ඔටිසම් සුව කිරීෙම්දී මිථ්‍යාව දුරලීම වැදගත්

 ඡායාරූපය:

ඔටිසම් සුව කිරීෙම්දී මිථ්‍යාව දුරලීම වැදගත්

ශ්‍රී ලාංකේය සමාජය තුළ තවමත් ප්‍රමාණවත් දැනුවත් වීමක් ඇති වී නොමැති  මුත්, දරුවන් ගොදුරුවන සීඝ්‍රතාවය ක්‍රමයෙන් වැඩි වෙන රෝග තත්ත්වයක් ලෙස  “ඔටිසම්” තත්ත්වය හඳුනාගැනීමට හැකිය. “ඔටිසම්” යනු දරුවන්ගේ  සාමාජයීය  සන්නිවේදන හැකියාවන් හා හැසිරීම සම්බන්ධයෙන් ගැටලු ඇති කරවන රෝගී  තත්ත්වයකි. දිනෙන් දින ලෝකය පුරා මෙම රෝගයට ගොදුරු වන දරුවන්ගේ  සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර දැනට පවතින දත්ත අනුව ශ්‍රී ලංකාවේ උපදින  දරුවන් සෑම 93න් දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම රෝගී තත්වය ඇති විය හැකිය. රටක්  ලෙස විශ්ලේෂණය කිරීමේදී මෙම රෝගය සම්බන්ධයෙන් ඇති භායනක තත්ත්වය වන්නේ මෙහි  ඇති වැඩි වීමේ ප්‍රවණතාවයයි. මේ පිළිබඳ විමසා බැලීමට අප රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා සහ යොවුන් විශේෂඥ මනෝ වෛද්‍ය ස්වර්ණා විජේතුංග සමඟ යෙදුණු පිළිසඳරයි මේ...

වෛද්‍යතුමියනි, මොකක්ද මේ ඔටිසම් රෝගය? 

සාමාන්‍ය දරුවන්ගේ වර්ධනය වන පැතිකඩවලවල් බොහොමයක්ගෙන් එක පැතිකඩක් වන සමාජ  සන්නිවේදන හැකියාව ඔටිසම් දරුවන්ට අඩුයි. ඔවුන්ගේ බුද්ධිමත් බව ක්‍රියාකාරකම්, මතකය වැනි  දේවල් සාමාන්‍ය තත්ත්වයේ තියෙන්න පුළුවන්. ඔටිසම් වලට හේතු වෙන්නේ පුංචිම  කාලේදී මොළේ සෛල විකාශනය වෙනකොට සෛල අතර තිබෙන සම්බන්ධතා ගොඩනැඟීමේදී ඇතිවන  දුර්වලකමක්‌. 
ඔටිසම් දරුවන්ගේ සමාජ සන්නිවේදනයේ වේගවත් බවේ ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. ඒ සන්නිවේදනයේ ප්‍රමිතියේ දුර්වලතාවයක් පමණයි. 

මේ රෝගී තත්ත්වයෙන් ඉන්න දරුවන් සමඟ කටයුතු කිරීමේ වෙනම ක්‍රමවේදයක් තියනවද? 
 

ඔව්.  ඔටිසම් රෝගී තත්වයේ ඉන්න දරුවන්ගේ විශේෂත්වයක් තමා, ඔවුන් පුංචි දෙයක්  සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම. සරළව කිව්වොත් ඒ අයගේ ප්‍රියතාවය  සීමිතයි. උදාහරණයක් විදිහට ඔවුන් එක සෙල්ලම් බඩුවකට කැමතියි නම්, ඒ දේ සමඟ පමණක් සෙල්ලම් කරන්න වැඩි කැමැත්තක් දක්වනවා.  
මේ  නිසා ඔවුන් සමඟ වැඩි පරාසයක ක්‍රියාකාරකම්වල යෙදීම අවශ්‍යයි. සෛල අතර තියන  සම්බන්ධයේ දුර්වලතාවය යම් ආකාරයකින් යථා තත්වයට පත්කිරීමට ක්‍රියාකාරකම්  අත්‍යවශයයි 

ඔටිසම්වලට ගොදුරු වූ දරුවෙකු හඳුනා ගන්නේ කොහොමද? කොපමණක් කාලයක් ඇතුලත හඳුනාගත හැකිද? 

