මන්ද පෝෂණය ගැන පුවත වැරදියි

 ඡායාරූපය:

මන්ද පෝෂණය ගැන පුවත වැරදියි

මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවැනි රට ලෙස වාර්තා වී ඇතැයි ප්‍රවෘත්තියක් ඉකුත් දිනවල ඇතැම් ජනමාධ්‍යවල පළවී තිබිණි.මෙය ව්‍යාජයක් බවත්, අදාළ වාර්තාව වැරදි ලෙස අර්ථදක්වා ඉදිරිපත් කළ පුවතක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රත්නාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවසූ අතර මේ ඈ සමඟ රැස කළ කතාබහකි.  

දකුණු ආසියාවේ ඉහළම මන්දපෝෂණය පවතින රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී ඇති බව බොහෝ මාධ්‍යවල පළ වුණා. මේ කතාව ඇත්තක්ද?  
නැහැ. මේක සම්පූර්ණ අසත්‍යයක්. එක්තරා මාධ්‍යයක් වැරදි ප්‍රවෘත්තියක් විදියට මේක පළකරලා තිබුණා. ජනතාවට නිවැරදි තොරතුරු ලබා දෙනවා වෙනුවට රටම රවට්ටන පුවත් පළකරන එක වැරදි දෙයක්.   

ඒ කියන්නේ ඒ වාර්තාව වැරදිද?  
මෙහෙමයි, මේ වාර්තාව ප්‍රකාශයට පත්කරලා තිබුණේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින්, 2017 වර්ෂයේ ලෝක ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණය පිළිබඳ ලෝක තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඇසුරෙන්. මේ ගැන තමයි පුවත්පතක වැරදි තොරතුරක් පළ කරලා තිබුණේ. මට පේන විදියට ඉංග්‍රීසි භාෂාවෙන් පළවෙලා තිබුණු වාර්තාව එක්තරා මාධ්‍යවේදියෙක් විසින් සිංහලට පරිවර්තනය කරගෙන තියෙන්නේ වැරදි විදියට.   

සෞඛ්‍ය අමාත්‍යංශය මේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවද?  
අපි මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒත් කෙටිකාලීන මන්දපෝෂණය ලෙස අර්ථකතන කරලා තියෙන ප්‍රතිශත අගය අපි ප්‍රතික්ෂේප කරනවා. මොකද ජන විකාශන වාර්තාවට වඩා ලෝක ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණය පිළිබඳ වාර්තාවේ ප්‍රතිශත අගයයන් වෙනස්.   

ඒ වාර්තාවේ ඇත්තටම තිබුණේ මන්දපෝෂණය ගැන නෙවෙයිද?  
නැහැ. ඒ වාර්තාවේ තිබුණේ Undernourishment කියන වචනය. ඒකෙන් අදහස් කළේ යම්කිසි පුද්ගලයෙකුට යහපත් ජීවන තත්ත්වයක් ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට තරම් ආහාර නොලැබෙන බවට ප්‍රතිශතයක්. මේ ප්‍රතිශතය ඇස්තමේන්තු සංඛ්‍යාවක් පමණයි. මොකද 2017 වාර්තාව සකස්කරලා තිබුණේ, 2014 වර්ෂයේ household income & expeditions කියන වාර්තාවට අනුව.   

මේ දේවල් ගණනය කරන්න ලංකාවේ දර්ශකයක් නැද්ද?  
තියෙනවා. මිනිස්සු කන ආහාර ප්‍රමාණය හා ශක්ති ප්‍රමාණය ගණනය කරලා අපේ රටේ ෆුඩ් බැලන්ස් ශීට් (Food Balance Sheet) එකක් හදලා තියෙනවා. හැබැයි ඒ වාර්තාව 2013 න් පසු යාවත්කාලීන කරලා නැහැ. මේ වාර්තාව සකස්වෙන්නේ ලංකාවට ලැබෙන ආහාර හා මිනිසුන් පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය මුළු ජනගහනයෙන් බෙදලා සමීකරණයකට දැමීමෙන්. මේක සමීකරණයකට දාලා ඇස්තමේන්තුගත කරලා තියෙන නිසා මෙය නිවැරදි අනුමානයක් නොවන බව අපට කියන්න පුළුවන්. ඒ වගේම 2013 හදපු වාර්තාවකට වර්තමානයේ පරිභෝජනය කරන ආහාර සියල්ල ඇතුළත් වී නැහැ.   

ඔබ කියන්නේ මේ වාර්තාවේ මන්දපෝෂණය සම්බන්ධ කිසිදු දෙයක් අඩංගු නොවන බවද?  
මේ වාර්තාවේ මන්දපෝෂණය ගැන තියෙන්නේ කෙටි කාලීන මන්දපෝෂණය සහ දීර්ඝ කාලීන මන්දපෝෂණය ලෙස ආකාර දෙකක් විදියට.  

