ඔළුවේ බැඳගෙන ගිනිබෝල කරකවන එකම පරම්පරාව අපි

 ඡායාරූපය:

ඔළුවේ බැඳගෙන ගිනිබෝල කරකවන එකම පරම්පරාව අපි

  • ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා යැයි කතාවක් තිබේ. ඒ තරමටම ගින්දර භයානකය. එහෙත් ලෝකය පරිවර්තනය කළ තීරණාත්මක හැරවුම් ලක්ෂය 'ගින්දර' සොයා ගැනීමය. ගින්දර එක්ක සෙල්ලම් එපායැයි කීවද ගින්දර නැතිව ජීවිතය වැටෙන්නේ අන්ධකාරයට ය. සමීප කරගන්නටත්, ඈත් කර ගන්නටත් බැරි දේ අතර 'ගින්දර' විශේෂ ය. මේ කතාව ගින්දර එක්ක සෙල්ලම් කරන පිරිසක් ගැනය. සරලව කීවොත් පෙරහැර අාෙලා්කමත් කරන 'ගිනිබෝල' කරකවන්නන් ගැනය. 'ඇසළ පෙරහැරට' 'රැස පෙළහර' රැගෙන එන අපි මෙවර හමු වුණේ 'ගිනිබෝල' කරකවන්නන් ය. ගින්නත් එක්ක කරන සෙල්ලමෙන් තුවාලයක් වුණත් එය 'අභිමානයේ කැළලක්' ලෙස සිතා හිත හදා ගන්නට ඔවුහු සමත් ය. ඒ තරමට ඔවුහු දළදා පෙරහැරට බැතිබරය. ජීවිතයේ බර බැතිබරකමින් සඟවාගෙන ඔවුහු පරම්පරා ගණනාවක් තිස්සේ 'ගිනිබෝල'කරකවති. මේ ඔවුන්ගේ කතාවයි.
    පෙරහැරක ගිනිබෝලවලින් සංෙක්තවත් කරන්ෙන් ෙමාකක්ද?
    පෙරහැරක් කරන්නේ වැස්සක් බලාපොරොත්තුවෙන්. වැස්සක හෙනහඬ සංකේතවක් කරන්නේ කසකරුවන්. අපි තමයි විදුලිය. ගිනිබෝලකරුවො විදුලියේ පණිවිඩය අරන් එන්නේ.
    දකින අපිට මේ ඔක්කොම “ගිනිබෝල”. ඒත් ගිනිබෝල වර්ග තියෙනවා නේද?
    ගිනිබෝල වර්ග තුනක් තියෙනවා. රවුම් පන්දම් කියන වර්ගය තමයි වැඩිපුරම දකින්න තියෙන්නේ. රවුම් පන්දමක වළලුවල ප්‍රමාණවල් තියෙනවා. ගිනිබෝල 20, 15, 10 ආදී විදියට. පොඩි අයට තියෙන්නේ අත් දෙකේ පොලු දෙකක් තියාගන්න පනදම් වර්ගය. අනෙත් වර්ගය ඔලුවේ කොන්ඩෙ ගැටගහලා තියාගන්න පන්දම්. මේක කරන්න පුළුවන් ලංකාවෙන්ම අපට විතරයි. කොන්ඩෙ ඉස්සරහ නූලකින් ගැටගහලා ඔලුවෙන් කරකවනවා.
     කොහොමද මේ පන්දම් හදාගන්නෙ?
    රවුම් පන්දම් හදාගන්නේ වේවැල්වලින්. වේවැලක් අරගෙන ඒක වටේට විදිනවා. ඉන්පස්සේ ඒකට අඩියක් වගේ උඩට තියෙන්න කම්බි දානවා. ඉන්පස්සේ ඒකෙ උඩට උණුවෙන්නේ නැති කොට්න් වේස් කියන රෙදි බෝලයක් රඳවනවා. බකට් කම්බිවලින් දැලක් හදාගෙන අර රෙදි බොලෙ  වටේ ඔතනවා. ඉන්පස්සේ ඒක ආරක්ෂිතයි. ඒ රෙදිවලට භූමිතෙල් දාලා පත්තුකරනවා. පොලු හදාගන්නෙත් එහෙමයි.