'රතු  සංඥා එළිවලින්' ඔටිසම්වලට ගොදුරු වූ දරුවන්ව හඳුනා ගන්න පුළුවන්. රතු සංඥා  කියන්නේ අවුරුද්දක දරුවකු බහ තෝරන්නේ නැත්නම්, වචන කතා කරන්නේ නැත්නම්,  ඇඟිල්ල දික්‌කරලා යම් දෙයක්‌ පෙන්වන්නේ නැත්නම් ඒ දරුවා ඔටිසම්වලට  මුහුණපාමින් සිටින බව හඳුනා ගන්න පුළුවන්. 
සාමාන්‍ය ආකාරයෙන්  ක්‍රියාකාරීව සිටින දරුවෙක්‌ ඇතැම් අවස්ථාවලදී ඔටිසම් රෝගයට ගොදුරු  වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට කතා කරපු දරුවකු හදිසියේ හිටි හැටියේ කතා  නොකර ඉන්න පුළුවන්. මේ තත්ත්වයත් ඔටිසම් රෝගය නිසා ඇතිවෙන්න හැකියාව  තියනවා. 
ලංකාවේ උපදින සෑම දරුවෙකුටම මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්  'ළමා සෞඛ්‍ය සහ සංවර්ධන සටහ පොත' ක් නිකුත් කරනවා. මේ සටහන් පොත ළමයාගේ  තරුණ වියට යනතුරුම ළමයාගේ සෞඛ්‍ය සහ සංවර්ධනයට අදාළ කාරණා ඇතුලත් කරන  වැදගත් ලේඛනයක්. මේ පොත දෙමව්පියන්, පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් වගේම ප්‍රජා  සෞඛ්‍ය වෛද්‍යවරුන්ගේ නිරන්තර අවධානයට යොමු වීමෙන් පහසුවෙන් මේ රෝගී තත්වය  හඳුනාගැනිමට හැකියාව තියනවා. 
ඒ නිසා නිරන්තර අවධානයෙන් සිටීමෙන්  දරුවාගෙ වයස අවුරුද්දක් වගේ වෙනකොට යම් වෙනසක් ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවට  යොමු කිරීමෙන් රෝගී තත්ත්වය තහවුරු කරගත හැකියි. ඉක්මනින් ඔටිසම් තත්ත්වය  හඳුනාගැනීම, රෝගයට ප්‍රතිකාර කිරීමේදී වඩාත් ඵලදායි ලෙස ප්‍රතිකාර කිරීමට  ඉවහල් වෙනවා. 

ඔටිසම් සහ ඩවුන් සින්ඩ්‍රෝම් කියන රෝගී තත්ත්වයන් බොහෝ දෙනෙක් පටලවා ගන්නවා. කොහොමද මේ රෝගී තත්වයන් එකිනෙකෙන් වෙනස් වෙන්නේ? 

ඩවුන්  සින්ඩ්‍රෝම් තත්ත්වය ඇති වෙන්නේ ජානවල දක්නට තියන පැහැදිලි වෙනස්කමක්  හේතුවෙන්. ඩවුන් සින්ඩ්‍රෝම් දරුවන් පැහැදිලිව හඳුනාගත හැකි ලක්ෂණ තියනවා  ඔවුන්ගේ මුහුණේ, ඇඟිලිවල, හෘදයේ වෙනස්කම් බොහොමයක් පැහැදිලිව දැක ගන්න  පුළුවන්. 
නමුත් ඔටිසම් දරුවන් පෙනුමෙන් එක්වර හඳුනාගැනීම කරන්න බැහැ. ඔවුන් අන් සාමාන්‍ය දරුවන් වගේමයි.  

ඔටිසම් රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව කළ හැකිද? 

