තුරුණු අත්වලින් නිමැවුණු පුංචිහාමිගේ හීන මාළිඟය

 ඡායාරූපය:

තුරුණු අත්වලින් නිමැවුණු පුංචිහාමිගේ හීන මාළිඟය

"එදා තමයි මම ජීවිතේ සතුටුවුණු එකම දවස. හැමදාම දුකින් හිටියා කියන්නත් බැහැ. ඉපදුණු දවසෙ ඉඳන් සතුට කියන්නේ මොකක්ද කියන්න මං දැනගෙන හිටියෙත් නැහැ. ඒත් සතුට කියන්නේ මොකක්ද කියලා මේ පුතාලා මට මැරෙන්න කලින් දැනෙන්න දුන්නා, ඒ තමා මේ ගෙදරට අත්තිවාරම දාපු දවස ".   
එදිරිමාන්නගේ පුංචිහාමි නම් ඇගේ වයස අවුරුදු හැට නවයකි. හැට නවයකට වඩා වැඩිමහල් බවක් පෙන්වන මුහුණෙහි ඇත්තේ දශක ගණනාවක ඈ විඳි, කී නොකී දුක්ඛ දෝමනස්සයන්ගේ පරිපූර්ණ සිතුවමකි. ඔවුන් පෙළෙන්නේ දුප්පත්කමින්ද අසරණකමින්ද එසේත් නොමැති නම් ඒ ද්විත්වයෙන්ම ලද අත්දැකීම්වල කටුකත්වයෙන්ද යන්න පැවසීම පහසු නැත.   
මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රදේශයේ හැඩිවත්ත නම් ගම්මානයයි. නගරයෙන් ඈත්ව කුරුඳු, ගම්මිරිස් වගාවන්ගෙන් සැදුම් ලත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ගැමිකම පෙරදැරිකරගත් මිනිසුන්ගෙන් සමන්විත ගමකි. සමස්ත පරිසරයේම ඇත්තේ අඳුරකි. එය මිනිසුන්ගේ ජීවිත අනියමින් විවරණය කරන්නක් දැයි සිතෙන්නේ පරිසරයේ සුන්දරත්වය මිනිසුන්ගේ ජීවිතවල දැකගැනීමට අපහසු බැවිනි.   
රිටිගහයාය, අමුදමන ප්‍රදේශයේ තරුණයන් පිරිසක් පුංචිහාමිට නවනිවසක් ඉදිකර දෙයි. පුංචිහාමි වැඩිපුරම සතුටු වූ දිනය එම නිවසෙහි අත්තිවාරම දැමූ දිනය බව පවසන්නේ දෑසේ කඳුළු පුරවාගෙනය. පුංචිහාමි අවුරුදු ගණනාවක් ජීවත් වූයේ කටුමැටි නිවසකය. ඇයගේ පුතා, වැන්දඹු දුව සහ දුවගේ ළාබාල දරුවන් දෙදෙනා සමග ඇය එම කටුමැටි නිවසෙහි නොවිඳිනා දුක් වින්දාය.   
කටුමැටි ගෙවල් නගරයේ මිනිසුන්ට ආදර්ශ නිවාස වර්ගයකි. දරුවන්ට අතීත ලාංකිකයන් ජීවත් වූ නිවාස වර්ගයක් යැයි පෙන්විය හැකි දෙයකි. එහෙත් පුංචිහාමිට ජීවිත්වන්නට දෛවය උරුමකර දී ඇත්තේ ද එවන් නිවසකි. නගරයේ ඇති ආදර්ශ කටුමැටි නිවසක ඇති පහසුකමක්වත් මෙම නිවසෙහි නැත. කාමර වෙන් කර නැති නිවසෙහි කාමර, සාලය හා මුලුතැන්ගෙය යන සියල්ලටම ඇත්තේ කටුමැටිවලින් කොටුකළ බිම් කඩකි. එහි වහල සුළඟට ගැළවී යයි. වහල සහ කටුමැටි අතරින් රිලවුන් පැමිණීම වැළැක්වීමට කැලේ ඇති කටු වැල් වේලා එහි අතුරා තිබේ.එහි එක් ඇඳකි. එහෙත් එයද අබලන්ය. මෙම නිවසෙහි මේ මිනිසුන් කෙසේ ජීවත් වුණා දැයි සිතා ගැනීමට නොහැකි තරම් එය අබලන් තත්ත්වයේ පැවතුණි. අප සමග කතාකළ පුංචිහාමිගේ දියණිය පැවසුවේ කටු වැල් අතුරා තැබීමට හේතුව දරුවා ආරක්ෂා කර ගැනීම බවය.  
"මම අනූෂා සංජීවනී. මේ මල්ලිලා එන කාලෙ වෙද්දි මගේ දෙවැනි දරුවට මාස එක හමාරයි.දරුවා තියලා තිබුණේ බිම පැදුරක. එදා හොඳටම වැස්ස. දරුවව හිරිකඩට තෙමෙනවා. මං චීත්තෙකින් දරුවා ඔතාගෙන හිටියේ. අපි කටුවැල් වේළලා වහලයි බිත්තියයි අතරේ ගහලා තියෙන්නේ රිලවු එනවට. දරුවා අරන් යනවා උන් ආවොත්. අපිට හැමවෙලේම ඇතුළට වෙලා ඉන්න බැහැනේ. මායි අම්මයි පොල්අතු අරගෙන ඇවිත් ඉරටු සුද්දකරලා තමයි එදා වේල හදාගන්නේ"  
ඈ දිගටම තම විස්තරය පවසයි. දරුවන් දෙදෙනා සමග ඇගේ තරුණ ජීවිතය තනිකර දැමූ පිරිමි දෙදෙනෙකි. වැඩිමහල් දියණිය පාසල් යයි. දුවගේ වියහියදම් කිරීම ඇයට අපහසුය.   
" දවසක් මේ මල්ලිලා ටික දෙනෙක් ඇවිත් අපිට ගෙයක් හදලා දෙනවා කියලා කිව්වා. ඒත් දේශපාලනඥයො පවා ඇවිත් එහෙම බොරු පොරාන්දු දුන්නු නිසා අපි ඒ ගැන පොඩි විශ්වාසයක්වත් තියාගෙන හිටියේ නැහැ. නින්දක් නිදාගෙන ඇහැරිලා බලද්දි ගෙයක් ලැබිලා වගේ හරියටම මාසයක් ඇතුළත අපට ගෙයක් හදලා දුන්නා. ඒක තාමත් හීනයක් වගේ.. අපිට අපේම කියලා ගෙයක් තියන එක ගැන හිතාගන්නවත් බැහැ.   
මම මේක කියන්නම ඕන. මේ මල්ලිලා ඒ වැඩකරපු මාසෙ ඇතුළත සතපහක දෙයක්, තේ උගුරක්වත් අපෙන් ගත්තේ නැහැ. රෑ එළිවෙනකම් මාරුවෙන් මාරුවට වැඩකළා. අපිට ගෙදරට අවශ්‍ය බඩු එක්ක අංගසම්පූර්ණ ගෙයක් ලැබුණා." 
ඇගේ දරුවා එක ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.ඉගෙනීමට සුදුසු වාතාවරණයක් තබා හුස්මක් ගැනීමට සුදුසු අවකාශයක් හෝ නොතිබුණු නිවසින් ඉවත්වීම පිළිබඳ ඈ සිටින්නේ අප්‍රමාණ සතුටකිනි.  
"ලේ නෑයෙක්වත් කරන දෙයක් නෙවෙයි අපිට කරලා දුන්නේ. අවුරුදු ගානක් අපි මේ ගෙදර හිටියා. අයියයි, මායි, අම්මයි, දරුවෝ දෙන්නයි තමයි එකට හිටියේ. මගේ දරුවට උනත් ඉගෙනගන්න ආස හිතෙනවා. ජීවිතේ කිසිම කාලෙක අපි ලයිට් දාගෙන ගෙදරක ඉඳලා නැහැ. මේ අවුරුදු 30ටම මං ඉඳලා තියෙන්නේ කුප්පි ලාම්පු එළියෙන්. ටීවී එකක් ගෙදර තිබිලා නැහැ. දැන් අපිට ඒ හැමදේම තියෙනවා. ඒ හැමදේටම වඩා මගේ දරුවෝ හිරිකඩට අහුනොවී දැන් සැනසිල්ලේ නිදාගන්නවා. "  
මේ සියලු කතාබහ අප කරන අතරතුර නව නිවස ඉදිරිකළ තරුණයන්ගෙන් කිහිපදෙනෙක් නිවස අවට වැවී ඇති වල් පැළැටි කිහිපයක් ගලවනු දුටුවෙමි.එය තවමත් ඔවුන්ට තමන්ගේ වගකීමක් ලෙස ඔවුහු විශ්වාස කරති.   
මිනිසුන් මිනිසුන් වෙනුවෙන් කැපවිය යුතු වන්නේ කෙලෙසදැයි යන්න කීමට අටුවා ටීකා අනවශ්‍ය වන්නේ මෙවන් මිනිසුන්ගේ කැපකිරීම් දුටු විටය. තමන්ට අත්කරගත නොහැකි දෙයක් වෙනත් අයෙක් වෙනුවෙන් ලබාදීමට හැකි නම් ඔවුන්ට විශාල හදවතක් තිබිය යුතුය. මුදල් නොමැති නම් විශාල හදවතකින් පළක් නොවේ යැයි ඔබ සිතන්නේ නම්, කළ යුත්තේ එම තරුණයන්ට සවන් දීමය.  
"මේ ළඟ ඇළක් තියනවා. අපි දවසක් නාන්න ඇවිත් යද්දි ලොකු වැස්සකට අහුවුණා.අපි බයික්වලින් ආවේ.තෙමෙන්න බැරි නිසා අපි හෙවණක් කියලා දැකපු එකම තැනට ආවා. හීනෙකින්වත් හිතුවෙ නැහැ මෙතන මිනිස්සු ඉන්නවා ඇති කියලා. අපි දහයක් වගේ ගෙදරට එද්දි මේ මිනිස්සු බයවුණා. ඇත්තටම කියනවනම් අපිත් බයවුණා මේ මිනිස්සු ඉන්න හැටි දැකලා. අපිට මේ මිනිස්සුන්ට ගෙයක් හදලා දෙන්න ඕන කියන අදහස මුලින්ම ආවෙ ඒ වෙලාවේ."   
ඒ හඬ අවදිකළේ කපිල වසන්තය. ඔහු ත්‍රී රෝද රථ රියදුරෙකි.  
මෙම තරුණයන් අතරින් ත්‍රී රෝද රථ රියදුරන් කිහිප දෙනෙකි. මේසන් බාස්වරු, කුඩා ස්වයං රැකියාවල නිරත වන තරුණයන්, හේන් ගොවිතැන් කරන තරුණයන් සහ හමුදාවෙහි දෙදෙනෙක්ද ඇතුළත්ය. මෙම කටයුත්තට දායක වූවන් අතර හමුදාවේ රැකියාවේ නියුතු දෙදෙනා හැරුණු විට අන් කිසිවෙක් රජයේ රැකියා නොකරති. උසස් ගණයේ රැකියාවල නිරත නොෙවති. එහෙත් ඔවුන්ගේ එකමුතුකම, අධිෂ්ඨානය හා උණුවන සංවේදී හදවත මෙතරම් විශාල කාර්යයකට පාර පෙන්වන්ට ඇත.  
මේ කාර්යයේ මූලිකත්වය ගත්තේ නලින්ක දේශප්‍රියයි.ඔහු අවුරුදු 34ක තරුණයෙකි.  
"අපි දින 18 ක් ඇතුළත නිවස හදා නිමකළා. විශේෂයෙන්ම තුලාරව මතක් කරන්න ඕන. අද මෙතනට ආවෙ නැති වුණාට ඔහු හැමදේටම හිටියා. කෑම සපයගත්තේ අපිමයි. හැමදාම හැමෝම වැඩට ආවෙ නැහැ. වැඩට ආවෙ නැති අය ඒ දවස්වලට ගෙවල්වලින් කෑම ගෙනත් දුන්නා. අපි කාගෙන්වත් මුදල් එකතුකළේ නැහැ. අපි අපේ මුදල්වලින් මේ දේ කලේ. මුදල් අගහිඟකම් තියෙන තරුණයෝ බොහෝ දෙනෙක් ශ්‍රමයෙන් උදවු කළා. අපි කවුරුවත් අපේ ගෙවල්වත් අංගසම්පූර්ණව හදාගෙන නැහැ. ඒත් මේ මිනිස්සු ලබන සතුට දැක්කම දැනෙන සතුට අපි තනියම ගෙවල් හදාගත්තට දැනෙන්නෙ නැහැ.   
ඒ වගේම රුවන් ඉන්දික, සුජිත් මල්ෂාන්, දිලංක සඳකැලුම්, කපිල වසන්ත ඇතුළු අපේ ගමේ හැම තරුණයෙක්ම, දැනුවත් වීමකින් පවා අපට මුදලෙන්, ශ්‍රමයෙන් උදවුකළ අය ගැන මතක් කරන්න ඕන. වැස්ස හැරුණම වෙන කිසිම දෙයක් අපට ගැටලුවක් වුණේ නැහැ. කටුවන පොලිසියත් අපිට විශාල සහයෝගයක් ලබාදුන්නා. ඒ ගැනත් මතක් කරන්න ඕන. ඒ වගේම නාකඳවල පන්සලේ ලොකු හාමුදුරුවෝ විශාල හයියක් වුණා. උන්වහන්සේ වහල ගහනවා වගේ ලොකු වැඩවලට වගේම, වැඩකරන අයට තේ, කෑම ලබාදෙන එක පවා කළා. "  
නාකඳවල පන්සලේ නායක ස්වාමීන් වහන්සේ වන රුක්මල්පිටියේ හේමකිත්ති ස්වාමීන් වහන්සේ පැවසුවේ මෙම සත්ක්‍රියාවට උදවු කිරීමට හැකි වීම තමන්ට මහත් සතුටක් වූ බවය.  
" මේ තරුණයෝ එකතුවෙලා මෙහෙම වැඩක් කරනවා කියන දේ මම දැනගත්තේ ගෙදරට අත්තිවාරම් දාන දවසේ පිරිත් කියන්න මට ආරාධනා කරද්දි. ඉන්පස්සේ දොර ජනෙල් උළුවහු ටික පන්සලෙන් හදලා දෙන්න මම කටයුතු කළා. ඒ වගේම දායකයන්ට කියලා ඇඳක් හදවලා දුන්නා. පුළුවන් පමණින් වැඩකරන අයට කෑම, බීම ලබා දුන්නා. ඒත් ඒ කිසි දේකට මේ තරුණයෝ කරපු දේ සමකරන්න බැහැ. මේ කවුරුවත් ඇති අය නෙවෙයි. නැති කෙනෙක් නැති කෙනෙක්ට දෙයක් දීම තරම් උතුම් දෙයක් තව තියෙනවද?"  
අප දුටු තවත් දෙයක් වන්නේ මෙම නිවසට වැසිකිළියක් නිසියාකාරව නැති බවය. තවත් පිරිසකට ඒ සඳහා පිහිටක් විය හැකි නම් මේ එයට අවස්ථාවය. තිරුමන්දිරන් නම් යෝගී උපදේශ ග්‍රන්ථයේ වැකියක් මෙහි සටහනක් ලෙස තබන්නේ එවැනි හිතක් පහළ කර ගන්නෙකු වෙනුවෙන්ය.   
"යමක් දීමට තිබිය යුතු නැත. කිසිවක් නැතත් දිය හැකිය. ඔබට දිය හැකි යමක් නොවේ නම් ගහකින් කොළ අත්තක් කඩලා දෙන්න ගවයෙකුට. එක බත් මිටක් දෙන්න කුරුල්ලන් රංචුවකට"  

මාතෘකා