සහනය ගෙන දෙන සංගීත චිකිත්සාව

 ඡායාරූපය:

සහනය ගෙන දෙන සංගීත චිකිත්සාව

වර්තමානයේ බොහෝ දෙනෙක් ගත කරන්නේ අතිශය කාර්ය බහුල ජීවිතයක්. එම කාර්ය බහුල ජීවිතය තුළ සෞන්දර්ය රසය විදීමට බොහෝදෙනෙකුට කාලයක් නැහැ. බස් රථයේදී හෝ අතරමගකදී හෝ ගීතයක් අසනවා වෙනුවට ගීතයක් ඇස්සවීමක් තමයි සිදුවෙන්නේ. ඒ ආකාරයට ඇසෙන ගීතයත් බොහෝ වෙලාවට මානසික ආතතිය තවත් වැඩි කරවීමට හේතු විය හැකියි. වර්තමාන ගීත කලාවේ ඇසෙන බොහෝ ගීත අයත් වන්නේ මේ ගණයට.

සංගීතය ඇසීම මානසික ආතතියට ඉතා හොඳ චිකිත්සාවක්. නමුත් ඔබ අසන සංගීතය, ඔබ තුළ ආතතිය වැඩිකරවයි නම් එය චිකිත්සාවක් වන්නේ නැහැ. සංගීත චිකිත්සාව කියන්නේ ගීතයකට සවන්දීම පමණක් නෙවෙයි. සංගීත චිකිත්සාවේ එක්අංශයක් තමයි සරල සංගීත රිද්මයන්ට සවන්දීම. මානසිකව ආතතියට ලක් වූ අවස්ථාවකදී මෙවන් සංගීත රිද්මයකට සවන්දීම තුළින් මානසික ආතතිය අවමකර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ගීතයක අර්ථ රසය විඳීම ආතතිකාරී අවස්ථාවකදී ගීතයක අර්ථ රසය හා ශබ්ද රසය වින්දනය කිරීම ඉතා ප්‍රතිඵලදායක ක්‍රමයක්. නවනළු රසයන්ට අදාළ අර්ථවත් ගීත සමුදායක් ලාංකේය ගීත සාහිත්‍යය තුළ පවතිනවා. මිනිසා විසින් සකස් කළ සංගීතය පමණක් නෙමෙයි සංගීත චිකිත්සාවට අදාල තවත් අංශයක් තමයි ස්වභාවික පරිසරයේ ශබ්ද රස විඳීම. කුරුලු ගීත නාදය, වැස්ස වැටෙන හඬ, වතුර ගලා බසින හඬ, රාත්‍රී පරිසරයේ ශබ්ද නිහඬව විදීමත්සංගීත චිකිත්සාවේ එක් අංශයක්.

සංගීතය චිකිත්සාවක් බවට පත්වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ, ඒ තුළින් මනා සංගීත රසවින්දනයක් , මානසික ඒකාග්‍රතාවයක් ඇතිකරවනවා මෙන්ම සමහර කායික රෝග සුවපත් කරවීමටත් ඖෂධයක් බවට පත්වන නිසයි. දෙමාපියන් බොහෝ අවස්ථාවන්හිදී කරන චෝදනාවක් තමයි දරුවන් පාඩම් කරන්නේ සිංදු අහන ගමන් කියන එක. එහි අංශ දෙකක් තියෙනවා. එකක් තමයි ගීතයක් අසමින් පාඩම් කිරීමේදී අවධානය ගීතයට වැඩිපුර යොමුවෙන්න පුළුවන්. නමුත් සරල සංගීත ඛණ්ඩ පසුබිමින්යොදා ගැනීමෙන් මානසික ඒකාග්‍රතාව ඇතිකරවා ගැනීමටද පුළුවන්.

ගීත රසවින්දනය එකිනෙකාට වෙනස්විය හැකි සාපේක්‍ෂ දෙයක්. සංගීත චිකිත්සාව සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණයන්හි නිගමනවලට අනුව සනාථ වූ එක් කරුණක් වන්නේ බොහෝ අවස්ථාවලදී වේග රිද්ම ගීත කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන පිරිස ආක්‍රමණශීලී ප්‍රතිචාරයන්ට යොමුවීමේ හැකියාව වැඩි බව. නමුත්එකිනෙකාගේ මානසික ඒකාග්‍රතාවය ඇතිකරන සංගීතය විවිධ විය හැකියි.

අතිශය කාර්ය බහුල ජීවිතයක් ගත කරන බොහෝදෙනෙකුට මනස සැහැල්ලු කරගැනීමට සංගීතය යොදා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි බොහෝ අවස්ථාවන්වලදී ගැටලු රාශියකට මැදිවූ අයෙකුට තීරණයක් ගැනීමට ප්‍රථම සරල සංගීත රිද්මයක් හෝ ස්වභාවික සංගීතය සමග එක්ව මනස සැහැල්ලූ කර ගැනීම තුළින් වඩා ප්‍රතිඵල දායක වූ විසඳුමක් කරා ගමන් කරන්න පුළුවන්.

වේග රිද්ම සංගීතයකට පැය කිහිපයක් නිරාවරණය වීමෙන් පුද්ගලයකුගේ මානසික ආතතිය ඉහළ මට්ටමකට පත්වෙනවා. මානසික ආතතිය ඉහළ මට්ටමක පවතින පුද්ගලයකුට ඉතා ඉක්මනින් කේන්තියාම සිදුවිය හැකියි. ඔබ බස් රථයේ දී හෝ අතරමගකදී හෝ ඔබගේම කැමැත්තෙන් අසන ගීතය ඔබ හා ඔබගේ පවුලේ සාමාජිකයන් අතර හිත් අමනාපකම් ඇතිකරවීමට හේතුවක් විය හැකියැයි ඔබ මොහොතකටවත් නොසිතන්නට ඇති.

සංගීතය කියන්නේ මිනිසාට ඉතාමත් සමීප සෞන්දර්ය අංගයක්. සංගීතය ප්‍රබල වන්නේ පුද්ගලයකු තුළ නව චර්යාවක් ඇතිකරවීමට හැකියාවක් සංගීතයට පැවතීමයි. අර්ථවත් හා චිකිත්සකමය සංගීතය ගැටලූකාරී චර්යාවන් මගහැර ගැනීමට සහ රෝග සුවපත්කර ගැනීමට යොදා ගැනීමේ හැකියාව පවතිනවා. එලෙසම සංගීතය නිවැරදි අවබෝධයෙන් තොරව භාවිතය තුළින් මිනිසාට ඉතාමත් අහිතකර ලෙස බලපාන්න පුළුවන්.

අද වනවිට අප ජීවත්වන්නේ ඉතාමත් දියුණු සමාජයක. ඔබ ගමන් ගන්නේ ඔබගේ වාහනයක නම්, එහි වාදනය වන සංගීතය ඔබට තීරණය කළ හැකියි. ජංගම දුරකතනයක් අත නොමැති අයෙක් අද සමාජයේ නොමැති තරම්. ඔබ පසුවන්නේ අසහනකාරී මානසික තත්ත්වයක නම්, ක්‍ෂණිකව ගුණාත්මක සංගීත ඛණ්ඩයක් සොයාගෙන සවන්දීමේ තාක්ෂණය ඔබ අසලම පවතිනවා. විවේකී මනස සැහැල්ලූ කර ගැනීමට අවස්ථාවක් නැතැයි පවසන බොහෝ දෙනෙකුට අර්ථාන්විත හෝ සරල සංගීත ඛණ්ඩයක් සමඟ ගත කරන සුළු කාලය තුළින් නිසැකවම මානසිකව සැහැල්ලුවක් අත් විඳ ගත හැකියි.

[මනෝ උපදේශිකා ඉවෝනි දිල්කි]

මාතෘකා