කඳුළු කූඩෙට ෙනළුම් මල් නෙළන මිනිස්සු

 ඡායාරූපය:

කඳුළු කූඩෙට ෙනළුම් මල් නෙළන මිනිස්සු

'මල් තියනවා කියලා ආරංචි වුණොත් හොයාගෙන යනවා. ළඟදී පොල්ගහවෙල පැත්තේ ගිහිල්ලා මල් ටිකක් කඩාගෙන ආවා. ඒත් නෙලුම් මල් නෙවෙයි. මා‍ෙනල් මල්'

මල් තරම් ජීවිතය සුන්දර නොවේයැයි කිසිදු අමනාපයක් හිතේ අහලකවත් නොමැති ඔවුහු මල් සොයා රට පුරා ඇවිදිති. ඉහත ප්‍රකාශය සරත් විජේන්ද්‍රගේය.

අනුරාධපුර පූජා නගරයෙහි පුදබිම අවට නෙලුම් මල් අලෙවි කිරීම ඔහුගේ ජීවන මාර්ගයයි. ඔහු එහි එක් සමාජිකයෙකු පමණි.

රජරටට දිගු කලක් තිස්සේ බලපෑ නියඟය හේතුවෙන් බොහෝ ජීවිත මුහුණ දුන් අබග්ගයන්ට නෙලුම් මල් විකුණන ප්‍රජාවද මුහුණ දුන්නෝය.

වැසි දිය නිසි කල නොවැටීමෙන් කන්න කිහිපයක් තිස්සේ රජරට ගම්මැදි වසා පැතිර ඇති දැඩි නියඟය හේතුවෙන් වැව සරණ කොටගෙන දිවි ගෙවූ බොහෝ දෙනෙක් ගැටලු රැසකට මැදිවූහ.

ගොවියන්, ධීවරයින් මෙන්ම මෙහි පුජාභූමි ආශ්‍රිතව රැඳෙමින් නෙලුම් මල් ආදිය විකුණා දිවි සරි කළ පිරිස ද ඒ අතර විය. ගම්මැදි වැව්, අමුණු බොහෝමයක් අඩියටම සිඳීමෙන් වියලී ගිය නෙලුම් වියන දෙස බලා සුසුම්ලන්නට ඔවුන්ට සිදුව ඇත.

දිනපතා මෙහි එන වන්දනාකරුවන් වෙත නෙලුම්, මානෙල්, ඕලු ආදි මල් විකුණා උපයාගත් මුදලින් දිවි ගෙවු වෙළෙඳුන් බොහෝ දෙනෙකු මෙසේ අසරණව ඇත. අටමස්ථානයට යන මහ මග පසෙකට වී මල් විකුණන සරත් විජේන්ද්‍ර අපට කීවේ ඒ කතාවය.

“නෙලුම් මල් තියෙන්නේ ගොඩක් වෙලාවට අනුරාධපුරේ ගම්මැදි වැව්වල. වැස්ස නැති එකෙන් තමයි හැමෝම අසරණ වුණේ.

දැන් අවුරුදු දහයක් විතර තිස්සේ මං මේ රස්සාව කරන්නේ. දරුවන්ගේ වියදම්, අනිත් හැමදේම කරගන්නේ මේකෙන්.”

මේ පුදබිමේ සිද්ධස්ථාන අභිමුව ස්ථිරව හෝ තාවකාලිකව අටවන ලද මඩු තුළට වී මල්, හඳුන්කුරු ආදිය විකුණා දිවි ගැටගහන්නවුන් මෙන්ම ඉන් බැහැරව තැන තැන මහ මග රැඳෙමින් වෙළෙදාමේ යෙදෙන පිරිසක් ද වෙති. සමහරෙකුගේ එකම ආදායම් මාර්ගය ද මෙය වේ. වසර ගණනාවක් තිස්සේ වෙළෙඳාම් කළ ද තවමත් සමහරෙකුට පුජාභූමිය ආශ්‍රිතව ස්ථිර තැනක් නැත. ස්ථිර වෙළෙද කුටි ලබාදීමේ දී තමන් නොසලකා හැරිය බව ඔවුහු කියති.

වසර හතළිහක පමණ කලක සිට රුවන්වැලි සෑ පුදබිම අසල මල් වෙළෙදාමේ නියැලී ඇතත්, අදද නිසි තැනක් නොමැතිව ලතැවෙන අනුලා හේවාපතිරණ මහත්මිය ද එවැන්නියකි.

පියකරු මල්වල දසුන සිත නිවන සුළු වුවද ඇයගේ සිතට නිවනක් නැත. තැන තැන ගස් යටට වී කීයක් හෝ උපයා ගැනීමට කරන වෑයම පනස් එක් වියැති ඇය පැවසුයේ මෙසේය.

“මං අවුරුදු අටේ ඉඳන් රුවන්වැලිය ළඟ මල් වික්කේ. පස්සේ තාවකාලික කඩයක් දාගෙන වෙළෙඳාම් කෙරුවා. ඒත් තාවකාලික කඩ අයින් කරලා නගර සභාවෙන් හදපු ස්ථිර කඩ දෙනකොට අවුරුදු හතළිහක් මෙතැන දුක් වින්ද මට කඩයක් හම්බ වුණේ නෑ.

