ගුවනින් වැටෙන්නම ගුවන් සේවයට ‘බෝම්බ’ ගැසූ හැටි

 ඡායාරූපය:

ගුවනින් වැටෙන්නම ගුවන් සේවයට ‘බෝම්බ’ ගැසූ හැටි

එක යානයකට සේවකයෝ 300ක්

ශ්‍රී ලංකන් සම්පත් මෙන් තුන්ගුණයක් ණයයි

ගුවන් සමාගමට අරක්ගත් මාෆියාවක්

කාල්ටන් රග්බිවලටත් මිලියන 75ක්

 

ඥාති සංග්‍රහයේ තරම මොනවට පසක් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජපක්ෂ පාලන සමයෙහි කාබාසිනියාකොට දැමීය.විවිධ ආණ්ඩු යටතේ මෙරට ගුවන් සේවයට මුෂ්ටි ප්‍රහාර එල්ල වුවද 1911 වසර තරම් ඈත අතීතයකට දිව යන මෙරට ගුවන් සේවා ඉතිහාසය වල පල්ලට දැමීමේ 'ඉරණම් සහගත' අපරාධය සිදුවන්නේ රාජපක්ෂ සමයේදී බව 'අමුතු කතාවක්'නොවේ. පසුගිය රජය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳගේ සොයුරා වන නිශාන්ත වික්‍රමසිංහයි. 2014 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබා තිබූ පාඩුව රුපියල් කෝටි 3240ක්ය. ශ්‍රී ලංකන් ගුවන් ෙස්වය මුළුමනින්ම සුදු අලියකු බවට පත්වීමට ප්‍රධාන හේතුවක් වූයේ අයථා මුදල් පරිපාලනයයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය වයස අවුරුදු 70 ඉක්ම වූ මහල්ලෙකුගේ මෙන් නොව කෙළිලොල් තරුණයකුට සමාන වූ බව සේවක පිරිස් සඳහන් කරති. සිය කායික හා මානසික සුවය සඳහා ගුවන් සේවා මුදල් වියදම් කර ඇත්තේ කිසිදු ලෝභකමක් නොමැතිව බව සඳහන් වේ.

ආඩම්බරකාර ඉතිහාසය

ශ්‍රී ලංකන් ගුවන් සේවයට දිගු ඉතිහාසයක් පවතී. ශ්‍රී ලංකාව තුළ දී පළමු සාර්ථක ගුවන් ගමන සිදු කර ඇත්තේ ප්‍රංශ ජාතිකයෙකු වූ මාර්ක් පෝප් විසින්ය. ඒ 1912 වර්ෂයේ කොළඹ තුරඟ තරඟ පිටියේ දීය.කෙසේ නමුත්, ලංකාව ජාත්‍යන්තර ගුවන් ගමන්වලට සම්බන්ධ වූ වසර ලෙස ඉතිහාසයට එක් වන්නේ 1931 වර්ෂයේ මැයි මස 7 වන දිනයි. ගුවන් නැවියෙකු වූ නෙවිල් වින්සන්ට් බොම්බායේ සිට කොළඹ රාජකීය ගොල්ෆ් පිටියට “ ඩි හැව්ලන්ඩ් පස් මොත්” යානාව මගින් ගොඩ බැස්සීම සිදු විණි.

කාලයේ තාලයට නතුව මෙරට ගුවන් සේවය වේගයෙන් ව්‍යාප්ත වූ අතර කොදෙවුවෙන් ඔබ්බට ලෝකයට රට විවර වීමේ ප්‍රධානතම සාධකයක් ලෙස එය විශේෂිත විය. 1974 වසරේදී ලාංකේය ගුවන් ක්ෂේත්‍රයේ එදා මෙදා තුරාවට සිදු වූ විශාලම ඛේදවාචකය ලෙස ගුවන් යානයක් සප්ත කන්‍යා කඳු වැටියේ ගැටීම නිසා සම්පුර්ණයෙන්ම විනාශ වීම හඳුනා ගැනීමට පුළුවන් වුවත් ඉකුත් සමයේ ගුවන් සේවයට සිදු වූ අලකලංචියට ඒ කිසිවක් අලගු තබන්නටවත් නොහැකිය. කල්බදු ක්‍රමය යටතේ ලබාගෙන ඇති ගුවන් යානා 21ක් මෙරට ශ්‍රී ලංකන් ගුවන් සේවය නඩත්තු කරයි. ඒ සියල්ල බදු පදනමින් තිබෙන ගුවන්යානා ය. ඒවාට ශ්‍රී ලංකා ආණ්ඩුව, ඇමරිකානු ඩොලර් 73,58,693 ක් ගෙවයි. ඩොලරයේ අගය සමඟ ඒ මිල වෙනස් වෙයි.