    ගිනිබෝල නොයෙක් ප්‍රමාණයෙන් තියෙනවා. කොහොමද ප්‍රමාණය තීරණය කරන්නේ?
    සාමාන්‍යයෙන් රවුම් පන්දමක් අඩි 05ක් උසයි. බොහෝදුරට ඒ පන්දම් හදාගන්නේ තමන්ගේ උසට. ඒකට හේතුව, ඒක කරකවද්දි අපිව නොපෙනී පන්දම විතරක් පේන්න. ඈතට ලස්සනට පේන්නේ එතකොට.
    ඔළුව වටේ කරකවන පන්දම අනතුරුදායක නැද්ද?
    ඒක අනතුරුදායකයි. ඒ වගේම අපහසුයි. ඒක ගැටගහන ක්‍රමයක් තියනවා. ඒක අපේ රහසක්. පිරිමි අයගේ කොණ්ඩෙ කාන්තාවන්ගේ තරම් දිග නැති එක තමයි මේ ගැටය දාද්දි තියන විශාලම අභියෝගය. අපිට මේ ගැටය දාන්න අඟල් හතරක් පහක් දිග තිබුණම ඇති.
    මේ පන්දම් වර්ගය පෙරහැරේ දින දහයම අරන් යනවද?
    නැහැ. දවස් පහයි අපි ගෙනියන්නේ. අවසාන රන්දෝලි පෙරහැරට පමණයි. මුල් දවස් තුනනම් ගානක් නැහැ. ඒත් අවසාන දවස් දෙක එතැන බිබිලි දාලා රිදෙන්න ගන්නවා. පෙරහැර පටන් ගත්තමනම් ඒ වේදනාව ගැන අපට දැනෙන්නේ නැහැ.
    ඉස්සරනම් ගිනිබෝල කරකවන්නේ පෙරහැරට විතරයි. ඒක තාම එහෙමද?
    දැන් පන්සල්වල කඨින උත්සවවලටත් අපි යනවා. කොටින්ම අවුරුද්දකට පෙරහැරවල් දෙසියයකට වඩා අපි සහභාගි වෙනවා. මීට අමතරව ගංගාරාම, කන්තලේ, පොළොන්නරුව, මිහින්තලේ කියන පෙරහැරවලට මම සහභාගි වෙනවා.
    ගිනිබෝල කරකවන්න ගන්නකොට අවම වයසක් බලනවද?
    මෙහෙමයි. මගේ කණ්ඩායමේ අවුරුදු තුන හමාරේ ඉඳන් දරුවෝ ඉන්නවා. පන්දමක් අතට අරන් කරකවද්දි අපිට තේරෙනවා මේ දරුවට ගිනිබෝල කරකවන්න පුළුවන්ද බැරිද කියලා. ඒක ඇඟෙන්ම එන්න ඕන. ඒ වගේම ආසාවක් තියෙන්න ඕන.
    අවුරුදු තුනහමාරේ දරුවෙක්ට ගිනි පන්දමක් දෙන එක අනතුරුදායක නැද්ද?
    පුරුද්දක් නැත්නම් අනතුරුදායකයි. මුලින්ම බය නැතිවෙන්න ඕන. මගේ පොඩි පුතා  කවීෂ ඉඳුවර කරුණාරත්න තමයි කණ්ඩායමේ වගේම නුවර පෙරහැරේ ඉන්න ලාබාලතම ගිනිබෝලකරුවා. අවුරුදු තුනහමාරයි. ලොකු පුතාට අවුරුදු අටයි. ඔහු ඕෂධ ජනුත් කරුණාරත්න. ඒ දෙන්නටම මම පුරුදු කළේ නැහැ. අනිත් අය කරකනවා බලාගෙන ඉඳලා එයාලා පුරුදු වුණා.
    දැනට අවුරුදු කීයක් මේ රාජකාරිය කරනවද?
