හදවත් ෙහාල්ලා ජීවිත බිලිගන්න කාසි භූතයා

 ඡායාරූපය:

හදවත් ෙහාල්ලා ජීවිත බිලිගන්න කාසි භූතයා

පසුගිය දිනයෙක දකුණු පළාතේ ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් එක්තරා රෝගී තත්ත්වයක් මත මහ රෝහලකට ඇතුළත් කෙරිණ. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටියදී වැළඳුණු මෙම රෝගී තත්ත්වය නිසා ඔහු කෙරෙන් එම අවස්ථාව ගිලිහී ගියේ අනපේක්ෂිත අයුරිනි.

එහෙත් සිසුවා ඇතුළු කළ කායික රෝගී වාට්ටුවේ විශේෂඥවරයාට ප්‍රතිකාර කිරීමට තරම් කායික රෝග තත්ත්වයක් සිසුවාට නොමැති බව වැටහිණ. එහෙත් ඔහුගේ කතාබහ සහ හැසිරීම්වල පැහැදිලි අසාමාන්‍යතාවයක් දැක්විය හැකිවිය. එම සිසුවා රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය වෙත යොමු කිරීමට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා තීරණය කරන ලද්දේ එබැවිනි.

“මේ දවස්වල මට හිතාගන්න බැරි දෙයක් සිද්ධ වෙනවා.” එම සිසුවා එම රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයා හමුවේ තම රෝගී තත්ත්වය අනාවරණය කරමින් කීය.

“දැන් ටික දවසක ඉඳලා කවුරුහරි අද්භූත පුද්ගලයෙක් සැරින් සැරේ මා එක්කම ගැවසෙන බවක් මට තේරෙනවා. එහෙම රූපයක් නොපෙණුනාට මට හොඳටම තේරෙනවා ඔය කියන පුද්ගලයා මගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන දුරින් ඉන්න බව. ඒ එක්කම ඒ පුද්ගලයා ඉන්නේ කොයි වෙලාවක හරි එක තත්පරයකින් මාව මරලා දාන්න කියන එකත් මම දන්නවා. මේ හින්දා දැන් මම තනියෙන් ජීවත් වෙන්න බයයි. තනියම නිදාගන්න තියා අඩුම තරමේ තනියම බාත්රූම් එකටවත් යන්න බයයි. ඒ පුද්ගලයා කොයි මොහොතක හරි එක තත්පරෙන් මාව මරයි කියලා මට හිතෙනවා.”

එම සිසුවාගේ ප්‍රකාශය අනුව විශේෂඥ මනෝ වෛද්‍යවරයාට එකවරම හැඟී ගියේ ඒ සිසුවා තුළ වැරදි විශ්වාසයක් හෙවත් මෝහ සිතුවිල්ලක් (Delusion) ජනිත වී ඇති බවය. සයිකෝසීය මානසික රෝගවලදී විශේෂයෙන් හීන්නෝන්මාද රෝගයේදී (Schizophrenia) යමෙකුගේ සිත තුළ මෙවන් අස්වාභාවික මෝහ සිතුවිලි ජනිත වීම සාමාන්‍යය තත්ත්වයකි. එබැවින් විශේෂඥ මනෝ වෛද්‍යවරයා ඒ සිසුවාගෙන් එම රෝග ලක්ෂණයන්හි යටගියාව විමසන්නට විය.

“මේ සැරේ ඒ ලෙවල් එක්සෑම් එකට පාඩම් කළේ අපි යාළුවෝ තුන්දෙනෙක් එකතු වෙලා ඒ යාළුවෙකුගේ ගෙදර. සමහර වෙලාවට අපි රෑ දෙක තුන වෙනකනුත් පාඩම් කළා. එක සැරයක් අපේ එක යාළුවෙක් කිව්වා අපේ එක්සෑම් රිසාල්ට්ස් කොහොම වෙයිද කියලා දැන්ම දැනගන්න ක්‍රමයක් නැද්ද කියලා. එතකොට තමයි අනික් යාළුවා යෝජනා කළේ හැබැයි කාසි භූතයා ගෙන්න ගත්තොත් නම් අපිට ඒ දේ කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි අපි මුල්වරට කාසි භූතයාව ගෙන්නුවේ. ඒ මීට මාස හත අටකට කලින්.”

කාසි භූතයා (Spirit of the coin) යනු දැන් කලෙක සිට ලොව බොහෝ රටවල තරුණ තරුණියන් අතර ජනප්‍රිය ‘භූත ක්‍රීඩාව’කි. මෙහි සාමාන්‍ය පිලිවෙළ වනුයේ සුදු පැහැති කඩදාසියක හෝ කාඩ්බෝඩ් එකක ඉංග්‍රීසි භාෂාවේ අකුරු විසිහය, බිංදුවේ සිට නවය දක්වා ඉලක්කම්, Yes, No යන වදන් දෙක සහ Good bye යන වදන් ලියා එය මේසයක් හෝ ටීපෝවක් මත තබා ගැනීමය. ඉන්පසු ඒ අද්දරින් ඉටිපහනක් දල්වා එම ක්‍රීඩාවට සම්බන්ධ වන පුද්ගලයින් දෙදෙනා හෝ තිදෙනා එම මේසය හෝ ටීපෝව වටා වාඩිගත යුතුය. ඉන්පසු මුදල් කාසියක් ගෙන ඒ කඩදාසිය මත තබා කිසියම් භූතයෙකුට ආරාධනා කරමින් වැකි කිහිපයක්, මන්තරයක් වැනි යමක් ජප කිරීම මෙහි සාමාන්‍ය පිළිවෙලය. මෙසේ මන්ත්‍රය ජප කරමින් සිටින අතරේ එම දෙදෙනාගේ හෝ තිදෙනාගේ ස්පර්ශයට නතු වී තිබෙන කාසිය සියුම් ලෙසින්

