උණ්ඩයට බිය නොවූ අසූ වියැති බිත්ති පත්තරකාරයා

 ඡායාරූපය:

උණ්ඩයට බිය නොවූ අසූ වියැති බිත්ති පත්තරකාරයා

තතු දත් අයට අලුත් නොවුණත් ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන පුද්ගලික මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන ලියාපදිංචියක් නැති මාධ්‍ය හැඳුනුම්පතක් නැති අපූරු මාධ්‍යවේදියා හමුවන්නට ගියෙමි. ඇඹිලිපිටිය නෝනගම මාර්ගයේ පදලංගල චන්ද්‍රිකාවැව දිසා රෝහල ආසන්නයේ ප්‍රධාන පාරට මුහුණ ලා පිහිටි තම නිවසේ බිත්තිය මත පවත්වාගෙන යනු ලබන තනි පුද්ගල පත්තර කන්තෝරුවේ අයිතිකරු, ප්‍රකාශක, මුද්‍රණකරු සියල්ලම ඔහුගේ ඒකාධිකාරයට නතුවේ. වාච්‍යාර්ථයෙන් ගත් කල අධිපතිවාදී අත්තනෝමතික හැඩ රුවක් මැවෙතත් මෙය එසේ වූ එකක් නොවේ. මෙහි එකම සේවකයාද ඔහුම වේ.

බැලූ බැල්මට බිත්ති පුවත් පතක් වූ මෙහි ලියැවෙන්නේ ඔහුගේ අදහස් පමණි. නමින් ආරියදාස සේනානායක නම් වූ දැනට අසූ වියද ඉක්මවා සිටින ඔහුගෙන් බලාපොරොත්තු සහගත යහපත් හෙටක් විනා පක්ෂග්‍රාහී හෝ අවස්ථාවාදී ලියැවීමක් නම් දකින්නට නොලැබේ. බෙලිඅත්ත අම්බල ප්‍රදේශයේ ඉපිද අධ්‍යාපනය ලබා මහවැලි ජානපදිකයකු වශයෙන් ඇඹිලිපිටියට එන ඔහු විශ්‍රාමික හමුදා සැරයන් වරයෙකි. සමූපාකාර පරීක්ෂක වරයෙකි. තවත් වෘත්තීන් ගණනාවක නියැළුණු ඔහු එදා සිට අද දක්වාම සිවිල් සමාජ ක්‍රියාකාරකම් වලට උරදී කාගේත් හොඳ හිත දිනා සිටින සමාජ සේවකයෙකි.

'මාධ්‍ය කියන්නේ උතුම් සේවයක්. ඒක මගේ ජීවිතය පුරා තිබ්බ පැතුමක්' ඔහු කියයි.

මිනිස්සු දුවන්නේ සිහින පස්සේය.රුධිර නාලිකා වලට මුසු වූ සිහිනයක් සැබෑ කරගැනීම උදෙසා අනවරත වෙහෙසක යෙදෙන මිනිස්සු ඒ වෙනුවෙන් දිවා වෙහෙසෙති. සහමුලින්ම සැබෑ කරගත නොහැකි සිහින එලෙස සැබෑ කරගත නොහැකි කල්හි, හැකි පමණට හෝ සැබෑ කරගනිති.

මුද්‍රිත අකුරු ඩිමයි කඩදාසි මත අතුරන සිහිනය බොහෝ දුර බව දත් මේ 'සිහින මාධ්‍යවේදියා' ඒ වෙනුවට ස්වකීය නිවස පත්තරයක් බවට පත් කර ගත්තේය.

ලෝකයේ මෙවැනි බිත්ති පුවත් පතක් අඛණ්ඩව පවත්වාගෙන යන මානව හිතවාදී මිනිසුන් අතර ඇගැයීමක් නිරන්තරව හිමිකර ගන්නා ලාංකීය නියෝජනයක් වෙතොත් ආරියදාස මහතාගේ නම ඉහළින්ම තිබිය යුතු බව ඉඳුරාම කියත හැක.අනෙක් අතට ගොඩනැගිල්ලක් පුවත්පතක් බවට පත් වූ තැනක් ගැන ලෝක ඉතිහාසයේ තොරතුරක් සොයා ගැනීම උගහට ය. එය නිවැරදි නම් ආරියදාස මහතාගේ 'බිත්ති පුවත්පත' ලොව පළමුවැන්න විය යුතුය.

