රියදුරු පුහුණුවේදී කතුන්ට අතවර?

 ඡායාරූපය:

රියදුරු පුහුණුවේදී කතුන්ට අතවර?

ආභරණ පොරවා ගත් ස්ත්‍රියකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා යා හැකි වටපිටාවක් ලංකාවේ පැවති බව ගැමි වහරේ එන ප්‍රසිද්ධ කියමනකි. දැන් බලාගෙන යන විට රන් කෙසේ වෙතත් ඇඟ වැහෙන ඇඳුමක් ඇඟලා ගෙන මීටර් සියයක්වත් යා නොහැකි තත්ත්වයට අපේ සමාජ තත්ත්වය පහළට ඇද වැටෙමින් පවතී. පිරිමියෙකුටත් වඩා ගැහැනියකගේ තත්ත්වය ඒ අතින් බලන විට ශෝචනීයය. ඒ තරමටම දිනෙන් දින අලුතින් එකතුවන අපරාධ හෝ බලහත්කාරකම්ෙවලට කාන්තාවන් ලක්වන සිදුවීම් ඉහළ යමින්  පවතී.  එය එළියේදී, කාර්යාලයේදී, බස් රියේදී, කෝච්චියේදී හෝ ඕනෑම ස්ථානයකදී අවදානම ගත යුතු සිදුවීමක් වී අවසානය. මෑත කාලයේදී කාන්තාවන් හිංසනයට ලක්වන ප්‍රධාන ආකාර අතර රියැදුරු පුහුණු පාසල්වල සිදුවන අඩත්තේට්ටම් පිළිබඳ කතාබහක් ඇතිවෙමින් පවතී. මධ්‍යම පළාත් සභා ප්‍රවාහන ඇමති එදිරිවීර වීරවර්ධන මහතා අපට පැවසුයේ මෙවැනි අනර්ථයක් සිදුවන බව මේ වන විට තහවුරු වී ඇති බවයි.
"මම විවෘතව කිව්වා ප්‍රවාහන සේවයේ පැමිණිලි තියේ නම් ඒවා දැනුම් දෙන්න කියලා. මම හිතුවෙවත් නැති විදියට මෙවැනි පැමිණිලි කිහිපයක් අපිට ඇවිත් තිබුණා. මේ වෙද්දි මෙය ජාවාරමක්. පිරිමි පුහුණුකරුවන් සිටින රියැදුරු පුහුණු පාසැල්වලට කාන්තාවන් බඳවා ගැනීමට තැරැව්කරුවන් යොදාගැනීමක් පවා කරනවා. මේක මාෆියාවක් වෙලා අවසන්."
ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඒ මොහොත තුළ රට තුළ ආන්දෝලනයක් ඇති කළද රියැදුරු පුහුණු පාසල්වල කාන්තාවන්ට සිදුවන අනර්ථයන් පිළිබඳ ඉන් එහාට සිදුවූයේ කුමක්ද? එය මධ්‍යම පළාතේ පමණක් සිදුවන්නක්ද? එසේ නොමැති නම් රට පුරාම සිදුවන්නක්ද? ඒ පිළිබඳ ඉන් පසු මාධ්‍යයක කතිකාවක් නිර්මාණය වනු අප දුටුවේ නැත. අල්ලපු ගෙදර රතිඤ්ඤාවක් පත්තු කළද සමාජ ජාලයන්හි පළ කරන සමාජ ජාල ක්‍රියාකාරීන් යැයි හඳුන්වා ගන්නා පිරිස්ද මේ පිළිබඳ කිසිදු කතාබහක් ඇති නොකිරීම අද මෙවැනි සිදුවීම් කෙතරම් සාමාන්‍යකරණය වී ඇත්ද යන්නට සාක්ෂි සපයයි.
මෙම සිදුවීම හුදෙකලා සිද්ධියක් ලෙස නොසැලකිය යුතුව පවතින්නේ අන් කරුණක් නිසා නොවේ. පසුගිය වසර දහයක පමණ කාලයක සිට දිනෙන් දින වැඩිවෙමින් පවතින මෙවැනි අපයෝජන පිළිබඳ මිනිසුන්ගේ ඇස් හා කන් පුරුදු වී ඇති බැවිනි. නමුදු ඉන් ඔබ්බෙහි අතීතයේ මෙවැනි ක්‍රියා සිඳුනොවූයේ යැයි අර්ථකථනය කළ හැකි නොවේ. කෙසේ වුවද මේ වනවිට කාන්තාවන් අපහසුතාවට ලක්කිරීම හා ලිංගික බලහත්කාරකම්වලට යොදාගැනීම අන් කවරදාකටත් වඩා වැඩි වෙමින් පවතින තත්ත්වයක් රට තුළ උදා වී තිබෙනු පෙනේ.
