ඇතෙක් කුලප්පු වුණත් හේවිසිය නවත්වන්නෙ නෑ... : මොලගොඩ ගුරුන්නාන්සේ

 ඡායාරූපය:

ඇතෙක් කුලප්පු වුණත් හේවිසිය නවත්වන්නෙ නෑ... : මොලගොඩ ගුරුන්නාන්සේ

දවුල, තම්මැට්ටම, හොරණෑව, හක්ගෙඩිය, තාලම්පට ආදී වාද්‍ය භාණ්ඩයන්ගෙන් නැගෙන හේවිසි කණ්ඩායමේ හඬ මහනුවර වීදී දිගේ කන්ද උඩරට කඳුයාය වෙත ඇදී යන්නේ අපූර්ව තේජසකින්ය. එහි මධුර මනෝහර හඬ රසවත්ය. ශ්‍රද්ධාව දනවනසුලුය. භක්තිය වඩවනසුලුය. සිත් පහන් කරන භාවනාවක් බඳුය. ඇසළ පෙරහැරට “රැස පෙළහර” තුළින් මීළඟට අප හමුවූයේ දළදා මාළිගාවේ හේවිසි කණ්ඩායමේ පාරම්පරික හේවිසිකරුවකුය. මොලගොඩ බෙරකාර ගෙදර ජේමිස් මොලගොඩ ගුරුන්නාන්සේ වන ඔහු හාරිස්පත්තුවේ හෑදෙනියේ ජීවත් වන මොලගොඩ හේවිසි පරම්පරාවේ ප්‍රධානියාය.

දළදා පෙරහැරේ හේවිසි කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන එක පහසුවෙන් ලැබෙන භාග්‍යයක් නොවයි. කොහොමද මේකට මූලාරම්භය වැටෙන්නේ?

මම මේ ශිල්පය ඉගෙනගන්න ගත්තේ අවුරුදු 12 ඉඳන්. මම මුලින්ම ලොකු අත්තගෙන් ශිල්ප ඉගෙන ගත්තේ. මගේ ලොකු අත්තා නන්දිනා ගුරුතුමා. මම තම්මැට්ටම්, දවුල් වගේම නැටුනුත් ඉගෙනගත්තා. ඒ හැමදේම කළේ ඉස්කෝලෙ යන ගමන්. ගමේ පන්සලේ තේවාව කළේ අපි. ඒක තමයි මගේ මූලාරම්භය.

හේවිසි කණ්ඩායමක වාද්‍ය භාණ්ඩ කිහිපයක් තියෙනවා. ඔබ හුරුවී ඇති වාද්‍ය භාණ්ඩයක් තිබේද?

මම දළදා පෙරහැරේ හේවිසි කණ්ඩායමට සම්බන්ධ වෙන්නේ මුලින්ම තාලම්පට ගහන්න. ඒ වෙද්දි මට අවුරුදු 15යි. ඉන්පස්සේ මම හොරණෑ වාදනයත් තනිවම ඉගෙනගත්තා. මට අවශ්‍ය වුණේ හැම අතින්ම දක්ෂයෙක් වෙන්න. අවසානයේ මම කන්ද උඩරටටම ප්‍රවීණයෙක් වුණා. මේ වෙද්දි මම දවුල ගහන්නේ. මොකද කණ්ඩායමේ ප්‍රධානියා දවුල වාදනය කළ යුතුමයි.

පරම්පරා කිහිපයක සාමාජිකයන් දළදා පෙරහැරේ ඉන්නවා නේද? මොකක්ද ඒ වෙනස?

ඔව්. පරම්පරා හතරක් තියෙනවා. අපි මොලගොඩ පරම්පරාවේ අය. අපි ඇරුණම මාලගම්මන පරම්පරාව, ඉහළවෙලේ පරම්පරාව සහ උඩුවෙල පරම්රාව තියෙනවා. මේ පරම්පරා හතරේ නායකයන් හතරදෙනා යටතේ හේවිසි කණ්ඩායම තියෙන්නේ. එක් අයෙකුට සාමාජිකයන් 20 ක් ගානේ හේවිසි කණ්ඩායමේ අසූවක් ඉන්නවා.

