ළමා මානසික රෝග ලැජ්ජාවිය යුතු කාරණාවක් නොවේ - කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

 ඡායාරූපය:

ළමා මානසික රෝග ලැජ්ජාවිය යුතු කාරණාවක් නොවේ - කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

දරුවන් මානසික අවපාතයන්ට ලක්වීමේ ප්‍රවණතාවක් ඇතැයි බැලූ බැල්මට පෙනෙයි. ප්‍රතිකාර සඳහා දරුවන් යොමුකිරීම වැඩිවීම එක් සාධකයකි. මේ පිළිබඳව කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රූමි රූබන් දක්වන අදහස් සංවාදයට එක් වේ.

 

ළමා මානසික රෝගීන්ගේ වැඩිවීමක්ද අඩුවීමක්ද තියෙන්නේ?
වැඩිවීමක් කියලා දෙයක් නැහැ. හැමදාම මානසික රෝගී දරුවන් හිටියා. හැබැයි හඳුනාගැනීමක් හෝ ඉදිරිපත්වීමක් වුණේ නැහැ.  ළමා මානසික රෝග හා ගැටලුවල ඉදිරිපත්වීම මේ වන විට වැඩිවෙලා තියෙනවා. මෑත කාලයේදී දරුවන් තුළ විවිධ මානසික ගැටලු වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා.  ඒ වගේම දෙමාපියන් තමන්ගේ දරුවන්ව මානසික රෝග සඳහා උපදෙස් හා ප්‍රතිකාරවලට යොමුකිරීමේ වැඩි ප්‍රවණතාවක් තියෙන නිසා ළමා මානසික රෝගීන් වැඩිවීමක් විදියට ඒක පේන්න පුළුවන්.


වැඩිහිටි රෝගී මට්ටමට වඩා මෙය වර්ධනය වෙලාද?
ලෝකයේ සෑම රටකම පාහේ ජනගහනයට සාපේක්ෂව මානසික රෝගවල යම් ප්‍රතිශතයක් තියෙනවා. ලංකාවේ මානසික රෝග හා ගැටලු ගත්තම සාමාන්‍ය තත්ත්වයේ තියෙන්නේ. ඉස්සර මේ රෝගී තත්ත්වය හඳුනගත්තත් ප්‍රතිකාර ලබා ගැනීම සමාජ අපවාදයක් කියලා හිතුවා. වැඩිහිටියන් සම්බන්ධයෙන් නම් අදටත් ඒ තත්ත්වයේ විශාල වෙනස්වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් වෙනදට වඩා ළමුන්ව ප්‍රතිකාරවලට නම් යොමු කරනවා.


මේකට මූලිකම හේතුව ලෙස ඔබ හඳුනගන්නේ කුමක්ද?
ළමා මානසික රෝගයට වැඩිවශයෙන්ම බලපාන්නේ ජානමය සාධක. ඊට අමතරව ළමා මානසික ගැටලු මේ වනවිට වැඩිවෙලා තියෙනවා. දරුවන් අධ්‍යාපනයට යොමු කිරීමේදී ඇතිවන තරඟය, උනන්දුව හා පීඩනය වගේම පෞරුෂ වර්ධනයට අදාළ ක්‍රියාකාරකම් සඳහා ළමුන්ට අවස්ථාව නොලැබීම මෙහි මූලික හේතු විදියට සඳහන් කරන්න පුළුවන්. මීට අමතරව දෙමාපියන් විසින් ළමුන්ව තරඟකාරී මට්ටමින් ඔබ්බට හොඳම දරුවා කිරීමේ මානසිකත්වයක ඉන්න එකත් මේකට හේතුවක්.


මෙය ලෝකයේම පවතින ප්‍රවණතාවක්ද? නැත්නම් ලංකාවට පමණක් ආවේණික දෙයක්ද?
ලෝකයේ බොහෝ රටවල සංස්කෘතියෙන් දරුවන් හිරකරලා නැහැ. ඔවුන්ට නිදහස තියෙනවා. බොහෝ අවස්ථා තියෙනවා. ලංකාවෙත් ඒ නිදහස තියෙනවා තමයි. ඒත් ඒ නිදහස එදා සහ අද භාවිතා කරන විදියෙ වෙනස්කම තමයි තියෙන්නේ.  අපිට කලින් තිබුණු සංස්කෘතික පරිසරය වෙනස්වෙලා. ඉස්සර විස්තෘත පවුල්වල ජීවත්වෙද්දි දරුවො තනිවුණේ නැහැ. අත්තම්මා, සීයා එක්ක දරුවො දවල්වරුව ගතකළා. බොහෝ ජීවිත අත්දැකීම් උගත්තා. සෙල්ලම්කරන්න කාලය තිබුණා. හිතන්න කාලය තිබුණා. ඒත් දැන් දරුවන්ට නිදාගන්නවත් වෙලාවක් නැහැ. 