ඔටිසම්  කියන්නේ බබාගේ මොලයේ වර්ධන ක්‍රියාවලියෙදි සිදුවන වෙනස්කම් නිසා ඇති වෙන  තත්ත්වයක්. මොලයේ වර්ධනය වයස අවුරුදු 25ක් පමණ වන තෙක් සිදු වෙනවා. ඒ නිසා  මොලයේ යම් කොටසක වර්ධනයේ ඒ වගේ දුර්වලතාවයක් නිසා ඔටිසම් තත්වයෙන් ඉන්න  දරුවෙකුගේ මොලේ සෛල අතර සම්බන්ධතාවය වර්ධනය කිරීමේ හැකියාවක් තියනවා.  
මොලයේ  යම් කොටසකට හානියක් වීම නිසා කෙනෙකුගේ එක අතක් ක්‍රියාත්මක කරන්න බැහැයි  කියලා හිතමු. අපි කිසිම ක්‍රියාකාරකමක් නොකර අත ඇර දැම්මොත් ඒ අත යළි  ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත් වෙනවා. නමුත් අපි ව්‍යායාම ක්‍රියාකාරකම්  ආදිය කිරීමෙන්, මොලයේ අදාළ කොටස ක්‍රියාත්මක නොවුනත්, නමුත් මොලයේ තවත්  කොටස් තිබෙනවා සම්බන්ධතා ගොඩ නගා ගත හැකි. ඒ තැන් වැඩ කරලා මොලය පටන්  ගන්නවා මේ අතට වැඩ කරන්න හැකි වීමට අවශ්‍ය සන්නිවේදනය සිදු කරන්න.  
ස්නායු  සංවර්ධනය වෙන කාළයේ සිදුවන සිදුවීමක් නිසා, ඔටිසම් රෝගී දරුවන් ප්‍රතිකාර  නොකර සිටීෙමන්, ඒ දුර්වලතාවය ජීවිත කාලය පුරාවට එහෙමම තියේවි. එහෙම  නොවී අපි මුල ඉඳලම ක්‍රියාකාරකම් කරන්න පටන් ගත්තොත් මොලයේ ක්‍රියාකාරීත්වය  ක්‍රමයෙන් වැඩි කිරීමෙන් මේ ලක්ෂණ අඩුවන ආකාරයට දරුවා හැඩ ගස්සවන්න  පුළුවන්. 

ඔටිසම් තත්ත්වයෙන් සුව වූ දරුවෙකුට විවාහය, පවුලක් ගොඩ නැඟීම ආදී සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්ද?

ඔව්. අනිවාර්යෙන්ම. අපේ සමාජයේ ඕනෑ තරම් එවැනි සුව වූ අය ඉන්නවා. 
අනික ඔටිසම් කියන්නේ පරාසයක එන රෝගී තත්ත්වයක්. සමහර විට ඉතාම දුර්වල තත්වයක සිට ඉතාම ඉහළ මට්ටම දක්වාම වැඩ කළ හැකි අපට හමුවෙනවා. 
ඒව ෙග්ම ෙම් දරුවන්ට සාමාන්‍ය දරුවන්ට ව ෙග්ම පාසල් අධ්‍යාපනය ලැබීෙම් හැකියාවක් සහ පූර්ණ අයිතියක් තියනවා. ඔවුන් ෙවන්ෙකාට සැලකිය යුතු නැහැ.  

ඔටිසම් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විශේෂිත වෘත්තිකයෝ ඉන්නවද? 

ඔටිසම්  වලට අවශ්‍ය විශේෂ ප්‍රතිකාරය තමා චර්යා ප්‍රතිකාරය. ඒ වෙනුවෙන් විශේෂිතව  පුහුණු වූ වෘත්තීය චිකිත්සක, කථන සහ භාෂා චිකිත්සක වෘත්තිකයන් ඉන්නවා.  නමුත් අවශ්‍යතාවට සරිලන එම වෘත්තිකයන් පිරිසක් අපේ රටේ නැහැ. ඒ වගේම ළමා  මනෝ වෛද්‍යවරු, විශේෂඥ ළමා වෛද්‍යවරු සෑහෙන ප්‍රමාණයක් මේ ප්‍රතිකාරවල  නිරතව ඉන්නවා. ඒ වගේම අපේ සෞඛ්‍ය පද්ධතිය අපේ ළමා සෞඛ්‍ය සහ සංවර්ධනය ගැන  සාධනීය වැඩ කොටසක් ඉටු කරනවා. 
මේ සෞඛ්‍ය පද්ධතිය නිසා ඉතාම පහසුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ් දරුවන් අතර සම්බන්ධතාවය ඇති කර ගැනීමේ හැකියාව තියනවා. 