එක් ගුවන් යානයක් වෙනුවෙන් 300ක සේවක පිරිසක් වෙන් කර ඇත. සම්පත් සහ මුදල් අවභාවිතය සම්බන්ධව කප් ගැසූ යුගය වන්නේ ඉකුත් රාජපක්ෂ සමය ය. ගුවන් සේවය සුණු විසුණු කිරීමේ සක්‍රීය ක්‍රියාවලිය සිදු වූයේ මහින්ද යුගයේදී ය. 'අහස අපට'කියාගෙන කඩා පැන්න 'මිහින් ලංකා' ගහෙන් වැටුණු 'ශ්‍රී ලංකන් ගුවන් සේවයට' ගොනා ඇනීම විය. දින සියයේ වැඩසටහන තුළ නිකුත් කරන ලද වැලිඅමුණ වාර්තාවට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ව්‍යුහය තුළ පවතින ගැටළු කිහිපයක් පෙන්වා දී තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ එම සිව් පුද්ගල කමිටු වාර්තාව, කමිටු සභාපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ විසින් අගමැතිවරයා වෙත බාර දෙනු ලැබීමෙන් පසු එම වාර්තාවේ අන්තර්ගත කරුණු පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් නිකුත් කළේ මීට වසර දෙකකට පෙරය. අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිකුත්කර ඇති සංක්ෂිප්ත වාර්තාවේ සඳහන් වන ආකාරයට සිදුකර ඇති දුෂණ සහ අක්‍රමිකතා වෙනුවෙන් හිටපු ආයතන ප්‍රධානියා අපරාධ පරීක්ෂණයකට ලක් කොට අධිකරණය හමුවේ දඬුවම් ලබාදිය යුතු බව වැලිඅමුණ වාර්තාව මගින් යෝජනා කර තිබිණි.සිදුකර ඇති දුෂණ සහ අක්‍රමිකතා වෙනුවෙන් හිටපු ආයතන ප්‍රධානියා අපරාධ පරීක්ෂණයකට ලක් කොට අධිකරණය හමුවේ දඬුවම් ලබාදිය යුතු බව වැලිඅමුණ වාර්තාව පවසයි.“ශ්‍රී ලංකන් එයාර්ලයින් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්” නමින් නව තනතුරක් නිර්මාණය කර නිශාන්ත වික්‍රමසිංහ ගේ හිතවත් ගුවන් සේවිකාවන්ට ඒ තනතුර ලබා දී තිබූ බව වැලිඅමුණ වාර්තාවේ සඳහන් ය. ප්‍රධාන විධායක නිලධාරී චන්ද්‍රසේන නැමැත්තා අධ්‍යාපන සුදුසුකම් කිසිවක් සපුරා නැතත්, රුපියල් මිලියන එක හමාරක මුදලක් වැටුප් ලෙස ශ්‍රී ලංකන් සමාගමෙන් ලබාගෙන ඇති අතර මිහින් ලංකා සහ මොබිටෙල් ආයතනවල ද ප්‍රධානියා ලෙස වැටුප් ලබා ඇත. හිටපු ප්‍රබලයකුෙග් පුෙතකුෙග් කටයුතු සඳහා ශ්‍රී ලංකන් ගුවන්සේවිකාවක් ගුවන් සමාගමේ වැටුප් මත මුදා හැර තිබීම එවක ආන්දෝලනාත්මක පුවතක් විණි. ඈ වෙනුවෙන් නියමිත වැටුපට අමතරව රුපියල් මිලියන 4.2 කට වැඩි මුදලක් ගෙවා තිබිණි.

නාඩගම් සහ මාෆියා

ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, නිලධාරීන්, දේශපාලනඥයන් හා විශේෂිත වූ සේවක, සේවිකාවන් නිතර විදේශ සංචාරවල යෙදී ඇත. වරක් දේශපාලනඥයෙක් ඇතුළු කීප දෙනෙක් එතෙර ගුවන් කරණම් සංදර්ශනයක් නැරඹීමට යාම සඳහා ලක්ෂ 20කට අධික මුදලක් වැය කර තිබිණි. මේ විගඩම් සහ කොල්ලකාරී ක්‍රියාවලිය ආයතනය හාන්සි කිරීමට සමත් විය.

රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ පැවතියේ 'මාෆියාව'කි. ආණ්ඩුව වෙනස් වුවද මාෆියාවේ හොල්මන් තවමත් සහමුලින්ම, පහව ගොස් නැත. ශ්‍රී ලංකන් ගුවන් සේවය 2009 /2010 වසර තුළ රැගෙන ගිය ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 206ක් වන අතර, 2008 / 2009 වර්ෂවල දළ අලාභය රුපියල් මිලියන 3.308 කි. 2016 ජනවාරි මස 31 වනදා වනවිට ශ්‍රී ලංකන් සතු සම්පත් මුදල් හා බැංකු ගිණුම් ශේෂ වටිනාකම ඩොලර් මිලියන 368.58ක් වූ අතර, ශ්‍රී ලංකන් සිදු කළ යුතු මුළු ගෙවීම්වල වටිනාකම ඩොලර් මිලියන 937.47 ක් ය. තරු විසිවෙන ප්‍රථිඵලය වන්නේ, ශ්‍රී ලංකන් සම්පත් මෙන් තුන් ගුණයක ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබීමය. නටපු නාඩගමේ තරම ඒතරම්ම බිහිසුණුය. 2008 වසරේ සිට ශ්‍රී ලංකන් සමාගම දේශීය හා විදේශීය ණය ලබාගෙන තිබේ.ඒවා උහුලාගත නොහැකි තරම් වන ණය ය.

මිහින් ලංකා කළ විනාශය

මිහින් ලංකා ආයතනය 2007 වසරේ ආරම්භ කරන ලද අතර, එය සහනදායී ගුවන් සේවයක් ලෙස පවත්වාගෙන යනු ලැබීය. මෙම ආයතනය දිගින් දිගටම පාඩු ලබනුයේ මහ භාණ්ඩාගාරයෙන් වරින් වර දෙනු ලැබූ විවිධ සහන මධ්‍යයේ බවද විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ. මේ අතරම ආසියාවේ ආශ්චර්‍යයේ මහිමය කියාපාමින් බංගලාදේශයේ ප්‍රකාශයට පත්වන ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රකට ‘මොනිටර්’ සඟරාව හොඳම අඩු වැය ගුවන් සේවයට හිමි 2011 වසරේ සම්මානය ශ්‍රී ලංකාවේ මිහින් ලංකා ගුවන් සේවයට පිරිනමා ඇත. ඟරාව වසරක් පාසා ගුවන් ගමන් ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් තෝරාගනු ලබයි. මෙම තරගයේ දී සුප්‍රකට අඩු වැය ගුවන් සේවා වන ‘එයාර් ඇරබියා’, ‘ප්ලයි ඩුබායි’ යන ගුවන් සේවා අබිබවා ‘මිහින් ලංකා ගුවන් සේවය’ මෙම සම්මානය හිමිකරගෙන ඇත. ගුවන් මඟීන්ට නොමිලයේ ආහාර පාන සපයන ලොව එකම බජට් ගුවන් සේවය වීමේ භාග්‍යය ද ‘මිහින් ලංකා ගුවන් සේවය’ හිමිකරගත්තේය.නමුත් මහා භාණඩාගාරය සෝදාපාලු කරන්නට. මිහින් ලංකා සමත් විය.

කඩාගෙන වැටීම

ඇස් පනාපිට කඩාගෙන වැටෙන බංකොලොත් ආයතනයෙන්ම, 2009 සිට 2014 දක්වා කාලයේ කාල්ටන් රග්බි තරඟාවලියට අනුග්‍රහකත්වය සඳහා රුපියල් මිලියන 74.1 ක මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ලබා ගෙන තිබේ. කන එක 'හූරාගෙනම කාලා'යනුවෙන් කියන්නේ මේකටය.

එවකට සිටි සභාපති නිශාන්ත වික්‍රමසිංහ සැලසුම් කළේ ඒ 350 ගුවන් යානා හතර මිලදී ගන්නට ය. ඒවා මිලට ගත්තා නම් ශ්‍රි ලංකන් ගුවන් සේවය කනත්තක් පමණක් වනවාට සැක නැත. එහෙත්, අදාල ගිවිසුම නිසා ගුවන් යානා මිලදී නොගෙන නිකන් ඉන්න ශ්‍රි ලංකා ආණ්ඩුවට ඉඩක් ලැබුණේ නැත. වන්දි වශයෙන් පමණක් රුපියල් කෝටි 2500ක මුදල් ගෙවීමට සිදුවිය.මේ අතර ශ්‍රීලංකන් ගුවන් සේවය විකුණා දැමීමට යන බවට සමහර පාර්ශව චෝදනා කොට තිබිණි. ලෝක සමාගම් අහක බැලූ හැටි