චලනය වීමට පටන් ගනියි. ඉන් හැඟවෙනුයේ එම කාසියට කිසියම් භූත බලයක් ආරූඪ වී ඇති බවක් යැයි ඒ පිළිබඳව විශ්වාස කරන්නෝ සිතති. එවිට එසේ කාසිය මතට ඇඟිල්ලක් තබාගෙන හිඳින්නවුන්ගෙන් කෙනෙක් ඒ භූතයාට ආමන්ත්‍රණය කළ යුතුය. ඔබේ නම කුමක්ද එම තිදෙනාගේ අතැඟිලි ස්පර්ශයෙන් සෙමෙන් චලනය වන කාසියෙන් විමසූ විට එය තම ස්පර්ශය සහිතව එම කඩදාසියේ ඇති අකුරු කිහිපයක් වෙත මෙලෙස ගමන් කරනු එම ක්‍රීඩාවේ යෙදෙන්නවුන්ට දැකිය හැකිය.

M – A – L – A

ඔබේ ගම කොහේද? යනුවෙන් ඉන් අනතුරුව නැඟෙන ප්‍රශ්නයකදී එම කාසිය ඊට අත තබා ගත්තවුන්ගේ ස්පර්ශය සහිතවම මේ අයුරින් අකුරින් අකුර වෙත ළංවනු දැකිය හැකිය.

G-A-M-P-A-H-A

ඉන්පසුව එම ක්‍රීඩාවේ යෙදෙන්නෙකු ඔබ මියගියේ කුමන අවුරුද්දේ ද? යනුවෙන් විමසුවහොත් එම කාසිය පෙර පරිදිම 1-9-9-7 ආදී ඉලක්කම් කිහිපයක් වෙත හා මියයන විට ඔබේ වයස කීයද යනුවෙන් විමසන විට 2-4 ආදී ඉලක්කම් කිහිපයක් වෙතද ළංවීමට පුළුවන.

 

මෙම භූත ක්‍රීඩාවේ යෙදෙන්නවුන් තමන් සම්බන්ධ ප්‍රශ්න කාසි භූතයා වෙත යොමු කරනුවේ ඉන් පසුවය. ඒ සඳහාද ඔහු ඉහත සඳහන් අයුරින් හෝ YES – NO වශයෙන් කෙටි පිළිතුරු ලබාදෙනු ඇත.

පාරමනෝවිද්‍යාව (PARA PSYCHOLOGY) නම් අසංවිධිත විෂය පථය පිළිබඳව උනන්දුවක් පළ කරන්නවුන් ඇදහිය නොහැකි විශ්මිතජනක අද්භූත අත්දැකීමක් සේ සලකන මෙය ඇත්තෙන්ම සිල්ලර මනෝ විද්‍යාත්මක න්‍යායක් මත පදනම් වන තුට්ටු දෙකේ සිල්ලර වැඩකි.

අප සියලු දෙනාගේම යටි සිත් තුළ උඩු සිත් නොවැටහෙන මානසික සිතුවම් තිබේ. ව්‍යංගය (SUGGESTION) කියා හැඳින්වෙනුයේද මෙයමය. අපගේ උඩු සිතේ ක්‍රියාකාරීත්වය මතුපිටට පෙනෙන සාගර රැළි නම් සිත යට පවතින මෙම මානසික සිතුවම් මතුපිටට නොපෙනෙන සාගර දියවැල් මෙනි. තමන් නොදැනුවත්වම තමන් විසින් සිදුකරනු ලබන මෙම ක්‍රියා හැඳින්වෙනුයේ මනෝ චාලක බලපෑම (IDEOMOTOR EFFECT) යනුවෙනි. කනප්පු කරකැවීම, කුළු කරකැවීම ආදිය තුළ ගැබ්ව ඇත්තේද මෙම මනෝ විද්‍යාත්මක සිද්ධාන්තයකි. මෙය මුල්වරට ලොවට හඳුන්වා දෙන ලද්දේ 1852 වසරේ බ්‍රිතාන්‍යයේ විසූ කායික වෛද්‍යවරයෙකු, සත්වවේදීයෙකු සහ මනෝ විද්‍යාඥයෙකු වන විලියම් බෙන්ජමින් කාපෙන්ටර් නැමැත්තෙකි. එමෙන්ම මෙම භූත ක්‍රීඩාවේදී කාසිය මතට තිදෙනෙකු ඇඟිලි තබාගෙන හිඳින අතරේ එය එකම දිශාවකට ගමන් කරනුයේ කෙසේදැයි සමහරක් ප්‍රශ්න කරති. එසේ වනුයේ එසේ ඇඟිලි තබා ගන්නවුන් අතරින් ප්‍රබලතම මානසික ඇනවුම සහිත තැනැත්තාගේ යටි සිතේ බලපෑමට සෙසු දෙදෙනාද පහසුවෙන් අවනත වීම නිසාය.