ඔහු කාලානුරූපීව ලියා තිබෙන දෑ අපූරුය. 'සල්ලි වලට බණ කීම නතර කළ යුතුය' කියා ඔහු ලියන්නේ මීට දශක තුනකට පෙරය. 'නගරාධිපති ස්වාමීන්වහන්සේලාට පංච ශීලයවත් රකින්න පුලුවන්ද?' කියා ඔහු අසන්නේ මීට දශක දෙකකට පෙරය. 'ඒකීය රටක සාමය දකින්න නම් 48 නිදහස ලබන්න එක්වූ දෙමළ මුස්ලිම් ජාතීන්ටත් අයිතිය දිය යුතුය'

මෙවැනි බොහෝ දෑ ඔහු ලියා තිබේ. සාමාන්‍ය පුවත්පතක එන සියල්ලම පාහේ ඔහුට හසු වී තිබේ.

දේශපාලනය, කලාව, ආර්ථිකය, අධ්‍යාපනය යනාදී සියල්ලට ඔහු ඉඩ වෙන්කොට තිබේ.

ඔහුගේ පුවත්පතේ ලියන්නේ ඔහුම ය. තීරණ ගන්නේ ඔහුම ය. එහෙත් කියවන්නෝ බොහෝය. යන එන්නෝ එහි පාඨකයෝ ය. එක අතකට මෙය ලෝකයේ ලොකුම පුවත්පතද විය හැක.

මෙහි ආරම්භය ගැන විමසීමේදී වර්ෂ 1977 තරම් වූ ඈතකට දිවයයි. එවකට ප්‍රදේශයේ මෙන්ම පොදුවේ රටේ පැන නැගි වියවුල් තත්වයන් සමාජ අසාධාරණයන් ගැන බුර බුරා නැගෙන පීඩනයට ප්‍රකාශයට පත් කිරීමට වූ ප්‍රාථමික එහෙත් ප්‍රබල වැයමක් දැරූ බවයි ඔහුගේ අදහස. කාලීන සමාජ අර්බුද, දේශපාලන විගඩම් ඉතා හාස්‍යජනකව, උපහාසාත්මකව, කුතුහලය දැනවෙන ආකාරයෙන් ලිවීම අතින් ඔහු ඉතා දක්ෂයෙකි. සමර පිලියම් කළ බිත්තියේ බැටරි කුඩු මිශ්‍ර කර තනා ගත් එකල්හි ජනප්‍රියම තීන්ත වර්ගය ඔහුගේ මූලික අමු ද්‍රව්‍යයි. විශාල අකුරින් දේශපාලන සටන්පාඨ පාසැලක් තාප්පයක් ගානේ ලියැවුණු එකල්හි, රාජ්‍ය මර්දනයෙන් ගැලවීමට නොහැකි වූ බව ඔහු කියයි. ඒ වෙනුවෙන් ප්‍රශ්න කිරීම් අත් අඩංගුවට පත්වීම් සංඛ්‍යාව අතේ ඇඟිලි ගානටත් වැඩි බවත් ඔහු කියයි.

රථ වාහනද නවත්වා ඔහුගේ පුවත් කියවා යෑම නිරන්තරව සිදු වන්නකි. සති පතා පුවත් අලුත් වේ. සමහර පුවත් පාඨක ඉල්ලීම පරිදි මාස ගණන් නොමකා තබා ගනී. වරක් එහි ලියැවුණු ආන්දෝලනාත්මක පුවතක් සම්බන්ධයෙන් ප්‍රදේශයේ ප්‍රබල දේශපාලන නායකයෙක් එසේ නොකර තම පක්ෂයේ සාමාජිකයකු වී වරදාන වරප්‍රසාදයන් ලබා ගන්නා ලෙස කීවත්, තවත් වරක එක් ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක් පුවතක් සම්බන්ධයෙන් තර්ජනාත්මකව බලපෑම් කළත් ඒ කිසිවක් ඉදිරියේ සත්‍යය යටපත් කිරීමට කටයුතු නොකළ සැබෑ එඩිතර මාධ්‍යකරුවකුගේ භූමිකාව ඔහු තුළින් ඉගෙන ගැනීම වටී. හමුදා කණ්ඩායම්, රහස් පොලිසිය, දේශපාලන ප්‍රබලයන් විටින් විට ඔහුට කෙණහිළි කම් කළත් ඒ කිසිවකින් නොසැලී ජනතාවට සත්‍ය පැවසීමේ වගකීම අකුරට ඉටු කිරීම පැසසිය යුත්තකි.

