නකල්ස් වනාන්තරයේ අක්කර 21,000ක් අනතුරේ

 ඡායාරූපය:

නකල්ස් වනාන්තරයේ අක්කර 21,000ක් අනතුරේ


දුම්බර අඩවිය හෙවත් නකල්ස් කඳුකරයේ පිහිටි අක්කර 21,000ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රදේශයේ දේශපාලනඥයන් විසින් ඔවුන්ගේ හිතවතුන් හා ඥාතීන් වෙත පවරා දී තිබේ. මෙලෙස විවිධ පුද්ගලයන්ට පැවරීම සිදු කර ඇත්තේ රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම මඟින් කළමනාකරණය කරනු ලබන වතු ඉඩම් ය.
නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි අලකොළේ, කොටගල, ගල්පිහිල්ල, ගෝමරේ, හග්ගල්ල, හෙයාර් පාර්ක්, හුන්නස්ගිරිය, කැළෑබොක්ක, මැදවත්ත, නිකොලොය, රංගල හා ඕපල්ගල යන රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් හෙක්ටයාර 9675ක් වන වතු ඉඩම්වලින් හෙක්ටයාර 6192ක් සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් බණ්ඩරපොළ, ඇල්කඩුව, හුණුගල, පිටකන්ද, රත්වත්ත, සැලගම, හපුගස්පිටිය, මිල්ලවාන හා නාලන්දා වතු ඉඩම්වලට අයත් හෙක්ටයාර 3693න් හෙක්ටයාර 2363ක් වශයෙන් විවිධ පුද්ගලයින් හා සමාගම්වලට හෙක්ටයාර 8555ක් නැතහොත් අක්කර 21,400ක වතු ඉඩම් පැවරීම සිදු කර ඇත. මෙම පැවරීම කර ඇත්තේ අක්කරයකට වාර්ෂිකව රුපියල් 2857ක මුදලකට තිස්පස් අවුරුදු බදු පදනම යටතේය.
නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි හෙයාර් පාර්ක් වත්තේ අක්කර 900ක් පමණ මේ ආකාරයෙන් මහ පරිමාණ කුකුළු ගොවිපොළක් සඳහා පුද්ගලික සමාගමකට ලබා දී තිබේ. සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි රත්වත්ත වතු යාය රෝස තිරුවානා ඛණිජ කැණීම සඳහා ලබා දී ඇති අතර මේ වන විට මහ පරිමාණයෙන් නීති විරෝධී ලෙස මෙම ඛණිජ කැණීම් කටයුතු සිදු කෙරේ. මැදවත්ත වතු යායේ අක්කර 35ක් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් සඳහා ලබා දී තිබේ. මේ සියල්ල මේ වනවිට සිදු වන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ය.
එම කුකුළු ගොවිපළ දිගින් දිගට ම මේ ආකාරයෙන් සංවේදී පරිසර පද්ධති ආක්‍රමණය කරමින් සිටී. 2007 වසරේ දී මහවැලි ‘‘සී’’ කලාපයට අයත් ඇළකොටලිය හෙවත් මහපිටිය අලිමංකඩේ අක්කර 150ක තෘණ භූමි පවරාගෙන කුකුළු ආහාර ලෙස භාවිතයට ගැනීමට බඩ ඉරිගු වගා කිරීම ඇරැඹින. මෙම ව්‍යාපෘතිය සඳහා එවකට මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති උදය ගම්මන්පිල මහතා විසින් අවසර ලබා දීම සිදු කෙරින. මේ ආකාරයෙන්ම එම සමාගම දුම්බර අඩවියේ ඉතා සංවේදී ඉඩම් අත්පත් කර ගෙන මහ පරිමාණ කුකුළු ගොවිපොළවල් සැකැසීමට සූදානම් වේ.
