ඇත් පන්තියේ භාරකරු හෙළි කරන ඇත්තුන්ගේ රහස්

 ඡායාරූපය:

ඇත් පන්තියේ භාරකරු හෙළි කරන ඇත්තුන්ගේ රහස්


කිත්සිරිමෙවන් රජ දවස සිට පැවතෙන දළදා පෙරහැරෙහි අපූරුම කාර්යය පැවරී තිබෙන්නේ ඇත්තුන්ට ය. ඇතා මෙරට ජනී ජනයාගේ ජාතික සම්පතක්‌ සේම, සංස්‌කෘතික සම්පතක් බවටද පත්ව සිටී. ඊට සමීපතම හේතුව 'දළදා පෙරහැරට' ඇතුන්ගේ දායකත්වය ය.  
පෙරහැර අසිරිය උදෙසා ඇතාගෙන් වෙන මෙහෙය සුළුපටු නොවන්නා සේම ඇතුන්ගෙන් තොර පෙරහැර සහමුලින්ම අන්ධකාරය.   
‘දළදා පෙරහැරට රැස පෙළහර’ තුළින් මෙවර හමුවන්නේ ඇත් පන්තිය භාර වෛද්‍ය ප්‍රදීප් මියනපලාවය. දළදා පෙරහැරේ ඇතුන් සහ බැඳුණු අපූරු සේම රසවත් සිදුවීම් අප සමඟ ඔහු මෙලෙස බෙදාගත්තේය.  
සකල තේජසින් අනූන සුවිසල් ඇත් පන්තියක් දහස් ගණනක් ජනයා සිටින මාවතක ගෙන යාම හිතන තරම් පහසු කටයුත්තක් නොවේ. දළදා මාළිගාවේ අලි ඇත්තු භාරව ඉන්න එක කෙනෙක්ට ලැබෙන දුර්ලභ අවස්ථාවක්. ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
මම අයිති මියනපලාව වෙද පරම්පරාවට. සාමාන්‍යයෙන් අපේ පවුල අලිත් එක්ක බැඳුණු පවුලක්. අපේ පරම්පරාව දන්න කාලෙ ඉඳන් කළේ අලි වෙදකම. අපේ මුත්තා (එම්.ඩබ්. මියනපලාව) කියන විදියට මේ සම්බන්ධතාවය එන්නේ රජකාලෙ ඉඳලා. දැනට අවුරුදු 13කට කලින් තාත්තා තමයි මට ඇත් පන්තිය භාර දුන්නේ.   
මාළිගාවේ ඇත්තු බලාගන්නවා කියන එක, ඒ සත්තුන්ට ප්‍රතිකාර කරනවා කියන එක මොනවගේ අත්දැකීමක්ද?
මාළිගාවේ ඇත්තු ඉස්සර හිටියේ ඇත්ගොව්වන්ගේ ගෙවල්වල. ඒ කාලේ සත්තු කොටන් ඇද්දා. ඇත් ගොව්වන්ගේ ගෙවල්වල විවිධ වැඩ කළා. ඒත් දැන් ඉන්න නිළමේතුමා සියලුම ඇතුන් නුවරට ගෙනත් මාළිගාවට අයිති ඉඩමකට ගෙනත් පෙරහැරට පමණක් භාවිතා කරන්න පටන් ගත්තා. ඒ නිසා මම හැමදාම එයාලව බලන්න යනවා. කොටින්ම මිනිස්සුන්ට තියෙන හැම ලෙඩක්ම ඇත්තුන්ට හැදෙනවා. දරුවො බලාගන්නවා වගේ ඇත්තු බලාගන්න වෙලා තියෙන්නේ. මම හැම ඇත් අයිතිකරුවෙක්ටම සහ ඇත්ගොව්වෙක්ටම කෑම වට්ටෝරුවක් දීලා තියෙනවා.   
“ඇත් පන්තිය” කියන නම භාවිතා කරන්න මොකක්හරි විශේෂ හේතුවක් තියෙනවද?
එක ඇතෙක්ට වඩා ඉන්නව නම් එතැන ඇත් පන්තියක් ඉන්නවා කියලා කියනවා. ඇත් ගාල කියන එකම තමයි ඇත් පන්තිය කියන්නේ. මාළිගාවේ දැනට දළ ඇත්තු නවදෙනෙක් සහ අලි තුන්දෙනෙක් ඉන්නවා. 1978 තමයි මුලින්ම දළදා මාළිගාවට ඇතෙක් පූජා කරලා තියෙන්නේ. ඒක දන්තයා කියන ඇතා සහ කණ්ඩුල කියන අලියගෙන් තමයි මාළිගාවේ ඇත් පන්තිය ආරම්භ වෙලා තියෙන්නේ.  