සාමාන්‍යයෙන් රියැදුරු පුහුණු පාසැලක රියැදුරු පුහුණුව ලබාගන්නා කාල සීමාව වන්නේ මාස තුනකි. එහිදී කිසිවක් නොදැන පුහුණුව ලබාගන්නට පැමිණෙන පිරිස මෙන්ම  නිසි පුහුණුවක් ලබා තම රියදුරු බලපත්‍රය ගැනීමට එන පිරිසක්ද ඇත. රියදුරු පාසලකට මුලින්ම ඇතුළත් වන පුද්ගලයෙකුට රථවාහන හා මාර්ග සංඥා පිළිබඳ මූලික දැනුම ලබාදෙන අතර ලිඛිත විභාගයෙන් සමත් වීමෙන් පසු ප්‍රායෝගික පුහුණුව ලබාදෙති. මෙම මාස තුන තුළ පුහුණුව සිදුවන විට තමාට බලහත්කාරකමක් සිදු වූ බව නම සඳහන් කිරීමට අකමැති ගුරුවරියක් පැවසුවාය.
"මම ප්‍රායෝගික පුහුණුවට ගියේ කිසිම මූලික දැනුමක් නැතිව. ඉතින් මුල ඉඳන්ම ඉගෙනගන්න වුණා. මෝටර් සයිකල්  පුහුණුවේදී, ත්‍රීවිල් පුහුණුවේදී මේ වගේ තත්ත්වයකට මුහුණ දුන්නා. මම මුලින් හිතුවේ මේ අය හිතාමතා නොකරන දෙයක් කියලා. ඒත් පස්සේ තමයි මට තේරුණේ පුහුණුකරු දැනුවත් භාවයකින් මාව ස්පර්ශ කළා කියලා. මේකට බැන්නොත් මට තවත් එතනින් ඉගෙනගන්න බැහැ කියන දේ හිතුණ නිසා දවස් කිහිපයක්ම මම ඉවසගෙන හිටියා. ඒත් ඉන් පස්සේ මම එතන පුහුණුවට යන එක නැවැත්තුවා."
මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරිනියක් මෙලෙස කීවාය.
"කීප වතාවක් මට රෑට කෝල් කළා. ඒක එන්න එන්නම වැඩිවෙන්න ගත්තා. පස්සේ මම මේ ගැන ලර්නර්ස් එකේ හිමිකරුට කීවා. පස්සේ ලර්නර්ස් එකේදී අපිට පුරුදු කරද්දි හරිම රළු විදිහට කතාකරන්න ගත්තා "
මෙවැනි බොහෝ සිදුවීම් නම් සඳහන් කළ හැකි මෙන්ම, නොහැකි බොහෝ කාන්තාවන්ට සිදුවන බව දන්නෝ දනිති. එහෙත් මේ පිළිබඳ දැනගෙනත් නොදන්නා සේ සිටීමට සිදුවන බව එවැනි අඩත්තේට්ටම්වලට ලක් වූ කාන්තාවෝ පවසති.
මෝටර් රථ දෙපාර්තමේන්තුව සෑම මාස හයකටම වරක් සෑම රියදුරු පාසලක්ම පරික්ෂා කරයි. අවශ්‍ය පහසුකම් සහිත සියලුම රියදුරු පාසැල් සඳහා අනුමත කිරීමේ ස්ටිකර් ලබාදීමත් කරයි. එය අනුමත තත්ත්වයේ නැත්නම් එම ස්ටිකර් ලබාදීම සිදු නොවේ. අදාළ රථවාහන සේම පුහුණුකරුවන්ද මෙවැනි පරික්ෂාවකට ලක්කළ යුතුව ඇත. සෑම පරික්ෂකයෙකුම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ උපදේශන බලපත්‍රය හිමි අයද යන්න සොයා බැලිය යුතුව ඇත.
කාන්තාවකගේ විදුහල්පතිත්වයෙන් යුතු රියැදුරු පුහුණු පාසැලක් වන 'ඩෝස්ටෙප්' රියැදුරු පුහුණු පාසලේ අයිතිකරු වන සමුද්‍රා ජිලානි දයානන්ද පැවසුවේ තමා දන්නා බොහෝ රියැදුරු පාසැල්වලට උපදේශන බලපත්‍රය හිමි බවයි.