දුම්බර අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. දේශගුණික විවිධත්වය, මහවැලි ගඟේ ප්‍රධාන ජල පෝෂකයක් වීම නිසා මෙහි ඇති වටිනාකම ඉතා අධික මට්ටමක පවතී. මේ සියල්ල දුම්බර අඩවියේ ඉඩම් අවභාවිතාව හේතුවෙන් විනාශ වී යාමට ඉඩදිය යුතු නැත.
සමස්ත දුම්බර කඳුකරය ම ලංකාවේ දිග ම ගංගාව වන මහවැලි ගඟේ ප්‍රධානතම ජල පෝෂක ප්‍රදේශය යි. මහවැලි ජල පෝෂක ප්‍රදේශ අතුරින් 30%ක් පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙනි. හෙක්ටයාර 21,000ක් පමණ ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව ඇති දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.32‍%ක් පමණ ආවරණය වී ඇත. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ, උඩදුම්බර, පාතදුම්බර හා පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල. රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහේ දුම්බර කඳුකරය ව්‍යාප්ත ව තිබේ. 2009 අංක 65 දරන පනතින් සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 3 අ (1) වැනි උප වගන්තිය යටතේ 2000 මැයි මස 05 වන දින අංක 1130/22 දරන ගැසට් නිවේදනය මඟින් දුම්බර කඳුකරයේ රජයට අයත් වනාන්තර හෙක්ටයාර 17825ක් පමණ වන භූමි ප්‍රමාණයක් ලංකාවේ ප්‍රථම සංරක්ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. සංරක්ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කළ භූමියේ පෞද්ගලික ඉඩම් හා වෙනත් රජයේ ඉඩම් හෙක්ටයාර 2000ක් පමණ වේ. ඒවා මේ වන විට ක්‍රමානුකූල ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතී. එහෙත් එහි මන්දගාමි ස්වරූපය හා වන්දි ගෙවීම්වල ප්‍රමාද වීම් හේතුවෙන් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු ව්‍යාකූල තත්ත්වයට පත් ව තිබෙන අතරතුර එම ඉඩම් විවිධ සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට පැවරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
මෙම ඉඩම් පවරා ගැනීම කඩිනම් කිරීමට අවශ්‍ය වන ඉතා වැදගත් වන අමාත්‍ය මණ්ඩල තීරණයක් 2004 වසරේදී ගැනිණ. එහෙත් එය අද වන තෙක් නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. අංක පීඑස්/සිපී/26/2004 හා 2004 ජූලි 22 වන දින දරන අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව නකල්ස් සංරක්ෂණ වනාන්තරයට යාව හෝ ඉන් කිලෝමීටර් බාගයක් ඇතුළත පිහිටි සියලු ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර, 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ නීතියේ 22 (1) (ඊ) සහ 44 (ඒ) වගන්ති ප්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි කටයුතු කඩිනමින් සැලැසුම් කිරීම හෝ ඉඩම් පවරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හෝ මේ වන තුරු අවසන් කර නොමැත.