ඇත්ගොව්වෙක් සහ ඇතෙක් අතර ඇති සම්බන්ධය පිය-පුතු සම්බන්ධය වැනි යැයි බොහෝදෙනා කියනවා. මෙය සත්‍යයක්ද?
ඔව්. සමහර ඇත්ගොව්වෝ පාරම්පරික අය. ඒ අය දරුවෙක් බලාගන්නවා වගේ තමන්ගේ ඇතා බලාගන්නේ. ඒක හරි පුදුම සම්බන්ධයක්. මොනතරම් තමන්ට කරදර වුණත් සතා ගැන වෛරයක් ඇත්ගොව්වෙක්ට ඇති වෙන්නේ නැහැ. මේ රැකියාව පැය විසි හතරම කරන්න ඕන. අපි ඇතා ගාල් කරලා ඇත් ගොව්වට සුඛෝපභෝගී කාමරයක් ලබා දුන්නා කියලා හිතමු. ඒත් ඇත්ගොව්වා නිදාගන්නේ ඇතා ළඟ පැදුරක් දාගෙන. දරුමල්ලන් බලන්න මාස තුන හතරකට සැරයක් යන ඇත්ගොව්වෝ අලි වෙනුවෙන් කැපවෙන්නේ හරි පුදුම විදියට.  
දළදා කරඬුව වැඩම කරවීමට තෝරා ගැනෙන හස්තිරාජයා හස්තීන් අතර උසස් ස්වභාවයන් දක්වන හස්තිරාජයෙක් වීම අනිවාර්යයි. මොනවද ඒ හස්තියට පැවතිය යුතු ගුණාංග?
ප්‍රධානම කාරණාව දෑල ඇත්තුන්ට වඩා විශාල පෙනුමක් තිබීමයි. විශේෂයෙන්ම ශරීර ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. ඒ හස්තියා අනෙත් හස්තීන්ට වඩා ප්‍රමාණයෙන් විශාල වීම, එමෙන්ම විසිතුරු දළ යුගලයක් (කුල්ලක් වැනි) පිහිටා තිබීම සහ ඇත් භාෂාවෙන්ම කියනව නම් ඉහ, කර හොඳින් පිහිටා තිබීම අනිවාර්යයි. ඉහ, කර පිහිටනවා කියලා කියන්නේ ඔලුව උස්සලා, පපුව ඉදිරියට දාලා සොල්දාදුවෙක්ගේ ගමන් විලාශයක් පැවතීම. ඒ වගේම ‘වත පුටුව බැඳීම’ට කොඳු නාරටිය හෙවත් පිට ප්‍රදේශය හොඳින් ඉඩ ඇතිව පිහිටා තිබිය යුතුයි.  
මොන තරම් උසස් ගුණ ශෝභාවන් තිබුණත් පෙරහැරට සම්බන්ධ වෙන හැම ඇතා ම දළදා කරඬුව වැඩම කරවන්නට සමත් වෙන්නේ නැහැ.මේ වෙද්දි මාළිගාවේ ඉන්න ඇත්තු අතරින් කරඬුව වඩම්මවන්න ඇතෙක් තෝරගෙන අවසන්ද?
මේ වතාවේ කරඬුව වැඩම විය හැකි ඇත්තු සිව්දෙනෙක් තෝරගෙන ඉන්නවා. ඒ දළදා මාළිගාවට අයත් ‘ඉන්දිරාජා’, ‘සිංහරාජා’, කතරගම ‘වාසනා’, නැදුන්ගමුවේ ‘රාජා’ කියන ඇත්තු සිව්දෙනා. ඒ ඇත්තු මාරුවෙන් මාරුවට කරඬුව ගෙනියනවා. දිනයක් ගානේ දියවඩන නිළමේතුමාට ඒ ඇත්තු සිව්දෙනාගේ ගති ලක්ෂණ, ශරීර සෞඛ්‍ය පිළිබඳ වාර්තාවක් මම ලබාදෙනවා. ඉන්පස්සේ නිළමේතුමා තමයි ඒ දවසට අදාළ ඇතාව තෝරගන්නේ. බොහෝවිට වැඩිපුරම ඉන්දිරාජා තමයි කරඬුව ගෙනියන්නේ.   