හේවිසි කණ්ඩායමක් පෙරහැරක යන පිළිවෙළක් තියෙනවා නේද?

ඔව්. මුලින්ම හොරණෑ වාදකයන් 08 දෙනෙක් යනවා. එයාලගේ දෙපැත්තෙන් හක්ගෙඩිකරුවන් දෙදෙනෙක් සහ තාලම්පට ගත්තු 04 දෙනෙක් යනවා. ඉන්පස්සේ ප්‍රධාන දවුල් රැගත් නායකයන් හතරදෙනා යනවා. එයාලගේ පිටුපසින් දෙවැනි පෙළ ලෙස දක්ෂතම දවුල් වාදකයන් 04 දෙනෙක් යනවා. එයාල‍ෙග් පිටුපසින් නැවතත් තම්මැට්ටම්කරුවන් යනවා. නැවතත් දවුල්කරුවන්, නැවතත් තම්මැට්ටම්කරුවන් ලෙස මාරුවෙවී යනවා.

දළදා මාළිගාවේ ශබ්ද පූජා පැවැත්වීම සුළුපටු කාර්යයක් නොවේ. එය කාර්යයන් කිහිපයක එකතුවක්. එහෙම නේද?

නායක හාමුදුරුවෝ දළදා වහන්සේ කුටියෙන් අතට ගනිද්දි අපි හේවිසි මණ්ඩපයේ රැඳී ඉන්නවා. ඉන්පස්සේ හක්ගෙඩිය පිඹිනවා. ඒ එක්කම අපි හේවිසිය පටන් ගන්නවා. කරඬුව වඩම්මගෙන යද්දි ‘බහිරව බලි නඩය’ කියන හේවිසි පදය ගහනවා. ඉන්පස්සේ කරඬුව ඇතාගේ ළඟට වඩමවලා, රන්මිණිගේ කරඬුව තැන්පත් කර අවසන් වනතුරුම ශබ්ධ පූජාව පවත්වනවා.

නරඹන්නන්ට මේ පරම්පරා 04 වෙන වෙනම හඳුනගන්න ක්‍රමයක් තියෙනවද?

පරම්පරා හතරේ දවුල් හතර වෙනස්. හේවිසි කණ්ඩායමක ඒ පරම්පරා හතරේ නායකයන් තමයි දවුල් හතර තියාගෙන මුලින්ම ඉන්නේ. ඒ දවුල්වලට විතරක් සවරම් බඳිනවා. ඒකෙන් තමයි ඕනෙම කෙනෙක් දැනගන්නේ තේවාව භාරව ඉන්න හතරදෙනා කියලා. නායකයකු ඇරුණම වෙන කිසිම ශිල්පියෙකුට සවරම් බඳින්න අවසර නැහැ.

ඔබ හොරණෑව වාදනයත් කරනවා. කණ්ඩායම් දෙකක් හසුරන එක අපහසු නැද්ද?

ඔව්. දවුල වගේම හොරණෑවත් වාදනය කරනවා. නිළමේතුමා මගෙන් ඉල්ලුවා හොඳ හොරණෑ කණ්ඩායමක් හදලා දෙන්න කියලා. හොරණෑ කණ්ඩායමෙත් ප්‍රධානියා මම. කණ්ඩායම් දෙකක් හසුරුවන එක වෙහෙසයි. බොහෝ දේවල් හිතන්න ඕන. නිර්මාණශීලී දේවල් කරන්න ඕන.

දින 11ක් එක දිගට පෙරහැරේ හේවිසි ගහන එක පහසු නැහැ. වෙහෙස මහන්සියක් දැනෙන්නෙම නැද්ද?

මේ වෙද්දි අවුරුදු 41ක් දළදා මාළිගාවේ තේවාව කරනවා. මම දැන් වයසයි. අසනීපයි. ඒත් පෙරහැරේ යන එකට මට තාම ශක්තිය තියෙනවා. මුලටම යන හතරදෙනා කිසිම හේතුවකට නවතින්න බැහැ. ඇතෙක් කුලප්පු වුණත් හේවිසිය නවත්වන්න බැහැ. අපි මොන ලෝකෙක ඉඳලා හරි පෙරහැර නවතින තුරු ශබ්ධ පූජාව කරන්න ඕන.

වීදි සංචාරය කරද්දි හේවිසි හඬේ විවිධ වෙනස්කම්වලට අනන්‍ය වුණු කාරණා තියනවද?

කරඬුව තැන්පත් කරන තැනින් හේවිසි පූජාව පටන්ගත්තම කරඬුව රැගත් ඇතා කැටුව පෙරහැර වීදි සංචාරය කරන්න පටන් ගන්නවා. ඉන්පස්සේ රජ වීදියට එනවා. චාරිත්‍රය වෙන්නේ වීදියේ යනතුරුම මාත්‍රා පදය ගහන එක. පෙරහැර අවසන් කරන තුරුම මාත්‍රා පද වෙනස් කරමින් ගහනවා. රජ වීදියට ආවට පස්සේ දළදා මාළිගාවට ඇතුළු වෙන දොරටුවලින් ඇතුළු වුණාම මාත්‍රා පද වාදනය කරන්න බැහැ. ඉන්පස්සේ ගෙවැදුම්පද එහෙමත් නැත්නම් හේවිසි පහේ හේවිසි ගහනවා.

ඔබ කියනවා මේක රාජකාරියකට එහා ගිය වගකීමක් බව. ඉදිරි පරම්පරාවලිනුත් එය ඒ ලෙසම රැකේවිද?

දළදා පෙරහැර කියන්නේ මට සරසවියක් වගේ. මගේ ළඟ දැනට තියෙන දවුල අවුරුදු 41ක් පැරණියි. පරම්පරා උරුමය රැකගන්න ඕන කියන අධිෂ්ඨානය මගේ හිතේ හැම මොහොතකම තියෙනවා. රැකියාවක් කියලා හිතලා නෙවෙයි අපි මේක කරන්නේ. මේක අපිට උරුම දේ. අපේ වගකීම.

බොහෝ අය පරම්පරාවෙන් පිට අය කණ්ඩායමට බඳවා ගැනීම කරන්නේ නැහැ. ඔබටත් එය වලංගු කාරණාවක්ද?

අපේ පරම්පරාව අවුරුදු සිය ගණනක් ඈතට දිවෙනවා. මගේ මුත්තා ඩී. ජී. රන්කිරා ගුරුතුමා. මම එතුමාව දැකලවත් නැහැ. මගේ අත්තා නන්දිනා ගුරුතුමා. මගේ පියතුමා සයිමන් මොලගොඩ. පියතුමා අභාවයට ගිහින් වසර දොළහක පමණ වෙනවා. ඒ කාලෙ වගේ නෙවෙයි, මේ වෙද්දි පරම්පරාවෙන් පිට අයත් බඳවා ගන්න අපට සිද්ධවෙලා තියෙනවා. මොකද පරම්පරාවේ මදි නම් හිතවත් අයත් ගන්න වෙනවා. පරම්පරාවේ අයම ගන්න ඕන කියන්නේ විශ්වාසය රැක ගන්න. පිට කෙනෙක් අරගෙන ඒ කෙනා රාජකාරිය හරියාකාරව නොකරද්දි නැතිවෙන්නේ කණ්ඩායමේ ගෞරවය.

දළදා මාළිගාවේ දියවඩන නිළමේවරු කීදෙනෙක් සමඟ ඔබ රාජකාරි කරලා තියෙනවද?

මම නිළමේවරු පස්දෙනෙක් යටතේ හේවිසි පූජාව කරලා තියනවා. හැත්තෑ ගණන්වල මම මුලින්ම අත්තා එක්ක මාළිගාවට එද්දි හිටියේ එච්. ජී. උඩුරාවන දියවඩන නිළමේතුමා. එතුමා ඉන්න කාලේ නිළමේ කෙනෙක්ගෙ ධුරකාලය අවුරුදු 05යි. ඉන්පස්සේ නිශ්ශංක විජේරත්න දියවඩන නිළමේතුමා. එතුමා අවුරුදු 10ක් නිළමේ වෙලා හිටියා. එතුමගෙන් පස්සේ ඒ නිළමේගෙ පුතා නෙරංජන් විජේරත්න නිළමේතුමා වසර විස්සක් නිළමේකම කළා. පරණගම කියන දියවඩන නිළමේතුමා මාස තුනක් හිටියා. ඉන් පස්සේ තමයි දෑල නිළමේතුමා පත් වුණේ.

පෙරහැරේ අලි ඇතුන්ට සමීපවයි හේවිසි කණ්ඩායම ගමන් කරන්නේ. අලි කුලප්පුවීම්වලට මුහුණ දීලා නැද්ද?

එහෙම අවස්ථා තිබුණට දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් අපි කාටවත් කරදරයක් වෙලා නැහැ. මට හොඳටම මතකයි රන්දෝලි පෙරහැරේ හතරවැනි දවසේ රජ වීදියට යද්දි එක ඇතෙක් කුලප්පු වුණා. සෙනඟ අඩු නිසා හොඳයි. හැමෝම දිවුවා. මම දිවුවේ නැහැ. එතැනම හිටියා. විනාඩි 15ක් ඇතුළත හැමදේම සමතයකට පත්වුණා.

මේ වෙද්දි ලැබිල තියන සම්මාන ගැන මතක් කළොත්?

මගේ ලොකුම සම්මානය මගේ පරම්පරාව. ඊළඟට මගේ පවුල. විශේෂයෙන් මගේ බිරිඳ කේ. ජී. ප්‍රේමාවතී, දුව මනෝජා වසන්ති, පුතා සුසන්ත ජගත්, මගේ ලේලි, බෑනා මතක් කරන්න ඕන. මගේ ශිල්පයට ලැබුණු සම්මාන ගැන කිවුවොත් ඉතින් සම්මාන රාශියක් ලැබිලා කියෙනවා. කුසලතා පූර්ණ, දක්ෂතම, අතිදක්ෂතම, ප්‍රවීණතම දවුල් වාදන ශිල්පියා, හොරණෑ වාදන ශිල්පියා වෙලා තියෙනවා.

මේ ආව ගමනේ හිත් රිදීම් සිදුවෙලාම නැද්ද?

මම කිසි දෙයක් සිත් රිදවීමක් විදියට ගන්නේ නැහැ. ඒ හැමදේම මම හයියක් කරගන්නවා. මම තනියම හොරණෑව පුහුණුවෙද්දි වෙනත් ශිල්පීන් මට තරවටු කළා. මම හිතාගත්තා හොඳම ශිල්පියා වෙනවා කියලා. ඒ විදියටම මම සම්මාන පවා ලබාගත්තා.

දශක හතරකට වඩා වැඩි අත්දැකීම් එක්ක ඒ කාලෙ පෙරහැරෙයි දැන් පෙරහැරෙයි වෙනස ගැන පැහැදිලි කළොත්?

ලොකු වෙනසක් තියෙනවා. ඒ කාලෙ මම අපේ ලොකු අත්තා එක්ක පෙරහැරේ යන ෆෝටෝ එකක් තියෙන වෙසක් කාඩ් එකක් මං තවමත් ළඟ තියාගෙන ඉන්නවා. අදයි එදයි වෙනස පහදන්න වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒ කාලේ හරියට ඇඳුමක් නැහැ. දැන් ඇඳුමේ ඉඳලා හැමදේම පිළිවෙලයි. කලාකරුවන්ට වටිනකමක් දීලා තියෙනවා. ඒ වගේම පෙරහැර වෛවර්ණයි.

[නදී මාණික්කගේ]

මාතෘකා