කලා රසවින්දනයට මග පෙන්වන බුද්ධ දර්ශනය

 ඡායාරූපය:

කලා රසවින්දනයට මග පෙන්වන බුද්ධ දර්ශනය

‘‘යානීධ භූතානි සමාගතානි 
 භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ 
 සබ්බෙව භුතා සුමනා භවන්තු 
 අථොපි සක්කච්ච සුණන්තු භාසිතං’’


එදා විසාලාවෙහි අමනුෂ්‍ය, දුර්භික්ෂ හා රෝග බිය පැතිර ගිය අවදියේ, එවන් වූ තුන් බියෙන් විසාලාවෙහි මිනිස් ප්‍රාණයෝ නිරුද්ධව වීදියක් වීදියක් පාසා මළකඳන් කඳු සේම ගොඩගැසෙන අවදියේ, ලිච්ඡවි රජදරුවන් මේ තුන්බියෙන් විශාලා මහනුවර රැක දෙන මෙන් ඉල්ලා සිටි කළ බුදුන් වහන්සේ එ’නුවරට වැඩ අනඳ හිමි කැඳවා ‘‘යංකිච්චි චිත්තං ඉධවා හුරං වා...’’ ආදි ලෙසින් රතන සූතුර උගන්වා පිවිතුරු අහස්දිය පාත්‍රයට පුරවා මුලු විසාලාවටම ඉසින්නට යැයි නියම කළහ. රතන සුතුර සවන් වැකි සිත් බිඳුණු සිත් රිදුනු ජීවිත ආශයන් පවා මියැදුනු විසාලාවෙහි වැසියෝ සංතෘෂ්ටියට පත්වූහ. ඒ සුගේය හඬ, ඒ සුරම්‍ය විරිත ඉදින් සාහිත්‍යයක උරුව බුදු දහමට ඇතැයි පවසන්නට කදිම සාක්ෂියක්ම වන්නේය.
සෞන්දර්යය ඇගයීම හා කලාව විඳීම පිළිබඳ බුදු දහමේ කෙරෙන ඉගැන්වීම තරම් රමණීය ඉගැන්වීමක් ලොව කිසිදු ආගමක නොවෙන බැව් නම් සැබෑවක්මය. සෞන්දර්ය විඳීම යනු කාමාශක්ත හැඟීමකැයි පවසන බොහෝ අන්ධානුගාමිකයෝ බුදුදහම විකෘති කරන යුගයක සැබැවින්ම අපට බුද්ධ වචනය පිළිබඳ විශ්වාස තබා කටයුතු කරන්නට ත්‍රිපිටක සාහිත්‍යයේ එන යම් යම් කරුණු මහෝපකාරි වෙයි.


‘‘නථෙ කාමා යානි චිත්‍රානි ලෝකේ 
 සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ 
 තිට්ඨංති තතේව චිත්‍රානි ලෝකේ 
 අතේථ ධිරා විනයන්ති ඡුන්දං...’’ 