ඔටිසම් රෝගය වළක්‌වා ගන්ෙන් ෙකාෙහාමද? 

ඔටිසම්,  ජානමය හා පරිසරයෙන් එන රෝගී තත්ත්වයක්‌. ජාන පරිසරයත් සමඟ එන  අන්තර්ක්‍රියාව මීට බලපානවා. මේ නිසාම  ඔටිසම් වළක්‌වා ගන්න එක අසීරුයි. නමුත් ඔටිසම් රෝග ලක්‌ෂණ ඉස්‌මතු වන විට  මනෝ වෛද්‍යවරයෙක්‌ හෝ ළමා මනෝ වෛද්‍ය විශේෂඥවරයකු වෙත දරුවා යොමු කිරීම  වැදගත්. මෙහිදී දෙමව්පියන්ගේ මානසික ශක්‌තිය වැදගත්. තමන්ගේ දරුවාට ඔටිසම්  තිබෙනවා කියලා දැනුනම අම්මලා කලබල වෙන්න හොඳ නැහැ. දෙමව්පියන් මානසිකව  ශක්‌තිමත් වීම වැදගත්.   

ඔටිසම් දරුවන් බිහි වීමේ ප්‍රවණතාවය අඩු කිරීමට ජාතික මට්ටමෙන් කළ යුතු ක්‍රියාවන් මොනවාද? 

විශේෂයෙන්  අපේ රටේ ක්‍රියාත්මක වන ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියට සහභාගීවීම ඉතා  වැදගත්. ඒ හරහා සෑම ළමයෙක්ම විශ්ලේෂණය වෙනවා නම්, ඔටිසම් තත්ත්වය කලින්ම  හඳුනා ගැනීමේ හැකියාව තියනවා. ඒ මාර්ගයෙන් සුව කිරිම මිස බිහි වීම  වැලැක්වීමේ ක්‍රමයක් තවම සොයාගෙන නැහැ. 
ඒ  වගේම විශේෂයෙන් මිථ්‍යා මත එල්බගෙන දරුවාගේ වෙනස් ලක්ෂණ නොසලකා හැරීම  වැලැක්වීම සිදු කළ යුතුයි. සමාජයේ දුර්මතයක් තියනවා පිරිමි දරුවන් කතා  කරන්න පහු වෙනවා කියලා. ඒ වගේම කොණ්ඩය කැපුවහම දරුවා කතා කරන්න පහු වෙනවා  කියලා. එහෙම හිතලා අවුරුද්දක් යනකොට වචන දෙකක වාක්‍යයක් කතා කරන්න බැරි  දරුවන් ගැන අවධානය යොමු කරන්නේ නැහැ. මේ තත්වය වලක්වා ගැනීම අවශ්‍යයි.
ඒත් එක්කම කියන්න විශේෂ කාරණයක් තියනවා. 
අලුත්ම  දෙයක් තියනවා දැන් ස්ටෙම්සෙල් තෙරපි කියලා. එක ළමයෙක් වෙනුවෙන් මිලියන දෙක  හමාරක් තුනක් විතර වියදම් වෙන ප්‍රතිකාර ක්‍රමයක් විදිහට හඳුන්වන මේක  කිසිම විද්‍යාත්මක පසුබිමක් නැති ප්‍රතිකාරයක්. තමන්ගේ දරුවන්ව සුව කරන්න  තියන එකම ක්‍රමය විදිහට අපේ දෙමව්පියන් මේ ගැන හිතලා නිකරුනේ මුදල් වියදම්  කරනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්නේ මේ වගේ විද්‍යාත්මක නොවන ක්‍රමවලට  යොමු වෙන්න එපා. දරුවා හැකි ඉක්මනින් චර්යාත්මක ප්‍රතිකාරවලට යොමු කරන්න  කියලා.

මාතෘකා