දුම්බර කඳුකරයේ වනාන්තරවලට පළමුව ආරක්ෂාව ලබා දෙන ලද්දේ ඉංග්‍රීසින් විසිනි. ඒ 1873 දී දුම්බර කඳුකරයේ මීටර 1500ට වඩා ඉහළ (අඩි 5000ට වඩා ඉහළ) වළාකුළු වනාන්තර ප්‍රදේශ දේශගුණික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරමිනි. ඉන් වසර 127කට පසුව 2000 වසරේදී එය වන සංරක්ෂණ ආඥා පනත යටතේ සංරක්ෂණ වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණ. පසුව 2007 වසරේ දී ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙසත් 2008 වසරේදී පස සංරක්ෂණ පනත යටතේ පස සංරක්ෂණ ප්‍රදේශයක් ලෙසත් ප්‍රකාශයට පත් කර ඇත. මෙවන් වූ නීතිමය ආවරණයන් ගණනාවක් දුම්බර අඩවියට ලබා දී ඇත්තේ එහි ඇති මිල කළ නොහැකි භූ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක හා සාම්ප්‍රදායික ජන උරුමයේ වටිනාකම නිසා ය. ඒ හේතුවෙන් ම 2010 වසරේ දී ලංකාවේ ඉහළ කඳුකරයට අයත් දුම්බර අඩවිය ලෝක උරුම ප්‍රදේශයක් ලෙස එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
මෙවන් වූ සුවිශේෂී නීතිමය ආවරණයක් සහිත භූමි ප්‍රදේශයක පිහිටි ඉඩම් දේශපාලකයන්ට වුවමනා පරිදි විවිධ පුද්ගලයින්ට හෝ සමාගම්වලට පැවරිය නොහැකි ය. 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24 ඇ සහ 24 ඈ වගන්තිවලට අනුව 2007 ජූලි 23 වන දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ නකල්ස් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති භූමියක ඉඩම් සංවර්ධන කාර්යන් සඳහා නිදහස් කළ නොහැකි ය. මෙම ගැසට් නිවේදනයට අනුව නකල්ස් සංරක්ෂිත වනාන්තරයට අයත් රජයේ ඉඩම් හැර ඉතිරි රජයේ ඉඩම් හා පෞද්ගලික ඉඩම් සියල්ල ආවරණය වන පරිදි මෙම පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ප්‍රදේශය කළමනාකරණය සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් නකල්ස් පාරිසරික ආරක්ෂක ප්‍රදේශ කළමනාකරණ කමිටුවක් පිහිටුවා තිබේ. එම කමිටු නිර්දේශවලින් පරිබාහිර ව කිසිදු සංවර්ධන කාර්යයක් මෙම කලාපය තුළ සිදු කළ නොහැකි ය. නමුත් දැනට මෙම ඉඩම් විවිධ පුද්ගලයින්ට බදු පදනම මත ලබා දී ඇත්තේ එවන් කිසිදු අනුමැතියකින් තොරව ය.
ජාතික පාරිසරික පනතේ 23 (ඇ) උප වගන්තිය අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශිත සංරක්ෂිත වනාන්තරයක මායිමේ සිට මීටර සියයක් ඇතුළත හෝ පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශිත ප්‍රදේශයක් තුළ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එසේ තිබිය දී නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ හා පස සංරක්ෂණ ප්‍රදේශය තුළ පිහිටි ඉඩම් විවිධ පුද්ගලයන්ට හා සමාගම්වලට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පරිසර බලපෑම් ඇගැයීම් ක්‍රියාවලියෙන් තොර ව පැවරීම නීති විරෝධී ක්‍රියාවකි. මෙම අණ පනත් පිළිබඳ ව අවබෝධයක් නොමැති ව මේ දේශපාලනඥයන් කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබේ.
දුම්බර අඩවිය ආරක්ෂා කර ගැනීමට හා එය අවභාවිතය වැළැක්වීමට පියවර ගත යුතු වන්නේ ඊට ලබා දී ඇති නීතිමය ආවරණය නිසා පමණක් ම නොවේ. එහි පවතින මිල කළ නොහැකි වටිනාකම නිසා ය. මීටර් 760 සිට මීටර් 1900 දක්වා උච්චත්ව පරාසය ඇසුරේ පිහිටි කඳුවැටිවලින් සමන්විත දුම්බර කඳුකරයේ විවිධ වූ ස්වාභාවික පරිසර පද්ධතීන්හි අධික විවිධත්වයක් දැකගත හැකි වේ. තෙත් කඳුකර වනාන්තර (වළාකුළු වනාන්තර), කුරු වනාන්තර, තෙත් උප කඳුකර වනාන්තර, අතරමැදි කලාපීය කඳුකර වනාන්තර, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, ගංගාශ්‍රිත වනාන්තර, තෙත් පතන තෘණ බිම්, වියළි පතන තෘණ බිම්, ළඳු කැලෑ බිම් දුම්බර කඳුකරයේ ව්‍යාප්ත ව ඇත.