“ඊට පස්සේ අපි ඔය කාසි භූත සෙල්ලම දිගටම කරගෙන ගියා.” එම සිසුවා කීය. ඒත් ඒ භූතයා මාත් එක්ක මුල ඉඳලම හිතවත් නැති බව මට තේරුණා. එතකොට තමයි මම එක වෙලාවක ඒ භූතයාගෙන් ඇහුවේ උඹට පිස්සුද කියලා. මම හිතුවේ ඒකට භූතයා YES හරි NO හරි උත්තරයක් දෙයි කියලා. ඒත් භූතයා දීපු උත්තරෙන් මගේ සර්වාංගෙම සීතල වෙලා ගියා. ඒ වෙලාවේ භූතයා කිව්වේ I Kill you (මම උඹව මරනවා) කියලයි. ඊටපස්සේ තමයි ඔය භූතයා මගේ පස්සෙන් එන්න පටන් ගත්තේ. එම සිසුවා කීවේ බියෙන් හැකිලෙමිනි. මෙම කාසි භූත සෙල්ලමට අමතරව තවත් තමන්ගේම යම් සිතට කිඳා බැසිය හැකි භූත සෙල්ලම් රැසක් ලොව තිබේ. වීජා පුවරුව (Ouija board) තඹලේරු කියවීම (Tumbler talking) අප රටේද තරමක් ප්‍රචලිත එවැනි භූත සෙල්ලම් අතරින් දෙකකි. එහෙත් මෙම බහුභූත ක්‍රියාවලින් යටි සිත තුළම පිවිසුවා ගන්නා මානසික ඇනවුම යමෙකුගේ මානසික හා කායික සෞඛ්‍ය බිඳ දැමීමට පමණක් නොව ඒ තැනැත්තාට අකල් මරණයක් උදා කිරීමට පවා සමත්ය.

ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි අරුන්ද ඉන්ද්‍රචාප ලියනආරච්චි යනු ඉගෙනුමට අති දක්ෂ, පර්යේෂණාත්මක මනසක් තිබූ දහසය වියැති අතිශය ප්‍රසන්න යෞවනයෙකි. භූත විද්‍යාව තුළින් කුමක් හෝ විස්මිත සොයාගැනීමක් කිරීමට සිහින මවමින් සිටි ඔහු පාසල් පුස්තකාලයෙන් ලබාගත් පොතක සඳහන් කරුණු අනුව මෙම කාසි භූත හමුවට යොමු විය. එහෙත් යම් කාල සීමාවක් මෙම ක්‍රියාදාමය සිදුවන අතරේ තම නිවස අවට අද්භූත පුද්ගලයෙකු සැරිසරන බවක් හැඟෙතැයි අරුන්ද සිය මවට කියා තිබුණ අතර සිය නැඟෙණියට කියා තිබුණේ තමන් ගිය ආත්මයේද වයස අවුරුදු 17 වීමට පෙර මියයන අතර මේ ආත්මයේදීද එය එලෙසම සිදුවන බවය. ඔහු එලෙස පවසා ඇත්තේ එම අනවශ්‍ය මානසික බලපෑම නිසා සිත තුළට පිවිසුවා ගත් තීව්‍ර මානසික ඇනවුමක් නිසා බව පෙනේ.

කෙසේ හෝ ඊට ආසන්නම දිනයක සිය කාමරයේ යහන අද්දර වැටී තිබූ අරුන්දගේ මළ සිරුර මාපියනට හමුව තිබේ. එම මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතු විය හැකි ආසන්න හෝ දෘශ්‍යමාන හේතුවක් සොයාගත නොහැකි විය. එබැවින් සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙතද යොමුකරන ලදි. එහෙත් ඉනුදු අරුන්දගේ මරණයට නිශ්චිත හේතුවක් සොයාගත නොහැකි විණි.

එකවරම සිතට නැගෙන දරාගත නොහැකි චිත්තාවේගයකදී හෘද ස්පන්දන රිද්මය එකවරම බිඳ වැටීමෙන් ක්ෂණික මරණයක් ඇතිවිය හැක. එහෙත් එලෙස සිදුවන මරණයකදී ඒ බව අනාවරණය කර ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයකදී හෝ සිරුරේ කොටස් රසායනික පරීක්ෂණවලට පක් කිරීමෙන් නොපුළුවන. යටි සිතට අනිසි බලපෑම් කරන මෙම කාසි භූත ක්‍රීඩාව කොතරම් බිහිසුණු දැයි මේ අනුව ඔබටද වැටහෙනු ඇත.

[සහන් සංකල්ප සිල්වා]

මාතෘකා