සොක්කන් ලියූ “නිදන් වදුලු” සහ මිනිසුන් අන්දන “ගජබින්න”

 ඡායාරූපය:

සොක්කන් ලියූ “නිදන් වදුලු” සහ මිනිසුන් අන්දන “ගජබින්න”

කොළඹ ජාතික කෞතුකාගාරයේ පුස්තකාලයේ ආරක්ෂිත සේප්පුවක තැන්පත් කොට ඇති විශේෂ පුස්කොළ පොතක් තිබේ. එම සේප්පුවේ යතුර කිසිවකුටත් ලබාගත නොහැකි ස්ථානයක වෙනම සංරක්ෂණය කෙරේ. එලෙස සංරක්ෂණය කොට ඇති විශේෂ අභිලේඛනය හෙවත් පුස්කොළ පොත හැඳින්වෙනුයේ ‘නිදන් වදුල’ යනුවෙනි. එමෙන්ම එය මෙලෙස ආරක්ෂා කිරීමට ද විශේෂ හේතුවක් තිබේ. එනම් පෙර රජ දරුවන් විසින් අප රටේ බොහෝ ස්ථානවල නිදන් කොට ඇති කෝටි, ප්‍රකෝටි ගණන් වටිනා වස්තුව පිළිබඳවද එම ස්ථානවලට යා හැකි මං සලකුණු පිළිබඳව සේම එම නිදන් ලබාගත හැකි නොවරදින ක්‍රමෝපායන් පිළිබඳවද එම නිදන් වදුලෙහි අකුරක් නෑර විස්තර කොට තිබේ.

ඉහත සඳහන් ප්‍රකාශය මෑතකදී මට අසන්නට ලැබුණේ සමාජයේ ඉහළ තනතුරක් හොබවන විද්වත් වෘත්තිකයෙකුගෙනි. ඔහුගේ එම කීම එහි සිටි බොහෝදෙනෙකු පිළිගන්නා බවද පෙනිණි. ඒ 1991 වසරයි. කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයට පිවිසි එක්තරා පුද්ගලයෙකු එවකට මහජන පරිශීලනය සඳහා අවස්ථාව ලබාදී තිබුණු නිදන් වදුල පුස්තකය සමීපයේ සැක කටයුතු අයුරින් හැසිරුණු අයුරු එහි සේවකයෙකු හට පෙනිණි. ඒ කෙරෙහි වඩාත් විමසිලිමත් වූ ඔහුට දැක ගත හැකි වූයේ එම පුද්ගලයා ඉතා සූක්ෂම ලෙස එම නිදන් වදුල පුස්තකයෙන් පිටු කිහිපයක් ගලවා ඉවත් කොට ඇති බවකි. එම සිදුවීම ඒ මොහොතේම එවක කෞතුකාගාර අධ්‍යක්ෂ පදවිය හොබවූ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා වෙත දන්වනු ලදුව ආරක්ෂක අංශ මඟින් එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබීය. ඉන්පසුව ඒ සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කරමින් ඔහු කියා සිටියේ ඒ වනවිට දිළිදු බවේ අන්තයටම ගොස් සිටින තමන් ඉන් ගොඩ ඒම පිණිස නිධානයක් ගොඩ දැමීමට බලාපොරොත්තුවෙන් එම නිදන් ඇති ස්ථාන හඳුනා ගැනීම පිණිස එම නිදන් වදුලෙන් පිටු කිහිපයක් සොරකම් කිරීමට උත්සාහ කළ බවය.

මෙම සත්‍ය ප්‍රවෘත්තිය අසන සිංහල සාහිත්‍ය හෝ සිංහන සිනමාව පිළිබඳව උනන්දුවක් පළ කරන ඕනෑම අයෙකුට ජී. බී සේනානායකයන්ගේ ‘දුප්පතුන් නැති ලෝකය’ කෙටිකතා සංග්‍රහයේ එන ‘නිධානය’ හෝ එම කෙටිකතාව ඇසුරින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් සිනමාවට නැංවූ ‘නිධානය’ චිත්‍රපටිය සිහියට නැංවෙනු ඇත. එහි සඳහන් වනුයේද මෙබඳු නිදන් වදුලක එන තොරතුරක් මත නිධානයක් ගැනීම පිණිස තම ආදරණීය බිරිඳ බිලිදී කිසිත් නොලැබී අවසානයේ දිවි නසා ගන්නා පුද්ගලයෙකු පිළිබඳ අනුවේදනීය පුවතකි.