දුම්බර අඩවියේ විවිධ වූ පරිසර පද්ධතීන්හි ශාක විවිධත්වය පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් මේ වන විට සිදු කර නොමැති වුව ද ලෝක සංරක්ෂණ සංගමය මඟින් සිදු කැරුණු අධ්‍යයනයට අනුව කුල 141 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033ක් මේ ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. ඒ අතරින් ශාක විශේෂ 160ක් ලංකාවට ආවේණික වේ. මේ අතර ශාක විශේෂ 225ක් දැවමය විශේෂ වන අතර, ඉතිරිය පඳුරු හෝ පැළෑටි වෙයි. ලංකාවේ වාර්තා වී ඇති සමස්ත ශාක විශේෂ අතුරින් 27.4%ක් පමණ සහ ලංකාවට ආවේණික ශාක විශේෂ අතුරින් 17.3‍%ක් පමණ දුම්බර කඳුකරයෙන් වාර්තා වීම මේ වන අඩවියේ සුවිශේෂත්වය යි. මුළු ලොවින් ම දුම්බර අඩවියට පමණක් සීමා වූ ශාක විශේෂ හයක් වෙයි. කීන විශේෂයක් වන Calophyllum cuneifolium, දඹ විශේෂ වන Syzygium congylos, Syzygium madugodensis යන ශාක විශේෂ හතර සහ මෑතක දී සොයා ගත් Ilex knucalensis ශාකය දුම්බර අඩවියට ආවේණික ශාක වෙයි. දුම්බර අඩවියේ පිටවල පතන වැනි පතන් බිම්වල දක්නට ලැබෙන පතන් අල (Brachystelma lankana) ශාකය ද දුම්බර අඩවියට ආවේණික ශාක අතර වෙයි.
විශේෂයෙන් කඳුකර තෙත් වනාන්තර, උප කඳුකර තෙත් වනාන්තර හා ගංඟා ආශ්‍රිත වනාන්තරයන්හි උඩවැඩියා හා මීවන ශාක බහුල ව දැකගත හැකි වේ. දුම්බර කඳුකරයේ දැක ගත හැකි උඩවැඩියා ශාක විශේෂ Adrorhizon purnuracens, Eria bicolor, Podochilus falcatus, Malaxis purpurea, Pholidota imbricata හා රාස්සන (Vanda tesserllata) වැනි ශාක වෙයි.
මෙහි මීවන ශාක විශේෂ 42ක් හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 06 ක් ලංකාවට ආවේණික වෙයි. දුර්ලභ මීවන ශාක විශේෂ වන Elaphoglossum spathulatum, Botrychium daucifolium, Huperzia phyllanthaydPsilotum nudum දුම්බර අඩවියෙන් වාර්තා වේ.
උභයජීවීන්, උරගයන්, මත්ස්‍යයන්, පක්ෂීන්, ක්ෂීරපායින්, සමනළයන් හා 
ගොඩ ගොළුබෙල්ලන් යන සත්ත්ව කාණ්ඩ හතට අයත් විශේෂ 479 ක් දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. එය ලංකාවේ අභ්‍යන්තර ප්‍රදේශයෙන් වාර්තා වන මේ කාණ්ඩ හයට අයත් සත්ත්ව විශේෂ 1294 ප්‍රතිශතයක් ලෙස ගත් විට 37%ක් තරම් ඉතා ඉහළ අගයක් ගනී. ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.32%ක් පමණ වන දුම්බර කඳුකරයේ මේ තරම් විශාල සත්ත්ව ප්‍රජාවක් ජීවත්වීම මේ ප්‍රදේශයේ සංරක්ෂණ අවශ්‍යතාව කඩිනම් හා විධිමත් කිරීමට ප්‍රධාන හේතුවක් වේ.