“මට හය වතාවක් වෙඩි තියන්න ආවා. ඒ දෙවතාවක මට වෙඩි වැදුණා. ඒත් ජීවිතේ බේරුණා”

වෙඩි වැදුණු තැන් පෙන්වන පරණ එක්ස් රේ පිටපතක් පෙන්වමින් එසේ ඔහු කියයි. විටින් විට පත් වුණු ආණ්ඩු වල දේශපාලන අධිකාරී වල මැර ඒකක නිසැකයෙන් ඒවාට දායක වූ බවක් ඔහු නොබියව කියයි. ජනතා විරෝධී ප්‍රතිපත්ති, ජනතා මුදල් ගසා කෑම් අවස්ථාවාදී පක්ෂ දේශපාලනය නොබියව හෙළිදරව් කිරීම විවේචනය කිරීම එකී උදහසට හේතු වන්නට ඇතැයි ඔහු විශ්වාස කරයි.

කාලයත් සමඟ ඔහු 'බිත්ති පුවත්පත' අලුත් නොකළාද නොවේ. එහෙත් හරියාකාරව වැඩ නිම නොවුණු ඔහුගේ නිවස බිත්තිය අදටද ඔහුගේ 'ඩිමයි' කඩදාසිය වෙයි. ලයිකන බැඳුණු බිත්ති වලින් දශක හතරකට වඩා පැරණි ඉතිහාසය තැනින් තැන මතුව තිබෙයි. එදා 'තීන්ත' ලෙස යොදාගත් බැටරි කුඩු වෙනුවට ආදේශක නිෂ්පාදිත තීන්ත අමු ද්‍රව්‍ය ලෙස ඔහු යොදා ගනී. කළු තීන්ත සේම රතු කහ දුඹුරු තීන්තද දැන් ඔහු පුවත්පතට යොදා ගනී.

කාලයේ තාලයට වෙනස් වූ දේශපාලන කාරණා ඔහුගේ බිත්ති පුවත්පතේ අපූරුවට රැඳී තිබේ.

සමාජ දේශපාලන කාරණා ගැන පුළුල් දැනුමක්, ඉවක්, කියැවීමක් එදා මෙන්ම අදටද නොසිඳී පවතී. පසුකාලීනව ජාතික දේශපාලනයේ ඇගැයීමට සහ සිවිල් ආයතනවල ඇගැයීමට පාත්‍ර වුවද ඔහුගේ ස්වාධීන විකල්ප කියැවීම සැබෑ මානව දයාව හඳුනාගැනීම විප්ලවීය ගුණ සුවඳ ඉව කිරීම විරෝධාකල්පිත ආශ්වාදය ග්‍රහනය කර ගැනීම අතින් පාඨක අපි තවමත් දුගී බවක් පෙන්වනවා නොවේද? වසරකට මුද්‍රිත පුවත් පත් බොහෝ ගණනක් වැසී යන අතර ලෝක පරිමාණයෙන් මුද්‍රිත වෙළුම් කල් ඉකුත් වී ඇතැයි විශ්වාස කෙරෙන වකවානුවක ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඉහළින් වැජඹෙතත් සාම්ප්‍රදායික හා ප්‍රාථමික මට්ටමෙන් මොහු කරනා යාව ජීව කාර්‍යභාරයේ හරය කැඳවන ප්‍රඥාව ලඝු කොට තැබිය නොහැකි ඉතිහාසගත භාවිතාවක් බව නොකියාම බැරිය.

තවද අද වන විට වයෝවෘද්ධව සිටින ඔහුගේ ලේඛන සංරක්ෂණයටත් තීන්ත සපයාගැනීමට තරම් නොවූ ඔහුගේ බුලත් විට වෙළඳාම වෙනුවට නිශ්චිත දීමනාමය උපකාරයක් හෝ වගකිව යුතු ඇත්තන් අතින් ඉටු වේවායි උදක්ම පතමි. මන්ද අපේ කාලයේ මිනිසුන් අතර පරහිතකාමී පරමාදර්ශයක් මේ නොදියුණු මාධ්‍යකරුවා තුළ මා දකින බැවිනි.

"මේ පත්තරේ පුංචි මිනිහගේ ඉඳලා නායකකාරකාදියෝ දක්වා කියවලා තියෙනවා. සමහරු හොඳයි කියනවා. සමහරු මූණ නරක් කරගන්නවා. සමහරු හිනා වෙනවා. පිස්සු කියලා හිතන අයත් ඇති."

ඔහු බුලත් කහට රැඳි මුවගින් මන්දහාසයක් නංවාගෙන කීවේය.

හැකි තාක් කල් පුවත්පත කරගෙන යාම ඔහුගේ සිහිනයයි. ඒ සිහිනය සුබ සිහිනයක් ලෙස දකිමින් ඔහු තවමත් අවිච්චින්නව සිය කාර්යය සිදු කරයි.

[සජිත් පට්ටියකුඹුර]

මාතෘකා