එහෙම බැලුවොත් ලෝකයේ බොහෝ රටවල දෙමාපියන් කාර්යබහුලයි. ඒ නිසා මුළු ලෝකයේම ළමා මානසික රෝගීන්ගේ වර්ධනයක් වෙලාද?  
ලෝකයේ සහ ලංකාවේ තත්ත්වය වෙනස්. ලංකාව තවමත් බටහිර රටවල තත්ත්වයට ඇවිත් නැහැ. දෙමාපියන්ගේ කාර්යබහුලත්වයත් එක්ක දරුවන් වෙනුවෙන් වෙන්කළ හැකි කාලය අඩුයි. ළමුන් තනිවීමෙන් විශාදය වැනි තත්ත්වයට පත්වීම මේ නිසා සිදුවෙන්න පුළුවන්. වෙනත් රටවල ඒක නැහැ කියන්නම බැහැ. ඒත් එම රටවල දරුවන් යොවුන් වයසට පත්වෙද්දි නිදහස ලබා දෙනවා. ස්වාධීන වැටුපක් ලබා දෙනවා. ගැටුමකට තනිවම මුහුණ දෙන විදිය උගන්වනවා. ඒ විතරක් නෙවෙයි දෙමාපියන්ට තමන්ගේ දරුවන් සමඟ කාලය ගත කිරීමට නිවාඩු ලබා දෙනවා. ඒ නිසා අපේ රටවල සහ වෙනත් රටවල තත්ත්වය කිසිම විටෙක එකම ලෙස සලකන්න බැහැ.


ළමා මානසික රෝගී තත්ත්වයක් හඳුනගන්නේ කොහොමද?
ඒක රෝගයෙන් රෝගයට වෙනස්වෙනවා. ඒ වගේම වයස් කාණ්ඩය අනුව වෙනස්වෙනවා. ළමුන්ගේ නියම වයසට සමාජ බුද්ධි වර්ධනය අඩු නම්, කතාබහ, අංගචලන හා වර්ධනය සමඟ සමවයස් කාණ්ඩ අනුව අදහස් හුවමාරුව අඩු නම් දෙමාපියන් සැලකිලිමත් විය යුතුයි. දරුවා සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස්නම්, අධික්‍රියාකාරිත්වයක් හා අවදානයේ වෙනස්කමක් පෙන්නුම් කරනව නම් සැලකිලිමත් විය යුතුයි. මීට අමතරව, යොවුන් වියට පියනගන තත්ත්වයේ දරුවන් බොරු කියනව නම්, කළහකාරී තත්ත්වයක් පෙන්නුම් කරනව නම් එය මානසික රෝගී තත්ත්වයක මුල් අවධිය විය යුතුය. මානසික රෝගයකදී මුල් මට්ටමේදීම එය හඳුනාගැනීම වැදගත් වෙනවා. නැත්නම් නව යොවුන් වියට එළැඹෙද්දි ඔවුන් වැරදි ඇසුරකට යොමුවිය හැකියි. මත්පැන් සඳහා පෙළඹිය හැකියි.


මේ වෙනුවෙන් සායන පවත්වනවද?
සෑම දිස්ත්‍රික්කයකම විශේෂඥ මානසික වෛද්‍යවරු ඉන්නවා. ඇතැම් රෝහල්වල ළමා මානසික විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. මෙය ලැජ්ජාවිය යුතු කාරණාවක් නොවේ. දරුවන් මෙම තත්ත්වයෙන් බේරා ගැනීමේ වගකීම ඇත්තේ දෙමාපියන් අතේ.


සමහර විට දෙමාපියන්ගේ චර්යා රටා මේ කාරණාවට බලපානවා නේද?
ඇත්තෙන්ම ඔව්. අම්මා, තාත්තා කාර්යබහුල නම් දරුවන් වෙනුවෙන් කාලය වැයකරන්න වෙන්නේ නැහැ. දරුවන් අමතර උපකාරක පංතිවලට ගෙනියනව ඇරුණම දරුවන් වෙනුවෙන් ඔවුන් කරන දෙයක් ඇත්තෙම නැති තරම්. බොහෝ විට දරුවන්ට දෙමාපියන් සමඟ තමන්ගේ ගැටලුවක් සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ. දරුවො අහන දේකට උත්තරයක් දෙන්නේ නැහැ. දරුවො තනිවෙනවා. මෙය විශාල ව්‍යසනයක්. මෙවැනි අවස්ථාවල දරුවන් මානසිකව බිඳ වැටිලා ප්‍රතිකාරවලට පවා යොමුවෙන අවස්ථා තියෙනවා.  මුළු ජීවිත කාලය පුරාම, දරුවා වැඩිහිටියෙක් වුණත් මෙය වැරදි විදියට බලපාන්න පුළුවන්.


දෙමාපියන්ගේ චර්යාත්මක වැරදිවලින් පීඩා විඳින්නේ දරුවන්. මුලින්ම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවිය යුත්තේ ඔවුන් නේද?
මේ සඳහා ප්‍රතිකාර කළ යුත්තේ මුලින්ම දෙමාපියන්ට. මොකද බොහෝ නිවෙස්වල අඩදබර තත්ත්වයන්, දෙමාපියන්ගේ කළහකාරී තත්ත්වයන් හේතුවෙන් දරුවන්ට ඇතිවන බලපෑමෙන් ඉවත් නොකර ප්‍රතිකාර කර තේරුමක් නැහැ. 


එක්තරා දිනපතා පුවත්පතක පළ වී තිබුණා ක්‍රීඩා සහ සාහිත්‍යයට යොමු වීමෙන් දරුවන්ගේ මානසික සමබරතාවට ගැටලුවක් සිදුවන බව. මේ ප්‍රකාශය නිවැරදිද?
වැරදියි. ක්‍රීඩා සහ සාහිත්‍යයට යොමුවීමෙන් දරුවන්ගේ මානසික සුවතාව වර්ධනය වෙනවා. මෙතන තියෙන ප්‍රශ්නයත් ඒකමනේ. දරුවො ඉන්නේ පීඩනයෙන්. මේ ගැන දෙමාපියන් වගේම ගුරුවරුත් සැළකිලිමත් විය යුතුයි.

මාතෘකා