කෙටිකාලීන මන්දපෝණය කියන්නේ මොනවගේ දෙයක්ද?  
මේ තත්ත්වය ඇතිවෙන්නේ අවුරුදු 06ට අඩු ළමුන්ට. උසට සරිලන බර නොමැතිවීම තමයි කෙටිකාලීන මන්දපෝෂණය ලෙස හඳුන්වන්නේ. ලංකාවේ කෙටිකාලීන මන්දපෝෂණය ඇති ප්‍රතිශතය සියයට විසි එකක් (21.4%) ලෙස ලෝක ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණය පිළිබඳ 2017 වර්ෂයට අනුව ප්‍රකාශයට පත්වෙලා තියෙනවා. ඒත් 2017 ජන විකාශ සහ සෞඛ්‍ය සමීක්ෂණයට අනුව ලංකාවෙහි කෙටිකාලීන මන්දපෝෂණ ප්‍රතිශතය සියයට පහළොවයි දශම එකක් (15.1) බව වාර්තා වෙන්නේ.   

ලංකාවෙහි දීර්ඝ කාලීන මන්දපෝෂණය තියෙන්නේ මොනවගේ තැනකද?  
දීර්ඝ කාලීන මන්දපෝෂණය කියලා කියන්නේ වයසට සරිලන බර නොමැති වීම. ඇත්තටම මෙහිදී දකුණු ආසියාතික රටවල් එක්ක බැලුවම ලංකාව ඉන්නේ සාධනීය මට්ටමක. ඉන්දියාවේ දීර්ඝ කාලීන මන්දපෝෂණ ප්‍රතිශතය සියයට තිස් අටයි දශම හතරයි (38.4%), භූතානයේ සියයට තිස් තුනයි දශම හයයි (33.6%). එහෙම බලද්දි ලංකාවේ තියෙන්නේ අඩු ප්‍රතිශතයක්. ඒ කියන්නේ සියයට දාහතරයි දශම හතයි (14.7%).  

මන්දපෝෂණය පිළිබඳ ලංකාවට තියෙන්නේ අපකීර්තිමත් ඉතිහාසයක් ද?  
නැහැ. අපි හැමදාම එක මට්ටමක හිටියා. අනෙත් සෞඛ්‍ය දර්ශක වේගයෙන් දියුණු වෙද්දි පෝෂණ දත්ත දර්ශක දියුණු තත්ත්වයට ඇවිත් නැහැ. දකුණු ආසියානු තත්ත්වය එක්ක බලද්දි අපි තව දියුණු විය යුතුයි.  

දරුවන් මන්දපෝෂණයෙන් වළක්වා ගැනීමට ගතහැකි පියවර මොනවද?  
නිතරම මව්කිරි ලබාදිය යුතුයි. එය මාස 6ක් පමණ වනතුරු අනිවාර්යයි. එම මාස 6ක කාලසීමාව තුළ දරුවාට ලබාදිය යුත්තේ මව්කිරි පමණයි. මාස 6ක් ගතවීමෙන් පසුව දරුවාට නිසි පෝෂණ ගුණයෙන් යුතු අමතර ආහාරවේලක් ලබාදිය යුතුයි. ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත ආහාර ලෙස බත්, බිත්තර, හාල්මැස්සන්, එළවළු, පළා වර්ග හඳුන්වන්න පුළුවන්. නමුත් දරුවාට අමතර ආහාර පුරුදු කරන මුල් කාලයේදී කෑමවේල සඳහා අධික ලුණු සහ පැණිරස දේවල් එක් කරන්න හොඳ නැහැ. එහෙම දුන්නොත් දරුවා ඒකට හුරු වෙනවා. එතකොට දරුවා නිසි පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාරවේලක් ප්‍රතික්ෂේප කිරීමට ඇති ඉඩකඩ වැඩියි. එවිට දරුවාට කුඩාකල සිටම නිසි පෝෂණයක් නොලැබෙන නිසා දරුවා ක්‍රමයෙන් වැඩෙද්දී මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩියි.  

මන්දපෝෂණය තුරන්කරන්න ලංකාවේ නිශ්චිත වැඩපිළිවෙලක් නැද්ද?  
තියෙනවා. ගර්භනී මාතාවන්ගේ ඉඳලම අපි පෝෂණ තත්ත්වය මැන බලනවා. දරුවන්ගේ පෝෂණ මට්ටම මැන බලනවා වගේම ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විදියට කළ යුතු දේ කරනවා. පෝෂණ මල්ලක් ලබා දීම වගේ වැඩපිළිවෙලවල් රට පුරා ක්‍රියාත්මකයි. ඒ වගේම පවුල් සෞඛ්‍ය සේවිකාවන් විසින් අවශ්‍ය දැනුවත්කිරීම් සිදු කරනවා. මේ සියල්ලම සිදු වුවත් තමන්ගේ දරුවන්ගේ පෝෂණය පිළිබඳ දෙමාපියන් දැනුවත්ව සිටිය යුතුයි.  