"ලියාපදිංචි නැති රියැදුරු පුහුණු පාසැල් අඩු මුදලකට පුහුණුව ලබා දෙන නිසා සමහර අය එවැනි පුහුණු පාසැල්වලට යන්න පෙළඹෙනවා. ප්‍රමිතිගත පුහුණු පාසැල් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේ ආයතනයක කිසිම වෙලාවක ප්‍රධාන මාර්ගයේ ඇරුණම පුහුණුව ලබාදෙන්නෙ නැහැ. ඒත් අතුරු පාරවල්වල, පාළු පාරවල්වල යම්කිසි පුහුණුවක් ලබාදෙනවා නම් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. මගේ ලර්නින් ස්කූල් එකේ පුහුණුකරුවන් තුන් දෙනාගෙන් දෙදෙනෙක් කාන්තාවන්. ඒ වගේම මගේ ළඟට පුහුණුවීමට එන බොහෝ අය කාන්තාවන්. ඒත් මම කියන්නේ නැහැ මෙහෙම දෙයක් වෙනව නම් කාන්තාවන්ට පුහුණු කරන්න කාන්තා පුහුණුකරුවන්ම අවශ්‍යයි කියලා.
අපි බොහෝ අපහසුතා මැද මේක කරන්නේ. අමාත්‍යාංශයෙන්වත් කිසිම සහයෝගයක් නැහැ. ආධුනික රියැදුරෙක් පුහුණුකරන එක පහසු නැහැ. අපි අපේ ජීවිත පරදුවට තියලා මේ පුහුණුවීම් කරන්නේ.  පුහුණු පාසැල් නිසි ප්‍රමිතියකින් යුතුද කියලා හොයල බලලා ක්‍රියාමාර්ගයක් ගන්නව නම් කිසි ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නැහැ."
සාගරිකා පුහුණු පාසැලේ විදුහල්පති නදීර ප්‍රසන්නගෙන් අපි මේ පිළිබඳ විමසූ අතර ඔහු පැවසුවේ බොහෝ රියැදුරු පාසැල්වල තනි පුද්ගලයෙකුට පුහුණුවීම් කිරීමක් නොකරන බවත්, අවම තිදෙනෙක් මෙම පුහුණුවට ගෙනයන බැවින් එවැනි ලිංගික අඩත්තේට්ටමක් සිදුවීමට ඇති ඉඩකඩ අඩු බවත්ය.
"මෙහෙම දෙයක් වෙනවා කියන එක පිළිගන්න අමාරුයි. මේ කතා නිසා අපට පාරෙ බැහැලා යන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා මම ප්‍රවාහන ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඇත්තටම මෙහෙම දෙයක් වෙනවනම් ඒ පිළිබඳ පරීක්ෂණයක් කර එවැනි ආයතන තහනම් කර ප්‍රමිතිගත ආයතන බේරා දෙන්න කියලා. මොකද සමස්තයක් විදියට මේ දේ හැම තැනම වෙනවා කියන දේ අපි ප්‍රතික්ෂේප කරනවා.
සිමියුලේටර් කියන මැෂින් එකෙන් තමයි අපි මූලික පුහුණුවීම් කරන්නේ. ඒ මැෂින් එකෙන් පුහුණුවීම කළාම ආයෙ අතින් අල්ලලා කියලා දෙන්න දෙයක් නැහැ. ඒත් ආරක්ෂාවකදී හදිසියේ එහෙම ස්පර්ශවීමක් වෙන්න පුළුවන්, එය අනවශ්‍ය ලෙස වෙනවා නම් ඒ පිළිබඳ වහාම දැනුම් දීමයි කළ යුත්තේ. මොකද එහෙම උපදේශකවරයෙක් තියාගැනීමට කිසිම ආයතනයක් කටයුතු කරන එකක් නැහැ."
මෙම අඩත්තේට්ටම් අගනගරයේ සිට පිටිසර ගමක වෙසෙන ගැමි කතකගේ ජීවිතයටද එක ලෙස බලපායි. තම අවශ්‍යතාව මෙම හිංසනයන්ට වඩා ප්‍රබල බැවින් සෑම අවස්ථාවකදීම කාන්තාවෝ තමාට සිදුවන අසාධාරණය තම ස්වාමිපුරුෂයාට හෝ නොපවසති. තමන්ට දරුවන් රැගෙන පාසැලට යාම හා තමන්ගේ දෛනික රාජකාරි සිදුකර ගැනීමට රියදුරු පුහුණුව ලබාගැනීම අද වන විට අත්‍යවශ්‍ය උවමනාවක් බවට පත්ව ඇත. නිවසෙහි පිරිමි පාර්ශ්වයද සියලු වගකීම් ඉටුකළ හැකි මට්ටමේ භූමිකාවකට පණ පෙවීමට ඇති කැමැත්ත ගැන සතුටු වෙති. අවසානයේ සිදුවන්නේ ඔවුන් නොදන්නා අප්‍රසන්න හැඟීමක් සමඟ මුසු වූ කතාවකි. එමෙන්ම සමස්ත රියැදුරු පුහුණු පාසැල්වලට මෙම චෝදනා එල්ල නොකළ යුතුය. කළ යුත්තේ ප්‍රමිතිගත ආයතන පිළිබඳ සොයා බලා ප්‍රමිතියෙන් තොර ආයතනවලට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමය.

මාතෘකා