දැන් මේ කොහේ හරි ගහක් යටට වෙලා මල් ටිකක් විකුණගන්ඩ දඟලනවා. මේ දවස් වල මල් හොයාගන්නෙත් හරි අමාරුවෙන්. මගේ මහත්තයාත් නැතිවෙලා. ජීවත් වෙන්ඩ වෙන ක්‍රමයක් නෑ. ඒත් ඉදා ඉඳන්ම මල් වික්ක අපිට මේ පෑවිල්ලත් එක්ක කරදර ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. සමහර වෙලාවට කොයිතරම් අමාරුවෙන් හොයාගත්තත් විකුණගන්ඩ බැරිවුණොත් මල් විසිකරන්ඩ වෙනවා”.

පෑවිල්ලට පරදින්නට මේ කිසිවෙක් සතුටු නැත. එහෙයින්ම ගිණි ගහන අව්වට මැදිවී ඔවුහු ජීවිතය සොයති. සමහරු වැව් දිය පීරා මල් කඩා විත් වන්දනාකරුවන්ට අළෙවිකොට දවසේ වියදම සරි කරති. තවත් සමහරු කඩන ලද මල් තොග පිටින් වෙළෙඳුන්ට විකුණා කීයක් හෝ උපයා ගනිති. තවෙකෙක් අලු දූවිලි සපිරි මහ මග පසෙකට වී

වන්දනාකරුවන් එන මග බලති. සමහර වැවක නෙලුම් වියන අභිබවා ජපන් ජබර ආදි ආක්‍රමණික ජලජ ශාක අතෝරක් වැවී ඇත. බොහෝ ගම්මැදි වැව්වල සැරිසරන කිඹුලන් මහත් අවදානමක් මතුකොට ඇත. වැව් දිය පීරා මල් කඩාවිත් විකුණන අනුරාධපුර, දේවානම්පියතිස්සපුර එස්.කරුණාරත්න කීයේ මෙවැන්නකි.

“මේ දවස්වල තියෙන පෑවිල්ල හින්දා වැව්වල මල් හොයාගන්ඩ විදිහක් නෑ. ගම්වල තියෙන කොටු වැව් ගොඩක් හිඳිලා. නෙලුම් යායවල් පිටින් මැරිලා තියෙන්නේ. ඒත් අපෙන් මල් ගන්න එන සමහරු ඒ ගැන හිතන් නෑ. මල් කඩන්නත් ලේසි නෑ. සමහර වැව්වල කිඹුල්ලු ඉන්නවා. නෙලුම් දඬුවලට අත පය සීරෙනවා. එහෙම දුක් විඳලත් අවසානේ මල් විකුණන්ඩ ගියාම ඒකෙත් ගාන වැඩියි කියලා සමහරු කියනවා. කොයිතරම් ඔට්ටු වුණත් රුපියල් දාහක්, එක්දාස් පන්සීයක් විතර තමයි හොයාගන්නේ.

මහන්සියයි, දවසේ වියදමයි බලපුවහම ඉතුරුවක් නෑ. නිකන්ම ආපහු යන දවසුත් ඕනතරම් තියෙනවා. මල් විකුණන එකත් දැන් ලොකු තරගයක් වෙලා තියෙන්නේ.”

මල් සොයා ගමින් ගම යමින් කලක සිට නෙලුම් මල් වෙළෙඳාමේ නියුතු අනුරාධපුරය, තලාව ප්‍රදේශයේ ඊ.එම්. තුෂාර පැවසුයේ මල් හිඟවීමෙන් මල් මිල ද ඉහළ නැග ඇති බවය.

එහෙත් කොතෙක් දුක් විඳ මල් කඩා ගෙන ආවද මල් කඩා අළෙවි කරන වෙළෙඳුන්ට ලැබෙනුයේ රුපියල් තුනක් වැනි සොච්චම් මුදලක් බව ඔහු කීය. වන්දනාකරුවන්ට මල් අළෙවි කරන වෙළෙඳුන් පවසන අන්දමට රුපියල් සියයට මල් පහකි. නැත්නම් හයකි. ගන්නා වු මහන්සියේ තරමට එයින් ද ලොකු ලාභයක් නැති බව ඔවුහු කියති.

සමහරෙකු උදේට කඩා ගෙන එන මල් හවසට විකුණති. තවෙකෙකු සවසට වැව් දිය පීරා කඩා ගෙන එන මල් උදෑසන මෙහි එන වන්දනාකරුවන්ට විකුණති. කොහෙන් හෝ කඩා ගෙනෙන මල් ටිකකින් ඔවුහු ජීවිත ගණනාවක දවස සරි කරති. එහෙත් නිසි කල වැසි නොවැටීමෙන් ඔවුනගේ අපේක්ෂාවන් ඇවිලෙන දූවිලි මතට රූරා වැටෙන කඳුළක් වී ඇත. ඒ ජීවිතය මල් තරම් සොඳුරු නොවන බැවිනි.

 

තඹුත්තේගම විශේෂ [ඩබිලිව්. ප්‍රදීප්]

මාතෘකා