ළමුන්ගේ මන්දපෝෂණය වැලැක්වීමට දෙමාපියන් විසින් ගතයුතු ක්‍රියාමාර්ග මොනවද?  
ආහාර ලබා ගන්නා ප්‍රමාණය සහ ආහාර වර්ග පිළිබඳ දෙමාපියන් දැනුවත් විය යුතුයි. ළමුන් ක්ෂණික ආහාර රටාවලට හුරුකරන්නේ දෙමාපියන්. වෙළෙඳ දැන්වීම්වල තියෙන පෝෂණ ගුණ රහිත දේවල් ලොකුකරලා පෙන්නද්දි, මිනිස්සු ඒකෙන් මුළා වෙනවා. රසකාරකවලට ළමයින්ගේ දිව හුරුවුණාම පෝෂ්‍යදායි ආහාර ප්‍රතික්ෂේප කරනවා.   

වතුකරයේ ළමයින් මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රතිශතය වැඩිද?  
2006 – 2010 වර්ෂවලදී වතුකරයේ ළමුන් විශාල වශයෙන් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙලුණත් මේ වනවිට වතුවල මන්දපෝෂණ තත්ත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබෙනවා. නමුත් මේ තත්ත්වය 100%ක් නිමාවට පත්වෙලා නැහැ. සාමාන්‍යයෙන් රටපුරා ත්‍රිපෝෂ බෙදාහැරීම සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් සිදු කළත් වතුකරයේ වෙසෙන ළමුන් සඳහා ත්‍රිපෝෂ බෙදාහැරීම කරනු ලබන්නේ වතු අධිකාරිය මගින්. වතු අධිකාරියට ගිහින් ත්‍රිපෝෂ ලබාගන්නේ නැත්නම් මේ ළමයින්ට ත්‍රිපෝෂ ලැබෙන්නේ නැහැ.  

වතුකරයේ මෙම තත්ත්වය මැඩලීමට අමාත්‍යංශය වශයෙන් ගතහැකි පියවරක් නැද්ද?  
වතුකරයේ ජනතාවට අවශ්‍ය කරන නිසි පෝෂණය, නිවැරදි ආහාර රටා ගැන කියලා දෙන්න නිසි බලධාරීන් නෑ. පවුල් සෞඛ්‍ය සේවිකාවන් කිහිපදෙනෙක් සිටියත් ඔවුන්ටත් හරියාකාරව දෙමළ තකා කිරීමට හැකියාව නැහැ. වතුකරයේ බහුතරයක් ජනතාව සිංහල කතාකරන්න දන්නෑ. එම හේතුව නිසා වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බලා මන්දපෝෂණය දුරු කිරීම සඳහා වතුකරයෙන්ම කිහිපදෙනෙක් තෝරාගෙන ඔවුන්ව නිසි පරිදි පුරුදු පුහුණු කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය බලාපොරොත්තුවෙන් සිටිනවා.  

මේ වනවිට පාසල් ළමුන්ද මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළීමේ අවදානම වැඩිවී තිබෙනවා. පාසල් දරුවන්ගේ මන්දපෝෂණය වැළැක්වීමට ගතහැකි පියවරක් නැද්ද?  
දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දරුවන් සඳහා දිවා ආහාරවේලක් ලබාදීම සිදුකරනවා. නමුත් දැනට මෙය සිදුකරනු ලබන්නේ දුෂ්කර පාසල් දරුවන් සඳහා පමණයි. ඉදිරියේදී රටපුරා ඉගෙනුම ලබන පාසැල් දරුවන් සඳහා නිසි පෝෂණයෙන් යුතු සමබල ආහාරවේලක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය මේ වනවිට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු වීම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක්ද ඉදිරියේදී දියත් කිරීමට නියමිතයි.  
මීට අමතරව ජනතාව පරිභෝජනය කරනු ලබන සහල්වලට පෝෂ්‍ය පදාර්ථ එකතු කිරීමේ වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක කරලා තියෙනවා. දැනට පරීක්ෂණ මට්ටමෙන් මොණරාගල ප්‍රදේශයේ පාසල් දරුවන්ට ලබා දෙන ආහාර වේල සඳහා ඛනිජ ලවණ හා විටමින් ඇතුළත් කිරීමට කටයුතු කරගෙන යනවා. එය නියමු ව්‍යාපෘතියක් ලෙස දැනට ක්‍රියාත්මක වෙනවා, ඒ වගේම ඉදිරියේදී රට පුරා මෙය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා.  

මාතෘකා