    මම ආවේ අවුරුදු හතරෙදි. දැනට මම අවුරුදු 29ක් මේක කරනවා. මම තනියම කණ්ඩායම කරන්න අරගෙන අවුරුදු 07ක් වෙනවා. තාත්තා පෙරහැරේ අවුරුදු 63ක් සෙල්ලම්කළා. ඔහු ඩී. ජී. කරුණාදාස. තවමත් තාත්තා පෙරහැරට එනවා. ඒත් අපි එක්ක යන්නේ නැහැ.
    පොඩිකාලේ මතක අවදි කළොත්?
    මට හොඳටම මතකයි අයියලාට තමයි තාත්තා පුරුදු කළේ ඒ කාලේ. මට පුරුදු කළේම නැහැ. මට පුළුවන් කියලා මම දැනගත්තෙත් පෙරහැරට ගියාම. ගින්දර දාලා ඉස්සෙල්ලම කරකැවුවේ පෙරහැරට ගියාම. කවුරුවත් මට පුරුදු කළේ නැහැ. තාත්තා දිහා බලාගෙන ඉඳලා මම හැමදේම තනියම ඉගෙනගත්තා. දැන් මගේ පුතාලා කරන්නෙත් ඒ දේමයි.
    තරුණ වයසෙදිම මේ වගේ වගකීමක් කරට ගත්තේ කොහොමද?
    මට පෙරහැරේ ගිහින් හොඳ අත්දැකීමක් තියෙනවා. අම්මගෙ කිරෙන් ඇරෙන්නත් කලින් ඉඳලා මම පෙරහැරේ යන්නේ. තාත්තා මාලිගාවේ පෙරහැරට විතරයි ගියේ. ඒත් මම දැන් උත්සව දෙසියයකට පමණ යනවා. ඒ නිසා මට චකිතයක් දැනෙන්නේ නැහැ. පරණම අය තමයි වැඩිපුර ඉන්නේ. අලුතින් කෙනෙක් මාලිගාවේ පෙරහැරට ගන්නේ මාස තුනක පුහුණුවකින් පස්සේ.
     පරම්පරාවෙන් පිට අය පෙරහැරට බඳවගන්නවද?
    ඔව්. අපිව හැමෝම දන්නේ 'සෙංකඩගල ගිනිබෝල පරම්පරාව' කියලා. දක්ෂ ඕනෙම කෙනෙක්ව අපි බඳවගන්නවා. දැනට මගේ කණ්ඩායමේ තිස් හයක් ඉන්නවා. ගින්දරට බය නැතිනම් මේක කරන්න අපහසු නැහැ.
    දශක 6ක් ෙපරහැෙර් ගිය ඔෙබ් තාත්තා ගැන මතකය අවදිකළොත්?
    මාලිගාවේ පෙරහැරේ ගිනිබෝල කණ්ඩායමේ ඔළුවෙන් ගිනිබෝල කරකවන්න තාත්තා තමයි මුලින්ම ඇවිත් තියෙන්නේ. තාත්තා කියන විදියට එයා තනියම අවුරුදු හයක් පෙරහැරේ ගිහින් තියෙනවා. පසුකාලෙක කණ්ඩායම තාත්තටම බාරදීලා තියෙනවා. ඒ කාලේ දවස් දහයටම තාත්තට ලැබිලා තියෙන්නේ දෙකයි පනහයිලු. එදා ඉඳන් අද වෙනකම්ම අපි කොහොමත් සල්ලි බලාගෙන කරන දෙයක් නෙවෙයි මේක.
    ගිනිබෝල පන්දම් පෙරහැරෙන් පෙරහැරට අලුතින් හදනවද?
    ඔව්. එක දළදා පෙරහැරකට පාවිච්චි කළ එකක් ඊළඟ දළදා පෙරහැරට ගන්නේ නැහැ. අවුරුද්දෙන් අවුරුද්දට ඒක වෙනස් කරනවා.  මම හැමෝටම වේවැලෙන් රවුම් හදලා දෙනවා. තමන් තනි තනිවම දවස් දහයට රෙදි බෝල දහයක් හදාගන්න ඕන.
    සිද්ධ ෙවච්ච අනතුරු ගැන මතක් කළොත්?