 (සංයුක්ත නිකාය)
කාමය යනු සොඳුරු බව නොවන වග උන්වහන්සේ එලෙසින් දේශනා කළහ. සුන්දරත්වය වින්දනය හා කාමය යනු එකක් නොව දෙකකි. කාමය යනු මිනිස් සන්තානයක ඇතිවන පහත් හැඟීමක් පමණි. නමුත් සෞන්දර්ය වින්දනය එසේ නොවෙයි. එය උසස් උතුම් විඳුමකි. මහරහතුන් වැනි බුද්ධිමතුනට ඒ සුන්දරත්වය කාමාශක්ත හැඟුමකින් තොරව විඳගත හැකිය. එයයි සෞන්දර්යේ සැබෑ වින්දනය. බාහිර පරිසරයේ ඇති සුන්දරත්වය සැමදා පවතියි. වෙනස ඇත්තේ එය විඳින්නාගේය. ඒ සෞන්දර්යය කාම රාගයෙන් විඳින්නෝ ද ඒ සුන්දරත්වය උත්තම වූ පාරිශුද්ධ හැඟුමකින් විඳින්නෝ ද අපමණය. ඉදින් සෞන්දර්ය වින්දනය පිළිබඳ බුදුන් වහන්සේ වදහලේ එපරිද්දෙන්ය.
ඒ සුන්දරත්වය උසස් මානසිකත්වයකින් වින්දනය කළ අය පිළිබඳව ද දේශනා ත්‍රිපිටක සාහිත්‍යයේම හමුවෙයි. ථේර ගාථා එයට කදිම නිදසුනක් ලෙසින් ගෙනහැර පෑ හැකිය. වනගතව බවුන් වඩන රහතන් වහන්සේලාට නිරන්තරව විඳිනට සිදුවන්නේ වනගත පරිසරයේ ඇති සොබා චමත්කාරයයි. ඇලීම් බැඳීම් වලින් ඈත්වන්නට උගන්වන දහමක් වන බුදුදහම අනුව යන මහරහතන් වහන්සේලාට වනගත පරිසරයේ විචිත්‍ර චමත්කාරය විඳින්නට කිසිදු කළෙක බුදුදහමෙන් තහනමක් පැණනැගුනේ නැත. මන්ද විඳීම කාමාශක්තව රාගිකව නොවෙයි නම් ඒ විරාගී වින්දනය සැබෑම වින්දනයක් ලෙසින් බුදුදහමෙහි සඳහන්ව ඇත. මහරහතන් වහන්සේලා රාගය කාමය දුරු කළ අය වූ බැවින් ඔවුන්ගේ වින්දනය සරාගී කාමච්ඡන්ද වින්දනයක් නොවුණ අතර ඒ වින්දනය විතරාගී වින්දනයක්ම විය. එබැවින් ථේර ගාථාවන්හි සඳහන් වන සෞන්දර්ය චමත්කාරය විඳීමේ බොහෝ කවි තුළින් මතුවන්නේ එම විතරාගී බවම වන්නේය.