අතීතයට වඩා මේ වෙද්දි පෙරහැරට සහභාගි වන ඇත්තු ප්‍රමාණය අඩු බව බැලූ බැල්මට පේනවා. මේකට හේතුව කුමක්ද?
මට මතක විදියට 2005 දිත් ඇත්තු සියයකට වඩා පෙරහැරේ ගියා. ඒත් මේ අවුරුද්දේ ඇත්තු 75 දෙනෙක් පමණයි පෙරහැරේ යන්නේ. මේකට හේතුව හීලෑ ඇත් සංචිතයට වරින් වර එක්වෙන හීලෑ අලි ඇතුන් ප්‍රමාණය අඩු වීම. මේකෙන් පෙරහැරේ පෙළගැස්ම විශාල අර්බුදයකට ගිහින් තියෙනවා. ඉස්සර පෙරහැරකට ගත්තේ පරිණත අලි ඇතුන් පමණයි. ඒත් දැන් මදකිපිලා අවසන් වුණු තරුණ අලි ඇතුනුත් ගන්න සිදුවෙලා. එහෙම අය කුලප්පු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.   
ජනාකීර්ණ පෙරහැරක ඇතෙක් කුලප්පු වුණාම ඒ කලබලය මගහරවගන්නේ කොහොමද?
ඇත්තු හරියට පොඩි ළමයි වගේ. බලාගන්න ඕනත් පොඩි කෙනෙක් බලාගන්නවා වගේ. ඇත් පන්තියේම ඉන්න දඩබ්බරයා මෙල්ල කරන්නෙත් කපටිකමින් රවට්ටලා. කුලප්පු වුණු ඇතෙක් හීලෑ කරගන්න පුළුවන් ඒ විදියට. ඒක පහසුවෙන් කරන්න පුළුවන් ඇත්ගොව්වට. ඒත් සමහර ඇත්තු ඇත්ගොව්වට වඩා සමීප හාම්පුතාට. මම සමහර මේච්චල් කරන්න අපහසුම ඇත් හිමිකරුවන්ගෙන් ඉල්ලනවා, පුළුවන් නම් ඇවිත් පෙරහැර දවස් දහය නුවර ඉන්න කියලා. ගොඩක් අය තමන්ම වියදම් කරගෙන ඇවිත් දවස් දහයම ඉන්නවා. හදිසියෙ හරි ඇතෙක් කුලප්පු වෙන්න වගේ එනව නම් ඇත් ගොව්වා මට දන්වනවා. එහෙම වෙලාවට මම අයිතිකාරයට කියනවා ඇතා ළඟට යන්න කියලා. පුදුමේ කියන්නේ, හාම්පුතා ළඟට ආවා විතරයි සංසුන් වෙනවා.   
මේ වගේ අවස්ථාවල සිදුවුණු රසවත් සිදුවීමක් ගැන මතක් වෙන්නෙ නැද්ද?
රසවත් සිදුවීම් බොහොමයක් තියෙනවා. සමහර ඇත්තු හාම්පුතාට බොහොම සමීපයි. හාම්පුතා වීදියේ ඉන්නවා දැක්කම හෝ ඉව වැටුණම පෙරහැර අමතක කරලා එයා ළඟට දුවගෙන යන ඇත්තුත් ඉන්නවා. එහෙම ඇත් අයිතිකාරයන්ට අපි පෙරහැරට එන්නවත් දෙන්නේ නැහැ. ඉව වැටුණොත් ඇති. මේ සත්තු පොඩි දරුවො වගේ කියලා මම කිව්වේ ඒකයි.  
රාජ ඇතා කියන්නේ දළදා මාළිගාවේ ඇත් පන්තියේ ප්‍රධාන සංකේතය. ඇයි එක ඇතෙක්ට ඒ වගේ විශේෂත්වයක් ලැබුණේ?
රාජ ඇතා අඛණ්ඩව වසර පනහක් කරඬුව වඩම්මලා තියෙනවා. රාජ ඇතාගේ විශේෂත්වය වෙන්නේ කරඬුව වෙනත් ඇතෙක්ට හුවමාරු නොකරම දවස් දහයම එකදිගට වැඩම වීම. එය පහසු කටයුත්තක් නෙවෙයි.   
ඇත්තුන්ට ලාලිත්‍ය මුසුවුණු ගමන් විලාශයක් තියෙනවා අපි දැක තිබෙනවා. මෙය සහජයෙන් උරුම වූවක්ද?