අප සමාජයෙහි බොහෝදෙනෙකු සිතා සිටිනුයේ නිදන් වදුල නමින් එක් කෘතියක් පමණක් ඇති බවකි. එහෙත් වදුල් පොත් යනුවෙන් හැඳින්වෙන පැරණි ලේඛන රාශියක් තිබේ. නිදන් වදුල පොත් යනු ඉන් එක් වර්ගයක් පමණි. වදුල ශාස්ත්‍රය යනුවෙන් හැඳින්වෙනුයේ අපගේ ආදිතමයන් විසින් ලොවට දායාද කළ යම් යම් වටිනා දේ පිළිබඳව මතු පරපුර දැනුවත් කිරීම සම්බන්ධයෙන් පසුකාලීනව ලියැවුණු ලේඛන සම්බන්ධ විෂය පථය බව පැවසෙයි. නමුත් එවැනි විශේෂිත ශාස්ත්‍රයක් මෙරට ජන විඥානයෙහි සනිටුහන් වී ඇති බවක් නම් නොපෙනෙයි. මෙම වදුලු ශාස්ත්‍රය හෙවත් සාහිත්‍යය බෙහෙත් වදුල, වැව් වදුල, ධාතු වදුල, චෛත්‍ය වදුල සහ නිදන් වදුල වශයෙන් කොටස් පහකින් යුක්ත වේ. එම සමහර වදුල් සම්බන්ධ කෘතීන් හමුවී නොමැති බව ද කිව යුතුය. එහෙත් ඉන් ජනප්‍රියම වදුල වන නිදන් වදුල පිටපත් නම් කිහිපයක් හමු වී තිබේ.

පැරණි සිංහල සාහිත්‍ය කෘතීන් බොහෝමයක් රාජ්‍යත්වය සහ භික්ෂූත්වය මත පදනම් වූ මහා සම්ප්‍රදායේ කෘතීන් බව පෙනේ. එහෙත් මෙම වදුලු ශාස්ත්‍රය හෝ සාහිත්‍යාංගය විමසීමේදී ඉතා පැහැදිලිව පෙනී යන කරුණක් තිබේ. එනම් මේවා හුදෙක් මූල ගැමි සම්ප්‍රදායේ නොවැදගත් කෘතීන් බවය. නොඑසේ නම් ඉහත කෘතීන් ලොක්කන් ලියා ඇති අතර මේවා ලියා ඇත්තේ ‘සොක්කන්’ බවය.

සබරගමුවෙන් බිහි වූ අග්‍රගණ්‍ය පැවිදි පඬිරුවනක් වූ පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල ස්වාමීන් වහන්සේ මෙම නිදන් වදුල ශාස්ත්‍රය සහ සාහිත්‍යංගය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් කොට තිබේ. එහිදී උන්වහන්සේ පෙන්වාදුන්නේ සබරගමු වදුලුපොත, අනුරාධපුර පුරිගස්වැවේ මැණික්රාළ නැකැතාගේ වදුලුපොත, අනුරාධපුර අටරක්කාවේ උක්කුවා වෙදමහතාගේ වදුලුපොත, ඌවේ මුදියන්සේලාගේ කීර්ති රත්නගේ වදුලුපොත සහ කුරුණෑගල උග්ගල්ලේ රටේ මහත්තයාගේ වදුලුපොත ආදී වදුලුපොත් පරීක්ෂා කොට ඇතත් ඒවා එකිනෙකට වෙනස් සංකීර්ණතාවලින් යුක්ත බව තහවරු වී ඇත. එමෙන්ම ඒවායේ භාෂාවන්ගේ ස්වරූපය අනුව ඒ සියලුම නිදන් වදුලු මහනුවර යුගයට වඩා පැරණි ඒවා නොවන බවද මේ වනවිට සනාථ වී තිබේ. තවද එම නිදන් වදුල්හි භාෂා හැසිරවීම් ආදියෙන් ඒවා නූගතුන් විසින් සම්පාදනය කරන ලද ඒවා බව සනාථ වීමෙන් පසු ඒවායේ කිසිදු සාහිත්‍යමය වැදගත්කමක් නොමැති බව ද මනාව තහවරු වී ඇත. ඒ අනුව මහා සම්මත රජු සමයේ සිට මේ මිහින්තලය තුළ නිදන් කොට ඇතැයි පැවසෙන වස්තුව පිළිබඳ ‘ගජ බින්න’ වලින් ඔබ්බෙහි වූ කිසිවක් එම නිදන් වදුලුවල නොමැති බව පොදු විද්වත් මතයයි.