එහෙත්, මෙරට ජාතික ගුවන් සේවය ප්‍රතිව්‍යුහකරණය කරන්නට රජය තීරණය කළද, ලෝක ප්‍රකට සමාගම් කළේ මේ විනාශ වූ ගුවන් සේවය දෙස හැරීවත් නොබලන එක ය. මිරේට්ස් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සේවය දස වසරකට මිලදී ගත්තේ 1998 වසරේ දීය. ශ්‍රී ලංකන් සේවාව එමිරේට්ස් වෙතින් ආපසු ලබාගන්නා 2008 මූල්‍ය වර්ෂයේ දී සමාගම රුපියල් බිලියන 4.9ක ලාභයක් පැවැතියේය. 2011 අවසන් වන විට රුපියල් මිලියන 202.3 ක පාඩුවකට ආයතනය දක්කාගෙන ගියේ නිශාන්ත වික්‍රමසිංහගේ මූලිකත්වය ය. අවුරුද්දක් ඇතුළත එනම් 2012 දී රුපියල් බිලියන 17ක අලාභයක් කරා එය ගමන් කළේය.

මහින්ද-හිල් ගැටුම

වසර 2008 ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් සමාගමේ කළමනාකාරිත්වය යටතේ ක්‍රියා කළේය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිව විදෙස් ගතව සිටිය දී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි පීටර් හිල් මහතා සමඟ ගැටුමක් ඇති කරගත්තේය. එහි ප්‍රතිඵලය වුණේ එමිරේට්ස් ගිවිසුම අවලංගු වීමය. නැවත ශ්‍රීලන්කන් භාරයට කළමනාකරණය පත්වු අතර මහින්ද රාජපක්ෂ මහතා තම මස්සිනා නිශාන්ත වික්‍රමසිංහ සමාගමේ සභාපති බවට පත් කළේය. ඉන් වසරකට පසු 2009 සමාගමේ පාඩුව රුපියල් කෝටි නමසිය තිහකි. වසර 2014 වනවිට දී පාඩුව ඉහළ යාමත් රුපියල් කෝටි තුන්සිය විස්සක් පමණ වූ අතර ඉහළම ලාභ ලැබූ සමාගමට සිදුවුණ ඉරණම එයය.

හිස එසවීම

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව වසර 2015 වසර 2016 දී එම පාඩුව රුපියල් කෝටි එකසිය හැට දක්වා අඩු කරගැනීමට සමත් විය.

වසර 2008 දී එමිරේට්ස් ආයතනයට කොටස් තිබිය දී ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් කෝටි එක්දහස් පන්සීයකි. ඉන්පසු එමිරේට්ස්වලින් ඉවත්වීමෙන් පසුව වසර 2015 වන විට ශුද්ධ වත්කම සෘන රුපියල් කෝටි හත්දහස් පන්සියයකි. වත්කමට වඩා බැරකම් ඉහළ මට්ටමක තිබුණි.

ශුද්ධ ණය දෙස බැලීමේ දී එය ගත්තානම් තවත් දකුණු අධිවේගී මාර්ග එකහමාරක් ඉදිකොට පාසල් එකසිය පනහක්, ඇඳවල් තුන්සීයක් සහිත රෝහල් හැත්තෑපහක් ඉදිකිරීමට හැකියාව තිබිණි.

බැඳුම්කර නිකුත් කිරීම්

මෙවන් ව්‍යසනයක් සිදුව 2009 සිට වාර්ෂිකව දරුණු මූල්‍ය අර්බුදයකට ගොදුරුව ප්‍රාග්ධනය පවා ක්ෂය වී යන තත්ත්වයකට පත්වුණු ශ්‍රී ලංකන් ගුවන් සේවයට වසර තුනකට රුපියල් බිලියන හතළිස් හයයි දශම හතරක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කොට තිබිණි. ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා කේටරින්, මිහින් ලංකා ආයතනවල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමාගම් ලේකම්වරිය ඩැල්රීන් තිරුකුමාර් මහත්මිය මේ බව කීවාය. වසර 2011 රුපියල් බිලියන දහහතරයි දශම දෙකක, වසර 2012 රුපියල් බිලියන දොළහයි දශම හයක, වසර 2013 රුපියල් බිලියන දහනවයයි දශම පහක භාණ්ඩාගාර බැඳුම්කර ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කර තිබේ.ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ මිහින් ලංකා ආයතන දෙක වසර 2006 සිට වසර 2018 දක්වා වාර්ෂිකව රුපියල් බිලියන එකසිය හැටක පමණ පාඩුවක් ලබා තිබෙන අතර රුපියල් බිලියන එකසිය හැත්ත හතක පමණ විවිධ ණය වගකීම් තිබේ.

මියගිය මිනිසෙකුට පණ දීම කළ නොහැක්කකි. ශ්‍රී ලංකන් ගුවන් සේවයටද අත් වූයේ එවැනි ඉරණමකි. 'යහපාලන' ආණ්ඩුවට පැවරී තිබෙන්නේ මළ ගුවන් සේවයට පණ දීම ය.

මාතෘකා