යද්දි බෙර හඬේ තාලෙට ඇත්තු නටන්නේ සහජ පුරුද්දකින් වගේ. සමහර ඇත්තු ඇත් ගාලේ හිටියත් බෙර හඬට නටනවා.
පෙරහැරට යන්න ඇතෙක් පුරුදු පුහුණු කරන එකට කොයිතරම් කාලයක් ගතවෙනවද?
ඇතෙක් මාළිගාවට ගෙනත් අවුරුදු ගාණක් ඒ ඇතාව පෙරහැරේ යන්න හුරු කරනවා. ඒකට චාරිත්‍ර විධික්‍රමයක් තියෙනවා. හැම හස්තියෙක්ටම චරිත සහතිකයක් තියෙනවා. අලියගෙ හැසිරීම, කලින් පෙරහැරවල්වල ගිහින් තියන විදිය, සාමාන්‍ය මිනිස්සු එක්ක හැසිරෙන ආකාරය වැනි ලක්ෂණ මේකට බලපානවා. ඒ වගේම ඇඳුම් අන්දලා, රන්සිවිගේ සහිත කරඬුව පිට තියාගෙන අරන් යන්නත් හුරු කරනවා.   
පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් තෝරා ගැනීමත් බැරෑරුම් කටයුත්තක් නේද? ඒක සිදුවෙන්නේ කොහොමද?
දළදා පෙරහැරට මාස තුනක් පමණ තිබියදී රටේ සිටින හීලෑ අලි ඇතුන් ගැන, ඒ අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලැයිස්තුවක් සකස් කෙරෙනවා. මාලිගාවේ දියවඩන නිලමෙතුමා ඊට පසුවයි මෙවර පෙරහැරට ගමන් කරන අලි ඇතුන් තෝරගන්නේ. ඒ ඒ අලි ඇතුන් පෙරහැර වෙනුවෙන් තෝරා ගන්න බව චාරිත්‍ර ප්‍රකාරව ඒ ඒ අයිතිකරුවන්ට දැනුම් දෙනවා. පෙරහැරට අලි ඇතුන් ගෙනියන්නට කලින් ඒ අලි ඇතුන්ගේ කරේ පුංචි මිණි ජෝඩුවක් බැඳීම සිදු කරනවා. අයිතිකරුවන් මේ කටයුත්ත සිදු කළ මොහොතේ පටන් ඒ අලි ඇතුන්ගේ චර්යා රටාවන් පුදුමාකාර ආකාරයට වෙනස් වෙනවා. ඒක හරි අපූරු දෙයක්.  
විලංගු යොදා ඇතෙක් පෙරහැරේ ගෙනියන එක ඒ සතාට කරන හිරිහැරයක් කියලා බොහෝ අය චෝදනා කරනවා. වෛද්‍යවරයෙක් විදියට මේ ගැන ඔබේ අදහස කුමක්ද?
අපට විලංගු නොදා අලි ඇත්තු අරන් යන්න පුළුවන්. ඒත් දැන් ඉන්න සංචිතයේ විලංගු නැතිව පෙරහැරේ ගෙන යා හැකි ඇත්තු 20ක්වත් නැහැ. හීලෑ, පරිණත ඇතුන් පමණයි අපට එහෙම ගෙන යන්න පුළුවන්. ඇත් සංචිතය අඩු නිසා දඩබ්බර ඇත්තුත් පෙරහැරේ ගෙනියනවා. ඒත් මම වගකීමෙන් කියනවා ඒ විලංගු, ශරීරයට අපහසු ඒවා නෙවෙයි. ඒ වගේම පොඩි කාලෙ ඉඳන්ම ඒ අලි ඇත්තු විලංගුවලට හුරුයි. ඇත්ගොව්වෝ බොහෝවිට විලංගු ගලවලා ඇතාගේ ඇඳුමෙන් වහගෙන අරන් යනවා, ඇත්තුන්ට තියෙන ආදරේට.  
මේ සද්දන්තයන් සමග ගෙවෙන ජීවිතේ ගැන ඔබ තෘප්තිමත්ද?
ඔව්. බොහොම තෘප්තිමත්. ඒ වගේම හැම අවුරුද්දකම පෙරහැර එනකම් බලාගෙන ඉන්නේ. ඒක හරියට දරුවො ටිකක් පුහුණු කරලා විවිධ ප්‍රසංගයකට දාන ගුරුවරයෙක්ට දැනෙන හැඟීම වගේ දෙයක් කියලයි මට හිතෙන්නේ. 

 

ඡායා [සුදම් ගුණසිංහ සහ දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකය]