මිනිස්සුන්ගේ චින්තනය එකම තැන නම් වැඩක් නැහැ : සමනලී ෆොන්සේකා

 ඡායාරූපය:

මිනිස්සුන්ගේ චින්තනය එකම තැන නම් වැඩක් නැහැ : සමනලී ෆොන්සේකා

සමනලී ෆොන්සේකා යනු කලා පවුලකින් කලා ක්ෂේත්‍රයට ගොඩබට තරුණ රංගන ශිල්පිනියකි. ලාංකේය සිනමාවේ නව්‍ය මානයන් කරා යොමු වෙමින් වෙනස් චරිතවලට පණ පොවමින් තම දක්ෂතා දැක්වූ රංගන ශිල්පිනියක් ලෙස සමනලී කා අතරත් කතාබහට ලක්වන චරිතයකි. 2018 සරසවිය සිනමා සම්මාන උළෙලේදී " ප්‍රේමය නම්" චිත්‍රපටයේ දැම්වූ රංගන කෞශල්‍යය සඳහා "හොඳම නිළිය" සම්මානයෙන් පිදුම් ලැබීමට ඇයට හැකි විය. ප්‍රථම වතාවට "හොඳම නිළිය" සම්මානයට හිමි කර ගත් සමනලී ෆොන්සේකාට මෙවර අප 'රැස මාත්‍රා' ඉඩහසර වෙන් කළෙමු.

ලැබුණු සම්මානයේ උණුසුම තාමත් තියෙනවා නේද?

ඔව් තාමත් තියෙනවා. තාමත් සුබපැතුම් ගොඩක් ලැබෙනවා.

ලැබුණු සම්මානය ගැන කිව්වොත්?

සරසවිය සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය මට ලැබෙන්නේ. මීට කලින් සරසවිය සිනමා සම්මානයක් මට ලැබෙනවා නැගී එන නිළිය සම්මානය. ඒ වගේම හොඳම නිළිය සම්මානයක් මීට පෙර ලැබුණා. ඒත් ඒ ජූරියේ විශේෂ සම්මානයක්. හොඳම නිළිය සම්මානය ලැබුණු පළමු වතාව මේක.

සරසවිය සම්මාන කියන්නේ සිනමා ක්ෂේත්‍රයේ දීර්ඝ ඉතිහාසයක් තියෙන සම්මාන උළෙලක්. එවැනි සම්මාන උළෙලක හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබීම ඔබට කොහොමද දැනෙන්නේ?

සරසවිය සම්මාන උළෙල කියන්නේ චිත්‍රපටි ක්ෂේත්‍රයේ සතුටු වෙන්න පුළුවන්, සමරන්න පුළුවන් දවසක්. මේ වගේ අවධියක ඒක නොකඩවා පවත්වාගෙන යාම ගැන මම සතුටු වෙනවා. ඉස්සර චිත්‍රපටි කියන්නේ රටේ ජනතාවට බොහොම සමීප දෙයක්. මිනිස්සු නිතර චිත්‍රපටි ශාලාවලට රොක් වුණා. ඒත් දැන් ඒක ගිලිහී යමින් පවතිනවා. නිර්මාණකරුවා දැන් අර්බුදයකට ලක්වෙලා තියෙන්නේ. ඒ වගේ අවධියක මේ වගේ සම්මාන උළෙලක් පැවැතීම සහ එවැනි සම්මාන උළෙලකින් සම්මානයක් ලැබීම ගැන මම සතුටු වෙනවා.

ඔබට මේ සම්මානය ලැබුණේ "ප්‍රේමය නම්" චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටය ගැනත් කතා කරමු?

"ප්‍රේමය නම්" චිත්‍රපටයේ මගේ චරිතය සඳහා මට කලින් ගොඩක් රංගන ශිල්පීනියන් යෝජනා කරලා තිබුණා. ඒකට මාව යෝජනා කළේ ප්‍රසන්න විතානගේ මහත්මයා. "ප්‍රේමය නම්" චිත්‍රපටයට රංගන ශිල්පීන් තෝරාගැනීමේදී පෙර පරීක්ෂණයක් තිබුණා. ඒකෙදි තමයි එහි අධ්‍යක්ෂවරුන් වෙන කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ මට මුණගැහෙන්නේ. ඒක ඔවුන්ගේ පළමු චිත්‍රපටය. ඒ පරීක්ෂණයේදී ඔවුන් මාවයි ශ්‍යාම්වයි තෝරගන්නවා. අපි ගොඩක් කතාබහ කළා, පෙර පුහුණු වීම් කළා. මේ ශ්‍යාම් අයියාත් එක්ක මට රඟපාන්න ලැබුණු පළවෙනි අවස්ථාව. මට ලැබුණු හොඳම රංශන ශිල්පියෙක් ඔහු. ඒ වගේම "ප්‍රේමය නම්" චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වෙන ඇමරිකානු ජාතික 'ජාන්'ගෙන් අපිට ලැබුණු සහයෝගයත් මතක් කරන්න ඕනේ.

සමනලී චිත්‍රපට තෝරාගැනීමේදී කලාත්මක චිත්‍රපට තෝරාගන්න වැඩි නැඹුරුවක් දක්වනවා. ඒ ඇයි?

නැහැ. එහෙම දෙයක් නැහැ. චිත්‍රපටයේ ප්‍රවර්ගය මම බලන්නේ නැහැ. චිත්‍රපටය ලියවිලා තියෙන විදිහයි මට වැදගත්. මම වාණිජ චිත්‍රපටවලත් රඟපාලා තියෙනවා. මම බලන්නේ කතාව ගැන. මගේ චරිතය ගලාගෙන යන ආකාරය ගැන. මට ඒ චරිතයෙන් වෙනස් වැඩක් කරන්න පුළුවන්, අලුත් වැඩක් කරන්න පුළුවන් නම් මම ඒ චරිතය භාර ගන්නවා.

ඔබ සම්බන්ධ වෙන්නේ රැඩිකල් චිත්‍රපටවලට විතරයි කියලා සමහරු කියනවා.

ඒ කියන සමහරු රැඩිකල් කියලා අදහස් කරන්නේ මම අදහස් කරන දෙයම නම් ඒ කියන එක හරි. රැඩිකල් කියන්නේ යමක් පවතිනවාට වඩා වෙනස් විදිහකින් මනුෂ්‍යත්වය උදෙසා හිතන එක. මනුෂ්‍යත්වය කියන කෑල්ල රැක ගන්න තමයි අපි වෙනස් දේවල් කරන්නේ. රැඩිකල් කියන්නේ මනුෂ්‍යත්වය දිහා බලන එක විදිහක්. අපි රඟපාන චිත්‍රපට අවසානයේ ප්‍රශ්න කරන්නේ මේ මොහොතේ බිඳ වැටුණු මනුෂ්‍යත්වය ගැන. ඒ නිසා ඒ අය රැඩිකල් චිත්‍රපටි කියන්නේ ඒකට නම් ඒක හරි.

සිනමාව හා රංගනය හදාරන්න ලංකාවේ තැනක් නැහැ කියලා මතයක් පවතිනවා. ඒ ගැන සමනලීගේ අදහස?

ඇත්තටම ලංකාවේ රංගනය හදාරන්න තැනක් නැහැ. විශ්වවිද්‍යාලවලින් රංගනය විෂයක් හැටියට හදාරන්න පුළුවන්. ඒත් විශ්වවිද්‍යාලයේත් වේදිකා නාට්‍ය ගැන විතරයි වැඩි නැඹුරුවක් දක්වන්නේ. ඒ වගේම එළියේ ඉන්න අයට රංගනය හදාරන්න තැනක් නැහැ. චිත්‍රපටි රංගනය කියන්නේ වෙනම දෙයක්. ඒක හදාරන්න ලංකාවේ තැනක් හැදෙනවා නම් හොඳයි.

කාලයක් තිස්සේ ලංකාවේ සිනමාවේ එක්තරා රැල්ලක නිර්මාණ බිහි වුණා. ඒත් දැන් තියෙන නිදහස් අවකාශයත් එක්ක තාමත් සිනමාව කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද?

ඒකට පළමු අර්බුදය සිනමාකරුවන්ගේ චින්තනය. ලංකාවේ සිනමාවේ විවිධ වකවානුවල විවිධ රැලි ඇවිත් තියෙනවා. පහුගිය කාලේ තිබුණු රැල්ල තමයි ජාතක කතා, ඉතිහාස කතා රැල්ල. ඒ කාලේ සිනමා නිර්මාණ ඒ විදිහට හැදුණේ රාජ්‍ය කේන්ද්‍රීය දෘෂ්ටිවාදයත් එක්ක. මේ මොහොතේ ඒක වෙනස් වෙමින් පවතිනවා. මේ අවකාශය අලුත් අයට වැඩ කරන්න හොඳයි. ඒත් කලාකරුවාට ස්වාධීන වෙන්න තවත් ඉඩකඩ අවශ්‍යයි.

පසුගිය සිනමා සම්මාන උළෙලවල හොඳම සම්මානලාභීන් දිහා බලන විට" සිනමාවේ එක්තරා යුගයක් නිශ්චිතවම අවසන් වෙලා" කියලා විචාරක මතයක් ආවා. ඇත්තටම ඒ යුගය දැන් ඉවරද?

යුගයක් ඉවර වෙලා තියෙනවා. ඒක පිළිගන්න ඕනේ. ඒත් අමතක කරන්න බැහැ ඒ යුගය මතින් තමයි අලුතින් යුගයක් බිහිවෙන්නේ කියලා. ඒ යුගයන්වල කලාකරුවන් කරපු නිර්මාණවල ගුණාත්මකභාවය සහ හරය තුළින් තමයි අලුත් යුගය ගොඩනැඟුණේ. අලුතින් යුගයක් ගොඩනැගෙන එක ජයග්‍රහණයක් නෙමෙයි. යුගයන් එනවා යනවා. ඒත් මිනිස්සුන්ගේ චින්තනය එකම තැන නම් වැඩක් නැහැ. ඒ බිහිවෙන යුගය ජයග්‍රාහී වෙන්නේ ඒ යුගයෙන් මිනිස්සුන්ගේ ඔළු හැදෙනවා නම් විතරයි. නැත්නම් කොච්චර අලුත් යුග බිහිවුණත් වැඩක් නැහැ.

සමනලී ෆොන්සේකා කියන චරිතය ඉදිරියේදී කොයිබට යයිද?

ඒක කියන්න බැහැ. සමනලී ෆොන්සේකා රංගන ශිල්පිනියක් හැටියට කලාව තුළ වැඩ කරලා මැරිලා යයි.

මාතෘකා