ලංකාවේ අභ්‍යන්තර ප්‍රදේශයේ වාර්තා වන පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 813 අතුරින් විශේෂ 272ක් දුම්බර අඩවියෙන් වාර්තා වී තිබේ. එය 33‍%ක ඉහළ ප්‍රතිශතයකි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 310 අතුරින් විශේෂ 16ක් ජීවත්වන්නේ දුම්බර කඳුකරයේ පමණකි. නැතහොත් ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ අතුරින් 5%ක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙනි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 310 අතුරින් විශේෂ 91ක් නකල්ස් කඳුකරයෙන් වාර්තා වන අතර එය 29‍%ක ඉතා ඉහළ ප්‍රතිශතයකි. දුම්බර කඳුකරයේ සුවිශේෂත්වය වන්නේ එහි වාර්තා වන ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 91 අතුරින් විශේෂ 16ක් නැතහොත් 18%ක් දුම්බර කඳුකරයට ආවේණික පෘෂ්ඨවංශීන් වීම ය.
දුම්බර කඳුවැටියෙන් වාර්තා වන මත්ස්‍ය විශේෂ අතුරින් තුනක් ඊට ආවේණික වන අතර තවත් විශේෂ දෙකක් වන ගඩයා (Labeo fisheri) හා දුම්බර පෙතියා (Systomus martenstyni) දුම්බර කඳුකරයට හා ඒ අවටින් පිහිටි මහවැලි ගඟේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වේ. දුම්බර කඳුකරයට ම පමණක්  ආවේණික මත්ස්‍ය විශේෂ තුන නම් දුම්බර ගල්පාඬියා (Garra phillipsii), මල් පෙතියා හෙවත් දන්කුඩු පෙතියා (Dawkinsia srilankensis) හා දුම්බර කරඇදයා (Laubuca insularis) ය. බොහෝ විට දුම්බර පෙතියා දුම්බර කඳුකරයට ආවේණික විශේෂයක් ලෙස විස්තර කළ ද ඒ විශේෂය මහවැලි ගඟේ දෙකේ ඇළ දක්වා ම වාර්තා වන බව පර්යේෂණයන්ගෙන් තහවුරු වී තිබේ. මීට අමතර ව තවත් මත්ස්‍ය විශේෂ කිහිපයක් ආවේණික විශේෂ බවට ඉදිරියේ දී පත් විය හැකි බව එ් පිළිබඳ ව පර්යේෂණ සිදු කරන විද්වතුන්ගේ විශ්වාසය යි.
ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 අතුරින් 30 ක් ම දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. දුම්බර කඳුකරයේ වාර්තා නොවන්නේ සබරගමු කඳුවැටියෙන් පමණක් වාර්තා වන ආවේණික පක්ෂි විශේෂ තුන පමණකි. ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ වන මයිලගොයා (Sri Lanka Woodpigeon), ගුරුකොණ්ඩයා (Yellow – eared Bulbul), ලංකා අරංගයා (Sri Lanka Whistling Thrush), ලංකා හම්බු කුරුල්ලා (Sri Lanka Warbler), අඳුරු නිල් මැසිමාරා හෙවත් කොපි කුරුල්ලා (Dusky – blue Flycatcher), කඳුකර මල් කුරුල්ලා (Hill White – eye), කැහිබෙල්ලා (Sri Lanka Blue Magpie) වැනි පක්ෂීහු රැසක් දුම්බර කඳුකරයේ විවිධ පරිසර පද්ධතීන්හි ජීවත් වෙති. දුම්බර අඩවියේ වාර්තා වන මකුළුවන් පිළිබඳ ව පුළුල් අධ්‍යනයක් සිදුකර නොමැති වුව ද 2000 වසරේ දී S.P. Benjamin සහ R.Jocque යන විද්‍යාඥයන් විද්‍යා ලොවට හඳුන්වාදුන් Suffasia mahasumana නම් ලංකාවට ආවේණික මකුළු විශේෂය වාර්තාවන්නේ දුම්බර අඩවියෙන් පමණි.

 

[සජීව චාමිකර]

මාතෘකා