සප්පක තෙරුන් ද බවුන් වඩන හිමි නමකි. වැසිබර මොහොතක් ආසන්න වන කල්හි පරිසරය වෙනස් වෙයි. අජකරණී නදී තෙර සප්පක තෙරුන් වැඩ සිටින මොහොතකද වැසි වලාවෝ දසතින් හමා එයි. පරිසරයේ ඇත්තේ අමුතු සිරියකි. එහෙත් කෙකින්නක් ඒ වැහි සොබා දැක බියපත්ය. සප්පක හිමි මේ සියලු චමත්කාරයෝ ප්‍රඥා භරිත දෑසින් විඳගනියි. ථේර ගාථාවන්හි ඒ කරුණ මෙලෙසින් අපූර්වෙව දැක්වෙයි.
‘‘සුදු පියාපත් ඇති කෙකිණි 
 දැක කළු මේ කුළක් 
 තැති ගත්ති බියෙන් 
 සොයන්නී සැඟවෙන තැන් 
 නොරැඳෙයි පලා යයි
මෙවන් අසිරි ඇති 
 නදිය අජකරණී 
 තුටු කරයි මා සිත 
 වේය එය අතිරමණී’’
මෙම ගාථා පාඨයන් ඇසීමෙන් විඳීමෙන් අද්‍යතන පාඨක ශ්‍රාවකයන්ට වුව ජනනය වන්නේ සුඛාස්වාදයකි. එය විරාගික වූ ධාර්මික ප්‍රීති සුඛයක් ලෙසින් විඳගත හැකිය. අනෙක් අතට මෙම සොබා සොඳුරු සිරි අසිරිය විඳීම සසරට බාධාවක් වන්නේ ද නැති වග බුදුදහමෙන් සාක්ෂි සහිතවම ගෙනහැර පා ඇත. ආපදාන පාලියේ එක් තැනෙක විස්තර වන්නේ පිපී ගිය මලින් බරවූ ගසක් දැක බුද්ධාලම්භන ප්‍රීතියට පත් වූ බුද්ධ ශ්‍රාවකයෙක් මාර්ග ඵල පවා අවබෝධකර ගත් බවයි. බුදුන් වහන්සේ පවා පරිසර සුන්දරත්වය විඳිම පිළිකුලින් බැහැර නොකළ අතර වරක් ආනන්ද හිමි අමතා කළ ප්‍රකාශයෙන් ඒ වග තහවුරු වෙයි.
‘‘... රමණීයං ආනන්ද වේසාලිං, රමණීයං උදේන චේතියං, රමණීයං ගෝතම්භචේතියං, රමණීයං සත්ත්ම්භ චේතියං, රමණීයං බහුපුත්ත චේතියං, රමණීයං චාපාල චේතියං...’’
බුදුන් වහන්සේ බොහෝ වරෙක දහම් දෙසුවේ ද පරිසරයේ සිටය. ඉසිපතනයේ මිගදායේ ඇරඹූ පළමු දේශනාවම එයට කදිම සාක්ෂියකි. ඒ සියල්ල විඳගැනීම්ය. කලාව විඳින්නට කරන මග පෙන්වීම්ය. එබැවින් බුදු දහම සෞන්දර්යය සේම සාහිත්‍යය කලාවන් විඳීමට ද සැබෑ ප්‍රඥාවන්ත මගපෙන්වීමක් සිදුකර ඇත. බුදුන්ගේ නිමල නිර්මල ධර්මය අනුගත ත්‍රිපිටකය තුළ පවා සාහිත්‍යයමය ලක්ෂණ අන්තර්ගතව ඇති ආකාරය දෘෂ්‍ය වීමෙන් ඒ කරුණ තහවුරු වෙයි.
පාලියෙන් භාෂිත බුදු දහම පුරා දක්නට ඇත්තේ ගාථාවන්ය. එම ගාථාවන් කවි ලෙසින් පැවැසීමෙහි ද සදොසක් නොමැතිය. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්ධක නිකාය වැනි ග්‍රන්ථයන් හි එන බොහෝ දේශනා ගද්‍යයෙන් නිර්මිත වුවත් සංයුක්තයේ දී එය ආකාර දෙකක් ගනියි. ඒ ගද්‍ය හා පද්‍ය යන දෙවර්ගයෙන්ම නිර්මිත වෙමින්ය. ඛුද්ධක පාඨ, ධම්මපදය, උදාන, ථේරෙ-ථේරි ගාථා, ආදිය පද්‍යයේ සුන්දර සාහිත්‍යමය ලක්ෂණ විද්‍යමාන කරයි. විනය සහ අභිධර්ම පිටකය හි වුව යම් යම් තැන්වල එවන් ලක්ෂණ දැකිය හැකිය. මෙම බොහෝ ගාථා පාඨ විරිතකට අනුව ගායනාවන සුඛනම්‍ය ලාලිත්‍යයකින් යුක්ත වන ආකාරයක් නිරන්තර බුදුදහම අත්විඳින්නෝ වන බොහෝ දෙනාට නොරහසකි.