    දන්න තරමින් නම් තාත්තා ඉන්න කාලේ එක්කෙනෙක් බීලා ගිනිබෝල කරකවන්න ඇවිත් එයා පිච්චුණා. ඊට අමතරව දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් මේ වෙනකම් නම් එහෙම ඉතිහාසයක් නැහැ.
    ගිනිබෝල කරකවන්න රිද්මයක්/ තාලයක් තියෙනවද?
    ගිනිබෝල පත්තුකරලා මුලින්ම මීටර් 50ක් වගේ යනවා මොකුත් නොකර. එළිය අඩුකරද්දි ඈතට ඒක පේන්නේ තොරණක් වගේ. තෙල් දාලා පත්තු කරද්දි විනාඩි 10ක් 15ක් එක දිගට යන්න පුලුවන්. අපි ඒක කරන්නේ හංදිවලදි. මීටර් 300ක් වගේ ගියාම තමයි අපි ගිනිබෝලවලින් වැඩ දාන්න පටන් ගන්නේ.
    වැඩ දාන්නෙ කොහොමද?
    අපි ගිනි වළල්ල උඩ දාලා අල්ලනවා. බිම පෙරළි පෙරළි යනවා. කකුල් දෙකෙන් වළල්ල කරකවනවා. ඔලුවේ වළල්ල ගැටගහලා කරකවනවා. ඒවා කරන්න පුළුවන් පරණම අයට විතරයි. කණ්ඩායමේ හය හත්දෙනෙක් ඉන්නවා ඒ හැමදේම කරන්න පුළුවන්. එක රවුමක් අඩි 15ක් 20ක් උඩ දාලා අල්ලනවා.
    ශිල්පීන් දෙන්නෙක් අතර පරතරය කොහොමද?
    එහෙම දෙයක් නැහැ. හැමෝම ළඟින් ඉන්න තරමට ලස්සනයි. අපිට අවබෝධයක් තියෙනවා අනතුරක් නොවී ඒක කරගන්න.
    සම්මාන ලැබිලා නැද්ද?
    ඕනතරම් ලැබිලා තියෙනවා. ජනාධිපති සම්මාන පවා. ඒත් මේ දළදා පෙරහැරට යන එක තරම් තවත් සම්මානයක් කොහෙන්ද?
    ස්තුති කරන්නත් අය ඇති නේ...
    මගේ තාත්තට තමයි ස්තුති කරන්න ඕන. තාත්තා නැත්නම් මේ කිසිම අවස්ථාවක් අපට නැහැ. ඒ වගේම මගේ මුළු කණ්ඩායමම මේකෙදි දක්වන සහයෝගය ගැන කියන්න වචන නැහැ මට. මගේ බිරිඳ නිලන්කා ඒකනායකටත් ස්තුති කරන්න ඕන. පුතාලා දෙන්නව මේ වෙනුවෙන් මට දුන්නට.
    ඒ කාලෙ පෙරහැරෙයි දැන් පෙරහැරෙයි වෙනස මොකක්ද?
    ලොකු වෙනසක් තියෙනවා. ඒ කාලේ අපිට කැමති ඇඳුමක් අඳින්න පුළුවන්. ඒත් දැන් නිළමේතුමා අපිට ඇඳුම් දෙනවා. අත්දිග ටී ෂර්ට් එක, සුදු දිග කලිසම ඇඳලා ඒකට උඩින් රතුපාට ෂෝර්ට් එකක් අඳිනවා. ඉස්සරට වඩා දැන් පෙරහැර වෛවර්ණයි.
    මොනවගේ හැඟීමක්ද තියෙන්නේ පෙරහැරේ යන්න ලැබෙන එක ගැන?
    ඒක අපට පුදුම ආඩම්බරයක්. දළදා හාමුදුරුවන්ට අපි ළඟයි කියලා හිතෙනවා. මොනතරම් උත්සවවලට ගියත් මාළිගාවේ පෙරහැර එනකම් අපි බලාගෙන ඉන්නේ. පුදුම භක්තියකින් මාස ගාණක් පේවෙලා අපි මේ දේ කරන්නේ.

    •