එම නිදන් වදුලු ග්‍රන්ථවල පැවැසෙන පරිදි නිදන් ඇති තැන් හඳුනාගත හැකි නිදන් ලකුණු හැටහතරකි. සක්, ඊ, කවුඩු, නෙළුම්, කුකුළු, ඊතල, ත්‍රීශූල, ඇත් අඩිය ඒ ලකුණු අතර වෙයි. එමෙන්ම එම නිධානය තැන්පත් කොට ඇති රජතුමා පිළිබඳ විස්තර එම නිධානයෙහි අඩංගු වස්තුව සහ ඒවා ලබාගත හැකි අන්දම ද එම නිදන් වදුලුවල සඳහන් වෙයි.

 

ඇත් හොඬයයි නෙළුමයි

දකුණුට පියවර හතයි

නැවතත් කොලයි කළු කොහිල කා ගනු

මින් පැවසෙනුයේ ඇත් හොඬයක් සහ නෙළුමක් කොටා ඇති පර්වතයක දකුණට පියවර හතක් ගිය තැන මොනවා හෝ කෝටියක ධනය ඇති බවත් කළු කොහිල ආකාරයට ගැනීමෙන් පසු ඒවා හිමිකර ගත හැකි බවත්ය. එමෙන්ම මෙම නිදන්වදුල අරක් ගෙන ඇතැයි ජන සම්මතයේ එන බහිරවයා සඳහා පැවැත්විය යුතු පූජා පිළිබඳව ද මෙම නිදන් වදුලුවල සඳහන් වෙයි. ඒ අනුව මේවායේ ඉදිරිපත් කිරීම්වල ඇති ගොබ්බ ස්වරූපය නොතිබී නම් අත්භූතවාදී සාහිත්‍යංගයක් ලෙස හෝ මේවාට යම් වටිනාකමක් දිය හැකිව තිබුණි.

නිදන් වදුලෙහි එන නිදන් ලකුණු යනු බොහෝවිට කළු ගල්වල කොටවන ලද යම් යම් රූ සටහන්ය. නිදන් වදුලු රචනා කළ වුන් නිදන් ලකුණු වශයෙන් හැඳින්වෙන මේවා බොහෝ විට ප්‍රාදේශීය වශයෙන් භූමිය බෙදා වෙන් කරන කඩඉම් ලකුණු බව ශාස්ත්‍රීය වශයෙන් අද වන විට මනාව තහවරු වී තිබේ.

අදවන් ව්‍යවහාරයේ පවතින රත්නපුර, අටකලන්පන්න කෝරලයේ සීමාව වෙන් කිරීම සඳහා ගලක කෙටූ ලේනෙකුගේ රුවක් භාවිත කර ඇත. කලන්දක යනු පාලි භාෂාවෙන් ලේනා හඳුන්වන නාමයයි. වත්මන් රත්නපුරය අතීතයේ හඳුන්වා ඇත්තේ නව යොවුන් රට යනුවෙනි. එය දිග ප්‍රකාශ කෙරෙන්නාක් නිසා ඒ බව හැඟවීමට එම සීමාවේ පර්වතයක නාගයෙකු කොටා තිබේ. එමෙන්ම හඳපාන්ගොඩ සීමාව දැක්වීම පිණිස පර්වතයක සඳක් කොට ඇති අතර සුනඛයෙකුගේ සහ පහනක රූපයක් සහිත කඩඉම් ලකුණට මායිම් වන කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශය අද ද හැඳින්වෙනුයේ බල්ලපාත යනුවෙයි. ඊට අමතරව මහා සංඝරත්නයට අයත් සාංඝික දේපල සහිත ස්ථානවල ද පර්වතාශ්‍රිතව සුනඛයෙකුගේ සහ කපුටෙකුගේ රූප කොටා තිබේ. ඒ සාංගික දේපල පරිහරණය කිරීමෙන් බලු කපුටන් වී ඉපැදෙන බව පවසමින් ජනතාව ඒ සම්බන්ධ පසු බෑමක් ඇති කර තිබේ. එහෙත් මහනුවර යුගයෙන් පසු නූගත් කපටි නිදන් වදුලු රචකයින්ට මේවා නිදන් ලක්ෂණය.

1890 වසරේ අංක 15 දරණ පුරාවිද්‍යා ආඥාපනතට පෙර ක්‍රියාත්මක වී ඇත්තේ 1887 අංක 17 දරන නිදන් වස්තු ආඥා පනතයි. ඉංග්‍රීසීන් එම ආඥා පනත එනමින් සම්මත කිරීමට හේතු වූයේ ඒවා ඉවක් බවක් නොමැතිව සිදු වූ ස්ථූප සහ ස්මාරක හැරීම නතර කිරීමට බව පෙනේ.

අවසාන වශයෙන් ඇලඩින්ගේ පුදුම පහනේ කතාවටත් වඩා අස්වාදාත්මක පුවත් සහිත මෙම නිදන් වදුල රචනා කිරීමේ හේතුව ද අප දැන සිටිය යුතුය. මහනුවර සමයේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශ ලන්දේසීන් පාලනය කළ යුගයේ එතෙක් මෙරට භික්ෂූන් සහ ගිහියන් අතර පමණක් ව්‍යාප්තව පැවැති සාක්ෂරතාව සාමාන්‍ය ජනතාව අතර ද ව්‍යාප්ත විය. එවිට ඉන් ගතයුතු ප්‍රයෝජන ගැනීමට මාන බැලූ සමහරෙකු නිදන් වදුලු නමින් හැඳින්වෙන මෙම පුස්කොළපොත් සකස් කොට කළුමැද ඒවායින් කෝටි ප්‍රකෝටි ගණන් වස්තුව උපයා ගත හැකි බව පවසා කන්ද උඩරට සහ සබරගමු ප්‍රභූන්ට ඒවා ඉහළ මිල ගණනන්වලට විකුණූ බව පෙනේ. අද රටපුරා පිටපත් කිහිපයක් ඉතිරිව ඇත්තේ කොළඹ ජාතික කෞතුකාගාරයෙහි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයෙහි සහ තවත් ස්ථාන කිහිපයක ඇත්තේ ද ඒ අශාස්ත්‍රීය අව්‍යක්ත ලේඛන පිටපත් පමණි. එහෙත් මේවායේ යම් ඓතිහාසික සහ කෞතුක අගයක් ඇති බැවින් සංරක්ෂණය කෙරේ. ඒ අනුව එම නිදන් වදුලු ඔස්සේ නිදන් හැරීමට සැරසෙන්නවුන්ට අවසන් වශයෙන් කිය යුත්තක් තිබේ.

එනම්, සිහිනෙන් දුටු ඉඩමක ඔප්පු පරීක්ෂා කිරීම පිණිස ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයට යාම ඊට වඩා අතිශය නුවනක්කාර ක්‍රියාවක් බවය.

සහන් සංකල්ප සිල්වා

මාතෘකා