සාහිත්‍යය කලා මාධ්‍යක් ලෙසින් අද්‍යතනයේ දීර්ඝ මගක පැමිණ ඇති කවිය ගීතය ආදිය පිළිබඳව පවා බුදුන් වහන්සේ දේශනා කර ඇත. මහාසාල නම් බ්‍රාහ්මනයෙකුට බුදුන් වහන්සේ වරක් කවි තුනක් ඉගැන්වූ බව මහාසාල සූත්‍රයේ සඳහන් වෙයි. එපමණක් නොව ලොව සිටින කවියන් පිළිබඳ ව පවා බුදුන් වහන්සේ පැහැදිලි කිරීමක් කර ඇත. ඒ බව කවි සූත්‍රයේ අන්තර්ගතය.
01 චින්තා කවි 
සිතා මතා වෙහෙසෙව නොයෙක් නොයෙක් දෑ පිළිබඳව කාව්‍ය නිර්මාණයේ යෙදෙන්නෝ. ඔවුන් සිය චින්තනය මෙහෙයවමින් කාව්‍යකරණයේ නිරත වෙයි.
02 සුත කවි
යම් යම් දේ අනුන්ගෙන් අසා ඒවායෙන් කාව්‍ය නිර්මාණයේ යෙදෙන්නෝ මෙසේ හැඳින්වෙයි.
03 අත්ථ කවි 
කිසියම් එක් අර්ථයක් සලකා කවි කරන්නෝ මෙසේ හැඳින්වෙයි. 
 04 පටිභාන කවි 
වැටහෙන නුවණින් කවි කරන්නෝ මෙසේ හැඳින්වෙයි. එනම් තමන් තුළම ඇති යථාවබෝධයෙන් කවි කරන්නෝ ඔවුන්ය. 
 කවියන් පිළිබඳ අදහස් දක්වන බුදුන් වහන්සේ කාව්‍ය වින්දනය ද ප්‍රශංසාවට ලක්කර ඇති බැව් සූත්‍ර දේශනා මඟින් හඳුනා ගත හැකිය. වරක් බුදුන් වහන්සේ ඉදිරියෙහි සුත්ත නිපාතයේ ඇති සූත්‍ර සොළොසක් මිහිරි ලෙස ගායනා කළ සෝණකුටිකණ්ණා නම් හිමිනමක් ප්‍රශංසාවට ලක් වූ බවක් අසන්නට ලැබෙයි. කාව්‍ය ගායනය පිළිබඳව පවා වින්දනාත්මක ඇසකින් බලන බුදු හිමි කාව්‍ය සාහිත්‍ය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් පැවැතුණු අයෙක් බැව් උක්ත කරුණු ඇසුරින් පැහැදිලිවම හඳුනාගත හැකිය. එබැවින් බුදු දහම තුළ පවා සාහිත්‍යය කෙරෙහි වැඩි නැඹුරුතාවක් පැවතී ඇතැයි හඳුනාගත හැකිය.
දීඝනිකායේ සක්කපණ්හ සූත්‍රයේ දී පංචසික නම් වීනා වාදකයාගේ වීනා වාදනය කෙරෙහි පැහැදුනු බුදුන් වහන්සේ ඒ පිළිබඳව කතාකර ඇති ආකාරය දැකිය හැකිවෙයි. එහි අන්තර්ගත වූයේ පංචසික ගේ ප්‍රේමවන්තිය වූ සූරියවච්චසා පිළිබඳ වර්ණනාවක්ය.
‘‘සොඳුරිය සූරියවච්ඡසාවෙනි, 
මා හද පිණවීමට ඔබව මෙලොව බිහිකළ 
ඔබ දයාබර පියාණන් තිම්බරු 
මම බැතියෙන් වඳිමි
දහදියෙන් තෙමුනකුට මද පවනක් සෙයින් ද 
පිපාසාවෙන් පෙළෙනකුට දිය පොදක් මෙන් ද 
මහ රහතුන්ට ධර්මය මෙන් ද 
සොඳුරිය ඔබ මට ප්‍රියය
රෝගියෙකුට බෙහෙතක් මෙන් ද 
බඩසයින් පීඩිතයෙකුට අහරක් සෙයින් ද 
ජලයට ගින්න මෙන් ද 
සොඳුර මා හද ගිනි නිවන්න
මල් පෙති රොන් සුණු අතුල 
සිහිල් දියෙන් යුතු පොකුණක 
ග්‍රීස්මයෙන් පෙළුණු ඇතකු ගිලෙන සේ 
ඔබ පියයුරු අතර ගිලෙමි මම 
ඔබ වටොරින් මුලා වූ මම 
මත් වූ ඇතකු මෙන් 
හසරක් නොදකිමි’’
බුදුන් වහන්සේ මෙම පංචසික ගේ වෙණ වාදනය සේ ම ගායනය දැක සන්තෘෂ්ටියට පත්ව ගායනයට උචිත වාදනයක් වාදනයට උචිත ගායනයත් වඩා ප්‍රියංකර බව පසසා ඇත. එමතු නොව ඒ ගීතය තුළ බුද්ධ ධම්ම අරහත් යන අංගයන් ද කාමය ද ඇති වග පවසා ඇත. මේ අයුරින් වුව ද ඒ තුළින් මනස අවුල් කර නොගෙන කාමාශක්තව එය නොවිඳ ප්‍රීති සුඛයෙන් එය විඳින්නට මග පෙන්වා ඇත.
බුදු දහම යනු සාහිත්‍ය කලාවට මෙන්ම සාහිත්‍ය කලා රසවින්දනයටද අපමණව මග පෙන්වා දුන් ආගමක් බැව් පැවසීමට මෙයට වඩා තව කවර නම් සාක්ෂියක් අවැසි වේද?

 

[ගයාන් අබේසිංහ]

මාතෘකා