පත් පාතාල කල්ලි සාමාජිකයකුගෙන් මෙම මරණීය තර්ජන කතාන්තරය හෙළිදරව්වී ඇතැයි කියති. තේ වත්තක් සම්බන්ධයෙන් හිමිකම් ලබාගැනීමේ පටු අරමුණ සහිතව මෙම ඝාතනය සිදු කළ යුතු බව එක්තරා දේශපාලනඥයකු සිදුකර ඇතැයි කියැවේ. අප පෞද්ගලිකව දන්නා කරුණු අතර ඩිලන්ත මාලගමුව සතුව නාවලපිටිය ප්‍රදේශයේ තේ වත්තක් තිබිණි. ඇතැමුන් එය ලබාගැනීමට බොහෝ උත්සහයන් ගත් බවත් ඒ සඳහා දේශපාලන හයිකාරකම් ඉදිරියට දැමූ බවත් නොරහසකි.

මෙහි ඇත්තේ කුමාර සංගක්කාර කියූ දේශපාලකයා සම්බන්ධයෙන් කතාවේ අනිත් පැත්තය. ගෞරව සම්ප්‍රයුක්තව නියැලිය යුතු දේශපාලනයට කසිකබල් මැරයන් රිංගා ගැනීමේ අවාසනාවය. මේ කියන්නේ එකම කතාවේ දෙපැත්තකි. සුබ සහ යස අතරින් දේශපාන බලය ඉසිලිය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් කතාවකි. එය වටහා ගැනීමට රටේ බහුතරයක් ක්‍රීඩා ලෝලීන්ට හැකිවන්නේ නම් එය රටටද වාසනාවකි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා