ලෝක නායකයන් ඇසුරු කරන පෑනේ මිතුරු තානාපති!

 ඡායාරූපය:

ලෝක නායකයන් ඇසුරු කරන පෑනේ මිතුරු තානාපති!

මේසයක් මත්තෙහි කුඩා වාහන කිහිපයකි. ඒවාද අප මහත් ආසාවෙන් අන්තර්ජාලය සිසාරා සොයමින් මිලදී ගැනීමට සිහින දකින වර්ගයේ වාහනය. මනස්කාන්ත ඇසුරුම් කිහිපයක් හැර බැලූ විට, ඒවා තුළද එවැනිම වාහන තිබිණි. මේවා සෙල්ලම් බඩු නොව සැබෑ වාහනවල කුඩා ආකෘති බව දැනෙන්නේ ඒවා අතින් ඇල්ලූ විටය. ඒවා බරය. සැබැවින්ම තනි අතකින් ඉසිලීමට නොහැකි තරම්ය. කාර්, බස්, ජීප්, කන්ටේනර්, බැකෝ හතළිහක පනහක එකතුවෙහි, 1948 වර්ෂයේ ලෑන්ඩ් රෝවර් පළමු ජීප් රියේ ආකෘතියත් ඇතුළත්ය. එහි සැබෑ වාහනයේ සියලුම අංගවලින් සමන්විතය.  ස්ටිකර් එකක හෝ වෙනසක් නැත!

මා ඒ සියල්ල පිරික්සද්දී, මේ වස්තු සම්භාරයෙහි උරුමකරු වූ දිමුතු ගයාන් විමලරත්න මහතා, ඒ එකිනෙකෙහි අගය මට විස්තර කළේය. ඒ හැම කුඩා වස්තුවක් පිටුපසම ලොකු කතන්දරයකි. මේ රථවාහන ආකෘති හැරුණු විට, එවැනි ලොකු කතාවලට නිමිති වන ලිපි රැසක්, මනා පිළිවෙළට ගොනු කළ ලිපි ගොනු රැසකි. ඒවායේ ඇත්තේ එංගලන්තයේ මහ රැජින ඇතුළු රාජකීයයන්ගේද ඇමරිකානු ජනාධිපතිවරයාද ඇතුළු ලොව බලවත්ම රාජ්‍යතාන්ත්‍රිකයන්ද සමග ඔහු කළ ලියුම් ගනුදෙනුය!
ඒ තරම් ලොකු ලොක්කන් ඇසුරු කරන දිමුතු ගයාන් විමලරත්න,  තම නමට ඉදිරියෙන් හෝ පිටුපසින් විශේෂණ පද නැති සාමාන්‍ය මිනිසෙකි.  ඔහු තමා ගැන කීමට කැමති එකම එක විශේෂණ පදයක් තිබේ. ඒ, 'පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය' යන විශේෂණයයි. ඒ හැරුණු විට ඔහු තමන් ගැන කීමට කැමති තවත් කරුණු කිහිපයකි.
එනම්, තමන් ස්වයං රැකියාවක නිරත වන බව, වසර එකහමාරක සුරුබුහුටි කොලුපැටියකුගේ පියකු බව හා ලෝකයේ සිටින තරමක් ලොකු ලොක්කන් සමග තමන් කරන ලියුම් පලහිලව් කාරුණිකව ඉවසා වදාරන තරුණ බිරිඳක ගේ සැමියකු බවය!
අමිල සිහිවටන
"මේවා ප්ලාස්ටික්වලින් හදන සෙල්ලම් වාහන නෙවෙයි. වානේවලින් හදන සැබෑ වාහනයක කුඩා ආකෘති. වාහන හදන කම්පැනි 400ක කළමනාකරුවන් මාව දන්නවා. ඒ අය මට ඒ කොම්පැනි නිපදවන වාහන සම්බන්ධ සඟරා සහ ආකෘති එවනවා. වාහන මිලදී ගන්න ඒජන්තවරයන්ට පමණක් ලැබෙන ඒ අවස්ථාව වාසනාවකට මටත් ලැබෙනවා. මේවා සාම්පල්. ලෝකය පුරා වාහන ලෝලීන්, මෙවැනි ආකෘති රැස් කරන්නන් අතරේ මේවාට ලොකු වටිනකමක් තියෙනවා. මට ලැබුණු හැම වාහන ආකෘතියක්ම තිබුණා නම් මේ වෙද්දී 2000කට වැඩිය තියෙනවා. ඒත් ඉස්කෝලේ යන කාලේ, ලියුම් ලියන්න මට සල්ලි තිබුණේ නැති නිසා ඒවා මං වාහන ව්‍යාපාරිකයන්ට විකුණුවා. ඒවා ඒ අයට කොයිතරම් වටිනවද කියනවා නම්, ඉල්ලන ඕනම ගාණක් ඒ වෙනුවෙන් දෙනවා."
පළමු ලෑන්ඩ් රෝවර් ජීප් රථයේ ආකෘතිය, ඔහු සතු ආකෘති සමූහයෙන් ඔහු වඩාත් ඇලුම් කරන වස්තුවය. කෝටි ගණනක ලන්සුවකට වුව ඔහු එහි ස්වාමිත්වයෙන් බැහැර නොවනු ඇති බවට සැක නැත. ඒ එහි පෞරාණික අගය නිසා පමණක් නොවේ.
"ලෑන්ඩ් රෝවර් සමාගමේ කොටස් මහා රැජිනටත් අයිතියි. ඒ නිසා තමයි මම ඒ වාහන ආකෘතිය තියාගෙන ඉන්නේ."
කනේ පහර
ඔහුගේ මතකයේ හැටියට ඔහු මුලින්ම ලියා ඇත්තේ ටාටා කම්පැනියටය. ඒ පාසල් යන කාලයේය. එසේ ලිවීමට මූල බීජය වන්නේ ඔහුගේ යහළුවෙකි.
"ඉස්සර මං වාහනවලට හරිම කැමතියි. මට මතක විදියට මං අටේ පන්තියේ ඒ කාලේ. දවසක් මගේ යාළුවෙක් එයාගේ තාත්තගේ ළඟ තිබුණු, වාහනවල විස්තර තියෙන සඟරාවක් මට බලන්න ගෙනත් දුන්නා. ඒක දැකල ඒ තාත්තා මගේ යාළුවගේ කනට ගැහුවා. එත් රිදුණේ මට. එදා තමයි මට මුලින්ම හිතුණේ මං ඒ කම්පැනිවලට ලියල සඟරා ගෙන්නවගන්නවා කියලා. බාප්පා හිටියේ තානාපති කාර්යාලයේ. ඒ නිසා ලිපින හොයාගන්න ආපහසු වූණේ නැහැ. ටාටා කම්පැනියෙන් මට පිළිතුරු ලිපියක් ආව සති තුනකින්. මං ගාව ලිපි 4000කට වඩා තියනවා"
බෙනට්ලි, ජගුවර්, රෝල් රොයිස්, ලෑන්ඩ් රෝවර් වැනි වාහන කොම්පැනි රැජිනට වාහන සැපයීමට බැඳී ඉන්නවා. ඒ කොම්පැනිවලින් එවන ලියුම්වල උඩින් ඒ බව සඳහන් කරලා තියෙනවා යැයි ඔහු කටපාඩමින් මෙන් එක දිගට කියුවේය. ඒ අතරතුර ටාටා කොම්පැනියට ඔහු ලියනලද ලිපිය සහ පිළිතුරු ලිපිය සොයා මා අත තැබුවේය. ඔහු ඒ සියල්ල ඉතා පිළිවෙළට ගොනු කර ඇත. ලියුම් දහස් ගණනක් ෆයිල් කිහිපයක අසුරා තිබේ. වසර ගණනක ඔහුගේ වත්කම එයයි. 2019ට නිකුත් කළ බෙන්ස් වර්ගයේ නවතම සපෝර්ට් මෝටර් රථයක ආකෘතියක් ඔහු මා අසලින් තබා සිනාසෙයි. ඔහුට මෙම මෝටර් රථ හා එහි නිමාවන් හුරුපුරුදුය. වාහන මෙරටට ගෙන්වන ව්‍යාපාරිකයකු සතුවද මෙතරම් වාහන ආකෘති තිබිය නොහැකිය.
ඔහු සතුව ඇත්තේ වාහන ආකෘති පමණක් නොවේ. දහස් ගණනක ලියුම් එකතුව අතරේ ඔහු රට රටවල රාජ්‍ය නායකයන් සමඟ කරන ලද ලිපි ගනුදෙනු වේ. ඒ අතර ඔහු ප්‍රමුඛත්වය දෙන්නේ බ්‍රිතාන්‍ය මහ රැජිනටය.
මහ රැජින හමුවීම
"මම ඉස්කෝලේ 5 වසරේ ඉද්දී එලිසබෙත් මහ රැජින ලංකාවට ආවා. අපිට එදා නිවාඩුයි. අපේ අතට මල් දීලා අපිව පේරාදෙණිය පාරේ දෙපැත්තේ හිටවලා තිබ්බා. අපේ ළඟින්ම එතුමිය ගියා. මිනිස්සු ලක්ෂ ගාණක් හිටියා. එදා තමයි මට මුලින්ම එතුමියට ලියුමක් ලියන්න ඕන කියන අදහස ආවේ. කොහොමහරි 1996දී තමයි මම මුල්ම ලියුම ලිවුවේ. ඒ ලියුමට එවපු පිළිතුර වගේම මං යවපු හැම ලිපියකටම පිළිතුරු ලැබුණා. සති තුනක් ඇතුළත මුල්ම පිළිතුර ආවා. රාජකීයන්ට පමණක් යවන බොහෝ ඡායරූප මට ලැබිලා තියනවා. මට ඒ ගැන තියෙන්නේ පුදුම  සතුටක්. රැජින එක්ක පමණක් නෙවෙයි, චාර්ල්ස් කුමාරයා, විලියම් කුමාරයා, හැරී කුමාරයා එක්කත් මං ලියුම් ගනුදෙනු කරලා තියනවා."
"මං ලියුම් යවන්නේ නත්තලට, අලුත් අවුරුද්දට, මහ රැජිනගේ සංවත්සරවලට, එහෙමත් නැත්නම් රාජකීය මංගල්ලයන්ට වගේ උත්සව අවස්ථාවලට. ලංකාවේ ජනාධිපති, අගමැති පවා මගේ උපන්දිනේට සුබ පැතුම් එවනවා. මට එහෙම අවස්ථාවක් ලැබුණේ මං මහා රැජින එක්ක ලිපි ගනුදෙනු කරන නිසා. මට එතුමිය බැහැදැකීමට අවස්ථාවක් දෙන ලෙස මං ඉල්ලා සිටියා. ඒත් එයට එතුමියගේ පිළිතුර වුණේ, මේ වගේ ඉල්ලීම් ලැබිල තියන තරමට තව අවුරුදු 10ක් වත් යනකම් ඒ අවස්ථාව ලබාදෙන්න අපහසුයි කියලා. මට ලියන්න පුළුවන් එකත් ලොකු දෙයක්. මං හිතන්නෙ මට කවදහරි ඒ අවස්ථාව ලැබෙයි."
"බ්‍රිතාන්‍යයෙන් එවන කඩදාසිය පවා අෙනක් රටවල්වලින් එවන කඩදාසියට වඩා වෙනස්. අපූර්වයි. මට එක ලිපියක් යවන්න රුපියල් දෙසීයක් වගේ වියදම් වෙනවා. මම බිත්ති සැරසිලි, කාඩ් වගේ දේවලුත් ඉදලා හිටලා යවනවා. 2006දි මහා රාජිනීගේ වයස 90යි. මං එතුමියට බැනර් එකක් යැවූවා. මට ස්තුති කරලා එතුමිය ලිපියක් එවල තිබුණා. මේ 2018 ජනවාරි පළමුවෙනිදා හැරී කුමාරයා සහ එම කුමරිය තමයි මුලින්ම මට සුබ පැතුවේ. මට ඒ සතුට කියල නිම කරන්න බැහැ."
ලියුම් ගනුදෙනු
බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ජර්මනිය, නෙදර්ලන්තය, මාලදිවයින, යුරෝපා රටවල්, ඊශ්‍රායලය, ඇමරිකාව, ස්වීඩනය, ඩෙන්මාකය හා ජපානයට ඔහු ලිපි ලියයි.  එම රජ පවුල් සමඟද ඡායාරූප හුවමාරු කරගනියි. එම එකතු වෙන වෙනම සුරක්ෂිතව ඔහු සතුව තිබේ. සාමාන්‍ය පුරවසියෙකුට නොලැබෙන මෙම අවස්ථාව පිළිබඳව ඔහු සිටින්නේ සැබෑ ආත්ම අභිමානයකිනි.
එම සෑම ඡායාරූපයකම මහා රැජිනගේ අත්සන හා ලාංඡනය සහිතය. රජ පවුලේ සියල්ලන්ටම වෙන වෙනම ලාංඡන පවතී. රැජිනගේ ලියුම් ලැබෙන්නේ බකින්හැම් පැලස් යන ලිපිනයෙනි. විලියම් කුමාරයාගේ ලිපිවල ඉංග්‍රීසි ඩබ්ලිවු (W) අකුරද, හැරී කුමාරයාගේ ලිපිවල ඉංග්‍රීසි එච් (H) අකුරද, චාල්ස් කුමාරයාගේ ලිපිවල ඉංග්‍රීසි සී (C) අකුරද මුද්‍රණය කර ඇති සලකුණකින් සමන්විතය.
ඔහු ළඟ ඇති බොහෝ සිහිවටන අතර බ්‍රිතාන්‍ය මහා රැජිනගේ රූපයක් ඔහු අපූරුවට නිමවා ඇත. ඔහු පවසන පරිදි එය බ්‍රිතාන්‍යයේ බකින්හැම් පැලස් කෞතුකාගාරයේ අදටද ප්‍රදර්ශනයට තබා තිබේ. එය බිත්ති සැරසිල්ලකි. ඔහුට එය ඔප්පු කිරීමට බොහෝ සාක්ෂි ඇත. මහා රැජිනගේ මුද්‍රාව සහිත ලිපි සියගණනක් ඔහු සතුය. ඉන් එක් ලිපියක් මෙය කෞතුක වස්තුවක් ලෙස තැන්පත් කර ඇති බවට කියනු ලබන දැනුම්දීමකි.
කියවන ඔබට මෙන්ම ලියුම්කාරිනියටද මෙය තරමක වෙනස් අත්දැකීමකි. ඔහුගේ මෙම පුරුද්ද හා ඇබ්බැහිය කෙතෙක් ද යත් ඔහු මේ වන විට රටවල් බොහොමයක රාජ්‍ය නායකවරුන් සමඟ ලියුම් ගනුදෙනු කරයි. ඒ ලියුම් අතර ඔහු ඉල්ලා සිටින ඡායාරූපද ඔවුන් විසින් ඒවා තිබේ. ඒවා එකතුවක් ඔහු තමන්ගේ නිවසේ කාමරයක වෙනම තැන්පත් කර ගෙන සිටී. එම රටවල් පිළිබඳ ඔහු සතු දැනුමද අඩුවෙන් තක්සේරු කළහැකි නොවේ.
අනාගත සිහින
"මගේ හීනයක් තියනවා, මං මැරෙන්න කලින් මේ පොහොසත් රටවලින් අපේ රටේ අසරණම මනුස්සයන්ට උදව් කරන්න මාර්ගයක් හදන එක. ඒ වගේම මේ හැම කෞතුක භාණ්ඩයක්ම රක්ෂණය කරලා සුරක්ෂිත කරන්න. මගේ දරුවත් දවසක විලියම් කුමාරයාගේ දරුවෝ එක්ක ලියුම් හුවමාරු කරගනියි. ඒ දවස වෙනකම් මං බලාගෙන ඉන්නවා. මගේ සතුට විතරයි මං මේකෙන් හෙවුවේ, ඉස්සරහට හොයන්නෙත් එච්චරයි."
මුද්දර එකතු කිරීම, පිහාටු එකතු කිරීම, කාසි එකතු කිරීම වගේම විදෙස් මිතුරන්ට ලිපි ලිවීමද මීට දශකයකට පමණ පෙර කලෙකදී ලංකාවෙන් තුරන් වූ විනෝදාංශයන්ය. නව තාක්ෂණික මෙවලමක් වූ පරිගණකයේ භාවිතාවත්, මුහුණු පොත වැනි සමාජ ජාලයන්හි පැමිණීමත් සමඟ ලිපි ලිවීම රාජකාරීමය අවශ්‍යතා සඳහා පමණක් සීමා විය. එහෙත් දිමුතු තවමත් ලිපි ලියයි. මෙතරම් තාක්ෂණය දියුණු යුගයක පවා ලිපියක් ලියා පිළිතුරක් පැමිණෙන තුරු ඔහු බලා සිටී. දිමුතුගේ ගමේ පියුම් මහතා" "මාලිගාවෙන්  ලියුමාක්, රැජිනගෙන් ලියුමක්" යැයි කෑගසමින් පාපැදිය පැද එන තුරු අදටත් ඔහු සිටින්නේ නොඉවසිල්ලෙනි.
 
මාතෘකා