දරුවන්ට හැදෙන බඩේ අමාරු

 ඡායාරූපය:

දරුවන්ට හැදෙන බඩේ අමාරු

ළමා රෝග විශේෂඥ වෛද්‍ය,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ළමා රෝග අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,

වෛද්‍ය මනෝරි ගමගේ

වැඩිහිටියෙකුට නම් උදරාබාධයක් වැළදුණුහොත් ඒ සඳහා ඉක්මන් ප්‍රතිකාර සිදු කිරීමෙන් උදරාබාධයේ වේදනාව සමනය කරගන්න පුළුවන්. ඒ වුවත් කුඩා දරුවන්ට සහ ළදරුවන්ට සුළු උදරාබාධයක් වුවත් ඔවුන්ගේ නොදැනුවත්කම නිසා දැනෙන වේදනාව වැඩිවන්නට පුළුවන්. ඒ වගේම ඔවුන් වේදනාවෙන් හැඩීම නැවැත්වීමත් එතරම් පහසු වෙන්නෙත් නැහැ. විශේෂයෙන් කුඩා දරුවන්ගේ උදරාබාධ තත්ත්වයන් පිළිබඳව මව්පියන් විමසිලිමත්ව සිටීම වඩාත් වැදගත්. කුඩා කළ පටන්ම තම දරුවාට යහපත් සෞඛ්‍ය පුරුදු ඉගැන්වීම මව්පියන්ගේ වගකීමක් විය යුතු වනවා. දරුවන්ට උදරාබාධ තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව දැනුවත්වීම වැදගත් වන්නේ ඒ් නිසයි.

 දරුවන්ට ඇති වන උදරාබාධ මොනවාද?

දරුවන්ට ඇති වන උදරාබාධ කොටස් කිහිපයකින් දක්වන්නට පුළුවන්. උදරයේ ඇති වන රීදීම (abdominal pain) , වමනය සහ පාචනය (Diarrhoea and vomiting), උදරය පුරවා දැමීම, (Abdominal distension) යනුවෙන් ඒවා හඳුන්වන්න පුළුවන්.

 දරුවන්ට උදරාබාධ ඇති වීමට හේතු මොනවා ද?

දරුවන්ට උදරාබාධ ඇති වීමට විවිධ හේතු සාධක බලපානවා. එක් එක් වයස් කාණ්ඩය අනුව හේතු වෙනස් වෙනවා. කුඩාම ළදරුවන්ට උදරාබාධ ඇති වීමට බලපාන හේතු ලෙස උදරයේ ඇති වන අසාදන තත්ත්වයන්, මළබද්ධය, ආහාරවල ඇතිවන අසාත්මිකතාවන් ( Food Allergy) , මුත්‍රා ආසාදන පෙන්වා දෙන්න පුළුවන්. දරුවන්ට උදරාබාධ ඇති වීමට බලපාන හේතු වන්නේ උදරයේ ඇති වන ආසාදන, මළබද්ධය, අධික අම්ලතාවය, මුත්‍රා අසාදන, පණු රෝග ආදියයි. ඒ වාගේම වෛරස් හා බැක්ටීරියා නිසා ඇති වන පාචන තත්ත්ව, උණ්ඩුකපුච්ජ ප්‍රදාහය දරුවන්ට උදරාබාධ ඇති වීමට බලපා හැකියි.

 දරුවාට උදරාබාධ තත්ත්වයක් තිබේදැයි හඳුනා ගන්නේ කෙසේද?

දරුවෙකුට උදරාබාධයන් ඇතිවී ඇති බවට හඳුනා ගැනීම දරුවාගේ වයස අනුව වෙනස් වේ. ඇතැම් දරුවන් හා කතා කිරීමෙන් පසුව තමන්ට උදරාබාධ තත්ත්වයක් ඇති බව ප්‍රකාශ කළ ද ඇතැම් දරුවන් පැහැදිලි ‍හේතුවක් නොමැතිව, අධික ලෙස හැඩීම, මූලික ලෙස දක්වන්නට පුළුවන්. ඊට අමතරව බඩ පුරවා දැමීම, කෑම ප්‍රතික්ෂ්‍රේප කිරීම, වමනයට, පාචන තත්වය, ආදී රෝග ලක්ෂණ පෙන්වා දෙන්න පුළුවන්.

වයසින් වැඩි දරුවකුට නම්, බඩ රිදෙන බව ප්‍රකාශ කළ හැකියි. ඔවුන් අතර බඩ පුරවා දැමීම, පාචනය, වමනය, බඩේ දැවිල්ල ආදී රෝග ලක්ෂණ දකින්නට පුළුවන්.

 තම දරුවාට උදරාබාධ තත්ත්වයක් ඇති වූ අවස්ථාවකදී මව්පියන් ක්‍රියා කළ යුත්තේ කෙසේද?

ළදරුවාගේ හෝ දරුවාගේ උදරාබාධයට හේතුව අනුව ක්‍රියා කළ යුතු ය. ඒ නිසා හේතුව හඳුනා ගත යුතුයි. දරුවා පෙන්වන වෙනත් රෝග ලක්ෂණ කෙරෙහි ද අවදානය යොමු කළ යුතුයි.

ඒ අතර උණ පවතීද?, මුත්‍රා පිටකරන වාර ගණන වැඩිද? මුත්‍රා පිට කරන විට හඩනවාද? පිටතින් ගෙනන ලද, නරක් වී ඇතැයි සැක ඇති ආහාරයක් දරුවාට ලබා දුන්නේද? පවුලේ කෙනෙකු හෝ දරුවා සමඟ සිටි වෙනත් අයෙකුට බඩ රීදීම හා පාචන තත්ත්වයන් තිබුණේද? ආදි ලෙස හොඳින් සොයා බැලිය යුතුයි.

ඊට අමතරව, වමනය හා පාචනය තිබේ නම් දරුවා විජලනය විය හැකි නිසා එය වළක්වා ගැනීමට ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා ජීවනී වැනි දියර ලබාදීම වැදගත් වනවා.

දරුවා පාසැල් හෝ පෙර පාසැල් යන වයසේ නම් දරුවා ඒ සඳහා යොමු නොකර නිවසේ තබා ගැනීම වැදගත්. විවිධ අත් බෙහෙත් වර්ග ලබා නොදීමට සැළකිලිමත් විය යුතුයි. Gripe water සහ අසමෝදගම් බටහිර වෛද්‍ය විද්‍යානුකූලව අනුමත කරන්නේ නැහැ.

 දරුවාට ඇති වන උදරාබාධ හේතුවෙන් ඇති වන අහිතකර බලපෑම් මොනවාද?

උදරාබාධය ඇති වුණේ පාචන තත්ත්වයක් නිසා නම් විජලනය තත්ත්වය ඇති වීමට පුළුවන. උදරාබාධය ඇති වී තිබෙන්නේ ආසාදන තත්ත්වයක් නිසා නම් එමගින් ඉතා අහිතකර බලපෑම් ඇති විය හැක. උදාහරණයක් වශයෙන් ,මුත්‍රා අසාදන තත්ත්වයක් නිසා වකුගඩුවලට බලපෑම් සිදු විය හැකියි .

 උදරාබාධයකින් පෙළෙන දරුවකුගේ ආහාරවේල සකස් විය යුත්තේ කෙසේද?

එහිදී මූලික වශයෙන් විජලනය වළක්වා ගැනීම වැදගත්. ඒ නිසා දියරමය ද්‍රව්‍ය ලබාදීම වැදගත් වනවා. ඒ සඳහා ජීවනී, දොඩම් යුෂ, කැඳ ආදිය දරුවාට දිය හැකියි. එයට අමතරව දරුවාගේ රුචිය අනුව පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදිය යුතුයි. නමුත් තෙල් අධික, දිරවීමට අපහසු කෑම ලබාදීම නොකළ යුතුයි.

 දරුවා ඉපදුණු දිනයේ සිටම උදරාබාධ ඇති වීම අවම කර ගැනීම සඳහා මව්පියන් පිළිපැදිය යුතු උපදෙස් මොනවාද ?

යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතා වැදගත්. ඒ සඳහා දෑත් පිරිසිදු කිරීම, දරුවාගේ භාජන පිරිසිදුව තබා ගැනීම, නිසි පරිදි වැසිකිළි භාවිතය සහ උතුරවා නිවා ගත් ජලය පානය කිරීමට පුරුදු වීම වඩාත් වැදගත් වේ. සෑම විටම නිවසේ පිළියෙළ කළ ආහාරපාන දරුවන්ට ලබාෙදීම වැදගත් වනවා. එලෙසම රෝටා නමැති වෛරසය මඟින් බෝවන පාචන තත්ත්ව (Rota Virus) වළක්වා ගැනීමට එන්නතක් තිබෙනවා. එය ලබා ගැනීමට පුළුවන්. ඒ වාගේම මළබද්ධය ඇති නොවන ආකාරයට ආහාර පුරුදු ඇති කර ගත යුතුයි. මුත්‍රා අසාදන ඇති නොවන ආකාරයට යහපත් පුරුදු පවත්වා ගැනීම, නිසි කාලයට පණු බෙහෙත් ලබාදීමත් වැදගත්.

සාකච්ජා සටහන [මදාරා මුදලිගේ]

මාතෘකා